2021 අලුත් අවු­රුදු පලා­පල අලුත් අවු­රුදු උදාව ඔබට/රටට සුබද? අසුබද? | සිළුමිණ

2021 අලුත් අවු­රුදු පලා­පල අලුත් අවු­රුදු උදාව ඔබට/රටට සුබද? අසුබද?

 මේෂ - මිථුන කටක - සිංහ - තුලා ධනු 
මකර - කුම්භ - මීන ලග්න­ව­ලට සුබයි
 
වෘෂභ - කන්‍යා වෘශ්චික ලග්න­ව­ලට මධ්‍ය පල
 
රවි - බුධ - ගුරු - සිකුරු 
සොඳුරු නිව­ස්නට ගොඩ වැදේ
 
විශ්වය ශක්ති­මත් 
කෙරෙන ග්‍රහ චලිත රැසක් 
 
සාමය - සතුට - අභි­වෘ­ද්ධිය 
සපිරි වස­රක් උදා වෙයි
 

මේෂ ලග්නය

සතුටුදායක කාලයකි

 

 

මේෂ ලග්නයට අනුව මේ අවුරුද්ද ඔබට වාසනාව ගෙන එයි. රවි - බුධ - සිකුරු ලග්න ගත වෙමින් ද ගුරු නීචයෙන් මිදී 11 වැන්නට සම්ප්‍රාප්ත වෙමින් ද තවත් බොහෝ සුබ ග්‍රහ චලිතයක් මවමින් ඔබට වාසනාව ගෙන එයි. ඒ අනුව ධන සම්පත් ද රැකියා අභිවෘද්ධිය ද සහිතයි. ගෘහ ජීවිතය සතුටුදායක වෙයි. අධ්‍යාපනය හදාරන වයසේ දූ පුතුන්ගේ මානසික සුවය ඉතා හොඳින් සැකසෙන අතර අධ්‍යාපනයට තිබූ වැට කඩුලු ද අවසන් වන කාලයකි. ශරීර සෞඛ්‍ය අතින් තුනටියට යම් යම් අසුබ පළවෙයි. උඩ නැඟීම් බිම පැනීම් අවම කරන්න.

 

වෘෂභ ලග්නය ගැටලු විඳ දරාගත හැකි මනසක්

වෘෂභ ලග්නයට අනුව මෙම සතිය ඔබට කිසියම් කාර්යය බහුලකමක් නිසා සිතට වධදෙන ගැටලු කීපයක් පැන නගී. විශේෂයෙන් වැඩ බහුලකම තම එදිනෙදා කටයුතු අවුල් කිරීමට ද ඉඩ නැතුවා නොවේ‍. විශේෂයෙන් ධනය නිකරුණේ වියදම් වන තත්ත්වයකි. රවි, බුධ, සිකුරු 12 ට යම් යම් අපහසුතා ගෙන දෙන අතර පිටරට ගමන් හෝ මෙරට තුළ දුරස්ථ ගමන් යෙදෙනු ඇත. චන්ද්‍රයා 11,12,01 යන ස්ථානවල ගමන් කිරීම නිසා මොනම බලපෑමක් වුව ද විඳ දරා ගැනීමට ශක්තිය උදාවේ‍. රැකියාවේ ආර්ථිකයේ තිබූ ප්‍රශ්න ක්‍රමයෙන් අවම වනු ඇත.

 

 

මිථුන ලග්නය පෙර පින් මහිම මතුවේ

 

 

මිථුන ලග්නයට අනුව ඉතා සුබයි. රවි, බුධ, සිකුරු 11 වැන්නේ ද, චන්ද්‍රයා 10,11,12 යන ස්ථාන පසුකර ගමන් කිරීම ද ඉතා සුබවාදී රැකියාවල - ආර්ථික ප්‍රවර්ධන ආදී කටයුතු නිසා සිතට සහනය උදාවේ. ගුරු 9 ට පෙර පින් මහිමය මතු කෙරේ. උරුම වීමට තිබී අන් සතුවූ දේපළක් වුව ද තමාට ලැබෙනු ඇත. අධ්‍යාපනය අතින් උසස් ප්‍රතිඵල ද ගෘහ ජීවිතයේ සතුට අභිවෘද්ධිය ද ඇතිවේ. ශරීර සෞඛ්‍යය අතින් යටි බඩ ආශ්‍රිත ගැටලු සැර උෂ්ණ ගති නිසා වකුගඩු මුත්‍ර ස්ථානගත ආසාදිත මතුවේ.

 

 

කටක ලග්නය රැකියා උසස්වීම්

 

කටක ලග්නයට අනුව මේ වසර ඔබට සුවිශේෂ වෙයි. රැකියා උසස්වීම් රැකියා ප්‍රතිලාභ මෙන් ම ව්‍යාපාර පල ඇති කෙරේ. චන්ද්‍රයා 09,10,11 යන ස්ථාන පසු කර යෑම ද අන් කවරදාටත් වඩා ජීවිතයේ සතුට අභිවෘද්ධිය ගෙන දෙන්නකි. හිමිකම් උරුම කම් සහිතයි අවිවාහක අයට මංගල යෝග ද විවාහක අයට තිබූ විවාහ ගැටලු දුරුවී යාමද පෙන්වයි. පාදයේ වළලුකර ආශ්‍රිත යම් යම් හදිසි අනතුරු සහිතයි. තුනටිය ආශ්‍රිතව ද උවදුරු පවතී. ඉගෙන ගන්නා වයසේ දූ පුතුන්ගේ සතුට සමාදානය මත අධ්‍යාපනය ඉදිරියටම යයි.

 

 

සිංහ ලග්නය අවිවාහකයන්ට මංගල සීනු

 

 

සිංහ ලග්නයට අනුව මේ වසර ඔබට ඉතා සුබයි. නිවසේ පුණ්‍යමය කටයුතු රැසක් සිදුවනු ඇත. සිතේ ආගමික සංහිඳියාව මතුවේ. දේපළ ඉඩම් ලාභ හා මහ පොළොවෙන් වස්තු සම්පත් උදාවේ. එඩිතර ලෙස තම අභියෝග ජය ගනී. ගෘහ ජීවිතය සපලවේ‍. ඉගෙන ගන්නා දූ පුතුන්ගේ විභාග ආදියේ ප්‍රතිඵල නිකුත් වීම හා ඒවායේ සතුටුදායක ජයග්‍රහණ හිමිවේ. ගුරු 07 හි විවාහ දිවිය සතුටුදායක වේ. අවිවාහක අයට මංගල සීනු හැඬවේ. ශරීර සෞඛ්‍යය ද එතරම් තර්ජන හිමි නොවේ. එහෙත් රාත්‍රි කාලයේ ස්නානය හා සීතල ආහාරපාන අවම කරන්න.

 

කන්‍යා ලග්නය යුග දිවියේ සැක සංකා

 

 

කන්‍යා ලග්නය හිමි අයට මේ වසර මඳ අපහසුතා කීපයකට මුහුණදීමට සිදුවේ. තම අභිවෘද්ධිය සඳහා ගන්නා තීන්දු තීරණ කීපයක් වැරදී යන ලකුණු පෙනේ. චන්ද්‍රයා 07, 08,09 යන ස්ථානවල ගමන් කිරීමත් මේ බුධ සිකුරු 08 වැන්නේ තිබීමත් නිසා බොහෝ විට යුග දිවි ගැටලු මතු කෙරේ. පිටස්තර අයගේ අතපෙවීම් නිසා යම් යම් යුගදිවි ගැටලු, දෙදෙනා අතර සැක සංකා පහළවීම මෙම ගැටලුවලට හේතුවේ. අධ්‍යාපන කටයුතු කෙරේ මන්දගාමී බවක් ද ඇතිවේ. තම කටයුතුවලට ශක්තියක් වූ පිරිස් තමා වෙතින් ඈත්ව යන ස්වභාවයක් පෙනේ. කුස ආශ්‍රිත රෝග කෑම අජීර්ණ ඇතිවනු ඇත.

 

 

තුලා ලග්නය ආත්ම අභිමානය උසස් වේ

 

 

තුලා ලග්නය හිමි ඔබට මේ වසර සුබයි. විවාහ දිවිය ‍සපල වේ. එදිනෙදා තමා ගන්නා උත්සාහ නිසා යහපත් ආර්ථික ප්‍රතිලාභ හිමිවේ. ගුරු 5ට දරු සම්පත් අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරු සම්පත් හිමිවේ. පිටරටක සිට පැමිණි ඥාතියකුගෙන් ආර්ථික ප්‍රතිලාභ ලැබේ. තම ආත්ම අභිමානය උසස් වන සතියකි. පපුවේ ආපදා සෙම ගතිය නිසා සිදුවන ස්වසන අපහසුතා පැමිණිය හැක. ගෘහ ජීවිතය තුළ සිය ආත්ම අභිමානය වැඩි වන කාලයකි. දූ පුතුන්ගේ අධ්‍යාපන කටයුතු කෙරේ. වැඩි නැඹුරුවක් දැක්වීමට සිදුවේ.

 

වෘශ්චික ලග්නය කාර්යය බහුල කාලයක්

 

 

වෘශ්චික ලග්නය හිමි ඔබට මේ වසර කටයුතු බහුලවීම නිසා සිතේ අසහනය මතු කරයි. ඒ නිසා ම නොසන්සුන් මානසිකත්වයෙන් කටයුතු කිරීමට සිදුවේ. තරහ කේන්තිය මතු කෙරෙන නිසා එය යුග දිවියට තදින් බලපායි. තමා පොදු කටයුතු වෙනුවෙන් වැඩි කැපවීමක් දැරීමට යාම තුළ ගෘහ ජීවිතයේ කටයුතු මගහැරී යන ලකුණු පෙනේ. කොයිදේත් සීමාවකට යටත්ව සිදු කිරීම සුබයි. ආර්ථික ගැටලු ද අධික වියදම් සිදුවීම ද නිසා සිතේ ගැටලුවලට හේතුවනු ඇත. ගුරු 4 හි නිසාත් චන්ද්‍රයා 05,06,07 යන ස්ථානවල ගමන් කරන නිසාත් වාහනයක් පිළිබඳව තිබූ සිහිනය සැබෑවේ.

 

 

ධනු ලග්නය ලාභදායි ආයෝජන

 

 

ධනු ලග්නයට අනුව ඔබට මේ වසර ඉතා සුබයි. විවිධ ලාභදායි ආයෝජන පහළ වේ‍. චන්ද්‍රයා 04,05,06 යන ස්ථාන පසුකර යාම ද රවි, බුධ, සිකුරු 05 වැන්නේ සංයෝග වීම ද මෙම ආර්ථික වාසිවලට හේතු වෙයි. ගුරු 03 වැන්නේ වස්තු සම්පත් අතර ඉඩම් ලාභ දේපළ නිවාස ලාභ මතු කෙරේ. තම දිරිය ශක්තිය මත කරන කටයුතු අතර තම රැකියා ස්ථානයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළක් ඔබගේ උපදෙස් අනුව සාර්ථකවේ‍. ඒ නිසාම අනාගත අභිවෘද්ධිය සඳහා ආයතන ප්‍රධානීන් ඔබ වෙනුවෙන් වගකීම් පවරනු ඇත.

 

මකර ලග්නය හදිසි ධනයෝග උදා වේ

 

මකර ලග්නයට අනුව ඔබට නව වසර සාමය, සතුට, අභිවෘද්ධිය සැබවින් ම ළඟා කරදෙනු ඇත. රවි - බුධ - සිකුරු 04 ට වාහන, ඉඩම්, රැකියා ප්‍රතිලාභ ව්‍යාපාර දියුණුව මෙන් ම චන්ද්‍රයා 03, 04,05 යන ස්ථාන පසුකර යාම ජීවිතය සාර්ථකත්වයට වැඩි ඉඩක් ලබාදෙනු ඇත. ගුරු 02 හි හදිසි ධනයෝග සහිතයි. ඒ ධනය සුරක්ෂිත කර ගැනීමට ඔබට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවේ. ඊට හේතුව සෙනසුරු ලග්න ගතව සිට ඔබට උදාසීන සිතුවිලි මතු කරමින් දියුණුව අඩාළ කිරීමට මාන බලන නිසා ය.

 

 

කුම්භ ලග්නය අධ්‍යාත්මික සුවතාව උසස් වේ

 

කුම්භ ලග්නයට අනුව නව වසර ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 02,03,04 යන ස්ථානවල ගමන් කිරීම ද ගුරු ලග්නගතවී සිටීම අන් අයට උපදෙස් දෙමින් අධ්‍යාත්මික සුවතාව හොඳින් උදාකර ගන්නා සතියක් වීමට ද හේතුවේ. රවි - බුධ - සිකුරු 03 වැන්නේ තම දේපළ සුරක්ෂිත කර ගැනීම උදෙසා මහත් කැපවීමක් සිදු කරයි. ඒ අනුව තම මවුපිය පාර්ශ්වයෙන් ලැබෙන ඉඩමක් වටා කම්බි කණු ගසා ආරක්ෂාව තහවුරු කිරීමට කැපවනු ඇත. පපුවේ ආපදා අධික වෙහෙස මහන්සිය නිසා පීඩාකාරී වෙයි. බඩ ආශ්‍රිත උෂ්ණය මතු කරන නිසා සැර උෂ්ණ ආහාර පාන අවම කරන්න. මත්පැන් මත් ද්‍රව්‍ය සුබ නැත.

 

 

මීන ලග්නය ව්‍යාපාර දියුණුවේ

 

 

මීන ලග්නය හිමි ඔබට මේ අවුරුද්ද කාගෙනුත් ඇප උපකාර ලැබේ. හදිසි ධන සම්පත් උදාවේ. චන්ද්‍රයා 01,02,03 යන ස්ථාන පසු කරමින් ද රවි - බුධ - සිකුරු ධනස්ථානය වන 02 වැන්නේ ද හැසිරෙමින් මෙම සුබතාව මතු කරනු ඇත. රැකියාවට මඳ අගුණ පළ කළ ද ව්‍යාපාර අතින් දියුණුව අභියෝගය මතු කෙරේ. යුග දිවිය සපලවේ‍. අවිවාහක අයට සුබ මංගල යෝජනා මතු කෙරේ. පිටරටකට යාමට සිහින මැවූ අයට සුබ ආරංචි මතු කෙරේ. වසර මැද භාගයේ සිට පිටර‍ටකට යාමට පවා අවස්ථාව උදාවනු ඇත.

 
 

Comments