බස්නාහිර පළාත් ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍යාංශවල කඹ ඇදිල්ල කවදා අවසන් වේවි ද? | සිළුමිණ

බස්නාහිර පළාත් ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍යාංශවල කඹ ඇදිල්ල කවදා අවසන් වේවි ද?

 

'බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනය වෙනුවෙන් අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිල්ලේ හිමිකම එම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හිමිකරගෙන ඇති හෙයින් මේ වනවිට එය ක්‍රීඩාව උදෙසා ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයක් පැණ නැගී ඇත. මේ ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ද දැනුවත් කරනු රිසින් 'ක්‍රීඩා' කරන හෙළිදරව්වකි.'

ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ පළාත් සභා ප්‍රඥප්තියට අනුව ක්‍රීඩා විද්‍යායතනයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබුණි. ඒ අනුව 2004 වසරේ පන්නිපිටිය පොල්වත්ත ප්‍රදේශයේ තිබූ වසා දමන ලද පාසල් ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කොට බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යාතනය පිහිටුවනු ලැබුවේය. ඒ සඳහා පළාත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් ජයමිණි මහතා කටයුතු කළ අතර එම ගොඩනැගිල්ල ක්‍රීඩා විද්‍යායතනයකට ගැලපෙන පරිදි සකස් කිරීමෙන් පසු එය විවෘත කර තිබුණේ පළාත් ක්‍රීඩා අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා විසිනි.

එතැන් සිට පළාතේ වෙසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම, පුහුණුකරුවන්ගේ හා විනිසුරුවන්ගේ දැනුම යාවත් කාලීන කිරීම අරමුණු කර ගනිමින් එහි දී පාඨමාලා පැවැත්විණි.

ඒ සඳහා පළාත් සභාව විසින් වසරකට රුපියල් මිලියන 30 ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබුණේය. එම මුදලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවාතැන්, ආහාර මෙන්ම ආරක්ෂාව ද සලසා දිය යුතුව තිබූ බැවින් එකල පවත්වා ඇත්තේ සීමිත පාඨමාලා ප්‍රමාණයකි.

කල්යත්ම මෙම ක්‍රීඩා විද්‍යායතනය තුළින් බස්නාහිර පළාතට සැලකිය යුතු සේවයක් ඉටු වන බව වැටහී ගියෙන් එය තවදුරටත් වැඩිදියුණු කිරීමේ උවමනාවක් මැති ඇමතිවරුන් තුළ ද ඇති වූවා විය හැකිය.

එබැවින් 2018 වසරේ දී එවකට පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ ඉසුරු දේවප්‍රිය මහතා මහල් තුනකින් යුත් ගොඩනැගිලි දෙකක් ලබාදීමට පියවර ගත්තේය.

මේ සඳහා අදියර දෙකක දී රුපියල් මිලියන 50 බැගින් බස්නාහිර පළාත් සභාව වැය කරනු ඇත.

එහෙත් තවමත් එහි වැඩකටයුතු නිමා කර අවසන් වී නැති අතර ඒ සඳහා තවත් රුපියල් මිලියන 75 ක් පමණ අවශ්‍ය වේ යැයි දැනගන්නට ඇත.

කෙසේ වුවත් එක් ආයතනයක් සඳහා එකවර ගොඩනැගිලි දෙකක් ඉදි කිරීම පළාත් සභා අමාත්‍යංශයකින් සිදු නොකළ යුත්තක් යන ගැටලුව මතු වීම නිසා එම ගොඩනැගිල්ලි දෙකෙන් එකක් ඉදිකරනු ලැබ ඇත්තේ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපාදන යොදාගනිමිනි.

මින් එක් ගොඩනැගිල්ලකට දේශන ශාලාවක්, සිය දෙනකුට නේවාසික පහසුකම්, ආහාර ලබා ගැනීමට ආපන ශාලාවක් හා මුළුතැන් ගෙයක් ද ඇතුළත් විය. ඉතිරි ගොඩනැගිල්ලේ දේශන ශාලාව හා කාය වර්ධන ගාරයක් ද ස්ථාපිත කර ඇත.

මේ වන විට පාඨමාලා පැවැත්වීමට වසරක් සදහා ලබා දුන් මිලියන 30 වෙනුවට රුපියල් මිලියන 95ක් ලබා දෙන බැවින් පාලනාධිකාරිය පාඨමාලා සංඛ්‍යාව වැඩි කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.

එහෙත් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වලින් ඉදිකළ ගොඩනැගිල්ල පරිහරණය කිරීමට මේ වනවිට ක්‍රීඩා විද්‍යායාතනයට අවසර ලැබී නැත. එම ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති කාය වර්ධනගාරය පරිහරණය කිරීමේ අවස්ථාව ද හිමිව ඇත්තේ ද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට ය.

මේ නිසා ක්‍රීඩා විද්‍යායතනය ළඟදීම ආරම්භ කිරීමට සූදානම් කර ඇති අදියර 4 පාඨමාලා පැවැත්වීම ද අසීරු තත්ත්වයක පවතින බව දැනගන්නට ඇත.

බස්නාහිර පළාතේ පළාත් ක්‍රීඩා විද්‍යායතන භූමි භාගය එම ආයතනය සතුව තිබිය දී පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය එහි එක් ගොඩනැගිල්ලක් දොරගුළු දමා වසා ගෙන තිබීමෙන් සිදුව ඇත්තේ අමාත්‍යාංශ දෙකටම එම ගොඩනැගිල්ල ඉදි කිරීමෙන් බලාපොරොත්තු වූ පරමාර්ථ ඉටු කරගැනීමට නොහැකි වීමය.

කරුණු එසේ හෙයින් තවදුරටත් කඹ ඇද ඇද නොසිට එහි මේ දක්වා ක්‍රියාත්මක වන ක්‍රීඩා විද්‍යායතන්යේ දියුණුව වෙනුවෙන් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ ගොඩනැගිල්ල ක්‍රීඩා විද්‍යායතනයට භාර දීමය.

නොඑසේනම් එහි ස්ථාපිත ක්‍රීඩා විද්‍යායතනය නවතා දමා සම්පූර්ණ ක්‍රීඩා විද්‍යායතනය පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රයෝජනය සඳහා භාරදීම ය.

මේ අමාත්‍යාංශ දෙක අතර එකඟතාවයක් ගොඩ නැගිය නොහැකි නම් සාධාරණ විසඳුමක් ලබාදීමට ක්‍රීඩා ඇමතිවරයාගේ අවධානය යොමුවනු ඇතැයි යන්න පළාත් වාසීන්ගේ අපේක්ෂාවයි.

 

සීවලී එදිරිවීර

ඡායාරූප - එස්. ආර්.කුමරේෂා

Comments