ලොව පුදුම කළ මෙහෙ­මත් රූ රැජින තරග | සිළුමිණ

ලොව පුදුම කළ මෙහෙ­මත් රූ රැජින තරග

යුදෙව් උච්චාරණය සහිත ලෙස  තම නම වෙනස් කර ගනිමින් ජනතා අවධානය දිනා 1945 ඇමරිකානු  රූ රැජින කිරුළ දිනූ බෙස් මේසන්

ඒ 2015 වසරයි. ඇමරිකා එක්සත් ජනපදයේ නෙවඩා ප්‍රාන්තයේ ලාස් වේගාස්හි ඇක්සිස් ශාලාවේදී විශ්ව රූ රැජින තරඟය පැවැත්වෙමින් තිබිණි. ස්ටීව් හාවි නම් වන ප්‍රසිද්ධ නිවේදකයා උළෙල නිවේදනය කරමින් සිටියේය. තරගයේ අවසන් මොහොත උදාවී තිබුණු අතර ඉතිරිව තිබුණේ අවසන් උද්වේගකරම නිමේෂය විය. ඒ ජයග්‍රාහිකාව නිවේදනය කරන මොහොතයි.

ඒ වන විටත් තුන්වැනි ස්ථානය ඇමරිකානු රූමතිය විසින් දිනා ගත් බව නිවේදනය කර අවසන් වී තිබිණි. ඉතිරිව සිටියේ කොලොම්බියානු රූමතිය සහ පිලිපීන රූමතියයි. මේ දෙදෙනා අතරින් එක් අයෙකු විශ්ව රූ රැජින වන අතර නම ප්‍රකාශ නොවන රූමතිය දෙවැනි තැන දිනා ගනු ඇත.

ජයග්‍රාහිකාව නිවේදනය කරණු පිණිස තම අතට පත් වූ කාඩ්පත් ලබාගත් ස්ටීව් හාවි සභාව උන්මාදයට පත් කරමින් 2015 විශ්ව රූ රැජින කිරුළ කොලොම්බියානු රූ රැජින විසින් දිනා ගන්නා බව ප්‍රකාශයට පත් කර සිටියේය. ඒ සමගම කොලොම්බියානු රූමතියට කිරුළු පළඳවනු ලැබූ අතර පිලිපීන රූමතිය දෙවැනි ස්ථානයෙන් සිත සනසා ගනු පෙනිනි. සියල්ල එලෙස සිදුවන විට උළෙලේ නිවේදක ස්ටීව් හාවි වේදිකාව මත තරමක් නොසන්සුන්ව හැසිරෙනු දක්නට ලැබිණි. මොහොතක් ගත වන විට ඔහු හේ බා ගිය කටහඬින් පවසා සිටියේ ජයග්‍රාහිකාව නිවේදනය කරන විට තමන්ට වැරදීමක් සිදුවී ඇති බවයි. 2015 විශ්ව රූ රැජින ලෙස කොලොම්බියානු රූ රැජිනගේ තමා ප්‍රකාශ කර ඇත්තේ වැරදීමකින් බවත් නියම ජයග්‍රාහිකාව පිලිපීන රූමතිය බවත් ස්ටිව් හාවී ප්‍රකාශ කර සිටියේ ලොවම පුදුමයට පත් කරවමිනි. එවර විශ්ව රූ රැජින තරගයට අන් කිසි අවස්ථාවකදී නොලැබුණු තරම් ප්‍රසිද්ධියක් මේ ‘වැරදීම‘ නිසා ලැබුණු අතර සෑම රටකම පාහේ රූපවාහිනී නාලිකාවල ප්‍රධාන පුවත් ඔස්සේ මේ ‘වැරදීම‘ ප්‍රචාරය විය.

කෙසේ වුවද පිලිපීන රූ රැජින සතුටින් තම කිරුළ බාර ගත් අතර කොලොම්බියා රූ රැජිනගේ හිසෙන් ගලවා ඉවත් කළ කිරුළ ඇයගේ හිසේ පළඳණු ලැබීය. පසුව පිලිපීන ජනතාව ස්ටීව් හාවි දැඩිසේ විවේචනය කර සිටියේ ජයග්‍රාහිකාව ලෙස නම ප්‍රකාශ කරණු ලබන ඒ උද්වේගකර අවස්ථාව පිලිපීන රූමතියට අහිමි වූ බව කියමිනි.

මේ ලෝක රූ රැජින තරගාවලි ඉතිහාසයේ සිදුවූ වෙනස්ම, හාස්‍යජනක මෙන්ම පුදුම උපදවන සිදුවීම් අතරෙන් ඉතා ජනප්‍රිය සිදුවීමකි. එහෙත් මේ සිදුවීම මෙන්ම තවත් එවැනි සිදුවීම් රැසක් රූ රැජින තරග ඉතිහාසය විමසන විට හමුවේ. ඒ අතරින් පැරණිතම සිදුවීම හමුවන්නේ1945 වසරේදීය. එම වසරේ ඇමරිකානු රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වූ බෙස් මේර්සන්ට චෝදනා එල්ල වූයේ තම නම වෙනස් කිරීම සම්බන්ධවය.

ඇය තම පැවති නම වෙනස් කරමින් වඩාත් යුදෙව් උච්චාරණයක් සහිත නමක් යොදා ගත් බව සංවිධාකයන්ගෙන් ඇයට චෝදනා එල්ල විය. එහෙත් ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් තරග වැදුණු අතර එම වසරේ ඇමරිකා රූ රැජින බවටද පත් වූවාය. ඇයට ඉතා විශාල ජනතා ආකර්ෂණයක් සමග මහත් අනුකම්පාවක්ද හිමිවූයේ ඒ වන විට දෙවැනි ලෝක යුද්ධයෙන් යුදෙව්වන් විශාල අසාදාරණයකට ලක් වෙමින් සිටි නිසාවෙනි. එහෙත් ඇයගේ ජයග්‍රහණය කූට උපක්‍රමයකින් ලබා ගත් ජයග්‍රහණයක් බවට චෝදනා එල්ල වූ අතර ඒ හේතුවෙන්ම ඇයට යම් යම් වරප්‍රසාද ද අහිමි වූ බව සඳහන්ය.

1949 ඇමරිකානු රූ රැජින තරගයද ඉතා සුවිශේෂී විය. ජැකී මර්කර් මේ තරගයට ඉදිරිපත් වී තිබූ නමුත් සංවිධායකයන් පසුව සොයා ගනු ලැබූවේ ඇය වරක් විවාහ වී දික්කසාද වී සිටි බවය.

මේ පිළිබඳව පවසමින් ඇයට තරගයෙන් ඉවත් වන ලෙස සංවිධායකයන් දැනුම් දුන් අතර ඔවුන්ට අවශ්‍ය වූයේ නොඉඳුල් තරුණියන් රූ රැජින තරගකාරියන් ලෙස ඉදිරිපත් කිරීමය. එහෙත් ජැකී තර්ක කර සිටියේ තරගකාරියන් අවිවාහක විය යුතු බව මිස වෙනත් කොන්දේසි නොපැවති බවයි.

එබැවින් ජැකීට තරග වැදීමට ඉඩ ලබා දුන් සංවිධායක මණ්ඩලය එම වසරේ සිට ඇමරිකානු රූ රැජින සඳහා ඉදිරිපත් වන අපේක්ෂිකාවන් මීට පෙර විවාහ වී නොසිටිය යුතු බවත්, ගැබ් ගෙන නොසිටිය යුතු බවටත් නීති පද්ධතියක් හඳුන්වා දුන් අතර එම නීති 1999 දක්වා ක්‍රියාත්මක විය.

1951 වසරේ ඇමරිකා රූ රැජින කිරුළ දිනා ගත් යොලින්ඩා ෆොක්ස්ට සැබෑ තරගයට මුහුණ දිමට සිදුවූයේ තරගය ජය ගැනීමෙන් පසුවය.

ඇය ඇමරිකා රූ රැජින ලෙස නාන ඇඳුමින් සැරසී ඡායාරූපවලට පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ අතර ඒ හේතුවෙන්ම ඇයට සංවිධායකවරුන් සමග දැඩි ගැටුම් ඇති කර ගැනීමට ඇයට සිදුවිය.

ලොව ප්‍රථම වරට විශ්ව රූ රැජින තරගයක් පැවැත්වූයේ 1953 වසරේදී වූ අතර, එම ලොව ප්‍රථම විශ්ව රූ රැජින තරගයෙන් පසු සිදුවූයේ පුදන කොටම කාපි යකා වර්ගයේ වැඩකි.

එම තරගය ජයග්‍රහණය කළ ‘ආමි කුසේලා‘ ඇයට හිමිවූ ලොව වටා සවාරියේදී නිරත වෙමින් සිටින අතර හමුවූ පිලිපීන ව්‍යාපාරිකයකු වන විර්ගිලියෝ හිලාරියෝ සමග පෙමින් බැඳුණාය.

ඔහු ඇයට විවාහ යෝජනා කළ අතර ඇය එය පිළිගත් නමුත් විවාහ වීමට ගැටලුවක් තිබුණේ ඇය විශ්ව රූ රැජින ලෙස නියමිත කාලයක් යන තුරු විවාහ වීම ඇයට තහනම් වී තිබූ බැවිනි.

පසුව ඇය තම කිරුළ අත්හරිමින් තම පෙම්වතා සමග විවාහ වූයේ එම තරගයෙන් දෙවැනි තැන ලැබූ තරගකාරියට කිරුළ ලබා දෙමිනි. 1957 වසරේ ඇමරිකානු රූ රැජින කිරුළ දිනූ තරගකාරියට එම කිරුළ යළිත් ලබා දීමට සිදුවූයේ ඇය මීට පෙර විවාහ වී දරු දෙදෙනෙකු ලබා සිටි කාන්තාවක් බව හෙලිවීම හේතුවෙනි.

1984 වසරේදී ඇමරිකා රූ රැජින කිරුළ දිනූ වැනේසා විලියම්ස් ලෝක ප්‍රසිද්ධ වූයේ එම කිරුළ දිනූ ප්‍රථම කළු ජාතික කාන්තාව වශයෙනි.

ඇයගේ නියමිත වසරක කාලය අවසන් වීමට දින කිහිපයක් තිබියදී ‘පෙන්ත්හවුස්‘ ප්‍රකාශකයන් විසින් ඇයගේ අවසරයකින් තොරව ඇයගේ නිරුවත් ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කළ අතර ඒ හේතුවෙන් ඇයගේ කිරුළ යළි ලබා ගැනීමට සංවිධායක මණ්ඩලය කටයුතු කළහ. පසුව ඒ සම්බන්ධව වසර 34කට පසු ඇයගෙන් සමාව ඉල්ලීමට ඇමරිකා රූ රැජින සංවිධායක මණ්ඩලය කටයුතු කළහ.

ඇලිසියා මචාඩෝ 1996දී විශ්ව රූ රැජින කිරුළට හිමිකම් කී අතර එයින් පසු ඇයගේ ජීවිතය ඉතා අවලස්සන විය.

එයට හේතු වූයේ එවකට විශ්ව රූ රැජින තරගාවලියේ ප්‍රධාන සංවිධායකවරයකු ලෙස කටයුතු කළ ව්‍යාපාරික එමෙන්ම පසු කාලීන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයට ප්‍රසිද්ධියේ අපහාස කිරිමය. ඇයගේ සිරුරේ බර වැඩිවීම හේතුවෙන් ට්‍රම්ප් විසින් ඇලීසියාට ‘ඌරු මෙනවිය‘ යනුවෙන් ප්‍රසිද්ධියේ අමතනු ලැබීය.

ඔක්සානා ෆෙඩරෝවා නම් වූ රුසියානු රූමතිය විශ්ව රූ රැජින කිරුළ දිනුවේ 2002 වසරේදීය.

එහෙත් කිරුළ දිනා කෙටි කළකින්ම ඇය තම කිරුළ නැවත බාර දුන්නාය.

එහිදී තම අධ්‍යාපන කටයුතු නිම කිරීම තම අරමුණ බව ඇය ප්‍රකාශ කළ නමුත් අප්‍රකට තොරතුර වූයේ ඇය හදිසි ගැබ් ගැනීමකට ලක් වූ බැවින් එසේ කිරුළ නැවත බාර දුන් බවයි. 2006 ඇමරිකානු රූ රැජිනට කොකේන් භාවිතය සම්බන්ධව චෝදනා එල්ල වූ අතර එහෙත් ඇයට කිරුළ බාර දීමට සිදුවූයේ නැත.

කැනඩා රූ රැජින තරග සංවිධායකයන් මහත් අර්බුදයකට මුහුණ දුන්නේ 2012 වසරේදීය. එම තරගයට මුහුණ දුන් ජෙනා තලාකෝවා සංක්‍රාන්ති ලිංගිකයකු බවට චෝදනා එල්ල විය. එහෙත් ශල්‍යකර්මයක් මඟින් තමා කාන්තාවක් බවට පත් වූ බවත් තම කැනඩා ගමන් බලපත්‍රය තමා කාන්තාවක් බව තහවුරු කරන බවත් පවසමින් ඇය තර්ක කරමින් තරග වැදුනාය.

Comments