අතී­තයේ දැනුම අරන් අවු­රු­ද්දට රස බෙදන පෝද්දල කැවුම් අම්මා | සිළුමිණ

අතී­තයේ දැනුම අරන් අවු­රු­ද්දට රස බෙදන පෝද්දල කැවුම් අම්මා

 

 

සිංහල අවුරුදු කාලයට කෝඳුරුවෝ රංචු පිටින් නිවෙස්‌වලට ඇදී එති. මේ කාලයේ දී සැම නිවෙසකම පාහේ ගැමි ළියෝ කැවිලි පෙවිලි සකස්‌ කිරීම සිදුකරති. කෝඳුරුවෝ කැවුම්වලට ඇදී ඒම වැළැක්‌වීම සඳහා එකල අපේ ගැමි කතුන් හරි අපූරු උප්පරවැට්‌ටියක්‌ භාවිත කළහ. ගැමි කතුන් තෙල් වළං ළිපේ තබා මුලින්ම සාදනු ලබන කැවුම් ගෙඩිය නිවෙසේ එල්ලා තැබුහ. ඒ කැවුම කොඳුරු කැවුම වශයෙන් නම් කළේය. මේ නිසා කෝඳුරුවෝ ඇදී ගියේ කෝඳුරු කැවුම් ගෙඩිය වෙතය. ඒ එදාය.

 

එහෙත් අද බෝහෝ නිවෙස්‌වල කතුන් කැවුම් ඉවීම සිදු කරන්නේ නැත. කෝඳුරුවෝ ද දක්‌නට නොලැබෙති. සිංහල අවුරුදු කාලයට පවා කෑම මේසය හැඩවැඩ කිරීමට කැවුම් රැගෙන එනු ලබන්නේ වෙළෙඳ සැලෙනි. නැතිනම් සුපිරි වෙළෙඳ සැල්වලිනි.

අපේ කතුන්ගෙන් වැඩි පිරිසකට තෙල් වළඳක්‌ ලිපේ තබා කැවුම් ගෙඩියක්‌ ඉවීමට හැකියාවක්‌ද නැත. කැවිලි ඉවීමට හොඳ පළපුරුද්දක්‌ තිබිය යුතුය. එකල ගම්මානවල කැවිලි පෙවිලි සාදන ගැමි කතුන් සිටියහ. මේ කතුන් කැවුම් අම්මලා වශයෙන්ද හැඳින්වූහ.

අලුත් අවුරුදු කාලයට කැවුම් අම්මලා ගජරාමේට කැවිලි පෙවිලි සාදති. සිංහල අලුත් අවුරුදු කාලයට කැවුම් ඉවීමේ හොඳ පළපුරුදුකාරියන් අසල්වැසි නිවෙස්‌වලට පැමිණ කැවුම් සදා දෙති. ඒ සඳහා කැවුම් අම්මලා කිසිදු ගාස්‌තුවක්‌ අය කළේ නැත. සියලු දේ කෙරුණේ හිතවත්කම මතය. කැවුම් අම්මලා අදත් ගම්මානවල දැකිය හැකිය.

පොද්දල බලගොඩ පදිංචි දයා කල්‍යාණි අම්මා ද කැවුම් ඉවීමට දක්ෂ පළපුරුදු කාරියකි. ඇය කැවිලි පෙවිලි සාදනු ලබන්නේ සිංහල අලුත් අවුරුදු කාලයට පමණක්‌ නොවේ. සතියකට දින තුන හතරක්‌වත් කැවිලි පෙවිලි සාදයි. ඉතා රසට කැවුම් ඉවීමට කල්‍යාණි අම්මාට පුළුවන. ඇගේ කැවුම්වලට ඇත්තේ හොඳ ඉල්ලුමකි.

කල්‍යාණි අම්මා කැවුම් හදන රස විස්තරය අප සමඟ කියන්නට වූවාය.

“කැවිලි පෙවිලි හදන්න මට ඉගැන්වුවේ මගේ ආච්චි අම්මා. ඇය හරිම දක්ෂයි කැවිලි පෙවිලි හදන්න. අවුරුදු හැටක විතර අත්දැකීම් ඇයට තිබුණා. මම ඇගෙන් කැවුම් හදන්න ඉගෙන ගන්නෙ පොඩි කෙල්ල කාලෙදිමයි. සීනි උණුකරලා තමයි කැවුම් හදන්න ගන්න ඕන. සමහරක්‌ අය සීනි උණුකරන්නේ නැතිව කැවිලි හදනවා. එහෙම හැදූවාම කැවිලි වැඩි දවසක්‌ තියා ගන්න බැහැ හයිවෙනවා.“

“හාල් සේරුවකින් කැවුම් ගෙඩි 55ක්‌ විතර හදන්න පුළුවන්. අතිරස, කොකිස්‌, මුංකැරලි, කොණ්‌ඩ කැවුම්, නාරං කැවුම් දොදොල් වගේ රස කැවිලි අවුරුද්දට හරිම ඉල්ලුමක් තිබෙනවා.

“ඇය හරිබරි ගැසී කැවුම් ඉවීමට වාඩිවුවාය. කැවිලි ඉවීමද එතරම් පහසුකාරියක්‌ නොවේ. ගින්දර රස්‌නේ කාගෙන කරවන තෙල්වල සුවඳත් සමඟ කැවුම් ඉවිය යුතුය. කැවුම් ඉවීමට ගන්නා පිටි සිනි අඩංගු මිශ්‍රණය නියම පදමට තිබිය යුතුය. එසේ නොවුනහොත් නියම ප්‍රමිතියට කැවුම් ඉවීම කළ නොහැකිය. දැනට අවුරුදු තිහක පමණ සිට කැවුම් උයන කළ්‍යාණි අම්මාට නම් කැවුම් ඉවීමට පදම සකස්‌ කරගැනීමට එතරම් අපහසුකාරියක්‌ නොවේ. ඇය දර කොලපු කිහිපයක්‌ ගිනි දල්වා දරලිපේ කැවුම් ඉවීම කළාය. ඇය සාදනු ලබන කැවුම් ගෙඩිවලින් අමුතු සුවඳක්‌ විහිදී ආවේය. කළ්‍යාණි අම්මා සාදනු ලැබූ කැවිලි ඉතා රසවත්ය..

"ඉස්‌සර ගල් වංගෙඩියෙන් කෙටු පිටි තමයි කැවුම් උයන්න ගත්තේ. දැන් නම් ගල්වංගෙඩිවල පිටිකොටන්න යන්නේ නැහැ. මෝලට ගිහින් පිටි කොටාගෙන එනවා.“ ඇය කැවුම් හදනපිටි ගැන රහසක් කීවාය.

“අලුත් සහල්වලින් පිටි කොටන්නේ නැහැ. පරණ සහල් තමයි පිටි කොටන්න ගන්නේ. එතකොට තමයි පදම ගන්න ලේසි.“ ඉස්සර අපි කැවුම් හදන්න ගත්තෙ දර ලිප. දැන් නම් දර ලිපේ කැවුම් උයනවා අඩුයි. ගෑස්‌ ලිපේ තමයි කැවුම් ඉවීම කරන්නේ. දැන් ඉතින් හැමදෙයක්‌ම දියුණුවෙලා නේ. ඒ වුණත් කැවුම් හදන්න අතේ හුරුව තියෙන්න ඕන.“

“අලුත් අවුරුදු කාලයට කැවිලි පෙවිලි හදන්න ගොඩක්‌ ඇණවුම් එනවා. ඒ කාලයට පමණක්‌ නෙවෙයි කොහොමත් දින දෙකකට සැරයක්‌ කැවුම් හදන්න ඇණවුමක්‌ එනවා. දැන් කැවුම් ගෙඩියක් රුපියල් 20ක මුදලකට තමයි අලෙවි කරන්නේ.“

කැවුම් ගෙඩියේ රසය මෙන්ම හැඩයද ඉතා වැදගත්ය. කොණ්ඩය හා බඳේ හැඩය නැතිනම් කැවුම් මොන තරම් රසවත් වුණත් වැඩක් නැත.

“හොඳට කැවුම් ගෙඩියේ හැඩය ගන්න ඕන. කැවුම්වල හැඩය නැති වුණොත් විකුණන්න බැහැ. අලුත් අවුරුදු කාලයට නම් 13 වැනිදාත් කැවුම් උයනවා“ කල්‍යාණි අම්මා කිවාය..

ඒ කාලයේ ගැමි කතුන් කැවිලි පෙවිලි ඉවීම සඳහා සහල් පිටි කොටා ගත්තේ වංගෙඩියේය. දෙතුන් වතාවක්‌ කොටාගත් පිටි කැවුම් ඉවීමට ඉතා අගනේය. කැවුම් ඉවීම ඒ කාලයේ පුංචි විනෝදාංශයකි. සමූහයක් එක්වී කරන කටයුත්තකි. කැවුම් කැවිල්ලක් පමණක් නොව අවුරුද්දේ කවුරුත් එකදු පහදු කළ නිමිත්තක් ද වූයේය.

කැවුමක් හදාගන්නට හැකි තරුණියකට ගැමි සමාජයේ ලොකු වටිනාකමක් එකතු වුණේය. ඒ සංස්කෘතිය අද මේ වටපිටාවට ගැළපෙන අන්දමට සංස්කරණය කර කල්‍යාණි අම්මලා විසින් පවත්වාගෙන එන්නේය. වැදගත් වන්නේ එය පවතින ආකාරයම නොවේ. මේ පාරම්පරික දැනුමය.

Comments