හීන දකින ඒ සිහින සැබෑ කර ගෙන තිබෙන මිනිහෙක් මම | සිළුමිණ

හීන දකින ඒ සිහින සැබෑ කර ගෙන තිබෙන මිනිහෙක් මම

 

ASHAN silva

 

මෙරට මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ වේගවත්ම රියැදුරා ලෙස අඛණ්ඩව වසර ගණනාවක් කිරුළ දරා සිටින්නේ අශාන් සිල්වා ය. දේශීය ධාවන පථයේ පථයේද ඔහු නමින් ලියැවුණු ජයග්‍රහණ රැසක් ඇත.

'ජීවිතයේ අනික් පැත්ත' විශේෂාංගය වෙනුවෙනි.

උපන්දිනය කියන්න කැමැතිද?

අකැමැත්තක් නෑ. 1984 අගෝස්තු 26.

උපන් ගම?

කොළඹ

පවුලේ සාමාජිකයෝ?

මමයි, අයියයි, අම්මයි, තාත්තයි. (තාත්තා ජීවතුන් අතර නෑ )

විවාහකද?

ඔව්. බිරිය ලක්මිණි. ඇය මා ගැන අවබෝධ-යෙන් වැඩ කරන ඉතාමත් ගුණගරුක බිරියක්.

දරුවෝ එහෙම ඉන්නවාද?

ඔව්. දරුවෝ දෙදෙනකු සිටිනවා. ලොකු පුතා අවීෂ්, පොඩි පුතා අවීන්.

පවුලේ සාමාජිකයෝ මොනවගේ ද?

සාමාන්‍ය සරල ජීවිත ගත කරන අය තමයි මගේ පවුල. ඔවුන් හැමෝම මෝටර් රථ ධාවන ක්‍රීඩාවට කැමැතියි. ඒ වගේම ව්‍යාපාරික පවුලක්.

මොනවද ඔබ විශේෂයෙන් කැමැති දේවල්?

කරන සෑම වැඩක්ම කැපවීමෙන් අවංකවම කිරීම තමයි මම කැමතිම දේ. දෛනිකව හැමදාම උදේ 4.30ට අවදි වනවා. 5.00 වෙනකම් ව්‍යායාම කරනවා. 7.00ට වැඩ අරඹනවා.

අකැමැති දේවල්?

වැරදි වැඩවලට, බොරුවට වගේම මත්පැන් පානයට විශේෂයෙන් අකැමැතියි.

මාධ්‍ය පරිශීලනය කරනව ද?

පුවත්පත් බලන්න ලැබෙන්නේම නෑ. හැබැයි නිකම් ගෙදර ඉන්නකොට රූපවාහිනිය බැලෙනවා..

පොත් එහේම කියවනවද?

මගේ විෂයට අදාළ පොත් කියවනවා. පාසල් යන කාලයේ නම් විශේෂයක් තිබුණේ නෑ. ඒ කාලේ මට ලැබෙන ඕනෑම පොතක් කියෙව්වා.

අන්තිමට කියවපු පොත?

මෝටර් කාර්මික දැනුම පිළිබඳව විදේශීය රටක ලියැවුණු පොතක්.

සිනමාවට කැමැති ද?

ඔව්. ඉංග්‍රීසි, සිංහල වේවා හොඳ සිනමාපටයක් නම් රසවිඳිනවා.

සංගීතයට ඇති කැමැත්ත මොන වගේද?

වි‍ශේෂ උනන්දුවක් නෑ. නමුත් රසවිඳිනවා.

පරමාදර්ශී චරිතය?

ඩිලන්ත මාලගමුව.

මොකක්ද විශේෂත්වය ?

මමත් මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ නියැලෙන කෙනෙක්. නමුත් මම ඉතාමත් අගය කරනවා ඩිලන්ත මාලගමුවගේ තිබෙන කැපවීමට. ඒ වගේම ජීවත්වන විදිහ හා ජිවිතය කළමනාකරණය මේ විදිය ඩිලන්තගෙන් ඉගෙන ගත යුතුයි. ඩිලන්ත ඒ පිළිබඳ විශේෂ චරිතයක්. විශේෂයෙන් ඉගෙනගත යුතු බොහෝ දේ ඩිලන්ත සතුයි.

රට රටවල සංචාරය කර තිබෙනවා ද?

ඔව්. පසුගිය කොවිඩ් කාලෙත් සිටියේ විදේශගත වෙලා. මේ මාසයේ ඩිලන්ත මාලගමුව සමඟ මෝටර් රථ ධාවන තරගාවලියකට යුරෝපා සංචාරයක නිරත වෙන්න සූදානම්.

ආදරය සම්බන්ධයෙන් ඔබේ තිබෙන කියැවීම මොන වගේ ද?

ආදරය කියන්නේම එකිනෙකාට ගෞරව කිරීමක්. ඒ වගේම පරිත්‍යාගයක්. දරුවන්ට, බිරියට, අම්මාට, නැන්දම්මාට කරන ආදරය ගෞරවය අනෙකුත් අයටත් කළ යුතුමයි.

විවාහය ගැන දරන්නේ මොන වගේ මතයක් ද?

දෙදෙනා අතර තිබෙන අවබෝධය හා බැඳීම විවාහ ජීවිතයේ පැවැත්මට ඉවහල් වෙනවා.

අද වේගයෙන් ආදරයෙන් ගැටගැහුණු විවාහ ලිහෙනවා?

අඹු සැමියන් අතර අවබෝධයක් නැතිකමින් තමයි එහෙම වෙන්නේ.

අද ඔබ සිටින තත්ත්වය ගැන කතා කළොත් ? සතුටු වෙනවා ද?

සතුටුයි. ව්‍යාපාරයෙන් වගේම ක්‍රීඩාවෙනුත් මට මගේ ඉලක්කය කරා ඒමට හැකි වුණා. ඇත්තම කියනවා නම්, මම හීන දකින, බොහෝ හීන සැබෑ කරගත් කෙනෙක්.

ඒ කියන්නේ උත්සාහය - උනන්දුව තිබෙනවා නම් ජීවිතය දිනන්න අවස්ථාව තියෙනවා කියන එක ද?

උත්සාහය - උනන්දුව තිබිලා විතරක් මදි. ඒ වෙනුවෙන් කැපවෙන්නත් ඕනේ. නැත්නම් සාර්ථක ගමනක් යන්න බෑ. මම ආවෙත් එහෙම ගමනක්.

ඉගෙනගත් පාසල?

කොළඹ මහානාම විද්‍යාලය.

ඉස්කෝලේ යන කාලේ අමතක නොවන ම විෂය වුණේ?

ගණිතය විෂය.

කොළඹ දකින්නේ කොහොමද?

කොළඹ කියන්නේ නවීන පන්නයේ ගොඩනැඟිලි බහුල සුන්දර නගරයක්. ඒත් ඒ නගරයේ මංමාවත් පුරා බොහෝ විට ඉන්නේ විනයක් නැති රියැදුරන්.

අපේ රටේ දරු පරපුර ගැන ඔබේ අදහස මොකක් ද?

ළමයි මල් වගේ ජාතියක්. නමුත් ඔවුන් විනය ගරුක පිරිසක් බවට පත් කිරීමේ වගකීම ඇත්තේ මවුපියන් සතුවයි.

සංචාරය කරන්න කැමැති කොහේ ද?

ලංකාවේ නම් නුවරඑළිය. ලෝකයේ නම් අමෙරිකාව. යුරෝපයට, දකුණු ප්‍රංශයට, ස්විස්-ටර්ලන්තයට විශේෂයෙන් කැමැත්තක් දක්වනවා.

ඔබේ ජීවිතයට විශේෂයෙන් වැදගත් ෙන කාන්-තාවක හා පිරිමියෙකු ඉන්නවා ද?

මම කැමැතිම පිරිමි චරිතය ඩිලන්ත මාලගමුව. කාන්තා චරිත තමයි මගේ මව හා මගේ බිරියගේ මව.

 

Comments