කොරෝනා පරදමින් අවු­රු­දු පෙරටම | සිළුමිණ

කොරෝනා පරදමින් අවු­රු­දු පෙරටම

මෙවර සිංහල අවුරුද්ද, සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදවලට අනුගතව සැමරීමට ඉඩදී ඇති නිසා කොයිකා තුළ වුවත් කිසියම් අපේක්ෂාවක් දැල්වී ඇත. අවුරුද්දට පිටකොටුවේ භාණ්ඩ අලෙවිය පිළිබඳ සොයා බලන්නට පසුගියදා අපි පිටකොටුවේ කඩ සාප්පුවලත් පදික වේදිකාවලත් සංචාරය කළෙමු.

 

මීට පෙර අවුරුදු කාලෙට පිටකොටුව, කොටුව පුරා පාරවල් වැහෙන තරමට ඇඳුම් පැලඳුම්, සපත්තු, බෑග්, විසිතුරු හා තෑගි භාණ්ඩ කල් තබාගත හැකි ආහාර පාන, පලතුරු, රතිඤ්ඤා, නිලා කූරු, බඹර චක්‍ර වැනි ගිනිකෙළි, චීත්ත හා අනෙකුත් රෙදි වර්ග ගොඩගසා තිබුණත් මෙවර එතරම්ම ජයක් දකින්නට ලැබුණේ නැත. එක යායට විවිධ විදිහේ, නිවසට හා නිවැසියන්ට අවශ්‍ය සෑම දෙයම විකුණන දෙවන හරස් වීදියේ නම් තැන් කීපයක රෙදි තොග වට‍ා මිනිසුන් පොදි කනු දක්නට ලැබුණි. ඒ ඇඳුම් මිලදී ගැනීම සඳහා ය.

“ලාබයි... ලාබයි... 1000 කෑල්ල 300 යි. තරුණයෙක් කෑ මොර දෙයි. ඔහුට මුවවැස්මක් නොමැති වුවත්, රෙදි තෝරන සියල්ලෝම පාහේ නෙක වර්ණ මුව වැස්මවලින් මුව වසාගෙන නිහඬවම රෙදි තෝරන නිසා වෙනදාට නැ‍ඟෙන මහ ඝෝෂාව ද අඩු ය. අපි දෙවන හරස් වීදියේ ඇඳුම් හා විසිතුරු භාණ්ඩ අලෙවි කරන රංජිත් දිසානායක (50) ළඟ නතර වුණෙමු. ඔහු කීවේ මෙවර අවුරුද්දේ බිස්නස් සරු නැති බවයි.

“ඉස්සර නම් අවුරුද්දට බඩු ගන්න හුඟක් කට්ටිය එනවා. දැන්නම් බිස්නස් අන්තිම සවුත්තුයි. උදේ 6.00 සිට සවස 5.00 වනතුරු හිටියත් හරි හමනකට වෙළෙඳාමක් නෑ‍. අපි ජීවත්වන්නේ අමාරුවෙන්. මිනිස්සුන්ටත් හරි ප්‍රශ්න. අත මිට සරු නෑනේ.

කොරෝනා සමයෙන් පසු දැන් බසාර් එකේ බඩු හිතෙන හිතෙන ගණන්වලට අලෙවි කරන බවත්, සමහර වෙළෙන්දන් රු. 100, 200, 300 න් වැඩි කර තම භාණ්ඩ අලෙවි කරන බවත් සමහරු කියති.

“ආණ්ඩුවෙන් බදු වැඩි කළා කිය කියා ආණ්ඩුවට බැණ බැණ හිතුමතේ බඩුවල ගණන් නංවනවා. කිසිදු පාලන මිලක් නැහැ. මේ නිසා සාමාන්‍ය ජනතාව තමයි අපහසුතාවට පත්වෙන්නේ. හොයලා බලන්න කවුරුවත් නෑ. සෙල්ලම් බඩු මිල හුඟක් ඉහළ දාලා. ඉතින් මිනිස්සු කීය කිව්වත් ‍සල්ලිවලට ගන්නවා වෙන කරන්න දෙයක් නැති නිසා.”

පි‍ටකොටුවේ රෙදි අලෙවි කරන කිරිබත්ගොඩ ‍ජේ.ඒ. මෛත්‍රීපාල මෙවර අවුරුදු වෙළඳාම ගැන මෙසේ පවසයි‍.

“ගිය අවුරුද්දෙ නම් අවුරුද්දක් ඇත්තෙම නෑනේ මේ සැරේ. නිමි ඇඳුම් අලෙවිය හුඟාක් පහළ බැහැලා. දවසකට රුපියල් තුන් හාරදාහක්වත් හොයාගන්න බෑ. ”

දෙවන හරස් වීදියේ පාර අද්දර පදික වේදිකාවේ හැමදාම බඩු විකුණන අයටත් වැඩිපුරම ඇත්තේ බිස්නස්වලට වඩා කෝඩයයි. බිස්නස් හොඳ බව කියන්නේ දෙතුන් දෙනෙක් පමණයි. වත්තල හුණුපිටියේ කේ. විජේසුන්දර මහතා රෙදි කෑලි ගැවුම්, ස්කර්ට්, බ්ලවුස් අලෙවි කරන්නෙකි. මේ ඔහුගේ හඬ. “අවුරුදු 2 ක් බිස්නස් නැතුව හිටියා. මේ සැරේ අලෙවිය හොඳයි.

එක දවසකට ලක්ෂ 2, 3 ක බිස්නස් තියනවා“

වෙනදාට රතිඤ්ඤා මල්වෙඩි ඇතුළු ගිනිකෙළි පාරේ දිගටම ගොඩගසා තිබුණත් මෙවර පදික වේදිකාවේ එකම ගිනි කෙළි අලෙවි කරන තැනක්වත් අපට දැක ගැනීමට නොහැකි විය. සමහර විට අවුරුදුවලට දින දෙක තුනකට පෙර රතිඤ්ඤා වෙළඳපළට එන්නට බැරි නැත.

සිංහල අවුරුද්දට කැවුම්, කොකිස්, මුංකැවුම්, අතිරහ, ආස්මී, හදන්නට නැතුවම බැරි පොල්තෙල් මේ දවස්වල ගිනි ගණන් ය. ඒ මදිවට පිරිසිදු පොල්තෙල් සොයා ගැනීමේ ද අර්බුදයක් ඇත.

පිටකොටුව ගෑස්පහ හන්දියේ පොල්තෙල් විකුණන කඩ කීපයක් ඇතත් හැම කඩයකම පොල් තෙල් ලීටරය රු. 550 ට එහාය. අවුරුදු කිට්ටුවෙද්දී ලීටරය රු. 1000 වැඩි වනු ඇති බව ඔවුන් පවසන එකම වදනකි. එක් එක් පැහැයේ පොල්තෙල් බෝතල් පේළියට තබා ඇත. පොල්තෙල් ගැටලුව මධ්‍යයේ ලංකාවේ පොල්තෙල් ද කරලියට පැමිණ ඇත.

පිටකොටුවේ බඩු මිලදී ගන්නට පැමිණි අය අතරේ රාගම සිට පැමිණි රුමේෂා රණසිංහ අපට හමුවූයේ ප්‍රධාන වීදියේදීය. ඇය පැමිණ සිටියේ බෙඩ්ෂීට් හා කර්ටන් රෙදි තොග මිලට ගෙන යාමට ය. ඇය සිළුමිණට මෙසේ කීවාය. “අපි වෙන අවුරුදුවලත් පිටකොටුවෙන් තමයි මේ රෙදි ගන්නේ. දැන් ආනයනය කරන එක නවත්තලා නිසා ගණන් වැඩිවෙලා. ගිය අවුරුද්දේ ලොක් ඩවුන් කළ නිසා එන්න බැරි වුණා. කොහොමත් එහෙන් ගන්නවට වැඩිය නම් පිටකොටුවෙන් ගනිද්දී මිල අඩුයිනේ.”

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පමණක් නොව ඈත ප්‍රදේශවලින් පවා විවිධ වර්ගයේ බඩු භාණ්ඩ මිලදී ගැනීමට පිටකොටුවට එන පිරිසක් ද සිටිති. හම්බන්තොට සිට පැමිණි කේ.ජී. ප්‍රියදර්ශනී පැමිණ සිටියේ හම්බන්තොට සිටය. ඇය අපට හමුවූයේ පළ‍මු වැනි හරස් වීදියේ කඩයක බඩු මිලදී ගනිද්දීය. මේ ඇගේ හඬයි.

“මගේ ගම හම්බන්තොට වුණත්, කොළඹ යාළුවකුගේ ගෙදර ඇවිත් අවුරුද්දට ඇඳුම් ගන්න පිටකොටුවට එනවා. ගිය වසරේ නම් කොරෝනා නිසා ආවෙ නෑනේ. ඉස්සර නම් බඩු මිල අඩුයි. ඒත් මේ වසරේ මිල ඉහළයි. කොහොමත් හම්බන්තොටට වඩා නම් ලාබයි.”

වෙනදාට බඩු ගන්න එන බොහොමයක් දෙනෙකුගේ අත පිරෙන්න බඩු මලු වුවත් මෙවර හුඟක් දෙනෙකුගේ අත්වල ඇත්තේ ඇඳුම් කවර දෙක තුනකි. මෝදර සිට පැමිණි කෞෂල්‍යා ප්‍රනාන්දු බඩු මිලදී ගැනීමට පැමිණ සිටියේ සැමියා හා කුඩා දරු දෙදෙනා සමඟිනි. ඇය සිළුමිණ’ට මෙසේ කීවාය‍.

“ෂොප්වලින් ගන්නවට වැඩිය පිටකොටුවෙ කොහොමත් මිල අඩුයිනේ. කර්ටන්, දරුවන්ගේ හා අපේ ඇඳුම් ගත්තා. ගිය සැරේ වගේ නෙමෙයි මේ සැරේ අවුරුද්ද සමරන්න පුළුවන්. ඒත් වෙන වසරවලට වඩා ඇඳුම් හා අනෙකුත් ගෙදරට අවශ්‍ය බඩුවල මිල නම් වැඩියි මේ සැරේ.

නිට්ටඹුවේ ඩිලානි කරුණානායක බඩු මිලදී ගන්නට පැමිණ සිටියේ සැමියා ප්‍රියන්ත ජයරත්න සමඟිනි. මෙවර සාප්පු සංචාරය ගැන ‘සිළුමිණ’ට මෙසේ අදහස් දැක්වීය.

අපි ගත්ත හැම දෙයක් ම පසුගිය වසරවල මිල හා සසඳද්දී හුඟාක් වැඩියි‍‍.

අපිට වාහන අමතර කොටස් අලෙවි කරන කඩයක් තියනවා. ගිය සතියේ රු. 2100 ගත්ත අමතර කොටස් වර්ගයක් දින 7 ක් ඇතුළත රු. 400 න් වැඩිවෙලා. ඉතින් මෙච්චර ගණන්වලට අරන් ගිහින් අපි කොහොමද එහෙ විකුණන්නේ. ගම්වල ලොකු ගණන්වලින් වැඩි කරන්න බෑනේ.

පිටකොටුවේ හරස් වීදිවල ඇවිදිමින් බඩු තෝරගත්තාම බොහෝ දෙනෙකුට දැනෙන්නේ මහත් වෙහෙස මහන්සියකි. පිපාසය හා බඩගින්න සංසිඳුවා ගැනීමට විවෘත කර තැබෙන ආහාර අලෙවිහල් වලට නම් හොඳ ආදායමක් ලැබේ.

පළමුවැනි හරස්වීදිය ඇරඹුමේම පිහිටි බොම්බෙ ස්වීට් කඩය අසල ලයිම් ජූස් පානය කරමින් ෂෝටීස් කන පිරිසකි. එහි හිමිකරු එම්.එල්.ජේ. කෂීර් (19) වෙළෙඳාම ගැන මෙසේ කීය.

“මේ දවස්වල බිස්නස් හොඳයි. කොහොමත් කවදත් ආහාර පාන ජනතාවට අත්‍යවශ්‍ය දෙයක්නේ. මේ දවස්වල සෙනඟ වැඩිපුර පිටකොටුවට එන නිසා අපිටත් වාසියි. ෆ්‍රෙෂ් ජූස් වර්ග, ෂෝටීස්ට්, බොම්බෙ ස්වීට්ස් විතරක් නෙමෙයි; කෑම පැකටුත් අපි විකුණනවා.”

සපත්තු තොගේට මිලදී ගැනීමට පිටකොටුවට පැමිණි කේ.ඒ. ලීලාවතී අපට හමුවුණේ මල්වත්ත පාරට සමීපවය. ඇය පැමිණ සිටියේ මතුගම සිටය. පිටකොටුවෙන් තොගේට ගන්නා පිරිමි - කාන්තා, ළමා සෙරෙප්පු මතුගම නගරයේ පදික වේදිකාවේ සිට අලෙවි කිරීම ඇගේ රැකියාවයි. මේ ඇගේ හඬයි.

“පසුගිය අවුරුදුවල මම වරකට රු. 30,000 පමණ බඩු තොගයක් ගෙනියනවා. ඒත් දැන් හැම සෙරෙප්පු කුට්ටමක් ම රු. 20,30, 50 පමණ මිල වැඩිවෙලා. මෙහෙන් බස් එකක දාගෙන තමයි ගෙනියන්නේ. මේ සැරේ රු. 8000 විතර සෙරෙප්පු තමයි ගෙනියන්න වෙන්නේ. එන්න එන්නම මිල වැඩි වුණාම අපිට බිස්නස් කරගන්න එකත් හරි අමාරුයිනේ.” සේයාරූ - ගයාන් පුෂ්පික

Comments