ඕනෑ­වට වඩා පෞද්ග­ලි­ක­ත්වය හෙළි කරන්න මම කැමැති නැහැ | Page 2 | සිළුමිණ

ඕනෑ­වට වඩා පෞද්ග­ලි­ක­ත්වය හෙළි කරන්න මම කැමැති නැහැ

 - මහේෂි මධු­සංකා

සමහරු හිතන්නේ සමහර ඇඳුම්වලින් ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා. මට නම් එහෙම ජනප්‍රිය වෙන්න වුවමනාවක් නැහැ.

දෙවැනිවරටත් මවුපදවිය ලබන්න රංගනයට විරාමයක් දුන් ජනප්‍රිය රංගන ශිල්පිනි මහේෂි මධුසංකා නැවතත් සුපුරුදු ලෙස රංගනයට එක්ව සිටිනවා. පුංචි තිරයේ අහිංසක පෙම්වතියක වුණු මහේෂි සුපුරුදු රංගන මඟට පිවිසීම සම්බන්ධයෙන් කතාබහ කරන්න අපහා කතාබහට එකතු වුණා.

 

මහේෂි රංගනයට විරාමයක් තිබූ තැනටම නැවත රංගනයෙන් එකතු වෙලා ?

අකමැත්තෙන් වුණත් මම රංගනයෙන් දායක වෙමින් හිටපු ‘ඇය‘ නාට්‍යයෙන් ඉවත් වෙන්න සිදු වුණේ මම මවක් වෙන්න සූදානමින් හිටපු නිසා. ‘ඇය‘ ටෙලි නාට්‍යයේ මට වැටෙන, ගුටි කන දර්ශනවලට මුහුණ දෙන්න තිබුණා. මම එවකට ගැබිනියක් නිසා ඒ වගේ දර්ශන කරනවාට නාට්‍යයේ අධ්‍යක්ෂවරයා බය වුණා. ඔය කාරණා එක්ක තමයි මම ‘ඇය‘ නාට්‍යයෙන් ඉවත් වුණේ. දැන් නැවත මට ඇය ටෙලි නාට්‍යයටම සුපුරුදු විදිහට සම්බන්ධ වෙන්න ලැබිලා තියෙනවා. එය සතුටට කාරණාවක්. මම ගොඩක් ආදරය කළ නාට්‍යයක් තමයි ‘ඇය‘.

 

‘ඇය‘ ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය නිරූපණය කරමින් සිටි මේනකා පීරිස් නාට්‍යයෙන් ඉවත් වීම නිසා ද ඔබට නැවත ඒ නිර්මාණයට එකතු වෙන්න ලැබෙන්නෙ ?

නාට්‍යයකින් කෙනෙක් අයින් වුණාම ඒ චරිතය වෙන කෙනෙක් කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. මම ඉවත් වුණාට පස්සේ මේනකා ඒ චරිතය හොඳින් කළා. මේනකාට දැන් ඇගේ ජීවිතේ වටිනම දෙයක් නිසා ‘ඇය‘ ටෙලි නාට්‍යයෙන් ඉවත් වෙන්න සිදු වුණා. ඒත් එක්ක නාට්‍යයේ මම කරමින් හිටපු චරිතයටම මට නැවත එකතු වෙන්න ලැබුණා. සාමාන්‍යයෙන් නම් ඉවත් වුණු කෙනෙක්ට ඒ චරිතයම නැවත ලැබෙන අවස්ථා දකින්න නැහැ. නමුත් ඒ නිර්මාණය වෙනුවෙන් මම කළ කැපකිරීම් එක්ක ඒ අවස්ථාව ලැබුණා වෙන්න පුළුවන්. ඉතින් ඒ ලැබුණු අවස්ථාව මම සතුටින් බාර ගත්තා.

 

මහේෂිව නැවත ‘ඇය‘ ඔස්සේ දකින්න ලැබීම ගැන ප්‍රේක්ෂකයෝ සතුටුද ?

මම ආයෙත් රංගනයට එකතු වීම ගැන බොහෝ අය සතුටු බව ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා. මාව නැවත රංගනයට ආදරයෙන් පිළිගන්නවා කියලා කාන්තාවෝ බොහෝ දෙනෙක් මුහුණු පොතේ ප්‍රතිචාර දක්වා තිබුණා.

 

දුවයි පුතයි තවම පොඩි නිසා රංගනයට එකතු වෙන්න කාලය ගන්නේ කොහොමද?

දැන් මගේ පුතාට අවුරුදු තුනහමාරයි. දුවට මාස හතරයි. ඒ දෙන්නව මගේ අම්මා තමයි බලාගන්නේ. දුව එයාගේ තාත්තාටත් ගොඩක් එකතුයි. ඒ නිසා මගේ සැමියා ගෙදර ඉන්න වෙලාවට එයත් දරුවෝ බලා ගන්නවා. ඒ නිසා මට බයක් නැහැ. මමත් රූගත කිරීම් ඉවර වුණු ගමන් දරුවෝ දෙන්නා ළඟට දුවන්න බලාගෙන ඉන්නේ.

 

සැමියාගේ අකමැත්තක් නැද්ද ඔබ නැවත රංගනයට සම්බන්ධ වෙනවට?

ඔහු මට කිසිම දෙයකට තහංචි දාලා නැහැ. මම ඔහු සමඟ විවාහ ජීවිතයක් තෝරා ගත්තෙත් ඒ නිසා. මම ක්ෂේත්‍රයේ වැඩ කරන විදිහ ගැන ඔහුට හොඳ අවබෝධයක් තියෙනවා. මගේ රංගන කටයුතු වලට උපරිම උදවු කරනවා. ඔහු පයිලට් කෙනෙක්. රාජකාරිවලට ගිහින් ඇවිත් වුණත් මාව රූගත කිරීම්වලට එක්ක යනවා. ඒ වගේ උදවුවක් ශක්තියක් ලැබෙන කෙනෙක් මගේ ජීවිතයට එකතුවීම වාසනාවක්.

 

ඉදිරියේදී පුංචි තිරයෙන් මහේෂිව දිගටම දකින්න ලැබෙයිද?

කලින් හිටපු විදිහට මගේ සිරුර හදාගෙන සුපුරුදු විදිහට රංගනයට එකතු වෙන්නයි හිතාගෙන ඉන්නේ. බොහෝ වෙලාවට අවුරුද්දකට හොඳ එක නිර්මාණයකට හරි මම සම්බන්ධ වේවි.

 

මහේෂි තමන්ටම සීමා දාගෙන ද වැඩ කරන්නේ ?

රංගනයේ දී කවදත් මම දාගත්ත සීමා තියෙනවා. ඇඳුම් සම්බන්ධයෙන් තමයි මම ගොඩක් සීමා පනවගෙන ඉන්නේ. සමහරු හිතන්නේ සමහර ඇඳුම්වලින් ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා. ඇත්තටම මට නම් එහෙම ජනප්‍රිය වෙන්න වුවමනාවක් නැහැ. මම මගේ සීමා ඇතුළේ වැඩ කරනවා. ඒ සීමා නිසා මට සමහර හොඳ වැඩ නැති වෙලත් තියෙනවා. නමුත් මට ඒ ගැන දුකක් නැහැ.

 

මහේෂි කාලයක් පෞද්ගලික ජීවිතය වසන් කරගන්න උත්සාහ කළා නේද ?

මගේ පළමුවැනි ප්‍රේම සම්බන්ධය ගැන මම විවෘතව කතා කළා. නමුත් ඒ සම්බන්ධය නතර වුණා. මට ඕන වුණා විවාහ ජීවිතය පරෙස්සම් කරගන්න. ඒ නිසා අනවශ්‍ය විදිහට පෞද්ගලික ජීවිතය විවෘත කරන්න ගියේ නැහැ.

මේ මෑතක් වෙනකල්ම මම මුහුණු පොතෙත් පෞද්ගලික ජීවිතයේ කිසිම ඡායාරූපයක් දැම්මේ නැහැ. සැමියා ඔහුගේ මුහුණු පොතේ අපේ ඡායාරූප දැම්මා. සම්පත් මට වඩා අවුරුදු දහයක් වැඩිමහල්. ඔහුට හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. සමාජ මාධ්‍යවල ඕනවට වඩා පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ කරන්න ගියාම මොනවා හෝ වෙලා ඒ ජීවිත කඩාකප්පල් වෙනවා මම දැකලා තියෙනවා. ඒ නිසා මගේ මුහුණු පොතේ දාන්නේ පවුල් ජීවිතේ විශේෂම දේවල් විතරයි. ඕනවට වඩා පෞද්ගලිකත්වය එළියට දාන්න මම කැමැති නැහැ.

 

මහේෂිගේ ජීවිතේ තව සම්පූර්ණ කරගන්න දේවල් තියෙනවද?

මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ මගේ ජීවිතේ වටිනාම වස්තු. මගේ ජීවිතේ දැන් සම්පූර්ණයි වගේ. දැන් මම උත්සාහ කරන්නෙ දරුවන්ට හරි මඟ පෙන්නලා ඔවුන්ට ගුණ යහපත් විදිහට හැදෙන්න පසුබිම නිර්මාණය කරන්නයි.

 

දරුවෝ අනාගතයේදී ඔබ වගේ කලාව තෝරා ගත්තොත් කැමති වෙනවද?

කලාව කියන්නේ නරක දෙයක් නෙමෙයි. මගේ දුව කෙනුලිගේ හඳහනේ වුණත් තියෙනවා ඇය කවදාහරි කලාව පැත්තෙන් ඉදිරියට යාවී කියලා. මමත් මගේ ගමන හදා ගත්තේ කලාවෙන්. මට කලාවෙන් බොහෝ දේවල් ලැබුණා. එය භාග්‍යයක්. අපේ දරුවෝ කවදා හරි තෝරාගන්න ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න සම්පත් සහ මම ඔවුන්ට ඒ ආදර්ශය, මඟපෙන්වීම ලබා දෙනවා. මවුපියෝ දරුවන්ට ලබා දෙන ඒ ආදර්ශය හරිම වැදගත්. කවදාහරි මගේ දරුවෝ කලාවේ නියැළෙනවට මගේ කිසිම අකමැත්තක් නැහැ.

 

Comments