රූ රැජින උලෙළේ ‘ගරිල්ලා මාර්කටිං’ | සිළුමිණ

රූ රැජින උලෙළේ ‘ගරිල්ලා මාර්කටිං’

 

 

බලහත්කාරකමට එරෙහිව පුෂ්පිකා පොලීසි යයි.

කැරොලයින් උත්තර බඳියි.

 

 

ලෝකයේ ප්‍රථම වතාවට වේදකාව මතදීම රූ රැජිනගේ කිරුළ බලෙන් ගලවා දැමීම ගිනස් ලෝක වාර්තා පොතට යයි ද?

 

ගැටුම පිටුපස‘ජුවලරි’සමාගම් දෙකක්

 

ලෝක විවාහක රූ රැජින කැරොලයින් සහ නිරූපණ ශිල්පිනී චුලා පත්මේන්ද්‍ර ඉකුත් බ්‍රහස්පතින්දා පොලිස් අත්අඩංගුවට. පසුව පොලිස් ඇප මත මුදා හරියි. 

 

රූ රැජිනක් වන්නට පහසු නැත. ඒ වෙනුවෙන් තම ජිවිතයම කැප කළ යුතුය. විශේෂයෙන්ම අධිකව වෙහෙස විය යුතුය. කැමති කෑමක් කන්නට නැත. සිරුරේ හැඩය වෙනස් වන්නේය. මහත් විය හැකිය. අව්වද අගුණය. සම අවපැහැ විය හැකිය

කෑම පිසීම නම් කළ නොහැකිය. නියපොතු කැත වන්නේය. ඇඟලි අවපැහැ වන්නේය. විවාහයට පෙර මේවා කෙසේ හෝ නඩත්තු කර ගත හැකිය. එහෙත් දකුණු ආසියාතික රටක් වන ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාව තුළ කාන්තාවට පැවරෙන වගකීම් බොහෝය. පවුලක් හෙවත් කුටුම්භයක් සඳහා ලෝකය පිළිගත් නිර්ණායකයක් වේ. එනම් පවුලක් තුළ අඹු සැමියන් මෙන්ම දරුවන් ද සිටිය යුතුය. දරුවන්ගෙන් තොරව එය ‘පවුලක්‘ වන්නේ නැත. විස්තෘත පවුලක නම් වැඩිහිටි දෙමාපියන්ද සිටිය හැකිය. මෙවැනි පවුලක නොව සාමාන්‍ය කුඩා පවුල් ඒකකයක් තුළ වුවද ‘බිරියට‘ පැවරෙන වගකීම අති විශාලය. ඒ වගකීම් ද දරා ගනිමින්, ඇතැම්විට රැකියාවක්ද කරමින්, තම බාහිර පෙනුමද හැකි උපරිමයෙන් නඩත්තු කරමින්, පෞරුෂය පවත්වා ගන්නා කාන්තාවෝ අපේ රටේ ඕනෑතරම්ය. ඒ නිසාවෙන්මදෝ විවාහක රූමතියන් පිරිසක් කිරුළක් වෙනුවෙන් ප්‍රසිද්ධ වේදිකාවක් මත පසුගියදා සිදු කළ රංගනය මේ වන විට බොහෝ දෙනෙක් අතර කතාබහට ලක් වෙමින් පවතින්නේය.

මේ සිදුවීම සිදුවූයේ පසුගියදා පැවති ලෝක විවාහක රූ රැජින තරගය නියෝජනය සඳහා අවස්ථාව ලැබෙන ශ්‍රී ලංකාව විවාහක රූ රැජින තේරීමේ තරගයේදීය. අවසන් විනිශ්චය ලැබුණු ජයග්‍රාහිකාව වේදිකාව මත ප්‍රේක්ෂකයන්ට ආචාර කරමින් සිටියදී ඒ වෙත පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඇයගේ හිසෙන් කිරුළ ගලවා දෙවැනි තැන ලබා ගත් තරගකාරියට පැලඳ වේවීය. ජයග්‍රාහිකාවද මේ අවස්ථාවට පෙර පුහුණු වී සිටියා සේ වහාම එම වේදිකාවෙන් බැස යන්නට ගියාය. කිරුළ පමණක් හිමිවූ දෙවැනි තැන ලබාගත් අපේක්ෂිකාව සිනාසෙමින් තමා මහා ජයග්‍රහණයක් ලැබූ බව පෙන්වමින් සිටියාය.

විවාහක රූ රැජිනන් මෙසේ වේදිකාව මත මරා ගත්තද ලෝකයේ වැඩි වශයෙන් ජනප්‍රිය වන්නේ අවිවාහක රූ රැජිනන් තේරීම්ය. ලොව පුරා වැඩිම ඉල්ලුම ඇත්තේ මෙනෙවියන්ටය. දෙවනුව විවාහක කාන්තාවන්ය. එය ලෝක මට්ටමේදී එසේ වුවද අපේ රටේ අවිවාහක රූ රැජිනන් බිහි වන්නේ ම නැතිය. එහෙත් විවාහක රූ රැජිනන් නම් මේ වන විටත් දෙදෙනෙක්ම බිහිව තිබෙන්නේය. ඇතැම් විට සුන්දර කාන්තාවන්ට තනිකඩව සිටීමට අපේ රටේ පිරිමින් ඉඩ දෙන්නේ නැතිය. එහෙත් එලෙස ඉක්මනින් බැඳ ගත්තත් ඔවුන්ගේ ආශාවට, කැමැත්තට, දක්ෂතාවට ඉඩ දෙමින් ලෝක රූප රාජිනියන් දක්වා රැගෙන යෑමට තරම් අපේ රටේ පිරිමින් ප්‍රගතිශීලීය. ශ්‍රී ලාංකීය කාන්තාවන් වන අප ඒ සම්බන්ධව ආඩම්බර විය හැකිව තිබුණද මේ රූප රාජිනී තරගවල අභ්‍යන්තර ජරමර ගැන දන්නා බැවින් එසේ ආඩම්බර විය යුතු බව කියන්නට බැරිය.

කෙසේ වුවද පෙර සඳහන් කළ පරිද්දෙන්ම විවාහක කාන්තවාක් රූ රැජිනක් වීම පහසු දෙයක් නොවන්නේය. මවක් මෙන්ම බිරියක් ලෙස තම ගෘහස්ත වගකීම් ඉටුකරන කාන්තාවක් රූ රැජිනක් ලෙස අභිෂේකක කිරීමම ප්‍රගතිශීලීය. එනම් එහිදී ඇගයීමට ලක් වන්නේ ඇයගේ රූ සපුව පමණක් නොවන නිසාය. ඇයගේ කැපකිරීම්, දක්ෂකම්, ඉවසීම්, දරාගැනීම්, ආදරය, සෙනෙහස, කරුණාව පමණක් නොව මවුවත් ගුණයද එහිදී ඇගයීමට ලක්වන නිසාය. භාර්යාවක් සහ මවක් ලෙස තම පවුල තුළ වගකීම් නිසි පරිදි ඉටුකරන කාන්තාව සැබවින්ම මවුවත් ගුණයෙන් යුක්තය. එම මවුවත් ගුණය තම දරුවන්ට පමණක් නොව සැමියාටද එකසේය. ශ්‍රී ලාංකීය කුටුම්භය තුළ කවුරු කොහොම කිවුවත් ප්‍රධානියා අම්මාය. සියල්ල භ්‍රමණය වන්නේ අම්මා වටාය. නැතහොත් කුස්සිය වටාය. ඇය ඉටුකරන වගකීම් අටෝරාසියකි. ඇය අමතරව රැකියාවකද නිරත වන්නේ නම් තත්ත්වය තවත් බැරූරුම්ය.

එවැනි වූ විවාහක කාන්තාවක් රූ රැජිනක් ලෙස කිරුළු පලඳින්නේ නම් එය ඇයට හිමිවිය යුතුම කිරුළකි. සැබවින්ම විවාහක රූ රැජින කිරුළක් එතරම්ම වැදගත් වන්නේ ඒ නිසාවෙන්මය.

ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන්ම ගෙන ආ රෝසි සේනානායක එම කිරුළට සැබවින්ම උරුමකම් කීවාය. ඇය සුළි සුළඟක් සේ රට සිසාරා හමා ගිය අතර ඇයට අසීමිත ජනප්‍රියත්වයක් හිමි විය. පැනඩොල්වල සිට ගෙදරට ගාන පාට දක්වා දැන්වීම් සඳහා රෝසි නැතුව බැරි විය. රෝසිගේ ආගමනයත් සමඟ අවිවාහක රූ රැජිනන් පිළිබඳ බලාපොරොත්තුද දලු දැමූ නමුත් එයට වසර ගණනාවකට පසුව කැරොලයින් ජූරි රූ රැජින කිරුළක් රැගෙන එන තුරු එම සිහින ඉටුවූයේ නැත. කැරොලයින් ගෙන ආවේද විවාහක රූ රැජින කිරුළකි. එහෙත් පුදුමයකි. ලෝක රූ රැජින කිරුළක් ගෙන ආවද කැරොලයින් රෝසි තරම් ජනප්‍රිය වූයේ නැත.

එයට හේතු කිහිපයක් තිබිය හැකිය. ඇතැම්විට මේ වන විට ලංකාවේ රූ රැජිනියන්ට වඩා පිටරට රූ රැජිනන් අපේ රටේ ජනප්‍රිය වී තිබීම එක් හේතුවක් විය හැකිය. අනික් අතට රූප රාජිනී තරග ශ්‍රී ලාංකිකයන්ට එපා වී තිබීම තවත් හේතුවක් විය හැකිය.

දැන් ශ්‍රී ලංකාවේ රූප රාජිනී තරඟ ජනප්‍රිය වන්නේ නැත. මේවාට සැබෑ රූමත් තරුණියන් ඉදිරිපත්වනවාද යන පැනයද ඇති වන්නේය. සැබෑ දක්ෂ තරුණියන් ඉදිරිපත් වනවාද යන පැනයද ඇති වන්නේය. මේ තරග දැන් පැහැදිලිවම මාෆියා හා සමානය. මේ ක්ෂේත්‍රවලට පැමිණෙන තරුණියන්ට කිනම් හෝ ක්ෂේත්‍රයේ ප්‍රබලයකුගේ අන්තේවාසිකයකු වීමට සිදුවන්නේය. කොටින්ම කිවහොත් දැන් ඇත්තේ රූ රැජින ප්‍රඩක්ෂන් හවුස්ය. එම ප්‍රඩක්ෂන් හවුස්වල අයිතිකාරයෝ රෑ රාජිනියන් නිමවමින් සිටිති. චන්දමාල් ජයසිංහ ද එවැනි ප්‍රඩක්ෂන් හවුස්එකක අයිතිකරුවෙකි. නැතහොත් රටේ ජනප්‍රියම රූ රැජින ප්‍රඩක්ෂන් හවුස්එකේ අයිතිකරුවාය. ඔහු කළොත් වැඩක් වරදින්නේ නැත. සිහිපත් කළ යුතු කරුණු කිහිපයක්ම වේ. එනම් ලංකාවේ දෙවැනි ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරිද චන්දිමාල්ගේ ප්‍රඩකෂන් එකක් බවය. එමෙන්ම වේදිකාව මත ඇණකොටාගත් මේ විවාහක රූ රැජින තරගයද චන්දිමාල්ගේ ප්‍රඩක්ෂන් එකක් බවය. දැන් අපි මේ සිදුවීමට යා යුතුය.

මෙවර ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින කිරුළ ලැබුණේ පුෂ්පිකා ද සිල්වාය. වේදිකාව මත කිරුළ හිසෙන් ගලවා දමමින් අවමානයට පාත්‍ර වූයේද ඇයමය. ඇත්තෙන්ම කියන්නේ නම් දැන් පුෂ්පිකා සතු වන්නේ කිරුළ හිමිවූවා නම් ලැබෙනවාට වඩා අති විශාල ජනප්‍රියත්වයකි. සාමාන්‍ය රූ රැජින තරගයක් ලෙස මේ උත්සවය ඇගේ කිරුළු පැලඳීමෙන් අවසන් වූවානම් මෙතරම් අති විශාල ජනප්‍රියත්වයක් ඇයට හිමි වන්නේ නැත. එපමණක්ද නොවේ. මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පුෂ්පිකාට හිමිවන අනුකම්පාව අති විශාලය. ඇය වටා මහජන මතයක්ද ගොඩනැ­‍ෙඟමින් තිබෙන්නේ අනාගතයේ දේශපාලන වේදිකාවට වුවද ගොඩවිය හැකි මාවතක් ඇය ඉදිරියේ විවර කරමිනි. ආසන්නයේ මැතිවරණයක් තිබුණේ නම් පුෂ්පිකා කෙළින් පාරේ පාර්ලිමේන්තු යැවීමට තරම් අපේ රටේ ජනතාව හැඟීම්බර බව නොලියාම බැරිය. පුෂ්පිකා නිකම්ම කිරුළ හිස දරා ගත්තා නම් මේ කිසිවක් කියලාවත් කරවා ගත නොහැකිය.

වේදිකාව මතදී ඇයගේ හිසෙන් කිරුළ ගලවා ඉවත් කරන්නේ කැරොලයින් ජූරිය. ඇය එසේ කිරීමට පෙර ඒ සඳහා හේතුපාඨයක්ද කියන්නීය. ඒ උත්සවයට පැමිණි ප්‍රධාන අමුත්තන් පිටත්ව ගිය පසුය. වැඩසටහන ක්‍රියාත්මක විමට නියමිතව තිබුණේ එසේය. කැරොලයින්ගේ හේතු පාඨයට අනුව පුෂ්පිකා විවාහක නොව දික්කසාද රූ රැජිනකි. එනිසා ඇයට විවාහක රූ රැජින කිරුළ හිමි නැත. පුෂ්පිකා කියන්නේ ඇය දරුවා සමඟ සැමියාගෙන් වෙන්ම ජීවත් වුවද ඇය දික්කසාද වී නොමැති බවකි. ඇතැම් විට ඇය ‘වෙන්ඩ දික්කසාද‘ මට්ටමේ පසුවනවා විය හැකිය. මේ තරගවලට ඉදිරිපත් වන කාන්තාවන්ගේ සියලු පැටිකිරිය දන්නා සංවිධායක මණ්ඩලය, විනිශ්චය මණ්ඩලය පුෂ්පිකා ‘වෙන්ඩ දික්කසාද‘ බව නොදැන සිටියා යැයි සිතිය නොහැකිය. එසේ දැන දැන ඔවුන් පුෂ්පිකා ප්‍රතික්ෂේප නොකළා නම් කැරොලයින්ට ඒ ගැන අමාරුවක් ඇති වීමට ඉඩක් නැතිය. එසේ නම් කැරොලයින් පුෂ්පිකාගේ කිරුළ ගලවනවිට සංවිධායක මණ්ඩලය ඉදිරිපත් වී එයට විරෝධය පෑ යුතුව තිබිණි. එසේ කළ යුතු වන්නේ කැරොලයින්ගේ ක්‍රියාව සාධාරණ නොවන බැවිනි. එය තරගයේ නිති රීතිවලට අඩංගු නොවන බැවිනි. තරග නීති රිති අනුව පුෂ්පිකා විනිශ්චය මණ්ඩලය නොමග යවා නොමැති බැවිනි. එහෙත් එසේ වූයේ නැත. ඔටුන්න ගලවා පුෂ්පිකා වේදිකාවෙන් ඉවත්ව ගිය පසු චන්දිමාල් වේදිකාව පසුපසින් පැමිණ එබී බලා හිඳ නිකම්ම යන්නට යනු දැකගත හැකි විණි. පුදුම සංවිධායක මණ්ඩල නම් මේවාය.

“කැරොලයින් ජූරී ගැනද යමක් කිව යුතුව තිබේ. ඇය සැබවින්ම අපේ රටට කිරුළක් පැලැන්දූ කාන්තාවකි. අප එසේ කියන්නේ ලෝක මට්ටමේ රූ රැජින තරග අපේ රටේ තරග තරම් විනාශ වී කාබාසිනියා වී නොමැති බව අප විශ්වාස කරන බැවිනි. ඇය රටවල් ගණනාවක තරගකාරියන් පරදවමින් අති විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූ දක්ෂ කාන්තාවකි.

සැබවින්ම රූ රැජින තෝරන විට බලන්නේ අදාළ කාන්තාවන්ගේ ලස්සන පමණක් නොවන බව ලොවම දන්නා කරුණකි. එහිදී තරගකාරියන්ගේ සුන්දරත්වය, ගමන්ලතාව, සිරුරේ හැඩය, චවි කල්‍යාණියට අමතරව ඔවුන්ගේ දැනුම, බුද්ධිය, අවස්ථාවෝචිත ප්‍රඥාව මෙන්ම අවස්ථානුකූල ප්‍රතිචාර දැක්වීම්ද සලකා බැලෙන්නේය. උදාහරණයක් ලෙස 1994 වසරේදී ලෝක රූ රැජින ලෙස කිරුළු පැලඳූ අයිශ්වර්යා රායි දැක්විය හැකිය. ඇයට අවසන් වටයේ ඇය සමඟ තරග වැදුණු දකුණු අප්‍රිකානු රූ රැජින සහ වෙනෙසියුලානු රූ රැජින පැරදවීමට හැකියාව ලැබුණේ අවසන් වටයේදී ඇයගෙන් ඇසූ පැණයට ඇය ලබා දුන් පිළිතුර හේතුවෙනි. එම පිළිතුර ලොවටම පෙන්වා දුන්නේ ඇයගේ බුද්ධියයි. එය සරල උදාහරණයක් පමණි. ඒ උදාහරණය අප ගෙන එන්නේ කැලොයින් ලබා ගත්තේ පහසු ජයක් නොවන බව තහවුරු කිරීමටය.

කනගාටුව වන්නේ එවන් වූ කැරොලයින් වේදිකාවක් මත තමා ලෝකයක් හමුවේ ඔප්පු කර පෙන්වූ දැනුම, බුද්ධිය, ඉවසීම, මවක් බව ක්ෂණයකින් සුණු විසුණු කර ගත් නිසාය. පුෂ්පිකා දික්කසාද නම් එයට විරෝධය පෑම ඇය කළ යුතුව තිබුණේ වඩා කලින්ය. ඒ කියන්නේ පුෂ්පිකා පැරදුනා නම් ඇයගේ දික්කසාද හෝ වෙන්ඩ දික්කසාද බව කැරොලයින්ට ගැටලුවක් නැත. අන්තිම මොහොත දක්වා තම විරෝධය පෑම පමා කර සිටි කැරොලයින් න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක වෙමින් අන්තිම මොහොතේ තම රංගනය ඉදිරිපත් කරමින් තමා අපමණ වෙහෙස වී ලබා ගත් කිරුළට පයින් ගැසුවාය. වේදිකාවක් මත තම හැසිරීම, ආවේග පාලනය කර ගත නොහැකි කාන්තාවක් රූ රැජිනක් වන්නේ කෙසේදැයි පැනය දැන් අපේ සිත්වලට නැඟෙන්නේය.

Comments