මත්ස්‍ය සම්පත වර්ධනයට මුහුද යට පරණ බස් ගිල්වයි | සිළුමිණ

මත්ස්‍ය සම්පත වර්ධනයට මුහුද යට පරණ බස් ගිල්වයි

ගාල්ල මුහුදු පත්ලේ බස්රථ ඉකුත් දා ගිල්වන අවස්ථා මෙහි දැක්වේ.
ගාල්ල මුහුදු පත්ලේ බස්රථ ඉකුත් දා ගිල්වන අවස්ථා මෙහි දැක්වේ.

ලංකාවේ වෙරළාසන්න මත්ස්‍ය සම්පත සියයට 70ක් පමණ වඳවී ගොස් ඇති බව පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. මත්ස්‍යයින්ගේ වාසස්ථාන අහිමිවිමට ඇතැම් ධිවර කාර්මිකයන්ගේ ක්‍රියාකාරකම් දි බලා පා තිබේ. විශේෂයෙන්ම තහනම් පන්න ක්‍රම යෙදාගෙන ඇතැම් ධිවර කාර්මිකයන් මත්ස්‍ය අස්වැන්න නෙළා ගනිති. සෞභාග්‍ය ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රි ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය ගහනය වැඩි කිරිම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවට සඳහන් කොට ඇත්තේය. එකි ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මත්ස්‍ය ගහණය වැඩිකිරිමේ අරමුණින් මත්ස්‍ය පැටවුන් සඳහා කෘතිම වාසස්ථාන මුහුදු පතුලේ තැන්පත් කිරිමේ ව්‍යාපෘතියක් ධීවර අමාත්‍යංශය මගින් ආරම්භ කොට තිබේ. මෙකී ව්‍යාපෘතිය ත්‍රිකුණාමලය මුහුදු තිරය තුළ මුලින්ම ආරම්භ කරනු ලැබීය. මත්ස්‍ය පැටවුන් බෝවීම සඳහා කෘතිම වාසස්ථාන වශයෙන් මුහුදු පතුල තුළ තැන්පත් කිරිම සඳහා අබලන් බස්රථ, ධීවර බෝට්ටු, හා දුම්රිය මැදිරි කොටස් යොදා ගනිති. මෙවා වෙරළාසන්න මුහුදු පතුලේ තැන්පත් කිරිම නිසා ඒ අවට ප්‍රදේශ ටික දිනකින් මත්ස්‍යයින්ගේ රජදහන් බවට පත්වේ.

මෙකී ව්‍යාපෘතිය මෙහෙයවීමේ වගකීම ධීවර දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත්තේය. ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, නාරා ආයතනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙති. අබලන් වූ පැරණි බස්රථ හා දුම්රිය මැදිරි කොටස් ධීවර දෙපාර්තමේන්තුවේ මුල්‍ය ප්‍රතිපාදන මගින් මිලදි ගන්නා අතර පුද්ගලයන් විසින් ලබා දෙන භාවිතයෙන් ඉවත් කළ මෝටර් රථ මෙකි ව්‍යාපෘතිය සඳහා භාවිත කිරිමට නියමිතව ඇත. මෙකි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට පෙර ධීවර රාජ්‍ය ඇමති කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට ගණනාවක් පවත්වනු ලැබීය. ඒ විතරක් නොව නාරා ආයතනයේ විද්‍යාඥයන් විසින් මෙකි කෘතිම වාසස්ථාන සඳහා අබලන් බස්රථ හා ධීවර බෝට්ටු ගිල්විය යුතු ස්ථාන පිළිබඳවද අධ්‍යයනයක් කරනු ලැබීය.

ඒ අනුව මෙකි ව්‍යාපෘතියේ පළමු අදියර ත්‍රිකුණාමල මුහුදු තිරය ආශ්‍රිතව ආරම්භ කළ අතර දෙවැනි අදියර ආරම්භ කරනු ලැබුවේ දකුණු මුහුදු තිරය කේන්ද්‍රකරගෙන ගාල්ල වරාය අවට මුහුදු තිරයෙනි. අබලන් බස් රථ හා ධීවර බෝට්ටු සයුර නෞකාවෙන් රැගෙන ගොස් ගාල්ල ධිවර වරායේ සිට නාවික සැතපුම් 08ක් පමණ දුරින් මුහුදු පතුලේ තැන්පත් කරනු ලැබීය. මෙකි ව්‍යාපෘතිය යටතේ අබලන් බස්රථ 25ක් හා බෝට්ටු 05ක් ගාල්ල ධිවර වරාය ආශ්‍රිත මුහුදු තිරයේ තැන්පත් කිරිමට නියමිතව ඇත.

මේ පිළිබඳ ව විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන බහුදින ධිවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය ඇමති කංචන විජේසේකර කීවේ මෙවැනි කතාවකි.

මෙය මත්ස්‍ය ගහණයට මෙන්ම කිමිදුම් සංචාරක කර්මාන්තය දියුණු කිරීමටද ඉවහල් වන ව්‍යාපෘතියක්. ඉදිරි මාස තුනක කාලය තුළ හම්බන්තොට, මාතර අවට මුහුදු ප්‍රදේශයේ මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. පළමු අදියර ත්‍රිකුණාමලය අවට නැගෙනහිර මුහුදු සිමාවේ ස්ථාන 32 සාර්ථකව ක්‍රියාත්මක කළා. සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදී ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ මත්ස්‍ය ගහණය වැඩි කිරීමේ අරමුණින් මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවද කංචන විජේසේකර පවසන්නේය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාරගෙන්ද මේ ගැන විමසීමක් කළෙමු.

අබලන් බස්රථ හා බෝට්ටුවල එන්ජින්, ඔයිල් කාන්දුවිය හැකි ස්ථාන හැකිතාක් දුරට ඉවත් කරලා තමයි අබලන් බස් රථ හා බෝට්ටු මුහුදේ ගිල්වීමට කටයුතු කළේ. කෙටිකාලීනව පාරිසරික වශයෙන් පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. නමුත් මෙකී ව්‍යාපෘතිය නිසා දිගුකාලීන වාසි වැඩියි. මහාපරිමාණ වශයෙන් පාරිසරික වශයෙන් බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. ඉදිරියේදී විශ්වවිද්‍යාල සමඟ එක්වෙලා මෙකී ස්ථානවල මාළු බෝවීම පිළිබඳ අධ්‍යයනයක් කිරීමට ද බලාපොරොත්තු වෙනවා. මාසයක් වගේ යනවිට මෙකි ස්ථානවල මාළු පැටව් බෝ වෙන්න පටන්ගන්නවා. ඇල්ගි තට්ටු තැන්පත් වෙලා. වැලිපර හා කොරල්පර නිර්මාණය වෙලා මාස 06ක් විතර යනවිට මත්ස්‍යයින් පිරුණු කලාප බවට පත්වෙනවා. මෙය දිගු කාලින ආයෝජනයක්.

නාරා ආයතනයේ සමුද්‍රජීව විද්‍යාඥ උපුල් ලියනගේ මෙසේ කීවේය.

අපේ රටේ වෙරළසාන්න මත්ස්‍ය සම්පත සියයට 70ක් වඳ වෙලා තියෙනවා. මාළු අස්වැන්න අඩුවිම නිසා වැඩි වශයෙන් ගැටලුවලට මුහුණ දෙන්නේ සුළුපන්න ධිවර කාර්මිකයින්. මෙකී ව්‍යාපෘතිය මගින් සුළුපන්න ධීවර කාර්මිකයන් ස්ථාවර කිරීම මෙන්ම පරිසර පද්ධතිය ස්ථාවර කිරිමත් එක් අරමුණක්.

ගත්කතුවරයකු, පාරිසරිකවේදියකු මෙන්ම ප්‍රවීණ දේශකයකු වන ගාමිණි කුමාරවිතාන මේ ව්‍යාපෘතිට සම්බන්ධව කීවේ මෙවැන්නකි.

‘රට වටේ මුහුද තිබුණත් මුහුදු සම්පතින් අපි නිසි ලෙස ප්‍රයෝජන ගන්නේ නැහැ. මුහුදු ආහාර නිෂ්පාදනය පිළිබඳ අපි මීට වඩා අවධානයක් යොමු කළ යුතුයි. මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමේ දි දකුණු ආසියාවේ රටවල සෘණාත්මකව අසුබවාදි ලෙස දකින අය ඉන්නවා. පාරිසරික වශයෙන් පොඩි පොඩි බලපෑම් ඇතිවෙන්න පුළුවන්. විද්‍යාත්මකව කරන ව්‍යාපෘතිවලද පරිසරික වශයෙන් බලපෑම් ඇතිවෙලා තියෙනවා. නමුත් මෙය ඉතා වැදගත් ව්‍යාපෘතියක්. ප්‍රෝටීන සහිත ආහාර නිෂ්පාදනය කිරීමට ජපානය වගේ රටවල්ද ප්‍රමුඛතාව දීලා තියෙනවා යැයිද ගාමිණී කුමාරවිතාන කීවේය.

ගාල්ල සහකාර ධීවර අධ්‍යක්ෂක ඩබ්ලිව්. මදුසංක මෙසේ කීවේය. ‍

අබලන් බස්රථ 30ක් ධිවර යාත්‍රා 05ක් ගාල්ල ධීවර වරායේ සිට නාවික සැතපුම් 04ක් දුරින් මිටර් 20ක පමණ ගැඹුරු මුහුදේ තමයි මේ දිනවල ගිල්වමින් තියෙන්නේ. මෙය ධීවර දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක්. මේ නිසා මත්ස්‍යයින් බෝවීමට අවශ්‍ය පරිසරය නිර්මානය වෙනවා. මත්ස්‍යයින් අභිජනනය කිරිම තමයි ප්‍රධාන අරමුණ. එමෙන්ම සංචාරක කර්මාන්තය සඳහාත් මෙකී ස්ථාන භාවිත කරන්න පුළුවන්.

ගාල්ල ධිවර වරායේ ධීවර කමිටුවේ සභාපති පී.බී.ගාමිණී මේ ව්‍යාපෘතිය අගය කරමින් කතා කළේය.

මේක ඉතා හොඳ ව්‍යාපෘතියක්. අපි කලින් ඉඳලම මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කළා. මත්ස්‍යයන් බෝවීම වැඩිවීම නිසා සුළු පන්න ධීවර කාර්මිකයන්ගේ අතමිට සරුවෙනවා. මීට පෙර නාරා ආයතනය මගින් දිය මත පාවෙන පෑඩ් දැම්මා. එම ස්ථානවල මාළු හොඳට බෝ වුණා. මත්ස්‍යයන් එම ස්ථාන වාසස්ථාන බවට පත්කර ගත්තා.

Comments