කොවිඩ් භූම­දා­නය හා ඉර­ණ­තිව් අර්බු­දය | සිළුමිණ

කොවිඩ් භූම­දා­නය හා ඉර­ණ­තිව් අර්බු­දය

ඉරණතිව් දූපත් වැසියන් භුමදානයට කපා තිබූ වළවල් වසා දැමිමට උත්සාහ කළ අයුරු
ඉරණතිව් දූපත් වැසියන් භුමදානයට කපා තිබූ වළවල් වසා දැමිමට උත්සාහ කළ අයුරු

කොවිඩ් දේහය භූමදානය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ තාක්ෂණ කමිටුව හා එහි අනුකමිටුව ගත් තීරණයක් අනුව කොරෝනා මෘතදේහ භූමදානය සඳහා ඉරණතිව් දූපත සුදුසු බවට තීරණය කර ඇත.

කොවිඩ් ආසාදනය වී මිය යන අයගේ දේහ භූමදානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ගැසට් පත්‍රිකාව අනුව මෙම තීරණය ගෙන ඇත. මෘතදේහය දූපත ගෙනයාමේ සම්පූර්ණ වියදම රජය විසින් සලසන බවද ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

“මෙම මෘතදේහ භූමදානය සඳහා අපි ඉරණතිව් තෝරා ගත්තේ තාවකාලිකවයි. අපි උපදෙස් දී තිබෙන්නේ සෑම පළාතකම මේ සඳහා සුදුසු ස්ථාන තෝරා ගැනීමට පළාත් මට්ටමින් කමිටුවකින් තීරණ ගත යුතු බවයි. කෙසේ වුවත් ඒ අනුව ඉදිරියේදි තවත් ස්ථාන කිහිපයක මෙම මෘතදේහ භූමදානයට කටයුතු කරනවා.

මෘතදේහ භූමදානය කරන තෙක් සෞඛය වෛද්‍ය නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂක යනාදීන්ගේ අධීක්ෂණයට ලක්කරනවා. මෘතදේහ සඳහා අවසන් ගෞරව දැක්වීමට ඥාතීන් දෙදෙනෙකුට අවසර ලබා දෙනවා. මෙම මෘතදේහ භූමදානය සඳහා රැගෙන යනු ලබන්නේ සීල් කිරීමෙන් පසුවයි. ඒ අනුව වෛරස පිටවීමක් සිදුවන්නේ නැහැ” යනුවෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මෙලෙස මළසිරුරු භූමදානයට අවසර දී ඇති ඉරණතිව් වනාහි පෝක් සමුද්‍ර සන්ධියේ එකට පිහිටා ඇති දූපත් දෙකකි. කිළිනොච්චි දිස්ත්‍රික්කයට අයත් පුනකරී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මෙම දූපත් දෙක පෙරුම් තීවු යන විශාල දූපතෙන් හා සිරුම් තීවු යන කුඩා දූපතකින් යුක්ත වේ. ඒ අතරින් කරදිය ඇළක් ගමන් කරන අතර මෙම දූපත් දෙකේ වර්ග ප්‍රමාණය අක්කර 1043කි.

කොළඹ සිට කිලෝමීටර් 263ක් දුර මෙහි කතෝලික දේවස්ථාන දෙකක්, රෝහලක් හා තැපැල් කාර්යාලයක් ද ඇත. 1992 සකස් කරන ලද නිල මිනින්දෝරු සිතියමට අනුව පෙරුම් තීවු විශාල දූපතේ ඉඩම් කට්ටි 143ක් සලකුණු කර ති‍ෙබ්. කුඩා දූපතේ ඉඩම් කට්ටි 35ක් ලකුණු කර ඇත. අලුත් තොරතුරු අනුව පවුල් 108කට අයත් 335 දෙනෙකු මෙහි ජීවත් වෙති. එම සියලු පවුල් යුද්ධයෙන් අනතුරුව 2017 වස‍ෙර්දී ඉරණතිව් දූපතේ නැවත පදිංචියට ගිය අයයි.

මෙහි 1886 ඉදිකරන ලද ඔරලෝසු කණුවක් ඇත. ඒ අනුව වසර 200 ක ඉතිහාසය සම්බන්ධයෙන් දූපත් වැසියෝ සිය අනන්‍යතාව හෙළි කරති. ඔවුන් පළමුවරට අවතැන් වන විට මේ දූපත්වල පල්ලි දෙකක්, සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, පිරිසිදු ජලය බොන ළිං 5ක් හා ගලින් තැනූ ගෙවල් 135ක්ද තිබූ බව දූපත් වැසියෝ පවසති.

ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තයයි. පිරිමි මුහුදු යද්දී ගැහැනුන් කකුළුවන් හා මුහුදු කූඩැල්ලන් ඇල්ලීමෙන් ආදායම වැඩි කර ගත් බව පෙනේ. ශ්‍රී ලංකාවේ දකුණු දෙස පිහිටි මීගමුව, පුත්තලම වැනි ප්‍රදේශවල ජනතාව සමඟ මෙම දූපත් වැසියන්ට වෙළෙඳ හා සමාජ සංස්කෘතික සම්බන්ධතා තිබී ඇත. පල්ලියේ කටයුතු පැවැත්වීමට වාර්ෂිකව මීගමුවේ සිට කතෝලික දේවගැති වරයෙක් මෙම දූපතට පැමිණ ඇති බවට ද වාර්තා වෙයි.

ලුනු, මිරිස්, මඤ්ඤොක්කා මෙහි බහුලව වගා කර ඇති අතර පොල් ගස්ද තිබේ. ගවයන්, එළුවන් ආදී සත්ත්වයන් පශු සම්පත් පාලනයට යොදා ගෙන ඇත. මෙම ඉරණතිව් දූපතේ වැසියන් පවසන්නේ කොවිඩ් සිරුරු ආදාහනය ඉරණතිව් දූපතේ නොකළ යුතු බවයි. එයට විරෝධය පළ කරමින් පසුගිය 03 වැනිදා ඉරණතිව් දූපතට පිවිසෙන ඉරණමාතා නගර් ප්‍රදේශයේදී විශාල විරෝධතාවක් සංවිධානය කර තිබිණි. මේ සඳහා ආගමික නායකයෝ, කතෝලික පියතුමන්ලා, ස්වේච්ඡා සංවිධාන නායකයෝ හා ගම්වාසීහු එක්ව සිටියහ. ඔවුහු ඉරණතිව් දූපත අභ්‍යන්තරයට ද ගොස් විරෝධතාවක් පැවැත්වීමට අපේක්ෂා කරති.

මෙම දූපතේ පසුගිය දිනවලදී දේහයන් භූමදානය කිරීමට හාරා තිබූ වළවල් කිහිපයක් ද දක්නට ලැබී ඇත. ඒවා විරෝධතාවට එක්වූ ජනතාව එක්ව වසා දැමීමට පියවර ගත්හ.

මේ ගැන අදහස් දක්වන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද පවසන්නේ මෙම මෘතදේහ භූමදානයට එම දූපතේ අය බලවත් විරෝධය දක්වන බවයි. ඒ නිසා මෘතදේහ භූමදානය කිරීම සඳහා වෙනත් ස්ථාන හා විකල්ප ක්‍රමවේද සොයා බැලීම සඳහා අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් තමා ඉල්ලා සිටි බවත් ඇමතිවරයා පවසයි. මෙම ජනතා විරෝධය සම්බන්ධයෙන් මානව හිමිකම් කාර්යාලයට ද ලිපියක් භාර දී ඇතැයි උතුරේ ආරංචි මාර්ග පවසයි.

“මෑතක සිට ඉරණතිව් දූපතට ජනතාව වැඩි වශයෙන් ජීවත් වීමට පැමිණ සිටිනවා. ඊට අමතරව නාවික හමුදාවේ ද කඳවුරු කිහිපයක් මේ ප්‍රදේශයේ තිබෙනවා. මෑතකදී ආරම්භ කරන ලද ඉරණතිව් මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මානය මඟින් වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් මිලියන 25කට අධික මුදලක් විදේශ විනිමය ලෙස රජයට ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. එහෙත් මෙම කොවිඩ් භූමදාන කටයුතු නිසා එම ව්‍යාපෘතිය අඩාළ විය හැකියි. ඒ අනුව මේ මෘත දේහ භූමදානයට ඉරණතිව් සුදුසු නැහැ” ඇමතිවරයා පවසයි.

ඇමතිවරයා ඉදිරිපත් කළ අදහස්වලට ඉතා ඕනෑකමින් සවන් දුන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙම භූමදාන කටයුතු සඳහා විකල්ප සලකා බැලීමට පොරොන්දු වූ බවද ඇමතිවරයා පවසයි. ඉරණතිව් දූපතේ භූ විද්‍යාත්මක තත්ත්වය පිළිබඳ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසන්නේ මේ පිළිබඳව තම ආයතනය කිසිම අධ්‍යයනයක් කරනොමැති බවයි. “එහි ජල මට්ටම ගැන හෝ භූ විෂමතා පිළිබඳව හෝ තවම අප අධ්‍යයනයක් කර නැහැ. ඒ අනුව මේ ගැන අපට කිසිවක් කිව නොහැකියි. ඉංජිනේරු වල්පොළ මහතා කියයි.

එසේ වුවත් කොරෝනා මෘතදේහ භූමදානය පිළිබඳව තීරණය ගැනීමට පත්කළ තාක්ෂණ කමිටුවේ අනුකමිටුවේ සාමාජිකයන් පවසන්නේ ඉරණතිව් දූපතේ කෙළවරක මෙම මෘතදේහ භූමදානය කිරීමට ඉතා සුදුසු බව තමන් විද්‍යාත්මකව කළ අධ්‍යයන වලින් නිගමනය කළ බවයි. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මළසිරුරු ඉරණතිව් භූමදානය කිරීම සඳහා රැගෙන යාමේදී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව යම් පුද්ගලයෙකු කොවිඩ් වෛරසය ආසාදිතව මිය යාමෙන් පසුව ඒ පිළිබඳ ඥාතීන් විසින් නොපමාව සෞඛ්‍ය අංශ වෙත දැනුම් දිය යුතුයි. එම දැනුම් දීම අනුව අදාළ රෝහලේ අධ්‍යක්ෂවරයා හෝ වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා විසින් දේහය භූමදානය කිරීමේ එකඟතාව අදාළ මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගෙන් ලබාගත යුතුය. ඉන් අනතුරුව හදිසි මරණ පරීක්ෂණ වාර්තාවේ එම මරණය භූමදානය කිරීම සඳහා රැගෙන යන ස්ථානය ද ඇතුළත් විය යුතු අතර දේහය රැගෙන යාමට අවශ්‍ය පහසුකම් සකස් කිරීම අදාළ රෝහලේ අධ්‍යක්ෂවරයා හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධානියා විසින් කළ යුතු වේ. මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ දේහය භූමදානය සඳහා රැගෙන යනු ලබන දිනය අදාළ සෞඛ්‍ය බලධාරීන් විසින් ඥාතීන්ට දැනුම් දිය යුතු අතර දේහය බහාලීම සඳහා වූ පෙට්ටිය ඥාතීන් විසින් සැපයිය යුතුය. මළසිරුර භූමදානය කිරීම සඳහා රැගෙන යාමට සූදානම් කිරීමේදී ආගමික වතාවත් කිරීමට අවස්ථාව ලබා දෙන අතර එය සිදුකරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රමවේදයන්ට යටත්වය.

මියගිය කොවිඩ් ආසාදිතයන්ගේ දේහයන් භූමදානය සඳහා රැගෙන යනු ලබන්නේ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය සහ වැලිකන්ද රෝහලේ සිටයි. එම ස්ථානවලට අදාළ දේහයන් භාර දීමට අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය නිලධාරීන් විසින් කටයුතු කළ යුතුය. ඊට ඉහත ස්ථාන දෙකේ සිට සෑම උදෑසනකම පෙරවරු 5.30ට නාච්චිකුඩා තොටුපළ දක්වා කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ දේහ රැගෙන යාම සිදුකරනු ලැබේ. එතැන් සිට ඉන්පසුව ඉරණතිව් දූපත බලා දේහයන් රැගෙන යාම සිදුකෙරේ.

මියගිය පුද්ගලයන්ගේ දේහයන් හඳුනාගැනීම සඳහා පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් ඉරණතිව් බලා යාමට අවසර හිමිවන අතර එය ද පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව සිදුකෙරේ. දේහය තැන්පත් කර ඇති පෙට්ටිය කිසිඳු හේතුවක් මත විවෘත කිරීමට අවසර හිමි නොවන අතර අවසන් කටයුතු කිරීමේදී දේහ‍ය ඇතුළත් පෙට්ටිය හැසිරවීම යනාදී කටයුතු සඳහා මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට කිසිඳු අයුරකින් සම්බන්ධ විය නොහැකිය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම විශේෂ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ව ඇත්තේ මෙම සියලු කටයුතු ආරක්ෂක අංශවල ආරක්ෂාව යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බවයි.

මේ අතර ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ භූ විද්‍යාඥයන්ගේ උපදෙස් අනුව මෙරට භූගත ජල මට්ටම අඩුම ප්‍රදේශ දෙකක් කෝවිඩ් භූමදානය සඳහා සුදුසු බවට හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව මන්නාරමේ සිලාවතුරේ මරිච්චිකඩ්ඩි හා නැ‍ඟෙනහිර නිලාවැලි ආසන්නයේ ඉරක්කන්ඩි ප්‍රදේශ දෙකේ භූගත ජල මට්ටම මීටර් 30 ට වඩා යටින් පැවැතීම නිසා මෙහි කෝවිඩ් දේහ භූමදානයට සුදුසු බව භූ විද්‍යාඥයන් දැනුම්දුන් බව ඇමැති වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ට දන්වා ඇති බව ද ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශයේ භූගත ජල විද්‍යාඥයෝ හා භූ විද්‍යාඥයෝ පවසති.

 

Comments