කොරෝනා නිසා අම­තකව ගිය ක්ෂය ­රෝ­ගය | සිළුමිණ

කොරෝනා නිසා අම­තකව ගිය ක්ෂය ­රෝ­ගය

මේ දිනවල කොයි කාගේත් මාතෘකාව කොවිඩ් ගැනය. කොවිඩ් - 19 වයිරසයට ගොදුරුවී මිය ගිය සංඛ්‍යාව ගැන සමහරුන් අවධානය යොමු කරන විට තවත් අය කතා කරන්නේ කොවිඩ් ආසාදනය වී මිය ගිය අය ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම පිළිබඳවය. දැන් අලුත්ම කතාබහ කොවිඩ් - 19 වයිරසය මර්දනය කිරීම සඳහා සිදුවන එන්නත්කරණය ගැනය. අද බොහෝ දෙනකුට ඩෙංගු මතක නැත. ක්ෂය රෝගය මතක නැත. එහෙත් ලංකාවේ ආසාදන නිසා සිදුවන මරණ අතරින් දෙවැනි තැන හිමිවී තිබෙන්නේ ක්ෂය රෝගයටය.

සාමාන්‍යයෙන් ලංකාවේ ක්ෂයරෝගයට ගොදුරු වන පිරිස 8000 – 9000 ත් අතරවේ. 2019 වර්ෂයේ පමණක් ක්ෂය රෝගයට ගොදුරු වූ පිරිස 8434 කි. මෙම රෝගීන්ගෙන් 23% - 25% අතර පිරිසක් කොළඹ ප්‍රදේශයේ ජීවත්වන අය වෙති‍. ඊට අමතරව ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, රත්නපුර යන දිස්ත්‍රික්කවලින් ද ක්ෂය රෝගීන් වාර්තා වී තිබේ. මෙම ක්ෂය‍ රෝගීන්ගෙන් 6.8% ක ප්‍රමාණයක්, එනම් රෝගීන් 500 – 600 ක ප්‍රමාණයක් වාර්ෂිකව මිය යති. සැබැවින්ම මෙය ලංකාවේ විශාලතම මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වී තිබේ. නමුදු මේ වනවිට ක්ෂය රෝගය කාගේත් අවධානයෙන් ගිලිහුණු රෝගයක් බවට පත්වී තිබේ.

 ලෝක ක්‍ෂය රෝග දිනය නිමිත්තෙන් ත්‍රිකුණාමලයේ පැවති පාගමනක්

“ක්ෂය ‍රෝගය හැදෙන්නේ මයිකොබැක්ටීරියම් ටියුබර් ක්‍යුලෝසිස් කියන බැක්ටීරියාව ශරීරගත වීමෙන්. රෝගියකුගේ රෝග කාරක බැක්ටීරියා අඩංගු කෙළ බිඳිති, සොටු පරිසරයට එකතු වීමෙන් නි‍රෝගී අයටත් ක්ෂය රෝගය බෝවෙන්න පුළුවන්. මෙම බැක්ටීරියාව ශරීරගත වෙන්නේ ශ්වසන පද්ධතියෙන්. අපිට හමුවූ රෝගීන්ගේ තොරතුරු පරීක්ෂා කිරීමේදී සමූහ වශයෙන් ජීවත්වන අය අතර ශීඝ්‍රයෙන් පැතිරෙන බව පෙනෙනවා. නගරවල තදබදය සහිත නිවාසවල ජීවත්වන අය, නේවාසිකාගාරවල සිටින අය, වැඩිහිටි නිවාසවල සිටින අය බහුලව ගොදුරු වන බව පෙනෙනවා. ක්ෂයරෝගයට ගොදුරු වන රෝගීන්ගෙන් 3% ක් වයස අවු. 15 ට අඩු දරුවන්. වරක් බෝඩිමක ඉන්න වැඩට යන ගෑනු ළමයෙක් ක්ෂය රෝගයට බේත් ගන්න ආවා. දවස් 2 යි බේත් ගත්තේ. ඒ ළමයා මැරුණා. ඒ ළමයා බේත් ගන්න ආවේ රෝගය හොඳටම පැතිරුණට පස්සේ. ක්ෂය රෝගය මාස 6 ක් නොකඩවා ප්‍රතිකාර කිරීමෙන් නිට්ටාවට සුව කරගන්න පුළුවන්. නිට්ටාවට සනීප කරගැනීමට සියලු පහසුකම් තිබියදී වර්ෂයකට 500 – 600 ත් අතර රෝගීන් ප්‍රමාණයක් මිය යෑම ලොකු ඛේදවාචකයක්.

ක්ෂය රෝගයට බේත් අරගන්න බොහෝ දෙනෙක් යොමු නොවන්නේ සමාජයේ කොන් කිරීම් නිසා. ක්ෂය රෝගය කෙරෙහි යහපත් ආකල්පයක් සමාජයෙන් ගොඩනැ‍ඟෙනවා නම් අපිට මෙය පහසුවෙන් පාලනය කරන්න පුළුවන්.” යනුවෙන් පැවසුවේ ජාතික ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රවර්ධන අංශයේ වෛද්‍ය අමාලි ජයසිංහ සේනානායක ය.

අදටත් ක්ෂයරෝගය වැලඳුණු කෙනකු ඇසුරු කිරීම තබා එවැනි රෝගියකුගේ නිවසකින් වතුර වීදුරුවක් පානය කිරීමට බොහෝ දෙනෙක් බියක් දක්වති. ක්ෂය රෝගියකුගේ නිවසක ජීවත්වන සෙසු අය සමඟ ආවාහ - විවාහ කටයුතු සිදු නොකරන තරම් ය‍. ඇතැම් විවාහ පවා දෙදරා යෑමට මෙම පුංචි බැක්ටීරියාව හේතු වී තිබේ. මෙම රෝගීන් සමාජයෙන් කොන් කරන තාක් කල් සැඟවුණු ක්ෂ‍ය රෝගීහු සමාජයේ සිටිති. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ සැඟවුණු ක්ෂය රෝගීන් 13,000 ක් පමණ අපේ සමාජයේ සිටින බවය. මෙම පිරිස රෝග වාහකයන් වන බැවින් මෙම පිරිස හඳුනාගැනීම සෞඛ්‍ය අංශයට ලොකු අභියෝගයක් වී තිබේ.

ක්ෂය රෝග කාරක බැක්ටීරියාව දැඩි හිරු රශ්මියෙන් විනාශ වේ. බරින් අඩු බැක්ටීරියා සැහැල්ලු බැවින් වාතයෙන් පෙණහලු කරා ඇතුළු වනු ඇත. එක් බැක්ටීරියාවකින් 15 දෙනකුට රෝගය බෝවීමේ හැකියාව තිබේ.

“ක්ෂය රෝග කාරක බැක්ටීරියාව ශරීරගත වූ පමණින් හැදෙන්නේ නැහැ. ශරීරයේ ප්‍රතිශක්තිකරණය තිබෙනවා බැක්ටීරියාව නිදාගෙන අවුරුදු ගණනක් ඉන්නවා. සමහරවිට අවුරුදු 15 ක් විතර වෙන්න පුළුවන්. ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවුණු ගමන් බැක්ටීරියාව ක්‍රියාකාරි වෙනවා. විශේෂයෙන් දියවැඩියාව, පිළිකාව ඒඩ්ස් වැලඳුණු අය ඉතා පහසුවෙන් ගොදුරු වෙනවා. වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ ශරීර තුළ ප්‍රතිශක්තිය අඩු නිසා ඒ අයත් පහසුවෙන් ගොදුරු වෙන්න පුළුවන්.” යනුවෙන් වෛද්‍ය අමාලි ජයසිංහ සේනානායක සඳහන් කළාය. සාමාන්‍යයෙන් ක්ෂය රෝගියකුගේ රෝග ලක්ෂණ ලෙස සති 2 කට වඩා පවතින කැස්ස, කෑම අරුචිය, කෙට්ටුවීම, තෙහෙට්ටු ගතිය, අලස බව, හුස්ම ගැනීමේ අපහසුව, මඳ උණ දැක්විය හැකි ය. සාමාන්‍යයෙන් ක්ෂයරෝගය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වුවත් මිනිස් සි‍රුරේ කෙස් සහ නිය හැර සෙසු අවයව ආශ්‍රිතව ද ක්ෂය රෝගය වැල‍ඳේ.

“සාමාන්‍යයෙන් ක්ෂය ‍රෝගය 70% ක් ඇති වෙන්නේ පෙණහලු ආශ්‍රිතව. නමුත් කොන්ද, පැලෝපීය නාල, සම, ඇස් වැනි සෙසු ඉන්ද්‍රියන්වලටත් ක්ෂයරෝගය හැදෙනවා. ඒක ඇති වෙන්නේ බැක්ටීරියා පුංචි කාලේ ශරීරගත වෙලා අවුරුදු ගණනක් සැඟවිලා තිබිලා සක්‍රීය වුණාම. ශරීරයේ කොතැනක හරි සැඟවීගෙන ඉඳලා අභ්‍යන්තරව ගමන් කිරීමෙන් තමයි වෙනත් ඉන්ද්‍රියන්වලට ක්ෂය රෝගය හැදෙන්නේ. සමහර පුංචි ළමයින්ට කොයි තරම් පෝෂ්‍යදායි ආහාර දුන්නත් බර වැඩි වෙන්නේ නැහැ.

සමහර දරුවන් කෙට්ටු වෙනවා. බර අඩු වෙනවා. අලස විදිහට ඉන්නවා. සමහර වෛද්‍යවරුන් පවා ඒ ගැන ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ‍. කිසි කෙනෙක් නොහිතුවාට ඒ ළමයින්ට ක්ෂය‍රෝගය තියෙන්න පුළුවන්.” යනුවෙන් පැහැදිලි කළේ වැලිසර ළය රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය බන්දු ගුණසේනය.

මේ අනුව දීර්ඝකාලීන කොන්දේ වේදනාව සහ කකුල් අප්‍රාණිකත්වය කොන්දේ ඇතිවුණු ක්ෂයරෝගයේ ලක්ෂණ විය හැකි ය. ප්‍රතිකාර කළත් සුව නොවන ඇස් රතුවීම ඇසේ ක්ෂයරෝගය පෙන්වන රෝග ලක්ෂණයකි. දීර්ඝකාලීන හිස කැක්කුම ක්ෂය රෝග බැක්ටීරියාව නිසා ඇතිවූ මෂ්තිෂ්ක තරල ප්‍රදාහය හේතුවෙන් ඇති විය හැකි ය. ප්‍රතිකාර කළත් සුව නොවන තුවාල ඇතැම් විට චර්මය ක්ෂය රෝගයට ගොදුරුවීම නිසා ඇතිවේ. පැලෝපීය නාල ක්ෂය රෝගයට ගොදුරුවීමෙන් මඳ සරු බව ඇති විය හැකි ය. මේ ආකාරයට අප නොසිතන ආකාරයට ශරීරයේ ඉන්ද්‍රියයන් ක්ෂය ‍රෝගයට ගොදුරු වී තිබිය හැකි ය‍.

“ක්ෂය රෝගය වැලඳිලා ද කියලා තහවුරු කරගැනීමට පරීක්ෂණ තුනක් කරනවා. 1 වැනි පරීක්ෂණය X – Ray පරීක්ෂණ 2 වැනි පරීක්ෂණය වෙන්නේ සෙම පටල පරීක්ෂණය. එතනදී සෙම පටල මිලි ලීටරයක විෂබීජ 1000 ක් අඩංගු වුණොත් විතරයි රෝගය හඳුනාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දැන් ජාන තාක්ෂණ පරීක්ෂණයක් කරනවා. ඒ සඳහා රුධිරය හැර අනෙකුත් තරල පරීක්ෂාවට ලක් කරනවා. මේ ජාන තාක්ෂණ පරීක්ෂණයෙන් රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගන්න පුළුවන්. රෝගය හඳුනා ගැනීමත් සමඟම අපි රෝගීන්ට බෙහෙත් දෙන්න පටන් ගන්නවා. මේ රෝගයට දවසකට පෙති 11 ක් විතර බොන්න වෙන නිසා ගොඩාක් රෝගීන් සති 2, 3 කින් බේත් නවත්වනවා. මොකද බේත් පටන් අරං සති 2 ක් යන විට ‍රෝග ලක්ෂණ හොඳ වෙනවා. ඒත් නොකඩවා හය මාසයක් හෝ අවුරුද්දක් බේත් බොන්න ඕනෑ. බෙහෙත් අතරමඟ නැවැත්වීමෙන් දෙවැනි වතාවට හැදෙන්නේ ඖෂධ ප්‍රතිරෝධී ක්ෂය රෝගය. මේ තත්ත්වය භයානකයි. අධි ප්‍රතිරෝධී ක්ෂය රෝගයට බෙහෙත් අල්ලන්නේ නැතිව යන නිසා වැඩි මාත්‍රාවකින් අවුරුදු 2 ක් විතර ප්‍රතිකාර කරන්න වෙනවා. අනික ඒ රෝගීන්ගෙන් නිරෝගී අයට බෝවෙන්නේ අධිප්‍රතිරෝධී ක්ෂය ‍රෝගය මිසක් සාමාන්‍ය ක්ෂය රෝග විෂබීජය නෙමෙයි. ඒ නිසා බරපතළ තත්ත්වයේ සිටින ක්ෂයරෝගීන්ව රෝහල්ගත කරනවා. ඒත් ඒ අය හිරකාරයෝ නෙමෙයි, අපරාධකාරයෝ නෙමෙයි. රෝගීන්ව අවුරුදු ගණනක් රෝහල්ගත කරලා ප්‍රතිකාර කිරීමේදී ප්‍රායෝගික ගැටලු ඇති වෙනවා. එය ඇත්තටම මානුෂික පැත්තෙන් සලකා බැලිය යුතු කාරණාවක්.” යනුවෙන් ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය බන්දු ගුණසේන විස්තර කළේ ය.

ක්ෂය‍රෝගීන්ට ලබාදෙන ඖෂධ නිවැරැදිව භාවිත කරන්නේ දැයි පසු විපරම් කිරීමක් සිදුවන්නේ එම නිසා ය. මේ වනවිට රෝගයට නියමිත ඖෂධ 4 ක් අන්තර්ගත පෙති නිපදවා ඇත්තේ ‍රෝගියාගේ පහසුවට ය. එබැවින් දිනකට පානය කළ යුතු පෙති ප්‍රමාණය අඩු වේ. ක්ෂය රෝගියාට ආසන්නයේ සිටින රජයේ වෛද්‍ය නිලධාරියකු හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ පවුල් සෞඛ්‍ය නිලධාරි ඉදිරියේ රෝගියා ඖෂධ පානය කළ යුතු ක්‍රමවේදයක් යොදා‍ තිබෙන්නේ ක්ෂය රෝගීන් නොකඩවා ප්‍රතිකාර නොගැනීමෙන් රෝගියාට පමණක් නොව සමාජයට ද එය ‍බරපතළ ප්‍රශ්නයක් වන නිසා ය. වෛද්‍ය අමාලි ජයසිංහ සේනානායක සඳහන් කළේ රෝගියාගේ සමීපතම කෙනෙකු තෝරාගෙන ඒ තැනැත්තාගේ ඍජු අධීක්ෂණය යටතේ රෝගියාට ඖෂධ ලබාදීම දැන් සිදුකරන බවය.

ක්ෂය රෝගය සහ ශ්වසන ‍රෝග පිළිබඳ ජාතික රෝහල පිහිටා තිබෙන්නේ වැලිසරය. එහෙත් ක්ෂයරෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා ලංකාවේ සතර දිග්බාගයේ සිටින අය වැලිසර රෝහලට පැමිණීමට අවශ්‍ය නැත. සෑම දිස්ත්‍රික් රෝහලකම ස්ථාපිත කර ඇති දිස්ත්‍රික් ළය චිකිත්සාගාරයකට ගොස් ක්ෂය රෝගය පරීක්ෂා කරවා ගත හැකි අතර නොමිලේ ප්‍රතිකාර ලබාගත හැකිය. සඳුදා - සිකුරාදා තෙක් උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා විවෘතව තැබෙන මෙම සායන සෙනසුරාදා දහවල් 12.00 වනතුරු විවෘතව තිබේ. දැනට දිවයින පුරා ස්ථාපිත කර ඇති ළය චිකිත්සාගාර 28 කි. මෙම සායනවලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන අයට වෛද්‍යවරුන්ගේ නිර්දේශිත ලියුම් අවශ්‍ය නැත‍‍. කැමැති අයකුට පැමිණිය හැකිය.

2030 දී ක්ෂය රෝගය මෙරටින් තුරන් කිරීමේ අරමුණින් කටයුතු කළ ද එය අසීරු ඉලක්කයක් වී තිබෙන්නේ සැඟවුණු ක්ෂයරෝගීන් සිටීම, නිට්ටාවට සුව වනතෙක් නොකඩවා ප්‍රතිකාර ලබා නොගැනීම, අධි ප්‍රතිරෝධී ක්ෂය රෝගීන් හමුවීම යන කරුණු නිසාය. ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය බන්දු ගුණසේන සඳහන් කළේ ලංකාවේ ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව වසර 10 ක් පුරා එකම අගයකින් පවතින බවය. ක්ෂය රෝගය තුරන් කිරීමේ මිනුම් දණ්ඩට අනුව රටේ ජනගහනයෙන් ලක්ෂයකට රෝගීන් 5 දෙනකු හමුවිය යුතු ය. එසේ වුවත් තවමත් අපේ රටේ ජනගහනයෙන් ලක්ෂයකට රෝගීන් 60 දෙනකු හමුවේ.

ක්ෂය රෝගය මර්දනය කිරීමට ජනතාවගේ නිවැරදි අවබෝධය, දැනුම්වත් වීම අවශ්‍ය වන්නේ එබැවිනි.

Comments