වාර්තා අලුත් කළ කොදෙවු ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම | සිළුමිණ

වාර්තා අලුත් කළ කොදෙවු ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම

කොදෙව් අට්ටාලයෙන් ගැලූ පැතුම් ගැන සුපැතුම්

 

‘කොදෙව් හි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය පසුගියදා අවසන් වුණේය. ජයග්‍රහණ රැසක් සම්බන්ධයෙන් අත්දැකීම්, පූර්ව සංඥා රැසක් හඳුනාගත් කොදෙව් - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ සමාප්තිය ගැන පසු විපරමකි මේ.’

“පුහුණු සැසිවලදී මැනවින් කැපවීම මෙම ප්‍රතිඵලයට හේතු වුණා. තණතීරුවෙන් විශාල සහයෝගයක් නොලැබුණත් නිවැරැදි ඉලක්කයට පන්දු යැවීමෙන් පිතිකරුවන්ට අභියෝගයක් එල්ල කරන්න තමයි මම නිතරම උත්සාහ ගත්තේ.” කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා පිලේ වඩා සාර්ථක වේග පන්දු යවන්නා වූ සුරංග ලක්මාල් පැවසීය. ඔහු මෙසේ අදහස් දැක්වූයේ පිතිකරුවන් හට වඩාත් වාසිදායක තණතීරු මත තරග වැදී තරගාවලියේ වැඩිම කඩුලු දවාලූ පන්දු යවන්නා ලෙස කඩුලු 11 ක් දවා ගැනීමෙන් අනතුරුවය.

ඔහු මෙම ජය පරාජයෙන් තොරව නිමාවූ තරගාවලියේ වීරයා ලෙස ද සම්මානයට පත්විය. එහි ඇති විශේෂත්වය වනුයේ කොදෙව් පන්දු යවන්නන් අභිභවා ලක්මාල් පෙරට පැමිණීමයි.මේ අනුව ලක්මාල් ශ්‍රී ලංකාව නියෝජනය කළ විශේෂඥ වේග පන්දු යවන්නන් අතරින් තරගමාලාවක වීරයා බවට පත්වෙමින් මීට පෙර දස්කම් දක්වා ඇති චමින්ද වාස් හා නුවන් කුලසේකර වැනි පන්දු යවන්නන් අතරට එක්විය.

මෙවර තරගාවලියේ විශේෂත්වය ශ්‍රී ලංකාව කොදෙව් හි දී ටෙස්ට් තරගයක් නොපැරදුණු මුල්ම තරගාවලිය මෙය වීමයි. මීට පෙර 1997, 2003, 2007-08, 2018 යන තරගවාරවල යෙදුණු සංචාරවලදී එක ටෙස්ට් තරගයක් හෝ ශ්‍රී ලංකාව පරාජය වී තිබිණි. මෙවර පිතිකරුවන් අතරින් ලහිරු තිරිමාන්න වඩාත් සාර්ථක විය. ඔහු තරගාවලියේ ක්‍රීඩා කළ ඉනිම් හතරේදී 71, 76, 55 හා 39 ලෙස ලකුණු ලබමින් පිතිකරුවකු ලෙස දක්ෂතා දැක්වීය. කලින් දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් තරගයේ අවසන් ඉනිමේ ශතකයක් ලබා ගත් නායක දිමුත් කරුණාරත්න ආබාධයට ලක්ව එංගලන්තය සමඟ පැවති තරගාවලියට ක්‍රීඩා නොකළ අතර ඔහු මෙම තරගාවලියේ මුල් තරගයේ අසාර්ථක වූ නමුත් දෙවන තරගයේ දෙවන ඉනිමේ තරගය බේරා ගැනීමට අගනා ඉනිමක් ක්‍රීඩා කළේ ලකුණු 75 ක් රැස්කරමිනි.

ඔහු එම ඉනිමේ ලහිරු තිරිමාන්න සමග එක්ව මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක සම්බන්ධතාවයක් පවත්වමින් සිවුවන ඉනිම වෙනුවෙන් ටෙස්ට් තරගයක දෙවරක් ලකුණු සියයක සම්බන්ධතාව එක් කළ පිතිකරු යුගල කිහිපය අතරට එක් වූහ. මෙහි වාර්තාවට හිම්කම් කියනුයේ අතීතයේ කොදෙවු පිල නියෝජනය කළ සුපිරි ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ගෝඩ්න් ග්‍රීනිජ් හා ඩෙස්මන් හේන්ස්ය.

ඔවුන් දෙදෙනා සිවුවරක් ටෙස්ට් තරගයක සිවුවන ඉනිමේ ශතක සම්බන්ධතා මුල් කඩුල්ල වෙනුවෙන් එක්කර තිබේ. තම මුල් ටෙස්ට් තරගයේ ශතකයක් ලද පැතුම් නිශ්ශංක දෙවන ටෙස්ට් තරගයේදී අර්ධ ශතකයක් ලැබීය. මේ මෙරට පිතිකරුවෙකු මෙවන් දස්කමක් දැක්වූ මුල් වතාව වන අතර, මීට පෙර තිලාන් සමරවීර තම මුල් ටෙස්ට් තරගයේදී ශතකයක් ලබා තමා පන්දුවට පහර දුන් ඊළඟ ටෙස්ට් තරගයේදී ද අර්ධ ශතකයක් වාර්තා කර තිබිණි. ඒත් ඒ ඔහුගේ තෙවන ටෙස්ට් තරගය විය. නමුත් ඔහුට තම දෙවන තරගයේදී පන්දුවට පහරදීමට අවස්ථාව ලැබුණේ නැත.

“පැතුම් අවස්ථාවට උචිත ලෙස තම පිතිහරඹය සකස් කර ගැනීමට සමතෙක්. ඔහු සීමිත පන්දුවාර තරගවලින් පසු ඉක්මනින් ටෙස්ට් තරගවලට අනුගතවීම විශේෂයි.” විස්තර විචාරකයින්වූ ඉයන් බිෂොප්, කර්ටලී ඇම්බ්‍රෝස්, ඩැරන් ගංගා වැන්නන් ඔහු ගැන අදහස් දක්වීම විශේෂත්වයකි.

පැතුම් මෙන්ම ඔසඳ ප්‍රනාන්දු ද මෙම තරගාවලිය තුළින් තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රතිඵල අත්කර ගත්තේය. ඔහු පළමු තරගයේ දී ලකුණු 91 ක් හා දෙවන තරගයේ දෙවන ඉනිමේ ලකුණු 66 ක් නොදැවී ලබා ගනිමින් තරගය පරාජයෙන් බේරා ගැනීම පිණිස ලබා දුන්නේ නොමඳ දායකත්වයකි.

“මෙම තරගමාලාවේ අපේ පැත්තෙන් ධනාත්මක කරුණු ලෙස තිරිමාන්නගේ හා ඔසඳගේ පිතිහරඹය වගේම පැතුම් නිශ්ශංක පීඩනය මධ්‍යයේ පිත්ත හැසිරවූ ආකාරය නම් කරන්න පුළුවන්. ඒ වගේම ටෙස්ට් තරගයකදී ඉවසීම ඉතාමත් වැදගත්” නායක දිමුත් කරුණාරත්න තම පිතිකරුවන්ගේ දස්කම් ගැන කතා කරන්නේ එසේය.

දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී ආබාධයකට ලක්වූ කොදෙව් වේග පන්දු යවන ෂනොන් ගේබ්‍රියල් පිටියෙන් ඉවත්වීම ඔවුන්ගේ පැත්තෙන් පාඩුවකි. ඔහු මුල් ඉනිමේදී දිනේෂ් චන්දිමාල් ට එල්ල කළේ ප්‍රබල තර්ජනයක් හා පීඩනයකි. ඒ වනවිට ලකුණු 44 ක් ලබා සිටි චන්දිමාල් අවසානයේ දැවී ගියේ එම පීඩනය මධ්‍යයේ තම ඉවසීම බිඳ වැටීමෙනි.

“ඔබ නායකත්වය දරන විට ඉදිරියෙන් සිට එය කළ යුතුයි. හොඳ සැලැස්මක් මා සතුව තිබුණා. අවස්ථාවට අනුව අවශ්‍ය ආකාරයට එය වෙනස් වන්නට හැකි වුණා. ඇත්තටම මම සැමවිටම ක්‍රීඩා කරන්නේ අවස්ථාවට අනුවයි. අපේ වේග පන්දු යවන්නන් අතනොහැර තරග වැදීම සම්බන්ධයෙන් මට ගොඩක් සතුටුයි.” තරගය අවසානයේ මෙසේ ප්‍රකාශ කළේ කොදෙව් නායක ක්‍රෙග් බ්‍රත්වේට්ය. ඔහුගේ නමද තරගාවලිය තුළ වාර්තා අතරට එක්වීම තවත් අමතක නොවන සිදුවීමකි.

ඒ ඔහු දෙවන තරගයේ මුල් ඉනිමේ ශතකය සඳහා විනාඩි 514 ක්ද දෙවන ඉනිමේ ලකුණු 85 සඳහා විනාඩි 299 ක් ද කඩුල්ලේ රැඳී සිටීමෙනි. මේ අනුව ඉනිම් දෙක සඳහා ඔහු කඩුල්ලේ රැඳී සිටි සම්පුර්ණ විනාඩි ගණන 813 කි. මේ කොදෙව් පිලේ පිතිකරුවෙකු වැඩිම විනාඩි ගණනක් තණ තීරුව මත රැඳී සිටීම සම්බන්ධයෙන් වන වාර්තාව අලුතෙන් ලිවීමකි.මිට පෙර ඩැරන් බ්‍රාවෝ පාකිස්තානයට එරෙහිව 2016 තරගයක විනාඩි 804 ක් කඩුල්ලේ රැඳී සිටියේය.

තරගමාලාවේ රුපවාහිනි විස්තර විචාරකයින් වශයෙන් කටයුතු කළ ඉයන් බිෂොප්, කර්ටලී ඇම්බ්‍රෝස්, ඩැරන් ගංගා, කර්ට්නි වොල්ෂ් වැනි කොදෙවු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අතීතය බොහෝ සෙයින් අගය කරමින් කතා කළ අතර, ඉයන් බිෂොප් එක අවස්ථාවක “ඉතා විශිෂ්ට ක්‍රිකට් ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුයි. දුලිප්මෙන්ඩිස්, සිදත් වෙත්තමුණි, රෝයි ඩයස්, අර්ජුන, අරවින්ද, මාවන්, සනත්, කළුවිතාරන වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවෙන් බිහිවුණා. ඒ වගේම රංජන් මඩුගල්ල වැනි ලොවම අගය කරන තරග තීරකවරුන්ද ශ්‍රී ලංකාව සතුයි” යනුවෙන් පවසන්නට අමතක නොකළේය.

එමෙන්ම ඔහු තවත් අවස්ථාවක පැවසුවේ 1989 ඉන්දියාවේ පැවති කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාව ජයගත් එක්දින තරගයේදී අසංක ගුරුසිංහ තම පිලට එරෙහිව එල්ල කළ පිතිහරඹය අදටත් තම මතකයේ රැඳී ඇති බවය. එමෙන්ම එම තරගයේදී තම පන්දු වාර 10 තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් තමන්ගෙන් ලකුණු 44 ක් උදුරා ගන්නට සමත් වූ බවද ඔහු පැවසුවේ ප්‍රතිවාදී ශ්‍රී ලංකා පිලේ දක්ෂතා අගය කරමිනි.

තරගාවලිය අවසන් වීමෙන් පසු ජගත් ටෙස්ට් ක්‍රිකට් ශුරතාවය තුළ ශ්‍රී ලංකාව අටවන ස්ථානයේ පසුවන අතර කොදෙවු පිල පසුවන්නේ හයවන ස්ථානයේය. එසේ වුවද ජගත් ක්‍රිකට් සම්මේලනයේ ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයට (මෙය ජගත් ටෙස්ට් ශුරතාවට අදාළ නැත) අනුව ශ්‍රී ලංකාව කොදෙව් පිලට වඩා ඉදිරියෙනි. ඒ හත්වන ස්ථානයේ පසුවෙමිනි. එහි කොදෙවුවන් පසුවන්නේ අටවන ස්ථානයේය.

 

Comments