කළු තිත් මුවා, කොටි කඳ­වුරු සහ රාජිව් ගාන්ධි | සිළුමිණ

කළු තිත් මුවා, කොටි කඳ­වුරු සහ රාජිව් ගාන්ධි

ළු තිත් මුවා යනු, වඳ වී යන සත්ත්ව විශේෂයකි. 1998දී සුප්‍රකට බොලිවුඩ් තරු සල්මන් ඛාන් රාජස්ථානයේ දඩයම් චාරිකාවකදී කළු තිත් මුවකුට වෙඩි තබා මරා දැමීම නිසා ඔහුට පස් අවුරුදු සිර දඬුවමක් නියම විය.

එහෙත් 1986 දී තමිල්නාඩුවේ කන්‍යාකුමාරි අසල කැලමියර් රක්ෂිතයේදී කළු තිත් මුවන් සිය ගණනකට වෙඩි තබා මරා දැමූ එල්ටීටීඊ ත්‍රස්වාදීන්ට කිසිදු දඬුවමක් නොලැබුණේ ඔවුන්ට ඉන්දියාවේ රජයේ ආරක්ෂාව ලැබුණු බැවිනි. මේ බව අවුරුදු 35කට පසු හෙළිදරව් කරනු ලැබුවේ එවකට ඉන්දියානු හමුදාවේ විශේෂ මෙහෙයුම් අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වූ ලු‍තිතන් ජෙනරාල් බල්ජිත් සින්ග් විසිනි.

ධනු නමැත්තිය රජීව්ට මල් මාලයක් පැලඳවීමට සූදානම්ව 

ඔහු 2021 පෙබරවාරි මස 07 වැනිදා ‘The News Caravan‘ හි පළකළ ලිපියක සඳහන් කළේ එල්ටීටීඊ කඳවුරු ගැන අනාවරණය කිරීමට නොව වඳ වී යන සතුන්ගේ ආරක්ෂාව ගැන සඳහන් කිරීමේ අභිලාෂයෙනි. ඔහු පළ කළ කතාව මෙසේය.

“එවකට අගමැති රාජිව් ගාන්ධි විසින් පිහිටවු නිසරු බිම් සංවර්ධන අධිකාරියේ සභාපති දලිප් මතායි මා හමුවීමට පැමිණ උදවුවක් ඉල්ලා සිටියා.

ඔහු පැවසුවේ කැලමියර් තුඩුවේ පිහිටි අභය භූමියේ කළු තිත් මුවන් 750ක් සිටි බව සංඛ්‍යා ලේඛනවල සඳහන් වූ අතර 1986 දී එය හදිසියේ 320 දක්වා පහළ වැටුණු බව ද මේ ගැන සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ එම වනාන්තරයේ පිහිටි ශ්‍රී ලංකාවේ කොටි හමුදාව පුහුණු කිරීමේ කඳවුරක පුහුණුව ලබන අන්තවාදීන් ඉලක්කයට වෙඩි තැබීමට පුහුණුව සඳහා මුවන් මරණ බවය. තිත් මුවන්ගේ මළ සිරුරු සිය ගණන් ලැබුණු අතර ඔවුන්ව මරා දමා තිබුණේ ආහාර පිණිස නොව වෙඩි පුහුණුව සඳහා බව පැහැදිලි යැයි දලිප් මතායි මට පැවසුවා. පසුදින මා අපගේ “ලොක්කා”, (එවකට හමුදාපති ජෙනරල් ක්‍රිෂ්ණස්වාමි සුන්දර්ජී) හමුවීමට ගියා. සිද්ධියට හොඳින් සවන් දුන් ඔහු මාව රැගෙන ගියේ අගමැති කාර්යාලයටයි. අගමැති රජිව් ගාන්ධි වෙනුවෙන් එල්ටීටීඊ නායකයන් සමඟ සම්බන්ධීකාරක ලෙස ක්‍රියා කළ නිලධාරියාට මෙම ප්‍රශ්නය ගැන සැල කළා. දෙදිනකට පසු ඔහු මට පැවසුවේ ප්‍රශ්නය නිරාකරණය කළ බවයි. ඉන්පසු තිත් මුවන් ඝාතනය මුළුමනින්ම නැවතුණා”.

මේ සිද්ධියෙන් ඔප්පු වන්නේ කොටි කඳවුරු ඉන්දියාවේ පවත්වාගෙන ගියේ එරට රජයේ අනුදැනුම මත ඉන්දියානු හමුදාවේ අධීක්ෂණය මත බවය. එහෙත් ඉන්දියාව දිගටම සිටියේ සිය රට තුළ කොටි කඳවුරු නැත යන ස්ථාවරය මතය.

1986 දී මා නව දිල්ලියේ තානාපති නිලධාරියකු වශයෙන් සිටියදී එවකට ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි, අගමැති රාජිව් ගාන්ධි හමුවීමෙන් පසු මහ කොමසාරිස් කාර්යාලයට ආපසු පැමිණි කළ ආවේගශිලී ප්‍රකාශයක් මට මෙහිදී සිහිපත් වේ.

රජීව් ගාන්ධි ඝාතනය වී තිබූ අයුරු

“මම රාජිව් ගාන්ධිට කොටි කඳවුරු ඉන්දියාවේ තිබෙන බව ඔත්තු සේවා කිරීමේ ඔප්පු සේවා ලියකිවිලි සහිත තොරතුරු මෙන්ම ඉන්දියානු ගවේෂණාත්මක මාධ්‍යවේදීන් කළ වාර්තා ද ලබාදුන්නා. එහෙත් අගමැතිවරයා සිනාසෙමින් පැවසුවේ මේ විස්තර ගැන සොයා බලන බවයි. එහෙත් ඔහුගේ මුහුණෙන් මට පැහැදිලි වූයේ ඒ ගැන සොයා බැලීමේ කිසිම වුවමනාවක් ඔහු තුළ නොවූ බවයි”, ලලිත් ඇතුලත්මුදලි අපට පැවසුවේ කෝපය සහ සංවේගය මිශ්‍ර හඬකිනි.

ඉන්දියානු ගවේෂණාත්මක මාධ්‍යවේදීන් පැවසුවේ කොටි ත්‍රස්තවාදීන්ට පුහුණුව ලබාදීම 1980 දී ආරම්භ කළේ එවකට අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් බවය.

1984 දී අගමැති පදවියට පත් රාජිව් ගාන්ධි තාවකාලිකව කොටි කඳවුරු වසා දැමූ නමුත් පසුව යළි තමිල්නාඩුවේ පමණක් නොව දැනට උත්තරාකන්ද් නමින් හැඳින්වෙන එවකට උත්තර ප්‍රදේශයේ පිහිටි ඩෙහෙරාඩුන් ප්‍රදේශයේත් නව දිල්ලිය අසල ගුර් ගාවෝන් ප්‍රදේශයේත් කොටි කඳවුරු පිහිටුවා ඉන්දියානු හමුදාව විසින් කොටි ත්‍රස්තවාදීන් පුහුණු කරනු ලැබීය.

ත්‍රස්තවාදයට අනුබලදීම දෛවයේ සරදමක් බව සනාථ වූයේ ඉන්දිරා ගාන්ධි මෙන්ම රාජිව් ගාන්ධි ද ත්‍රස්තවාදීන්ගේ ගොඳුරු බවට පත්වීමෙනි.

සික් ජාතිකයන්ගේ මුඳුන් මල්කඩ වූ අම්රිත්සාර්හි රන්දොවොලට ප්‍රහාරය එල්ල කර බ්‍රින්දන්වාල් ඇතුළු සික් අන්තවාදී නායකයන් ඝාතනය කිරීමට ජෙනරාල් සුන්දර්ජී ට නියෝග කළ ඉන්දිරා ගාන්ධිව 1984 ඔක්තෝම්බර් 31 වැනිදා වෙඩි තබා මරා දැමූයේ සික් ආගමික, ඇයගේ ආරක්ෂක හමුදා නිලධාරියා විසිනි. රාජිව් ගාන්ධි ද එල්ටීටීඊ ත්‍රස්තවාදයේම ගොදුරක් විය. මරාගෙන මැරෙන බෝම්බකාරිය වූ ධනු විසින් රාජිව් ගාන්ධි මරා දැමූයේ 1991 මැයි 21 වැනිදා ය.

ලු‍තිතන් ජෙනරාල් බල්ජිත් සින්ගේ ලිපිය පළවූ පෙබරවාරි මුල් සතියේම තමිල්නාඩු ප්‍රාන්තයේ ආණ්ඩුකාරවර බන්වර්ලාල් පුරෝහිත්, ජිවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින රාජිව් ඝාතන නඩුවේ ඉතිරිව සිටින සිරකරුවන් සිවුදෙනා නිදහස් කිරීමේ නියෝගය මහ රජය වෙතටත්, ශ්‍රේෂ්ඨාධිකරණය වෙතටත් යොමුකිරීම දෛවයේ සරදමකි.

1991 මැයි මස මරණ දඬුවමට නියම වූ ඉන්දියානු ජාතික පරවී වාලන් සහ නාලිනී ශ්‍රී හරන් ද ශ්‍රී ලාංකික මුරුගන් සහ ශාන්තන්ද තවමත් සිර භාරයේ පසුවන අතර ඔවුන්ගේ මරණීය දණ්ඩනය වෙනස් කර පසුව ජීවිතාන්තය දක්වා සිර භාරයට නියම කරන ලදී. ඝාතනයට වසර 35කට පසු ඔවුන්ට නිදහස ලැබීමට නියමිතය.

කෙසේ වුවද උක්ත සඳහන් ඉන්දු ලංකා සබඳතාවල අමිහිරි කෙටි පරිච්ඡේදයක කතාවත් පමණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පසුගිය වසරේදී ප්‍රකාශ කළ පරිදි අතීතයේ සිද්ධීන් අමතක කර දැන් සුබ අනාගතයක් දෙස බැලිය යුතුය.

අගනා මිත්‍ර සබඳතාවක් දෙසට අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ගමන් කළ හැකි බව මට විශ්වාස යැයි ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

දෙරට අතර මිත්‍රත්වයේ ශක්තිය පසුගිය දා ඔප්පු වූයේ ඉන්දියාව ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත් පන්ලක්ෂයක් ලබාදුන් පරිත්‍යාගශීලී පියවරෙනි.

Comments