71 අප්‍රේල් 5 කැරැ­ල්ලට වසර 50යි | Page 2 | සිළුමිණ

71 අප්‍රේල් 5 කැරැ­ල්ලට වසර 50යි

වසර 1971 අප්‍රේල් කැරැල්ලේ ඔබ නොදත් කතාව සොයා මේ ලියුම්කරු දිස්ත්‍රික් 17 ක සංචාරය කර, 71 මුල් පෙළේ කැරලිකරුවන් 100කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ඉකුත් වසර කිහිපය ඇතුළතදී හමු විණි. එකී තොරතුරු ඇතුළත් ලිපි මාලාවක් මෙවර කලාපයේ සිට සිළුමිණ පුවත්පතේ සතිපතා කොටස් වශයෙන් පළ වනු ඇත.

 

ලාංකීය දේශපාලනයේ ගමන්මඟ වෙනස් කළ පළමු වෙඩි මුරය වූයේ 1971 අප්‍රේල් කැරැල්ලය. එය මෙහෙය වූයේ රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණය (ජවිපෙ). වසර 2021 අප්‍රේල් 05 වැන­ිදාට එයට හරියටම වසර 50 කි. රටපුරා පොලිස් ස්ථාන 92කට ජවිපෙ විසින් අප්‍රේල් 5 වැනිදා රාත්‍රියේ රාජ්‍ය බලය ලබාගැනීම අරමුණ ඇතිව පහර දුන්හ. නිදහසින් පසු සන්නද්ධ අරගලයක් මඟින් රාජ්‍ය බලය ලබාගැනීමට දැරූ ප්‍රථම උත්සාහය ද මෙය විය. අප්‍රේල් කැරැල්ලේදී කැරලිකරුවන් විසින් පහර දුන් පොලිස් ස්ථාන 92ක අතරින් 57ක් විනාශ කළ අතර දෙනියාය, ඌරගහ, රාජාංගනය, කතරගම සහ වරකාපොල යන පොලිස් ස්ථාන 5 යටත්කර ගත්තේය. තවත් පොලිස් ස්ථාන 43ක් තාවකාලිකව ඉවත් කරගෙන තිබිණි.

අප්‍රේල් කැරැල්ලේදී පොලිස් නිලධාරීන් 37ක් සහ හමුදා නිලධාරීන් 26ක් ජවිපෙ කැරලිකරුවන් අතින් ඝාතනයට ලක්විය. කැරලිකරුවන් විසින් මරා දමන ලද සිවිල් වැසියන් සංඛ්‍යාව 41කි. සමගි පෙරමුණ රජය මඟින් ප්‍රකාශ කළ නිල දත්ත අනුව මරාදමන ලද කැරලිකරුවන් සංඛ්‍යාව 1,200කි. එහෙත් මරාදමන ලද කැරලිකරුවන් සංඛ්‍යාව 5,000කට ආසන්න බව කියති. අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 18,000කට පමණ වූ අතර ඉන් 4,200ක් පමණ පොදු දේශපාලන සමාව යටතේ බාර වූ අය වේ. කැලණිය සහ ජයවර්ධනපුර සරසවි තාවකාලික සිර කඳවුරු බවට පත්විය.

බොරැල්ල මැගසින් පාරේ නාගරික ප්‍රජා මණ්ඩලයේදී 1970 සැප්තැම්බර් 20 දා පැවැති ජවිපෙ මංගල පුවත්පත් සාකච්ඡාවේදී විජේවීර අදහස් දක්වමින්. කොටවල දේවසිරි හිමි, මොරවක භද්දිය හිමි, ලක්ෂ්මන් මහදුවගේ, සිසිල්චන්ද්‍ර ඉදිරිපෙළය. පසුපසින් සිටින්නේ ලක්ෂ්මන් චන්ද්‍ර ‍ෙස්කර හෙවත් කළු ලකී, ලක්ෂ්මන් මුණසිංහ හෙවත් පොඩි ලකී සහ ඔස්මන්ඩ් සිල්වාය.
ජවිපෙ ඉතිහාසයේ තමා ජීවත්වන දිස්ත්‍රික්කයෙන් පිටතට ගොස් වෙනත් දිස්ත්‍රික්කයක පූර්ණකාලීනව කාන්තා ක්‍රියාකාරීන් වශයෙන් 1970 මුල් භාගයේදී ප්‍රථමයෙන් වගකීම් බාරගත් සිවුදෙනාගෙන් තිදෙනෙකු මෙහි වේ.
හික්කඩුවේ උපන් හම්බන්තොට දිස්ත්‍රික් නායිකාවක් වූ සම්පතී අබේසේකර හෙවත් සුජාතා, අම්බලන්ගොඩ කන්දේගොඩ උපන් මාතර දිස්ත්‍රික් නායිකාවක් වූ ධම්මිකා ද සිල්වා හෙවත් අනෝමා සහ අම්බලන්ගොඩ උපන් නුවර දිස්ත්‍රික් නායිකාවක් වූ සේපාල ගිණිගේ හෙවත් රෝහිණී හෙවත් කාන්ති මෙහි වමේ සිටය.  
අප්‍රේල් කැරැල්ලේදී කැරැලිකරුවන් යටත් කරගත් පොලිස් ස්ථාන පහට අයත් රාජාංගන පොලීසියට (වර්තමාන තඹුත්තේගම පොලීසිය) ප්‍රහාර එල්ල කළ කණ්ඩායමට නායකත්වය දුන් ආලෝක බණ්ඩාර හෙවත් කරුණාරත්න හෙවත් තඹුත්තේගම කරූ, අඹන්පොල පොලිස් කොට්ඨාසයේ ලේකම් ගුණවර්ධන විල්බට් හෙවත් විල්බට් මුදලාලි සහ රත්නායක විජේරත්න හෙවත් කළු විජේ මෙහි වමේ සිටය. කළු විජේ ඉකුත් වසර අවසාන භාගයේදී දිවියෙන් සමුගත්තේය.

අප්‍රේල් කැරැල්ලෙන් පසු පරික්ෂණ කොමිෂන් සභා 4ක් මඟින් 1972 අගෝස්තු 10 සිට 1976 නොවැම්බර් 4 දක්වා කැරැල්ලේ මහ නඩුව ඇතුළු පරික්ෂණ 140ක් පවත්වන ලදී. එයට චෝදනා ලැබූ චූදිතයන් සංඛ්‍යාව 3,908කි. ඉන් 3,014 කොමිෂන් සභා හමුවට ගෙන ආ අතර 894 දෙනෙකු අත්අඩංගුවට ගත නොහැකි විය. අත්හිටවූ සිර දඬුවම් මත නිදහස් කළ සංඛ්‍යාව 2,492කි. බරපතළ සිරදඬුවම් ලැබූ කැරලිකරුවන් ගණන 390කි. ජවිපෙ නායක රෝහන විජේවීර ඇතුළු 5 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. නිදොස් ‍කොට යැවූ කැරලිකරුවන් ගණන 104කි. මහ නඩුවේදී 41 දෙනෙකුට එරෙහිව නඩු පැවරිණි. අප්‍රේල් මහ නඩුවේ තීන්දුව 1974 දෙසැම්බර් 20 වැනිදා ලබාදුන් අතර විත්තිකරුවන් 41 දෙනාගෙන් 4ක් නිදහස්වූ අතර සුසිල් සිරිවර්ධන, එස්.ඩී බණ්ඩාරනායක සහ ටී.ඩී. සිල්වාට අත්හිටවු සිරදඬුවම් නියම විය. විජේවීර දිවි ඇති තෙක් හිරේය. බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් 28 දෙනෙකුට නියම විය.

කැරැල්ලේ නායක රෝහණ විජේවීර 1971 මාර්තු 13වැනිදා පස්වරුවේදී අම්පාරේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සමඟ කෙලී සේනානායක, නිශ්ශංක, ප්‍රේමරත්න, ලාල් සෝමසිරි සහ ඇල්පිටියේ ඒ. ප්‍රේමසේනද අත්අඩංගුවට ගෙන මඩකලපු බන්ධනාගාරයට දමා මාර්තු 15වැනිදා උදෑසන 7.30ට කොළඹ වැලිකඩ බන්ධනාගාරයට ගෙන එනු ලැබුවේ පොලිස් අධිකාරි රංජිත් සේනානායක විසිනි. පසුව විජේවීර, ප්‍රේමරත්න සහ ලාල් සෝමසිරි යාපනය බන්ධානාගාරයට ගෙන යන ලදී. ‍ප්‍රේමරත්න සහ ලාල් ‍සෝමසිරි 1971 මාර්තු 31වැනිදා කල්මුණේ උසාවියට ඉදිරිපත් කළ විට ඇප පිට නිදහස් විය. විජේවීර එයට පෙරදින එම දෙදෙනාට කියා සිටියේ පහර දෙනවානම් 500ක පමණ පිරිසක් තමා නිදහස්කර ගැනීමට එවන ලෙසට සනත්ට සහ පියතිලකට දන්වන ලෙසය. වඩුතන්ත්‍රිගේ සිරිල් නොහොත් ලාල් සෝමසිරි බටපොල සිය නිවෙසේදී ලියුම්කරුට පැවැසු පරිදි විජේවීර එදා කැරැල්ල ආරම්භ කිරීමට දිනයක් සහ වේලාවක් තීරණයකර පහරදෙන ලෙසට පණිවිඩයක් කිවේ නැත. විජේවීර කියා ඇත්තේ පහර දෙනවා නම් 500ක් තමා බේරා ගැනීමට එවන ලෙසය. අප්‍රේල් 5වැනිදා වන විටත් විජේවීර සිටියේ යාපනය බන්ධනාගාරයේය.

ඔස්මන්ගේ අම්මා වන සීලවතී ද සිල්වා කියා සිටියේ යාපනය හිර ගෙදරදී තමා විජේවීර බැලීමට ගිය අවස්ථාවේදී පහර නොදී ‍භේද අතහැර කටයුතු කරන මෙන් රෝහණ විජේවීර දුන් පණිවිඩය තමා සනත් සහ ලොකු අතුල ඇතුළු පක්ෂයේ නායකයන්ට දැනුම් දුන් බව ය. වනාතමුල්ලේදී ඔස්මන් සිල්වා හමුවූ ලියුම්කරු එම කරුණු සනාථ කරගත්තේය. එවකට රජයේ සොලිස්ටාර් ජනරාල්වරයා සහ කැරැල්ල මැඬලිමෙහිලා සුවිශේෂි කාර්යභාරයක් කළ ඉයන් වික්‍රමනායක සීලවතීගෙන් ඉල්ලා සිටියේ යාපනයේ හමුවූ අවස්ථාවේදී කැරැල්ල ආරම්භ කරන ලෙසට විජේවිර කියූ බවට කටඋත්තරයක් දෙන ලෙසය. ගිනි තැබූ නිවස සදා දෙන බවද පුතුන් නිදහස් කර රැකියා ලබා දෙන බවට ඉයන් වික්‍රමනායක පොරොන්දු වූව ද තමා බොරු කීවේ නැති බවද සීලවතී පසුව කියා සිටියාය. ලාල් ‍සෝමසිරි විසින් 1971 මැයි 31වැනිදා දෙන ලද කට උත්තරයේදී විජේවීර කියන ලද කරුණු ඉයන් වික්‍රමනායක විකෘති කර තිබූ බව ලාල් සෝමසිරි, මෙම ලියුම්කරුට අවධාරණය කළේය.

ලොකු අතුල ඇතුළු ඇතැමකු කියන්නේ 1971 මාර්තු 13 අම්පාරේදී විජේවිර ස්වෙච්ඡාවෙන්ම අත්අඩංගුවට පත්වූ බවකි. එහෙත් මහ නඩුවේ 26වැනි සැකකරුවකු වූ එදා විජේවිරගේ සමීපතමයකු වුවද ජවිපෙ 2වැනි කැරැල්ලේ ඝාතන ලැයිස්තුවේ සිට දිවි බේරාගැනීමට සමත්වූ විජේවීර සමඟ අම්පාරේදී අත්අඩංගුවට ගත් පස් දෙනා පවසනුයේ සිය කැමැත්තෙන් විජේවීර අත්අඩංගුවට පත්වූවා යැයි කීම දැඩිව ප්‍රතික්ෂේප කරන බවය. අනපේක්ෂිත ලෙස අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය විකෘති කිරීමට කැමති නැති බවද ඔවුහු කියා සිටියහ.

අම්පාරේ 1971 මාර්තු 13 විජේවීර අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට බටපොල ලාල් සෝමසිරිගේ නිවෙසටත්, අම්පාරේ ප්‍රේමරත්නගේ නිවෙසටත්, කරන්දෙණියේ ප්‍රේමසේනගේ නිවෙසටත්, හෝමාගම නිශ්ශංකගේ නිවෙසටත් ගියේය. එමෙන්ම විදේශගතව සිටි කෙලී සේනානායක සමඟ ද දුරකථනයෙන් සම්බන්ධ විය.

වසර 1971 මාර්තු 15වැනිදා මඩකලපුවේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙන ආ බවද එදින උදෑසන 11.00 පැමිණි ඔස්මන්ගේ අම්මා සහ කුමානායකට විජේවීර තමා ඉදිරිපිටදී කියා සිටියේ; ලොකු අතුල සහ සනත්ට ප්‍රශ්න අමතක කරගෙන පසුබසින ලෙසත් ආයුධ හංගා දිස්ත්‍රික්ක මාරුකරන ලෙසත් කෙලී සේනානායක ප්‍රකාශ කර ඇත.

අප්‍රේල් කැරැල්ලේ පහරදීමේ අවසාන තීරණය ගත්තේ 1971 ‍අප්‍රේල් 2වැනිදා ගංගොඩවිල විදුදය සරසවියේ සංඝාරාමයේදීය. නම දෙනෙකුගෙන් යුත් එම නායකත්ව මණ්ඩලයේ මුලසුන දැරුවේ පියතිලකය. අප්‍රේල් 5වැනිදා රාත්‍රී 11.30ට පොලිස් ස්ථානවලට පහර දිය යුතු යැයි වැඩි ඡන්දයෙන් තීරණය විය. එය 6ට 3ක් වශයෙන් බෙදුණු තීන්දුවකි. එම රැස්වීමට සහභාගි වූ පස්දෙනෙකු ද ලියුම්කරුගේ සාකච්ඡාවට එක්විය.

මේ තීරණයට පෙර ජවිපෙ නායකයන් 9 දෙනෙකු රැස්වී තීරණයක් ගෙන තිබිණි. ඒ අනුව තීරණය වූයේ තවදුරටත් පහර දීම ප්‍රමාද වන්නේ නම් 1971 අප්‍රේල් 4 වැනිදා රාත්‍රී 10.00ට පොලිස් ස්ථානවලට එකවර පහර දීමටය. ඒ අනුව එම තීරණය දින කිහිපයකට පෙර රට පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දෙමින් තිබිණි. අප්‍රේල් 5 වැනිදා උදේ වැල්ලවාය පොලිසියට පහර දෙන්නේ වැරදි විදුලි පණිවිඩයකින් ‍නොව මෙම අලුතින් ගත් තීරණය ඔවුන්ට සන්නිවේදනය කර නොතිබීමෙනි. එහෙත් 1971 අප්‍රේල් 5 වැනිදා රාත්‍රී පහරදීමට ගත් තීරණය අනිකුත් සියලු ස්ථානවලට ගොස් තිබිණි.

අප්‍රේල් 3 වැනිදා සවස බටපොල අතුලගේ නිවසේදී ලාල් සෝමසිරිට කැරැල්ලේ දෙවැනි නායක සනත් නියම කළේ, අම්පාර උහනට ගොස් මොනරාගල දිස්ත්‍රික් නායක දොඩම්ගහවෙල ප්‍රේමසිරි හමුවී පහරදෙන්නේ අප්‍රේල් 4 වැනිදා රාත්‍රී 10 නොව අප්‍රේල් 5වැනිදා 11.30ට ලෙස වෙලාව වෙනස් වී ඇති බවය. පණිවුඩය ලබාදීමට අප්‍රේල් 4 වැනිදා හිමිදිරි පාන්දරම නුවර හරහා අම්පාරට යෑමට ගිය ලාල් සෝමසිරිට නුවර බස් නැවතුම්පොළේදී නිශ්ශංක ප්‍රේමරත්න හමුවිය. එවිට වේලාව දවල් 12.30 විය.

ප්‍රේමරත්න විසින් සෝමසිරිට එහිදී කියා සිටියේ වහාම යළිත් විදුදය සරසවියට ගොස් පියතිලක හමුවන ලෙසට පියතිලක දන්වා ඇති බවත්; තමා වහාම මොනරාගල දිස්ත්‍රික් නායක දොඩම්ගහවෙල ප්‍රේමසිරි හමුවීමට ගොස් පහර දෙන්නේ අප්‍රේල් 4 රාත්‍රී නොව 5 වැනිදා රාත්‍රී බවට දැනුම් දෙන බවත්ය. කැරැල්ලට සහභාගි නොවී එදිනම සැඟවුණු ප්‍රේමරත්න එම පණිවිඩය මොනරාගල නායකයාට දැනුම් දුන්නේ නැත. එය තමා පසුපස සැකකටයුතු පුද්ගලයෙක් පැමිණීම නිසා මොනරාගලට නොගොස් අම්පාරට පැමිණි බව අම්පාරේ ප්‍රේමරත්න පිළිගත්තේය. වැල්ලවාය පොලිස් ස්ථානයට 1971 අප්‍රේල් 4 රාත්‍රී එල්ල කළ ප්‍රහාරය එම සන්නිවේදන සම්බන්ධිකරණයේ දුර්වලතාවක ප්‍රතිඵලයකි.

ප්‍රේමරත්නගේ දැනුම්දීම අනුව 1971 අප්‍රේල් 4 දහවල් 12.30ට නුවරින් කොළඹ බලා ආ ලාල් සෝමසිරි මහරගමට ගොස් විදුදය සරසවියේදී පියතිලක හමුවිය. එදින රාත්‍රී කෑම කා සරසවියේ නවාතැන් ගත් සෝමසිරි 1971 අප්‍රේල් 5 උදෑසන ඊබට් සිල්වා බසයට නැඟී 60 දෙනෙකු සමඟ යාපනය සිංහල මහා විද්‍යාලයට පැමිණෙන විට රාත්‍රී 9.00 පමණ වී තිබිණි. නායකයන් භද්දිය හිමි සහ කරාටේ සැම්සන්ය. පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ සිසුන් 16ක්ද කණ්ඩායමට අයත් විය. දුම්රියෙන්ද පැමිණ යාපනයේ නාග විහාරයේ සිටි පිරිස සමඟ එක්ව කඩ වසා තිබූ බැවින් රාත්‍රී ආහාරයට බිස්කට් පමණක් කා බෝම්බ දෙක බැගින් ගෙන බන්ධනාගාරයට සහ පොලිසියට පහරදීමට ඔවුහු ගියහ. ප්‍රහාරයක් ද එල්ල කළහ.

අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මැතිනිය පැහැර ගැනීමේ කණ්ඩායමේ නායකයා වූ වත්තල වීරසිංහ සේනක රාජා නිමල් හෙවත් රොස්මිඩ් නිමල් එම සම්පුර්ණ සිදුවීම් පෙළ ලියුම්කරුට විස්තර කිරීමෙන් පසු.
අම්පාරේදී 1971 මාර්තු 13 වැනිදා විජේවීර අත්අඩංගුවට ගත් ස්ථානය ඉන් වසර 50කට පසු ලියුම්කරුට පෙන්වන්නේ විජේවීර සමඟ අත්අඩංගුවට පත්වූ පස් දෙනාගෙන් අයකු වූ අම්පාරේ ප්‍රේමරත්නය. 
විජේවීරගේ දේශපාලන සංවිධානය සමගි පෙරමුණට එරෙහි විප්ලවවාදී සටන් වලට මුවාවී ආරම්භකර ඇති ඇමෙරිකන් රහස් ව්‍යාපාරයක් බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඇත්ත පුවත්පත 1969 ජුලි 18 ප්‍රධාන පුවතින් චෝදනා කළේ මෙසේය. වසර 1971 අප්‍රේල් කරැල්ල සඳහා විදේශ අනුග්‍රහයක් නොලැබිණි.
සෝවියට් චීන මතයේදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද දෙකඩ වූ අතර, ශන්මුගදාසන් සහ ප්‍රේමලාල් කුමාරසිරි ඇතුළු පිරිස චීන පිලට නායකත්වය දුන්නේය. පසුව චීන පිලට අයත් ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා වූ ප්‍රේමලාල් කුමාරසිරි මෙහි දැක්වේ. විජේවීර රුසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණිමේදී කටුනායකට ගොස් නාවල සිය නිවෙසට ගෙන ආවේද ප්‍රේමලාල් විසිනි.  1964 දෙසැම්බර් මසදී ශන්මුගදාසන්ගෙන් කැපී ගිය ප්‍රේමසිරි කුමාරසිරි  පසුව ශන්ගේ ප්‍රතිපත්තිවලට එරෙහිව වැඩ කළ ජාතික අරමුණ, ගිණිපුපුර ඇතුළු කණ්ඩායම් වලට සිය සහාය ලබා දුන්නේය. එවකට ගිණිපුපුර කණ්ඩායමේ ක්‍රියාකාරිකයන් වූ පේරාදෙණිය සරසවියේ උපාධිධාරීන් වන පද්මරාජා විජේතිලක සහ වසන්ත කුලතුංග රහසිගතව චීනයට යවා මාස හයක විප්ලවීය දේශපාලන පුහුණුවක් ලබාදීමට මැදිහත් වූයේ ද ප්‍රේමලාල් කුමාරසිරිය.
විජේවීර කොමියුනිස්ට් පක්ෂයේ නායක වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහගේ අනුග්‍රහය මත ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවේ මහජන මිත්‍රත්ව සරසවියට (ප්‍රැටිස් ලුලුම්බා) වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ඇතුළු වුයේ 1960 සැප්තැම්බර් 25 වැනිදාය. ඒ සඳහා කඹුරුපිිටිය කොමියුනිස්ට් නායකයෙක් වූ ඊලියන් නානායක්කාර ක්‍රියාකාරීව මැදිහත් වූ අතර, එය යෝජනා කළ දෙවිනුවර කොමියුනිස්ට් පක්ෂ ශාඛා ලේකම් හේවා කොපරගේ පීරිස් මෙම ඡායාරූපයේ දකුණේය. 
 මැද සිටින්නේ ජේමිස් ඉටින් සුදසිංහය. 

මේ සියලු කරුණු කාරණා ඉතිහාසයට එක්වී 2021 අප්‍රේල් 05 වැනිදාට හරියටම වසර 50 කි. එම කාලය තුළදී අප්‍රේල් කැරැල්ල පිළිබඳව පළ වූ පතපොතද දුසිම් දෙකකට ආසන්නය. පුවත්පත් ලිපි ද ප්‍රමාණයෙන් අති විශාලය. එහෙත් එම කතා එකිනෙකට පරස්පරය. එසේත් නොමැතිනම් තම දෘෂ්ටිකෝණයන් අනුව ලියන ලද ලේඛනය. නැතිනම් පෙර පළකරන ලද පොත් සහ ලිපිවලින් එකතු කරගත් කරුණුය.

සිළුමිණ පුවත්පත අදින් ආරම්භ කරන 1971 අප්‍රේල් කැරැල්ල පිළිබඳ මෙම ලිපි මාලාව මෙතෙක් කිසිදු පුවත්පතක පළවී හෝ ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත්කොට හෝ නැත. අප්‍රේල් කැරැල්ලෙන් වසර 50කට පසු එළිදකින මේ ලිපි මාලාව සැකැසීම සඳහා ලේඛකයා කැරැල්ලේ මහ නඩුවේ ජනප්‍රිය නායකයන් පමණක් නොව සැබෑ ලෙසම ප්‍රහාරයට එක්වූ ඉදිරිපෙළ සටන්කාමීන් සිය ගණනක් දශකයකට ආසන්න කාලයකදී හමුවූ අතර මෙය ඒ පිළිබඳව කළ වාර්තාකරණයකි.

ජවිපෙ ආරම්භ වීමට හේතු, එම කාල වකවානුව තුළ තිබූ වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් හැටේ දශකයේ අවසාන භාගය සහ කැරැල්ල දක්වා ජවිපෙ විකාශනය විස්තරාත්මකව මෙයට ඇතුළත්ය. ලේඛකයා ජීවත්ව සිටින එම සියලු නායකයන් ද, ඔවුන් ජීවත්ව නොමැතිනම් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ නායකයන් ද දිස්ත්‍රික්ක 17කට ගොස් කළ සාකච්ඡා මෙයට ඇතුළත්ය.

මෙම ලිපි මාලාව දත්ත සහ ඓතිහාසික කරුණු රැසකින් පොහොසත් වනු ඇත. වර්තමානයේ ජීවත්වන වයස අවුරුදු 50ට අඩු අය කිසිදා නොදුටු, එහෙත් ඔවුනට අසන්නට පමණක් ලැබුණු 71 අප්‍රේල් කැරැල්ලේ ඇතුළාන්තය පිළිබඳ සියලු තතු නොදන්නා අයටද ඒ අසම්පූර්ණ සිදුවීම් මාලාව පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මෙම ලිපි මාලාව තුළින් විද්‍යමාන වනු ඇත. මෙතෙක් බොහෝ දෙනා ඇසූ සහ කිය වූ උපකල්පන, විකෘති කිරීම්, වැරැදි වැටහීම් මත වෙනුවට සත්‍ය ඉතිහාසය මෙම ලිපි මඟින් විවර කරනු ඇත.

ජවිපෙ 2වැනි කැරැල්ලද විජේවීරගේ නායකත්වයෙන් 1986 ඇරැඹී 1990 අවසන් වූ අතර එහිදී මියගිය හෝ අතුරුදන් වූ සංඛ්‍යාව මානව හිමිකම් සංවිධානවල වාර්තාවන්ට අනුව 67,652 කි. මින් 6,661ක් කැරැලිකරුවන් අතින් ඝාතනයට ලක්වූ අතර සෙසු අය ඝාතනයට පත් වූයේ ආරක්ෂක අංශ ඇතුළු එයට ඍජු සහ වක්‍ර සම්බන්ධකම් පැවතුණා යැයි කියන අතුරු හමුදා කණ්ඩායම් 13ක් මඟිනි. ජවිපෙ 2වැනි කැරැල්ල පිළිබඳවද නිරවද්‍ය විස්තරයක් මේ ලේඛකයා විසින් ඉකුත් දශකය තුළ සැපයීම හේතුකොටගෙන එම ලිපි මාලාව පුළුල් ලෙස සම්භාවනාවට පාත්‍ර විය.

වසර 1971 අප්‍රේල් කැරැල්ලේදී කියත් තලයෙන් අත්පා කැපීමෙන් පසු සිය හිස කඳෙන් වෙන්කර දැමෙද්දීත් බද්දේගම, ගිනිමැල්ලගහ කොඩිතුවක්කු මද්දගේ කමල බන්දු පෑ ජීව ගුණය ඔබට මතකයට නැඟෙනු ඇත. එමෙන්ම දියේ ගිල්ලවා මරා දමද්දීත් උනන්පිටියේ පදුම හිමියන් පෑ උපේක්ෂාව සිහියට නැඟෙනු ඇත. දූෂණය කොට මරා දමද්දීත් කතරගම ප්‍රේමවතී මනම්පේරි සුරක්ෂිත කළ විප්ලවීය සදාචාරය ආවර්ජනය වනු ඇත.

එසේ තිරස්චීන අතවර සහ වද බන්ධනවලට ලක්ව ඝාතනය වූ තරුණ තරුණියන්ගෙන් ගලා ගිය උණුසුම් ලේ දහරා පිළිබඳව පමණක් නොව විප්ලවිය ජීව ගුණයෙන් පිරිපුන් කැරැල්ලට සහභාගි වීමෙන් සිය ජීවිතයේ අනාගතයම කැප කළ දහස් ගණනක් පිළිබඳ මතකය විනාශ කළ නොහැකි වුවද පරාජය කළ නොහැකි වුවද අපේක්ෂාවක් බව කියවෙනු ඇත. සෑම සතියකම සිළුමිණ පුවත්පතේ පළ වන මෙම ලිපි මාලාව ඔබ වෙනුවෙන් විවර වන්නේ එකී සැබෑ ඉතිහාසය වත්මන් පරපුර දැනගත යුතු නිසාය.

Comments