රේගු­වට කොකා පෙන්වූ පවි­ත්‍රතා සුප­ව­යි­සර්ගේ රන් බිස්කට් මග­ඩිය | සිළුමිණ

රේගු­වට කොකා පෙන්වූ පවි­ත්‍රතා සුප­ව­යි­සර්ගේ රන් බිස්කට් මග­ඩිය

 වැට­ලී­මට සහ­භාගි වූ නිල­ධා­රීන්
වැට­ලී­මට සහ­භාගි වූ නිල­ධා­රීන්

ජයට අය විය යුතු බදු නොගෙවා රේගුවේ ඇස් වසමින් මෙරටට භාණ්ඩ ගෙන ඒම ආරම්භ කෙළේ අද ඊයේ නෙමේ. දශක ගණනාවක සිට සිදු කරන්නා වූ මේ මහා පරිමාණ වංචාවන් නිසා රජයට අහිමි වන බදු මුදල වසරකට රුපියල් බිලියන ගණනකි.

මේ අතර ආනයනකරුවන්ගේ අපූරු කූට උපක්‍රම වේ. විශේෂයෙන්ම ඔවුන් ඒ කටයුත්ත කරන්නේ සපත්තු සහ සෙරෙප්පු වැනි යුගල භාණ්ඩ ආනයනයේදීය. එහිදී පළමුව දකුණු හෝ වම් කකුල් සපත්තු හෝ සෙරෙප්පු පමණක් මෙරටට කන්ටේනරයක් ආනයනය කර එය මුදා ගැනීමෙන් වැළකී සිටී. නිසි කලට මුදා නොගැනීමෙන් පසු එය ප්‍රසිද්ධ වෙන්දේසියට ලක් කෙරේ. වෙන්දේසියට ලක් කිරීමේදී එහි ඇත්තේ දකුණු හෝ වම් කකුල් පමණක් බව දැන ගැනීමෙන් පසු එය රබර් සඳහා පමණක් උපයෝගී කර ගත හැකි බව තේරුම් ගන්නා ගැනුම්කරුවන් ඉදිරිපත් කරන්නේ ඉතා සුළු ලංසු පමණකි. එහෙත් අදාළ ආනයනකරුවා විසින් ඒ සඳහා තරමක වැඩි ලංසුවක් ඉදිරිපත් කර එය මිලදී ගනී. එය මිලදී ගැනීමට පෙර අනෙක් කකුල්වලට අදාළ සපත්තු හෝ සෙරෙප්පු කන්ටේනරයද මෙරටට පැමිණෙන අතර එම කන්ටේනරයද මුදා නොගෙන එම කන්ටේනරයටද පෙර සේම ලංසු ඉදිරිපත් කර අදාළ ආනයනකරුවන් විසින් මිලදී ගනී. කම්කරුවන් යොදා දෙදිනක් තුළදී වම් හා දකුණු කකුල් සපත්තු හෝ සෙරෙප්පු එක් කර වෙළෙඳ පොළට එවනු ලැබේ. වෙළෙඳ පොළේ ඉතා අඩු මිලට අලෙවියට ඇති සපත්තු මේ අනුව ආනයනය කරන ලද සපත්තු හා සෙරෙප්පු වන අතර මේ වන විට එවැනි සපත්තු සෙරෙප්පු අලෙවිසල්ද වෙනමම විවෘත කර තිබේ.

මේ ලෙසින් රේගුවේ ඇස් වසා ආනයනය කරනු ලබන බදු වැඩියෙන් අය කරනු ලබන බොහෝ දේ බදු අඩුවෙන් අය කරනු ලබන භාණ්ඩ බවට පත් කරන්නට මේ ආනයනකරුවන්ට ගණදෙවි නුවණ තිබේ. ඒ ආනයනකරුවන් අතරම බිහිව ඇති වංචාකරුවන්ගේ ක්‍රමවේදය මීට වෙනස්ය. අප පෙර කී ලෙසින් වාහන දෙකට කඩා මෙරටට ආනයනය කර එකලස් කිරීම එයින් එක් වංචාවකි. එමෙන්ම මෙරටට ආනයනය තහනම් කර ඇති භාණ්ඩ වංචනික ලෙසින් ආනයනය කිරීමත් හා ආනයනය කළ හැකි බදු ගෙවිය යුතු භාණ්ඩ බදු නොගෙවා රේගු ඇසින් පන්නා ගැනීම තවත් වංචාවකි. වාහන කොටස් ආනයනය වරාය හරහා සිදු කෙරුණද මත් ද්‍රව්‍ය වැනි තහනම් භාණ්ඩ හා බදු නොගෙවා රත්තරන් මෙරටට ගෙන්වා ගැනීමට මේ වංචාකරුවෝ කටයුතු කරන්නේ ගුවන් තොටුපොළ හරහාය.

කාලාන්තරයක් තිස්සේ එසේ සිදු කරන ලද මහා පරිමාණ වංචාවක් පසුගියදා රේගුවේ උකුසු ඇසට හසුවිය. එය ඇත්තටම අසුවූවා නොව රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කාලාන්තරයක් තිස්සේ අවදියෙන් සිටීමේ ප්‍රතිඵලයකි.

සිදුවීම වාර්තා වූයේ පසුගිය 3 වැනිදා අලුයමය.

එහිදී පොළොව පිරිසුදු කරන යන්ත්‍රයක් තුළ සඟවා ගුවන් තොටුපළේ රේගු පරිශ්‍රයෙන් පිට කිරීමට තැත් කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් රත්තරන් බිස්කට් තොගයක් අත්අඩංගුවට ගන්නා ලදි .

කිලෝග්‍රෑම් 17ක් වන රත්තරන් බිස්කට් 161ක් වන මෙම රත්තරන් තොගයේ වටිනාකම රුපියල් මිලියන දෙසිය පනහකට ආසන්නය.

කටුනායක ගුවන් තොටුපළේ සේවය කරන පවිත්‍රතා සුපරීක්ෂක නිලධාරියකු විසින් පොළොව පිරිසිදු කරන යන්ත්‍රයක සඟවා රත්රන් මෙසේ ගෙන යාමට කටයුතු කිරීමේ ක්‍රියාවලිය දක්වා වූ ක්‍රියාදාමය ගැන නියෝජ්‍ය රේගු අධිකාරී නුවන් අබේනායක සිළුමිණට පැහැදිලි කෙළේය.

‘‘රත්තරන් කියන්නේ ලංකාවට ගෙන ඒම තහනම් කර ඇති භාණ්ඩයක් නෙමෙයි. රත්තරන් සඳහා වෙළෙඳපොළ වටිනාකමින් 15%ක බද්දක් ගෙවිය යුතු වනවා. උදාහරණයක් ලෙස වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 10ක රත්තරන්වලට නම් රුපියල් 150,000ක බද්දක් ගෙවිය යුතුයි. එම නිසා බදු වංචා කිරීමේ අරමුණින් මේ ලෙසින් රත්තරන් රේගුවේ ඇස් වසා ගෙනයාමට කටයුතු කර තිබෙන බව මේ වන විට වාර්තා වෙනවා.

ඩුබායි සිට ආ ගුවන් යානයකින් පැමිණි මඟියකු හෝ මඟීන් කිහිප දෙනකු විසින් රේගු පිරික්සුම් අංශයට පෙර ඇති වැසිකිළියක මෙම රත්තරන් බිස්කට් කළු පැහැති ටේප් වලින් ඔතා සඟවා තිබෙනවා. පිරිසිදු කිරීමේ සුපරීක්ෂකවරයා විසින් එම රන් බිස්කට් අඩංගු පාර්සල් පොළොව පිරිසුදු කරන යන්ත්‍රය තුළ සඟවා එම යන්ත්‍රය පිරිසිදු කිරීමේ යන්ත්‍ර ගබඩා කරනු ලබන කාමරය කරා ගෙන ගොස් තිබෙනවා. එම ගබඩා කාමරය පිහිටා ඇත්තේ පැමිණීමේ පර්යන්තයේ සිට පැමිණීමේදී රේගු පිරික්සුම් ස්ථානයන්ට පසුව නිසා පිරික්සුම් ස්ථානවලින් මිදී යන්නට අදාළ නිලධාරියාට හැකියාව ලැබී තිබෙනවා.

මේ සැකකරු මීට පෙර සිවු වතාවක් මෙලෙස රන් භාණ්ඩ රේගු පරීක්ෂාවලින් තොරව බැහැරට ගෙන ගොස් දී ඇති බව මේ වන විට පිළිගෙන තිබෙනවා. මේ මහා පරිමාණ රේගු බදු මුදල් වංචාවට දායක වූ පවිත්‍රතා සුපරීක්ෂකවරයා මීගමුවේ පදිංචි 37 හැවිදිරි අයෙකි. නියෝජ්‍ය රේගු අධිකාරිවරයා පවසන පරිදි මේ ජාවාමරට සැලකිය යුතු පිරිසක් සම්බන්ධ වී ඇත. ඔවුන්ගේ ජාලය ඉතා පුළුල්ය. රන් භාණ්ඩ ගෙන ඒමෙන් පසු වැසිකිළියේ යම් ස්ථානයක සඟවා අදාළ සුපරීක්ෂක වරයාට ඒ බව දුරකතනයෙන් දැනුම් දෙයි. සැකකරු නිරතුරුවම පිරිසිදු කිරීමේ උපකරණ ලබා ගැනීමට හා ඒවා යළි ගෙනගොස් තැබීමට යන නිසා කිසිවකුට සැකයක් උපදින්නේ නැත. අදාළ සැකකරු නිරතුරවම වැසිකිළි නිසි පරිදි පිරිසිදු කර ඇත්දැයි පරීක්ෂා කිරීම පිණිස වැසිකිළි තුළට ගොස් බැලීම සාමාන්‍ය කාර්යයක් වන නිසා මේ පුද්ගලයාම ඒ වෙනුවෙන් උපයෝගී කර ගන්නට ජාවාරම්කරුවන් විසින් කටයුතු කර තිබේ. රත්තරන් ගෙන එන්නේ කවුරුන් විසින්ද හෝ ගෙන යන්නේ කවුරුන් විසින්ද යන්න අදාළ පරීක්ෂකවරයා නොදන්නා නමුත් ඔහුට කළ යුතුව ඇත්තේ රන් බිස්කට් සැඟවූ බව දැන්වූ විට වැසිකිළියට ගොස් ඒවා රැගෙන ගොස් ගබඩාවේ තැන්පත් කර තැබීමයි. පසුව දුරකතනයෙන් දැනුම් දුන් විට උපක්‍රමශීලීව ගබඩා කාමරයෙන් අදාළ රන් භාණ්ඩ පිටතට ලබා දීම මේ සැකකරු විසින් සිදු කර තිබේ.

රන්භාණ්ඩ ලබා ගන්නා තැනැත්තා කවුරුන්ද යන්න නොදන්නා නමුත් ලබා දෙන තොරතුරු අනුව අදාළ ස්ථානයට ගොස් ඔහුට හෝ ඇයට රන් භාණ්ඩ ලබා දෙයි.

අත්අඩංගුයට ගත් රන් භාණ්ඩ තොගය වැනි රන් බිස්කට් තොගයක් සඳහා ඔහුට රුපියල් ලක්ෂ 20ක් පමණ ගෙවන්නට ඇති බවට මේ වන විට වාර්තා වේ.

අසුවූ මේ රන් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් කෝටි 25ක් පමණ වන හෙයින් ඒ වෙනුවෙන් රජයට අය විය යුතු බදු මුදල රුපියල් ලක්ෂ 375ක් පමණ වේ. එයින් රුපියල් ලක්ෂ 15ක් 20ක් ලබා දී එළියට පන්නා ගැනීම ජාවාරම්කරුවන්ට විශාල වාසියක් වනු ඇත.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් නිරතුරුව මෙරටට ආනයනය කරනු ලබන දේ සම්බන්ධව අවධානයෙන් සිටින අතර අදාළ සැකකරුගේ හැසිරීම සම්බන්ධව 2 වැනිදා පස්වරුවේ සිට පැය 14ක පමණ කාලයක් 3 වැනිදා අලුයම දක්වා විශේෂ අවධානයෙන් සිට ඇත. ඒ අනුව අදාළ පිරිසිදු කිරීමේ යන්ත්‍රය පරීක්ෂාව ලක් කිරීමේදී මේ රන්භාණ්ඩ ජාවාරම අසුවී ඇත. මේ රන් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙරටට හොරෙන් ගෙන්වන ලද තවත් රන් ආභරණ අඩංගු පාර්සල් තුනක් සොයා ගැනීමට හැකිවිය. ඒ පෙර වැසිකිළිය තුළදීමය.

අත්අඩංගුවට ගත් සැකකරු සහ රත්තරන් බිස්කට් රේගු අත්අඩංගුව යටතේ පරීක්ෂණ කටයුතු කරමින් පවතී . මෙම අත්අඩංගුවට ගැනීම රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ලියනගේ ගේ අධීක්ෂණය යටතේ , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් (බලාත්මක) ආනන්ද ඊස්වරන් හා අධ්‍යක්ෂක සමාජ (ආරක්ෂක ඒකකය) ඒ. රාජරත්නගේ මගපෙන්වීම යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක( මත්ද්‍රව්‍ය පාලන අංශය) ටී. වැලිකලගේ නියෝග යටතේ සිදු කරන ලදී.

මේ අත්අඩංගුවට ගැනීම සඳහා රේගු අධිකාරීවරුන් වන උදය ගාමිණී හා හසන්ත ගුරුගේ, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, ශ්‍රී ලාල් විජේවර්ධන, රසික සමන්ජිත් හා සහකාර රේගු අධිකාරීවරුන් වන ඩිල්ශාන් වැලිගම්පිටිය, බිනොජ් කුරේ යන අය විසින් සිදු කරන ලදී.

Comments