කොවිඩ් මැද සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියට... | සිළුමිණ

කොවිඩ් මැද සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියට...

ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහ විදුහලේ සිසුවියන් විභාග ශාලාවට යෑමට ප්‍රථම විදුහල්පතිතුමා දරුවන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරන අයුරු
ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහ විදුහලේ සිසුවියන් විභාග ශාලාවට යෑමට ප්‍රථම විදුහල්පතිතුමා දරුවන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරන අයුරු

මාස තුනක කාලයක ප්‍රමාදයකින් පසුව සාමාන්‍ය පෙළ විභාගය ඇරඹුණේ පසුගිය 1 වැනිදාය. එය මාර්තු 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට විභාග අපෙක්ෂකයන් 622,352 ක් මුහුණ දෙති. එයින් පාසල් අයැදුම්කරුවන් 423,746 දෙනෙක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 198,606 දෙනෙක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙති.

සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ දෙසැම්බර් මුල් සතියේදිය. නමුත් මෙවර දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට පමණක් නොව මුළු මහත් ලෝකයාගේ ජන ජීවිතයට දැඩි තර්ජනයක් වූ කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් මාස කිහිපයක් සාමාන්‍ය පෙළ විභාගය කල් තැබු‍වේ විභාගයට මුහුණ දෙන සිසුන්ට සූදානමක් ලබා ගැනීමට හා මගහැරුණු විෂය කරුණු අනාවරණය කර ගැනීමටය.

මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් පතමින් බස්නාහිර පළාත ඇතුළු සමස්ත පාසල්වල සාමාන්‍ය පෙළ පන්ති විවෘත කළ අතර ගෙවුණු මාස දෙකක කාලය වෙන්වූයේ සාමාන්‍ය පෙළට මුහුණ දෙන දරුවන් විභාගයට සුදානම් කිරීමටය.

පාසල් දරුවන් දිනෙන් දින කොවිඩ් රෝගයට ගොදුරු වන පුවත් වාර්තා වන්නට වූ අතර විභාගයට මුහුණ දෙන දරුවන් පවුල් පිටින්ම නිරෝධායනයට පත්වූ අවස්ථා ඕනෑ තරම් වාර්තා විය. එහෙත් කිසිදු දරුවෙකුට අගතියක් ඇති නොවන පරිදි සෑම දරුවකුටම විභාගයට මුහුණ දිය හැකි පරිදි විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ විභාගය පැවැත්වූවා සේම කොවිඩ් වැලඳුණු දරුවන් විශාල පිරිසක්ද ආදාළ නිරෝධායන මධ්‍යස්ථානවල සිටියදීම සාර්ථකව විභාගයට මුහුණ දෙන්නට හැකිවිය. ඒ අනුව එදා උසස් පෙළ විභාගයට පැමිණීමේ ප්‍රතිශතය සියයට සියයකි.

එවන් අභියෝගයක් මැද උසස් පෙළ වැනි අති තරගකාරි විභාගයක් සුදානම් කළ අධ්‍යාපන හා විභාග දෙපාර්තමේන්තු බලධාරීන්ට මෙය පෙර මෙන් දැඩි අභියෝගයක් වූවේ නැත. කළ යුතු, පිළිපැදිය යුතු මෙන්ම සුදානම් විය යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මේ වන විට අත්දැකීමෙන්ම විඳි නිසා පහසුවෙන් අවශ්‍ය කටයුතු සූදානම් කර ගැනීමට හැකිවිය. එහෙත් මෙවරද කොවිඩ් ආසාදිත දරුවෝ 38 දෙනෙක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම විශේෂත්වයකි.

වමේ සිට, යල්වෙල පඤ්ඤා­සේ­කර හිමි, අධ්‍යා­පන ඇමැති මහා­චාර්ය ජී.ඇල් පීරිස්,  විභාග කොම­සා­රිස් ජන­රාල් සනත් පූජිත, කොළඹ දේවි බාලිකා විදු­හ­ල්ප­තිනි ප්‍රදීපා සම­ර­සිංහ සහ  නෙළුව ජාතික පාසලේ විදු­හ­ල්පති ධර්ම­දාස කුමා­රගේ

“ මෙවර සාමාන්‍ය පෙළ විභාගය විභාග මධ්‍යසථාන 4513 ක පැවැත්වෙනවා. මේ සැම මධ්‍යස්ථානයකම විශේෂිත කාමරයක් අපි සූදානම් කර තියෙනවා, යම් දරුවෙකු අසනීප වුවහොත් ඔවුන්ට විභාගයට මුහුණ දීමට. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි පළමු දිනයේ කොවිඩ් ආසාදිත දරුවෝ 38 දෙනෙක් විභාගයට මුහුණ දුන්නා. පළාත් වශයෙන් බස්නාහිර සිසුන්11 ක්, දකුණ සිසුන් 6ක්, සබරගමුව සිසුන් 4ක්, මධ්‍යම සිසුන් 15 ක්, උතුර සිසුන් 1ක් හා නැගෙනහිර සිසුන් 1 ක් වශයෙන්. නමුත් වයඹ, ඌව හා උතුරු මැද කිසිදු කොවිඩ් ආසාදිත අපේක්ෂකයකු විභාගයට මුහුණ දුන්නේ නැහැ. නිරෝධායන වන හා ආසාදිත අය සඳහා සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි විශේෂ මධ්‍යස්ථාන 40 ක් වෙන් කළා. කොළඹ දිස්ත්‍රක්කයේ කොවිඩි ආසාදිත දරුවන් වෙනුවෙන් විභාගයට මුහුණ දීමට නවගමුව දිස්ත්‍රික් රෝහලත්, ලුනාව දිස්ත්‍රික් රෝහලත් වෙන් කර තියෙනවා. මෙවර අයි.ඩි.එච් උණ රෝහලේ කිසිදු කෙනෙකු විභාගයට පෙනී සිටියේ නැහැ.

ඒ වගේම විභාග රාජකාරි කොවිඩ් සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සිදු කිරිමට අවශ්‍ය සියලු පියවර අරගෙන තියෙනවා. විභාග කාර්ය මණ්ඩලය විභාග අවස්ථාවේදි මුඛ ආවරණ අත්‍යාවශයයි. නමුත් ළමයින්ට විභාගය ලිවීමේදි මුඛ ආවරණ අත්‍යාවශ්‍ය නැහැ. ඒ වගේම සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරිමට සිදුව ඇති නිසා අපේක්ෂකයින් විනාඩි 45 කට පෙර විභාග ශාලාවට පැමිණිය යුතු වෙනවා. මෙවර 55,000 කට ආසන්න කාර්ය මණ්ඩලයක් විභාග රාජකාරී වල නියැළීි සිටිනවා. එසේම සෑම පාසලකම විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පති අතිරේක ශාලාධිපති වශයෙන් කටයුතු කරන අතර ඔහු සනීපාරක්ෂක කටයුතු වගකීමද දරනවා. ඒ වගේම සෑම මධ්‍යස්ථානයකටම මහජනසෞඛ්‍ය පරික්ෂකවරයෙකු සහභාගී වෙනවා...’’ ඒ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන අන්දමට උසස් පෙළ විභාගයේ මෙන් නොව සෑම දිනකම ලක්ෂ 5 ක ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙති. එසේම විභාගයට පැමිණීම මේ වන විට 99% කි .

“අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 4513 ක ක්‍රමානුකූල ව සැලසුම්වලට අනුකූලව කෙරීගෙන යනවා. කෝවිඩ් ආසාදිත දරුවන් 38 දෙනෙක් විභාගයට පෙනී සිට තිබෙනවා.

රෝගී තත්ත්වයට පත්වන දරුවන් සඳහා විශේෂ වැඩ පිළිවෙළක් සකසා තියෙනවා. නිරෝධායනය වන අපේක්ෂකයන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 40 ක් දිවයින පුරා ස්ථාපිත කරල තිබෙනවා. විභාග පවත්වන්න උත්සාහ කරපු හැම වෙලාවෙ ම අසුබවාදී විදියට බලපු අය හිටියා. ඒ අයට මේ සියල්ල අසුබවාදී දේවල්.

විභාගය පැවැත්වීමට සියලු පාසල්ද සනීපාරක්ෂක කටයුතු ආරම්භ කළේ ඊට පෙර සිටමය. විභාගය ආරම්භ කිරීමට මත්තෙන් සෑම මධ්‍යස්ථානයක්ම සනීපාරක්ෂක කටයුතු සිදු කිරිමට පාසල් ප්‍රධානීහු කටයුතු කරති. “ අපේ පාසලෙ සිසුන් 231 දෙනෙක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. සමාන්‍ය කොවිඩි නීතිරීති අනුගමනය කරමින් උදේ 6.30 ට පෙර විභාග මධ්‍යස්ථානවල සනිපාරක්ෂාව තහවුරු කරනවා. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබුණු මුදල් ප්‍රතිපාදන අපි යොදා ගත්තා. ඒ වගේම විභාගයට පෙර සිට අපි සිසුන්ගේ තොරතුරු දිනෙන් දින යාවත්කාලින කරමින් අවශ්‍ය දත්ත ලබා ගත්තා. මේ නිසා අසනීප සිසුන් සිටිනවද කියලා කල් තබා අපිට තොරතුරු ලබා ගතන්න හැකිවුණා. අපේ පාසලේ කොවිඩ් නිසා අසනීප වූ සිසුන් සිටියේ නැහැ. නමුත් යම් දරුවෙකු අසනිප වුවහොත් ඒ වෙනුවෙන් අපේ පාසලට දිනපතා වෛද්‍යවරයකු පැමිණෙනවා. ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක් දිනපතා පාසලට පැමිණෙනවා, ඒ යම් සිසුවකු විභාග අතරවාරයේදි අසනීප වුවහොත් ඊට සහය වෙන්න. කෙසේ වෙතත් අපි හැමෝම දන්නා පරිදි මෙම විභාගය කොවිඩ් නිසා කල් ගියා. මාස තුනකට පසු විභාගය පවත්වන්නේ හොඳ සැලසුමකින් පසුවයි. ඒ වගේම සෑම දෙයක් පිළිබඳවම හොඳ අධීක්ෂණයක් කෙරෙනවා...“ ඒ කොළඹ දේවි බාලිකා විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ ය.

කොළඹ පමණක් නොව කොළඹින් බාහිරවද විභාගය පැවැත්වීම සාර්ථකව සිදුවෙයි.

“ අපේ සිසුන් 238 දෙනෙක් විභාගයට මෙවර පෙනි සිටිනවා. දරුවන්ට හැකි පමණ උපරිමයෙන් විෂය මාලාව ආවරණය කළා. අපේ පාසලට බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙන් පැමිණෙන ළමුන් සිටියා.

නමුත් පසුගිය කාලයේ වූ සංචරණ සිමා නිසා මේ ළමයින්ට පාසලට පැමිණ වැඩ ආවරණය කර ගැනීමට නොහැකි වුණා. එය අපේ දරුවන්ට ගැටලුවක්. නමුත් දුරස්ත අධ්‍යාපනය හරහා මේ ගැටලු යම්තාක් සමතයකට පත් කර ගැනීමට හැකිවුණා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විෂබීජහරණයට අවශ්‍යය සියලු දේ ලබා දුන්නා. විභාගයට පැමිණෙන අපේ සිසුන්ගේ උණ බැලීම පාසල විසින්ම කරනවා.....“ ඒ නෙළුව ජාතික පාසලේ විදුහල්පති ධර්මදාස කුමාරගේ ය.

කොවිඩ් අභියෝග මැද පැවැත්වෙන විභාගය සාර්ථකව පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ වී ඇත්තේය. ඒ වෙනුවෙන් ගුරු සිසුන්ට හා කාර්ය මණ්ඩලයට අවශ්‍ය සියලු දේ ලබා දීම ප්‍රමුඛ කාර්යයක් විය. සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි මේ පිළිබඳව සිළුමිණට අදහස් එක් කළේ මේ ආකාරයෙනි.

“ මාස තුනකට පසුව විභාගය පැවැත්වීම ගැන සතුටුයි. නමුත් යම් පළාත්වල සිසුන්ට විෂයමාලා ආවරණය වීම් සිදුව නැහැ. මේ නිසා ඒ සිසුන්ට යම් අසාධාරණයක් සිදුවිය හැකියි.

මෙය කඩඉම් පරීක්ෂණයක් නොවන නිසා අපි ඉල්ලා සිටින්නේ ලකුණු ලබා දීමේදී සාධාරණයක් ඉටු කරන ලෙසයි. කෙසේ වෙතත් මෙවන් ප්‍රසිද්ධ විභාගයක් සැලසුම් කිරීමේ සිට ප්‍රතිඵල ලබා දීම දක්වා ඇත්තේ අති බැරෑරුම් කාර්යයන් හා වගකීම් ගොන්නකි. එය බොහෝ දෙනෙක් දන්නේ නැත. එසේනම් එවන් විභාගයක් කොවිඩ් වසංගත තත්ත්වයක් මධ්‍යයේ පැවැත්වීම කෙනකු හිතන පතන තරමේ ලෙහෙසි පහසු දෙයක් නොවේ.

Comments