පාර මැද්දේ යකා නැටූ ‘රෙස්ලින් කොස්තාපල්’ | Page 2 | සිළුමිණ

පාර මැද්දේ යකා නැටූ ‘රෙස්ලින් කොස්තාපල්’

හජනයා සහ පොලිසිය අතර සහසම්බන්ධය හෑල්ලුවට ලක්කරමින් මෙරට පොලිසිය ගැන අල්ජසිරා වැනි ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික මාධ්‍ය ඇතුළු විදෙස් රටවල් රැසකම මාධ්‍යයන්හි පුවත් මැවූ ශ්‍රී ලංකා පොලිසියේ නිරුවත පෙන්නූ තත්පර කිහිපයක වීඩියෝවක් පසුගියදා කරළියට ආවේය. ඒ පසුගිය මාර්තු 29 වැනිදා පෙරවරුවේ සිදුවූ පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික පහරදීමක් පිළිබඳ වූ පුවතකි. සමාජ මාධ්‍ය ඇතුළු විද්‍යුත් නාළිකාවන්හි 'තලු' මරමින් ප්‍රචාරය වූ ඉන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම අත්වූයේ නින්දා සහගත අවමානයකි. එම වීඩියෝව පිළිබඳව බොහෝ දෙනා උනන්දු වෙද්දී පොලිස් දෙපාර්තමේන්තුවද වහා සොයා බැලුවේ ඊට අදාළ නිලධාරියා කුමන පොලිසියකට අනුයුක්ත නිලධාරියෙක්ද යන්න හඳුනා ගැනීමටයි. ඒ අනුව වාර්තා වූයේ එම නිලධාරියා මහරගම පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 50855 ඉස්මයිල් රිෆයිඩීන් නමැති වසර 29ක පමණ පොලිස් සේවයකට හිමිකම් කියන නිලධාරියෙක් බවයි.

 

පසුගිය 29 වැනිදා සඳුදා දින පෙරවරුවේ කොළඹ නගරය සහ අවට මාර්ගයන්හි අධික තදබදයක් හටගෙන තිබුණේ කොරෝනා වසංගතය නිසාවෙන් මාස හයක පමණ කාලයක් වසා දමා තිබූ බස්නාහිර පළාතේ පාසල් පද්ධතියද පූර්ණ ලෙස විවෘත වීමත් සමඟිනි.

පොලිස් කොස්තාපල් බිම වැටුණු රියැදුරුට 
අමානුෂික ලෙස පහර දුන් ආකාරය

හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ගුවන් පාලමට ආසන්න මංසන්ධියේ 29 වැනිදා පෙරවරු අටට පමණ මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මෛත්‍රීපාල ඇතුළු කණ්ඩායමක් රථ වාහන හසුරුවමින් රාජකාරියේ යෙදී සිටියහ.

එම අවස්ථාවේ මාර්ගය මධ්‍යයේ පිහිටි මාර්ගය දෙපසට වෙන්කර තීරුවේ සැරිසරමින් දෙපස රථවාහන හසුරුවමින් මහරගම රථවාහන අංශ ස්ථානාධිපතිවරයා වෙහෙසකර රාජකාරියක නිරතව සිටියේය. ඒ අවස්ථාවේ කොළඹ දෙසට ධාවනය වූ 'බට්ටා' වර්ගයේ කුඩා ලොරි රථයක් පැවැති අධික රථවාහන තදබදයද නොතකා ධාවනයකර තිබුණේ විදුලි වේගයෙනි.

එලෙස ඇදුණු රථය මාර්ගය මධ්‍ය තීරුවේ රාජකාරියේ නිරතව සිටි මහරගම රථවාහන ස්ථානාධිපතිවරයාද හප්පාගෙන යන ආකාරය කිසියම් කැමරා කාචයකද මනාව සටහන්ව තිබී සමාජ මාධ්‍ය ඔස්සෙ කරළියටද ආවේය.

එම අනතුරත් සමඟ ඊට මඳක් වන්නට රාජකාරියේ නිරතව සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් ඉස්මයිල් රිෆයිඩීන් සැණින් එම ස්ථානයට පැමිණ සිය අංශ ප්‍රධානියා හප්පාගෙන රිය ධාවනය කළ රියැදුරු සමඟ වූ බහින්බස් වීම කෙළවර වී තිබුණේ එම රියැදුරාට කොස්තාපල්වරයාගෙන් 'රෙස්ලින්' ක්‍රීඩාවේ පහරවල් කිහිපයක සංග්‍රහයකිනි.

බිම ඇද වැටෙන්නට පහර කෑ රියැදුරාගේ සිරුරට පනිමින් පොලිස් කොස්තාපල් සහ තවත් පුද්ගලයෙක්ද රියැදුරාට පහර දෙන ආකාරය කිසියම් පුද්ගලයකු වීඩියෝගතකොට එසැණින් සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණේ සිදුවීම වී විනාඩි කීපයක් ඇතුළතයි. නිල ඇඳුමින් සැරැසුණු පොලිස් කොස්තාපල්වරයාගේ එම අමානුෂික පහරදීම පිළිබඳව එසැණින් රටේ මහත් ආන්දෝලනයක් ඇතිවූයේ පොලිස් දෙපාර්තමේන්තුවටම මහත් කළු පැල්ලමක් එක්කරලමිනි.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් මහජනයාට නිදහස් නිවහල් දේශයක සාමකාමීව ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම පොලිස් දෙපාර්තමේන්තුව සතු පරම වගකීම වේ. එම වගකීම යථාර්ථයක් කරනු වස් මෙරට තුළ රාජකාරියෙහි නිරත අසූපන් දහසකට ආසන්න පොලිස් නිලධාරින් රටපුරා විසිරී තිබෙන පොලිස් ස්ථාන 494ක සහ පොලිස් කොට්ඨාස 44කට අනුයුක්තව 24 පැයේම රාජකාරියට කැපව සිටී.

රාජකාරියේ නිරත අතිශය සුළුතරයක් පොලිස් නිලධාරීන් නිසා මෙරට පොලිස් දෙපාර්තමේන්තුවට සිදුව ඇති අවමානයනම් වර්තමානය වන විට සුළුපටු නොවේ.

එලෙස සමාජ මාධ්‍යයේ සැරිසැරු පොලිස් කොස්තාපල්වරයකු පුද්ගලයකුට පහර දෙන ආකාරය දිස්වන එම වීඩියෝව පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණද ප්‍රකාශයක් කරමින් කීවේ,

"තමන්ගේ ස්ථානාධිපතිවරයා රාජකාරි අවස්ථාවේ අවිනීත රියැදුරෙක් විසින් යටකර යෑම නිසා මනුෂ්‍යයෙක් ලෙස පොලිස් නිලධාරියකුට ආවේග විය හැකියි. එහෙත් වෘත්තිය නිලධාරියෙක් ලෙස කටයුතු කිරීමේදී එලෙස මහජනයාට පහරදීම් සිදුකළ නොහැකියි. මෙවැනි සිදුවීම් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කිසිසේත්ම අනුමත කරන්නෙ නෑ. යම් පුද්ගලයෙක් වරදක් සිදුකර තිබේ නම් ඊට කටයුතු කළ යුතු නීත්‍යානුකූල ක්‍රමවේදයක් තියෙනවා. එම නිසා මෙකී පොලිස් කොස්තාපල්වරයාට ‍එරෙහිව අපරාධ නීතිය යටතේත් පොලිස් විනය සංග්‍රහය යටතේත් කටයුතු කරනවා."

එම අමිහිරි සිදුවීම සිදුවී පැය කීපයක් ගතවීමටත් මත්තෙන් පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස මහජන ආරක්ෂාව බාර අමාත්‍ය සරත් වීරසේකර, පොලිස්පතිවරයාට දන්වා තිබුණේ එම නිලධාරියාගේ සේවය අත්හිටුවන ලෙසයි. එසේම අමාත්‍යවරයා කීවේ, "කිසිම විටෙක සාමාන්‍ය පුද්ගලයකුට පහර දීමට පොලිස් නිලධාරියකුට අයිතියක් නෑ. ඒත් අපි දන්නවා පොලිස් නිලධාරින්ද අතිශය මානසික පීඩනයක රාජකාරි කරන්නෙ. මේ මාස තුන වන විට අපගේ පොලිස් නිලධාරින් 72ක් රිය අනතුරුවලට ලක්වෙලා තියෙනවා. ඉන් 18 දෙනෙක් මියගිහින්. ගිය වසරේ පොලිස් නිලධාරින් 293 දෙනෙක් රථවාහන රාජකාරියේ යෙදී සිටියදී අනතුරුවලට ලක්වෙලා. එම පිරිසෙන් 28 දෙනෙක්ම මියගිහින්. ඒ කුමක් වුවත් පොලිස් නිලධාරින්ට මහජනයා තාඩන-පීඩනයට ලක්වන ආකාරයෙන් හැසිරිය නොහැකියි. ඒ නිසා අපි මේ සිදුවීමට පාදක නිලධාරියාට එරෙහිවත් පියවර රැසක්ම ගත්තා. මුලින්ම සේවය අත්හිටෙව්වා; අනතුරුව අත්අඩංගුවට ගත්තා."

නොහික්මුණු රියැදුරා නිසාවෙන් අනතුරට පත් පොලිස් පරීක්ෂක මෛත්‍රිපාල කළුබෝවිල රෝහලට ඇතුළත්කොට ප්‍රතිකාර ලබද්දී පොලිස් කොස්තාපල්ගේ පහර කෑමට ලක්වූ රියදුරු තලෙයි මගන් ප්‍රවීන්ද කළුබෝවිලට ඇතුළත්කර තිබුණේ නිලධාරියාගේ පහර දීමෙන් වූ තුවාල නිසාවෙනි.

රියැදුරුට පහර දුන් පොලිස් කොස්තාපල් 50855 රිෆයිඩීන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට  බන්ධනාගාර නිලධාරිහු රැගෙන ගිය අයුරු.

අනතුරුව මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය සරත් වීරසේකරගේ දැනුම් දීම මත පොලිස්පතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න‍කෝන්ගේ නියෝග මත පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවමින් ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කරමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරිණි. එම විශේෂ පොලිස් කණ්ඩායමේ විමර්ශනයෙන් මහරගම රථවාහන ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කළ බදුල්ල ප්‍රදේශයේ අයෙක් වන 24 හැවිරිදි තලෙයි මගන් ප්‍රවීන් නමැත්තා 29 වැනිදා පස්වරුවේ මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.

රියැදුරාට පහර දුන් පොලිස් කොස්තාපල්වරයාද 30 වැනිදා පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණේ අපරාධ නීතිය යටතේයි.

මහරගම පොලිස් නිලධාරින්ගේ අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා සහ රියැදුරා 30 වැනිදා ‍පස්වරුවේ නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රියැදුරු ප්‍රවීන්ට පෙර වැරැදි කිසිවක් නොවූ හෙයින් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරුණේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවමිනි.

එසේම ඔහුට එළැඹෙන ජුනි 06 වැනිදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කෙරිණි.

කෙසේ හෝ රියැදුරාට අමානුෂික ලෙස පහර දුන් පොලිස් කොස්තාපල් රිෆයිඩීන් ලබන පස්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වසර 1866 සැප්තැම්බර් 03 වැනිදා නිල වශයෙන් ස්ථාපිත මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 155කට ආසන්න කාලසමය ඇතුළත මෙවැනි අවමන් සහගත සිදුවීම් රැසක්ම සිදුවී තිබෙන බව ඉතිහාසය හාරා ඇවිස්සීමේදී මනාව පසක් වන සත්‍යයයි. ඒ අතර 1970 දී පේරාදෙණිය සරසවියේ සිසුවෙකුව සිටි වීරසූරිය පොලිස් වෙඩි පහරින් මරණයට පත්වීම එකල රටම කම්පාවට පත්කළ ශෝචනීය සිදුවීමකි. වීරසූරිය මෙරට ඉතිහාසයේ එලෙස මියගිය පළමු සරසවි සිසුවාද විය.

මෑතකදී පොලිසියට ගල්මුල් ප්‍රහාරවලින්ද ජනතාව සංග්‍රහ කළ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම නාමයට අවමන් සහගත කළු පැල්ලමක් එක්කළ මෙවන් සිදුවීමක් වාර්තා වූයේ අඟුලාන පොලිසියෙනි.

ඒ, පසුගිය ජුලි 10 වැනිදා රාත්‍රියේ අඟුලාන ධීවරයකු වූ 39 හැවිරිදි අමිත් කරුණාරත්න නමැති සිවු දරු පියා මාර්ග ආරක්ෂාවේ යෙදී සිටි අඟුලාන පොලිසියට අනුයුක්ත නිලධාරින් දෙදෙනෙකුගේ පොලිස් වෙඩි පහරින් ඝාතනය වීමයි.

අඟුලාන පොලිසියෙන් වාර්තා වූ එම ශෝචනීය සිදුවීමට පෙරද අඟුලාන පොලිසියට අඟුලාන වැසියන් ගල්මුල්වලින් සංග්‍රහ කළේ 2009 අගෝස්තු මාසයේයි.

ඒ, සුළු වරදකට අඟුලාන පොලිසියේ අත්අඩංගුවට පත් අඟුලානේ තරුණයන් දෙදෙනෙක් වූ දිනේෂ් තරංග සහ ධනුෂ්ක උදයංග දෙදෙනා වෙඩි තබා ඝාතනයකොට මළසිරුරු ස්ථාන දෙකක තිබී හමු විණි. 2009 අඟුලාන ද්විත්ව ඝාතනය ලෙසින් රටේම මහත් ආන්දෝලනයක් ඇතිකළ එම සාහසික අපරාධය කළ බවට එවකට අඟුලාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිව්ටන් සහ තවත් නිලධාරින් තිදෙනෙකුට මරණ දඬුවම් නියම ‍විණි.

පොලිසියේ ඇතැම් දෙනාගේ මෙවැනි අධම හැසිරීම් නිසා බහුතරයක් වූ පොලිස් නිලධාරින් දිවා රෑ නොතකා කරන රාජකාරියට අබමල් රේණුවකින් හෝ නිගරුවක් කිරීම කිසිවකුගේ හෝ ප්‍රයත්නය නොවිය යුතුය.

Comments