ලෝකයේ යෝ යෝ වැඩකරුවා මමයි | සිළුමිණ

ලෝකයේ යෝ යෝ වැඩකරුවා මමයි

 

CHAMIKA karunarathne

ක්‍රීඩා තුනකින් සමස්ත ලංකා රන් වර්ණ දිනූ එකම ක්‍රීඩකයාත් මම

අම්මා මාව ක්‍රිකට් ගහන්න පෙළඹෙව්වා

විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෝ හොඳට බැඩ්මින්ටන් ක්‍රීඩා කරනවා

රොහාන් ද සිල්වා මුල ඉඳලම බැඩ්මින්ටන් පරිපාලනයේ හිටියා නම් මම ක්‍රිකට් නොගහාවි

තාත්තා මට ක්‍රිකට් ගහන්න කීවේ නෑ

 

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් ‘යෝ යෝ පරීක්ෂණයෙන්’(යෝග්‍යතාව මැනීම සඳහා යොදාගන්නා පරීක්ෂණයක්) වැඩිම ලකුණු ලබාගත් පළමු ක්‍රිකට් ක්‍රීඩකයා සේ සැලකෙන්නේ චාමික කරුණාරත්නය. සුප්‍රකට බැඩ්මින්ටන් සහෝදර පොකුරේ බාල සොහොයුරා වන චාමික ට පසුගියදා දියත් වූ කොදෙව් සංචාරයෙන් ඉවත් වීමට ‘කොවිඩ්’ වෛරසයට ගොදුරුවී ඇතැයි හඳුනාගැනීමෙන් අනතුරුවය. දැන් සුව තත්ත්වයේ පසුවන ඔහු හා ‘ක්‍රීඩා’ මෙසේ සංවාදිත වූයේය.

ඔබ තමයි ලෝකයේ යෝ යෝ පරීක්ෂණයේ වැඩිම ලකුණු ලාභියා කියා මතයක් තිබෙනවා. එහි ඇත්තක් තියෙනවාද?

ඔව්. යෝ යෝ ටෙස්ට් එකේ ලොව ඉහළම ලකුණු ලබාගත්ත ක්‍රිකට් ක්‍රීඩකයා මම. 2019 වසරේදි තමයි මම මේ වාර්තාව පිහිටුවූයේ. ඒ නිසා ඒ කතාව සම්පූර්ණ ඇත්ත.

යෝ යෝ පරීක්ෂණය සමත් වන්න ක්‍රීඩකයෙක් කොපමණ ලකුණු ලබාගත යුතු ද?

සාමාන්‍යයෙන් ලෝකය පිළිගන්න ආකාරයට යෝ යෝ පරීක්ෂණය සමත් වන්න නම් 18.3ක් ලකුණු ලබාගත යුතුයි. එහෙම නැත්නම් යෝ යෝ පරීක්ෂණය සමත් ලෙස සලන්නේ නෑ.

දැන් ඔබ එතකොට ලකුණු කීයක් ලබාගත්ත ද?

මම ලකුණු 23 ක් ගත්තා. මොකද 22.8ක් අවසන් කරලා ඒක තවදුරටත් ඉදිරියට රැගෙන යමින් මම මේ ලකුණු ප්‍රමාණය ලබාගත්තා. ඒක තමයි දැනට ක්‍රිකට් ක්‍රීඩකයෙක් යෝ යෝ පරීක්ෂණයකදී දක්වා තිබෙන හොඳම දක්ෂතාවය.

ඇයි ඔබට එතැනින් එහාට යන්න අමාරු වුණා ද?

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට 21 පැන්නට පස්සේ යන්න අමාරුයි. නමුත් මට 23 දක්වා එන්න පුළුවන් වුණා. ඊට පස්සේ තමයි මම මේක නැවැත්තුවේ.

අපේ රටේ යෝ යෝ පරීක්ෂණයකදී දෙවැනියාට හොඳම ලකුණු ලබාගෙන තිබෙන්නේ ලකුණු කීයක් ද

ලකුණු 21.4 ක් හෝ 5 ක් තමයි අසිත ප්‍රනාන්දු

හා දුෂ්මන්ත චමීර තමයි එය වාර්තා කළේ.

කවුද මේ පරීක්ෂණය සංවිධානය කළේ? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද?

ඔව්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමයි එය පැවැත්වූයේ. යෝග්‍යතාව ඉහළම අගයක් ගත්තේ විශේෂයෙන් වේගපන්දු යවන්නන්ගෙයි. ඊට අමතරව සෙසු ක්‍රීඩකයෝ වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් ඇතුළු ක්‍රීඩකයිනුත් මේ පරීක්ෂණයට සහභාගි වුණා.

එම පරීක්ෂණය අධීක්ෂණය කළේ කවු ද?

භෞත චිකිත්සකයෝ, සම්බාහකයෝ ඇතුළු වගකිවයුතු නිලධාරීන් මෙම කටයුත්ත වෙනුවෙන් අධීක්ෂණ කටයුතු සඳහා එක්ව සිටියා.

යෝ යෝ පරීක්ෂණයේදී ගණනය කිරීම් කරන්නේ කොහොම ද?

මීටර් 20ක් ඇතුළත වටයක් ගිහිල්ලා එන්න ඕනෑ. බීප් හඬක් නැඟෙනවා ඒ අනුව මීටර් 20ක් දුවලා එන්න තියෙනවා. ඒක වට ගණන වැඩි වෙන්න වැඩි වෙන්න බීප් එක වදින වේගයේ වැඩිවීමක් සිදුවෙනවා. එන්න එන්න අමාරු වෙන එකයි සිදුවන්නේ. මොකද දරාගැනීමේ හැකියාව තමයි මෙතැනදී මැන බැලෙන්නේ. ලෝකය පුරාම සිදුකරන පරීක්ෂණයක් තමයි යෝ යෝ ටෙස්ට් කියලා කියන්නෙ.

එතකොට ඉන්දියාවේ ක්‍රිකට් නායක විරාත් කෝලිගේ යෝග්‍යතාවය ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. එවැනි පසුබිමක ඔහුගේ යෝග්‍යතාව ගැන සසඳද්දී ඔබේ මේ යෝ යෝ පරීක්ෂණයේ ස්ථානගත වීම කොහොමද තේරුම් ගත යුත්තේ?

ඇත්තටම කෝලි කියන්නේ ඉතා හොඳ යෝග්‍යතාවක් පවත්වාගෙන යන ක්‍රීඩකයෙක්. ඔහු කඩුලු අතර වේගයෙන් දුවනවා. ශක්තිය උපරිම වශයෙන් පවත්වාගෙන යනවා. දේහයේ අනවශ්‍ය මේද තැන්පත් වන්න නොදී ඒ දේහ ස්වරූපය පවත්වාගෙන යනවා. මේ හැමදෙයක්ම අතින් ඔහු ඉතා හොඳයි. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යාසක වශයෙන් කටයුතු කරන දේශායි මට කිව්වා ඔහු දැකපු යෝග්‍යතාව අතින් උසස් ක්‍රීඩකයෙක් විදිහට මාව හැඳින්විය හැකියි කියලා. හැබැයි කෝලි වගේ ක්‍රීඩකයෙක්ගේ ආහාර රටාව පවා ඉතාම වෙනස්. අපි ඒ දේත් අමතක කළ යුතු නෑ.

දැන් ඔබ ක්‍රිකට්වලට අමතරව බැඩ්මින්ටන් ක්‍රීඩාවත් කරනවා. මේ තත්ත්වය කොහොමද ඔබේ ක්‍රීඩාවට බලපාන්නේ?

කිසිදු අයහපත් බලපෑමක් නෑ. මම හිතන්නේ එය මට ආශිර්වාදයක්. මොකද ඒ වගේ ද්විත්ව ක්‍රීඩා කරද්දී එය අනෙක් ක්‍රීඩාව තුළ වඩා සාර්ථක වෙන්න ඉවහල් කරගැනීමට හැකිවෙනවා. ලෝක තලයෙත් එවැනි උදාහරණ සොයාගැනීමට හැකියි.

ඒ නිසාද ඔබ ජාතික තලයේ ක්‍රීඩා දෙකක නියැෙළන්නේ?

නෑ. මම කොහොමත් පුංචි කාලේ ඉඳලා බැඩ්-මින්ටන්වලට කැමතියි. අපේ පවුල් පසුබිමේත් වැඩිපුරම දකින්න ලැබුණේ බැඩ්මින්ටන්නෙ. අයියලා තුන් දෙනාම බැඩ්මින්ටන් ගැහුවා. ඉතිං නිරායාසයෙන් ඒ ක්‍රීඩාව පැත්තට ඇදිලා ගියා. ඒ වගේම බැඩ්මින්ටන්වලින් දුරස් වෙද්දී මට දැනුණා මගේ යෝග්‍යතාවය අඩු වෙනවා කියලා. මොකද බැඩ්මින්ටන් වෙනුවෙන් අපි දවසකට පැය දොළහක් පමණ මහන්සි වෙනවා. කොහොමත් මම ෆිට්නස් ගැන කතා කරද්දී හැමවෙලාවෙම ඉන්නවාට වඩා අඩියක් හරි ඉදිරියට යන්න තමයි උත්සහ කරන්නෙ. ද්විත්ව ක්‍රීඩාවක් වෙනුවෙන් උදේට හා සවසට වෙන වෙනම පුහුණු වෙන එකෙනුත් කරන්නේ ඒ දේම තමයි. අනෙක ලෝකයේ තත්ත්වය බැලුවත් සචින්ලා, මාලිංගලා වගේ ලෝක පූජිත ක්‍රීඩකයොත් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැළුණා. තව ගොඩාක් ක්‍රීඩකයෝ ඒ ක්‍රීඩාව කරනවා. මොකද ඒක ඇහැට පවා ඉතා හොඳයි. මම හැබැයි ක්‍රීඩා තුනකින් දක්ෂතා දක්වලා තිබෙනවා.

මොකක්ද ඒ අනිත් ක්‍රීඩාව?

මලල ක්‍රීඩාව. මම පාසල් යන කාලයේ මලල ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වලා සමස්ත ලංකා පළමුවැනියා වෙලා තිබෙනවා. ඇත්තටම කියනවා නම් ක්‍රීඩා තුනක් නියෝජනය කරමින් සමස්ත ලංකා තලයට ආපු ලංකාවේ ඉන්න එකම ක්‍රීඩකයා මම කියලා තමයි කියන්නේ. ඒක මට ආඩම්බරයක්.

ක්‍රිකට් පැත්තට යන්න බලපෑවේ පියාගේ බලපෑමද?

නෑ. මට බලපෑමක් කළේ නෑ. නමුත් මගේ පියා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පාසල් යන කාලේ ඔහු ඉතා හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරලා ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩා කරලා තිබෙනවා. ඉතිං ඒ බලපෑම මගේ ජීවිතයටත් හේතුවෙන්න ඇති. හැබැයි මට ක්‍රිකට් ගහන්න වැඩිපුරම බලපෑම් කළේ මගේ අම්මා.

දැන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තැතිගත්ත අවස්ථා එහෙම නැද්ද?

මම කොයි වෙලාවෙවත් බයවෙන කෙනෙක් නෙවෙයි. ඒත් පළමු වතාවට ජාත්‍යන්තර පිටියට ඇවිල්ලා මිචෙල් ස්ටාක්ට මුහුණ දීපු වෙලාවේ පොඩ්ඩක් විතර චංචල වුණා. මොකද පැයට කිලෝ මීටර් 150ක වේගයෙන් එන බෝලයකට කවදාවත් මුහුණ නොදී පළමු වතාවට මුහුණ දෙනවා කියන්නේ තරමක තැතිගැන්මක්. නමුත් මම ඒ තත්ත්වයට හොඳින් මුහුණ දුන්නා. දැන්නම් ක්‍රිකට් ලෝකයේ කිසිම කෙනෙකුට බය නෑ. කරුණාරත්නලා බය හඳුනන්නේ නෑ.

ඔබ දැන් ලෝකයේ ඉන්න ක්‍රිකට් ගහන ක්‍රීඩකයන් අතර ෆිට්නස් වලින් පළමුවැනියා වුණානෙ. ඇත්තටම මේ යෝග්‍යතාවය නැත්නම් ෆිට්නස්වල වැදගත්කම ගැනත් සමාජයට තව ටිකක් පැහැදිලි කරමු?

මෙහෙමයි. මට හැමදාම කඩුලු ගන්න, ලකුණු ගන්න, බැඩ්මින්ටන් ගහලා ජයගන්න බැරි වෙනවා. එහෙම දවසක් එනවා. නමුත් ඒ නොහැකියව පුළුවන් තරම් කල්දාන්න හැකියි. මගේ බලාපොරොත්තුව, මානසික තත්ත්වය ශාරීරික යෝග්‍යතාව හැකිතාක් දුරට දිගු කාල-යක් ආරක්ෂා කරගෙන ක්‍රීඩාවේ නියැළීමයි.

යෝග්‍යතාව වැඩිදියුණු කරගන්න මම මහන්සි වෙන්නේ අන්න ඒ වගේ පසුබිමක් තුළයි.

ඒ කියන්නේ ඔබ ක්‍රීඩාවේ වැඩිපුරම අවධානය යොමුකරන්නේ යෝග්‍යතාව පැත්තට?

යෝග්‍යතාව හා විනය කියන දෙය තමයි මගේ ජීවිතයේ ප්‍රධාන. දක්ෂතාවය වැඩිදියුණු කරගැනීම මම තියන්නේ තෙවැනි තැන.

විනය ගැන දැඩිව සිතන්නේ සහෝදරයෝ තිදෙනෙක් වගේම පියාගේත් අධීක්ෂණයට හසුවන නිසා වෙන්නැති?

ඒකත් මට මගේ විනය වැඩිදියුණු කරගන්න බලපෑවා. කොහොමත් ක්‍රීඩාව පුරා ඉදිරියට යන්න තිබිය යුතු ප්‍රධාන අරමුණක් තමයි විනය. විනය නැත්නම් වෙලාවට වැඩ කිරීමේ ඉඳලා බොහෝ දේ අතහැරෙනවා. එතකොට සාර්ථ-කත්වය සොයන්න බෑ.

සහෝදර සමාගම් කියන්නේ සාර්-ථකත්වයේ හො-ඳම යතුරක් කියන කාරණයට කරුණාරත්න පවුලත් එක සාක්ෂියක්?

නිසැකයෙන්ම. හොඳ සහෝදර සමා-ගම් ලෝකයම දිග් විජය කරනවා. ඒක අපේ රටේ සාක්ෂි ගණනාවකින්ම සො-යාගන්න පිළිවන්. අපිත් එහෙම තමයි. වසර විස්සක් පුරා අපි පවුලට වඩා ක්‍රීඩාවට තැන දීලා තියෙන්නේ ඒ නිසයි.

ඔය මොනතරම් වාද බයිලා කිව්වත් විවාහප්‍රාප්ත වුණාට පස්සේ ක්‍රීඩා ආදරය මැරිලා යයි?

නැහැ. ඒක කවදාවත් වෙන්නේ නෑ. ඒ ක්‍රීඩා අවධානය කරුණාරත්න පවුලෙන් කැඩෙන්නේ නෑ. මොකද දැනටමත් මගේ සහෝදරයෝ විවාහකයි. ඒත් ක්‍රීඩාව ඔවුන් අතින් ගිලිහිලා නෑ, අනෙක ක්‍රීඩා කරන්න ලැබෙන්නේ කෙටි කාලයයි. බිරියටත් වඩා ක්‍රීඩාවට ආදරය කරන්න අන්න ඒකත් එක හේතුවක්. ඒ වගේම රටට ඇති ආදරය, කැක්කුම පවුලට වැඩිය අපි ක්‍රීඩාවට ආකර්ෂණය කරවනවා.

අවසන් වශයෙන් ඔබට හැකියි ඔබට සහය දැක් වු කණ්ඩායම් සිහිපත් කරන්න?

ගොඩාක් අය ඉන්නවා. පළමුව මම කියන්න ඕනෑ වත්මන් බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා මීට පෙර මෙතැන හිටියානම් මම බැඩ්මින්ටන් අතහැරලා ක්‍රිකට් පළමු ක්‍රීඩාව වශයෙන් තෝරාගන්නේ නෑ. මොකද ඔහු තමයි මේ රටේ බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ට ජීවිතයක් දුන්නේ. පහසුකම් දුන්නෙ. ඒ නිසා මම ඔහුව සිහිපත් කරනවා. ඒ වගේම මගේ අම්මා, තාත්තා, සහෝදරයෝත් ඒ අතර විශේෂයි. සහෝදරයෝ මට විශාල බලපෑමක් වුණා. අධිෂ්ඨානය ඇතිවෙන්න හේතුවුණේ ඔවුනුයි. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම මම මගේ සහෝදරයන්ට උපකාර කරනවා. ඒක සහෝදරත්වයේ කෘතගුණ පෑමක්.

Comments