ගෙදර දොර­ක­ඩ­ටම එන අම්පාරේ කිරි­මාමා | සිළුමිණ

ගෙදර දොර­ක­ඩ­ටම එන අම්පාරේ කිරි­මාමා

 

 

අද රට පුරා වසන්ගතයක් ලෙස පැතිරි ගොස් ඇති ‘‘ චූන් පාන් සේවයට“ අභියෝගයක් එල්ල කරමින් අම්පාර ප්‍ර‍දේශය පුරා ‘කිරි මාමා ‘ ව්‍යාපෘතියක් හඳුන්වා දීමට අම්පාර සත්ත්ව පාලන හා කිරි පට්ටි කරුවන්ගේ සමුපකාර සමිතිය පියවර ගෙන ඇත.

එම සමිතියට මීට මාස 4කට පමණ පෙර පත් වු නව තරුණ සභාපති වරයා විසින් මෙම ‘කිරි මාමා ‘ ව්‍යපෘතිය නිර්මාණය කර ඇති අතර ඔහු නමින් ලක්සිරි වික්‍රමසිංහ වේ. මෙම කිරි මාමා ව්‍යපෘතිය හරහා දැනට ත්‍රීරෝද රථ 2ක් යොදවා පාන්දර 5.30 සිට පෙ.ව 8.80 පමණ වන තුරු අම්පාර ප්‍රදේශයේ වීදියක් වීදියක් පාසා යමින් රස ගුණැති පෝෂදායි නැවුම් එළකිරි බෙදාහැරීම සිදු කරයි.

මෙම වැඩසටහන අම්පාර ජනතාව මේ වන විට ශීඝ්‍රයෙන් වැළඳ ගනිමින් සිටන අතර විදේශීය රටවල් වලින් ආනයනය කරන කිරිපිටි වෙනුවට පෝෂදායි එළකිරි විදුරුවක් සහන මිලනට මිලදී ගෙන දිනපතා තම දූ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ලබා දීමට අම්පාරේ ජනතාව මේ වන විට පෙළ ගැසෙමින් සිටි. ලංකාවේ ප්‍රථම වරට සත්ව පාලන හා කිරි පට්ටි කරුවන්ගේ සමුපකාර සමිතියක් හඳුන්වා දි ඇති කිරි මාමා ව්‍යාපෘතියේ නිර්මාතෘ / සභාපති ලක්සිරි වික්‍රමසිංහ ඒ පිළිබඳව මෙසේ අදහස් දන්වන ලදී.‘මං අම්පාරේ කොල්ලෙක් මූලික අධ්‍යාපනය අම්/සද්දාතිස්ස මහා විද්‍යාලයෙන් ලබලා වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ගියා. එහිදි උස්සපෙළ සමත්වෙලා මම අලෙවි කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබා ගත්තා. ඊට පස්සේ බහු ජාතික සමාගම කිහිපයක් සේවය කළා. පසුව අම්පාරට ඇවිත් ස්වයං රැකියාවක් ලෙස සත්ව පාලනය පටන් ගත්තා. සමහරු ඒ වේලාවේ මගෙන් ඇහුවා, තර්ස්ටන් ගිහිල්ලා හරක් බලන්නද ඉගෙන ගත්තේ කියලා. ඉන් පෙන්නුම් කළේ අපේ රටේ තරුණයන්ගේ ආකල්පය. පසුව මම මේ සමිතියේ සභාපති තනතුරට පත් වුණා. 1972 ආර්ම්භ වූ මේ සමිතියට එතෙක් පත්වී තිබුණේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්. තරුණයෙක් ලෙස මම පත්වුණාට පස්සේ මට අභියෝග රැසක් අවා. මම සැලුනේ නැහැ. මම මේ සමිතියේ සභාපති ලෙස පත්වෙන විට සමිතියට මිල දී ගත් කිරි වල අතිරික්තයක් තිබුණා. ඒවා අඩු මිලට බහු ජාතික සමාගම් වලට විකුණමින් හිටියේ. ඒක මම නතර කරලා තමයි මේ ‘කිරි මාමා ව්‍යාපෘතිය පටන් ගත්තේ. මේ ව්‍යපෘතිය තුළින් මගේ අරමුණ වුයේ පිටරටින් විවිධ නම් වලින් එන කිරිපිටි වර්ග වලට ඇබ්බැහි වී සිටින අපේ ජනතාව, අපේ දරුවන් ඉන් මුදවා ගෙන පෝෂදායි නැවුම් එළකිරි බෝතලයක් ලබා දීමයි. එය අද සාර්ථකව පවතිනවා. හොඳ පාරිභෝගික ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. මේ ව්‍යාපෘතිය දැනට පවතින්නේ අම්පාර නාගරික සීමාව තුළ පමණයි. ඉදිරියේදී මෙය ප්‍රදේශය පුරා තව තවත් ව්‍යාප්ත කරවන්න බලාපෙ­ාරොත්තු වෙනවා. විශේෂයෙන් අම්පාර දමන නාමල්ඔය, උහන වැනි නගර වලත්මෙය ව්‍යාප්ත කරවන්න පුළුවන්.

මේ පිළිබද අදහස් දැක්වූ රසායනාගාර සහකාර ඛනිෂ්කා පූර්ණමාලි පැවසූ අදහස් මෙසේය.

‘ගොවිමහත්තුරු ගේන කිරිවල තත්ත්වය පරීක්ෂා කරලා ගන්න එක තමයි මගේ ඩියුටිය. කලින් අපිට කිරි මාමා ව්‍යාපෘතියේ දි මුලින්ම අපිට ලැබෙන කිරි වල තත්ත්වය පරීක්ෂා කරනවා. එහිදී අපි මේදය සහ මේදය නොවන ප්‍රමාණය බලනවා. මේදය සහිත කිරි වල තමයි ගුණය තියෙන්නේ. නමුත් මේදය නොවන කිරි වල රසය වැඩියි. අපි දියර කිරි බෙදා හැරීමේ දි මේ දෙකම ගැන බලලා හොඳම දියර කිරි එකක් තමයි වෙළඳපොළට යවන්නේ.

කිරි මාමා ත්‍රීරෝද රථයේ රියදුරු තරුෂ අමල්ක මෙසේ පැවසීය.‘උදේ 5.00 ඉදන් දිනපදා 8.30 වන කම් අපි නගරය පුරා සැරිසරනවා මිනිස්සු අපි එකකම් බලාගෙන ඉන්නවා. මම සමාන්‍යයෙන් දිනකට කිරි ලීටර් 200 ක් 250 ක් විතර විකුණනවා. මගේ අනෙත් යාළුවා වන ප්‍රසාද් වීරසිංහත් එහෙමයි. ඉතින් මිනිස්සු, ළමයි හරි උනන්දුයි අපේ මේ කිරි මිල දී ගන්න. මේ ව්‍යපෘතිය නොනවත්වා දිගටම කරන්න කියලා තමයි ජනතාව ඉල්ලන්නේ. අපි කිරි ලීටරේ බෝතල් සහ බෝතල් භාගය වශයෙන් තමයි විකුණන්නේ. ලීටරේ බෝතලය රු 75.00 වෙනවා. දවසකට හොඳ අදායමක් තියෙනවා. අපිත් උනන්දුවෙන් වැඩ කරනවා .අපි උදේ 5.00 ඉඳල කිරි විකුණලා නැවත කිරි එකතු කරගෙන යනවා. සාමාන්‍යයෙන් සවස 5.00 -6.00 ට තමයි අපේ වැඩ නතර වෙන්නේ‘

සමිතියේ සමාන්‍යාධිකාරිනි හර්ෂනි නානායක්කාර අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළාය. ‘මම මෙම ආයතනයේ සමාන්‍යාධිකාරි ලෙස වැඩ කරනවා. හැම අතකින්ම සමිතිය සෑහෙන්න දියුණු වෙලා තියෙනවා. අදායම වැඩි වෙලා තියෙනවා. කිරි ගොවින්ට වැඩි මිලක් හා වැඩි පහසුකම් ලබා දී තියෙනවා. ‘කිරි මාමා‘‘ ව්‍යාපෘතිය සභාපතිතුමාගේ සංකල්පයක් අනුව දියත් කළ එකක්. ඉන් හිතුවටත් වඩා ප්‍රගතියක් ලැබිලා තියෙනවා. ඒ ව්‍යාපෘතියෙන් මේ වන කොට රු ලක්ෂ 08 ක පමණ අදායමක් ලැබෙනවා. ඒවගේම ලක්ෂ 03 විතර ශුද්ධ ලාභයක් තියෙනවා. මේක සමහර මාස වල අඩු වැඩි වෙනවා. මොකද වැහි මාස වල ටිකක් අලෙවිය පහත වැටෙන නිසා නමුත් ඉදිරියේ දි තව වැඩි වෙන්න පුළුවන්.

 

Comments