අපූර්වත්වය යනු නිර්මාණකරණයේම සංවේදි ඵලයකි | සිළුමිණ

අපූර්වත්වය යනු නිර්මාණකරණයේම සංවේදි ඵලයකි

 

කෘතිය - ලිහිල් අගිසි

පරිවර්තනය - මානෙල්

ජයන්ති ගුණසේකර

බුක්රැක් ප්‍රකාශනයකි

මිල රු. 975

දුරකථනය 071 431 2366

 

නුතන අමෙරිකානු ලේඛිකාවක වන මෙලිප්සා පේන්ගේ පළමු නවකතාව තවද විචාරකයන්ගේ වඩාත් අවධානයට ලක්වු කෘතිය ද වන “ලිහිල් අගිසි” සිංහලට පරිවර්තනය වන්නේ කෘතහස්ත පරිවර්තිකාවක වන මානෙල් ජයන්ති ගුණසේකර අතිනි.

කෘතියක් වශයෙන් ගත් කළ භාෂා රටාව එමෙන්ම එහි පෙළ ගැස්ම අතිශයෝක්තියකින් තොරවම උසස් යයි කිව හැකි තැනක පවතී. එය එසේ වන්නේ නුතන අමෙරිකානු ලේඛකයන්ගේ හැසිරීම් රටාව උක්ත කෘතියත් සමඟ සසඳන කල්හි ය.

ඒ අනුව පරිවර්තිකාව ද පෙන්වා දී ඇති ආකාරයට භාෂාවේ සුන්දරත්වය කෙසේ වෙතත් බසෙහි නිවැරැදි බවවත් නොතකා හුදෙක් චිත්‍රපටයකට කතාව විකුණා ගැනීමේ අරමුණින් ත්‍රාසය එසේ නැත්නම් ලිංගිකත්වය අස්වද්දන තැනකට නුතන අමෙරිකානු ලේඛකයන් බොහෝ දෙනෙකු ගමන් කරමින් සිටියි.

එවැනි පසුබිමක මෙවැනි කෘතියක් රචනා වීම වෙනස් තත්වයක්ම ය.

අට හැවිරිදි පිරිමි දරුවකු වු වාන්ස් අවිවාහක මවක වු ජේස් ට මහත් වු සුරතලයක් ම වුයේ ය.

එහෙත් දිනක් නිවසේ නිදා සිටි දරුවා නිදන ඇඳුම පිටින් ම රෑ මැදියමේ මහ මඟ වැටී මිය ගොස් සිටීම එක් අතකින් මව හමුවේ මහත් කම්පනයක් ද පාඨකයා හමුවේ විශ්වාස නොකළ හැකි අන්දමේ වියවුලක් ද ඇති කර යි.

කතාව ගලා යන්නේ ඒ වියවුල නිරවුල් කරන අවසාන මොහොත දක්වා පාඨකයාව තදින් ම ඇද බැඳ ගන්නා ආකාරයකිනි.

එක් අතකින් එය නොසිඳෙන කුතුහලයකි.

තවත් අතකින් සරලව ගලා යන ආඛ්‍යායනයකි. මෙහි මුල් කතුවරිය ගත් කළ මේ නවකතාව ඇය ලියන්නේ ඊට පෙර වෙනස් නිර්මාණාත්මක අකටයුතුවල යෙදුණා වු පරිචයකිනි. ඒ නිසා ම ඇය යම් ආකාරයක වෙනස් ආරක් තමන් වෙනුවෙන් නිර්මාණය කරගත්තාක් වැනි තත්වයක් ද මෙහි දී දැකිය හැකි වේ.

ඒ සම්බන්ධයෙන් මෙසේ ද කිව හැකිය. ඇය පාඨකයා විෂයයෙහි සිය කතා ප්‍රවෘත්තිය ඒත්තු ගන්වමින් සිටි යි.

මේ ඒත්තු ගැන්වීම ම අවසානයේ දී නිර්මාණාත්මක කතා රටාවක් බවට පත් වේ.

එතැනදී මෙලිප්සා පේන් දක්ෂ ලේඛිකාවක යැයි පිළිගෙන නොසිටීමට පාඨකයාට නොහැකි වේ. පරිවර්තක මානෙල් ජයන්ති ගුණසේකරගේ කෘතහස්ත බව ද එය වෙනුවෙන් ම සේවය කරන තත්වයක් ඒත් සමඟ ම දැකිය හැකි වේ.

ලිහිල් අගිසි හි විශේෂත්වය වන්නේ ද එයම ය.

Comments