අනි­යම් පෙම් හුට­පටයෙන් වේල්ල­වී­දියට ආ හිස නැති මළසිරුර | සිළුමිණ

අනි­යම් පෙම් හුට­පටයෙන් වේල්ල­වී­දියට ආ හිස නැති මළසිරුර

ගෙවී ගිය සතියේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ගමන් මල්ලක වූ හිස සුන් කඳ සහිත කාන්තා මළසිරුරේ අබිරහස මේ වන විට හෙළි වී අවසානය. පැය 24කට මත්තෙන් එකී ඝාතනයේ සියලු තතු හෙළි කරගැනීමට සමත් වූයේ පොලිස් නිලධාරීන්ගේ අතිදක්ෂ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි. අකාලයේ මිනිස් ජීවිත දෙකකින් වන්දි ගෙවූ එම ශෝචනීය කතාන්දරය දිග හැරෙන්නෙ මෙලෙසිනි.

පසුගිය පළමු වැනිදා සුපුරුදු ලෙස කාර්යබහුලව තිබූ වේල්ලවීදිය පොලිසියට සවස 2.30ට පමණ ලැබුණු තොරතුරකින් කියැවුණේ වේල්ලවීදියේ එක්තරා ස්ථානයක කළු පැහැති විශාල ප්‍රමාණයේ ගමන් බෑගයක් දීර්ඝ වේලාවක සිට තිබෙන බවටයි. එම හෝඩුවාව පිළිබඳව වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරුආරච්චි විසින් ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින්ද දැනුම්වත් කිරීමෙන් පසු විමර්ශනයක් ඇරැඹිණි.

බෑගය පරීක්ෂා කළ පොලිස් නිලධාරින් දුටුවේ එතුළ හිස නොමැති රතු පැහැති බ්ලවුසයකින් සැරැසුණු කාන්තා මළසිරුරක් තිබෙන බවයි. අනතුරුව එම මළසිරුර පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද සිදුවෙද්දී පොලිසිය නිල සුනඛයන්ද ගෙන්වා පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය.

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ඍජු අධීක්ෂණයෙන් කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රීගේ උපදෙස් මත කොළඹ මධ්‍යම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකරගේ මෙහෙයවීමෙන් වේල්ලවීදිය පොලිස් නිලධාරින් එම බෑගය එකී ස්ථානයට රැගෙන ආවේ කිනම් ප්‍රදේශයකින්ද යන්න සොයා බැලුවේ අවට සීසීටීවි කැමරා දහස් ගණනක් නරඹමිනි.

එහිදී හැඩිදැඩි පුද්ගලයකු පිටේ බෑගයක්ද එල්ලාගෙන විශාල ගමන් බෑගය රැගෙන එම ස්ථානයට පැමිණෙන ආකාරය මනා ලෙස සීසීටීවී කැමරාවන්හි දිස්විණි. වැඩිදුර කැමරා පරීක්ෂාවේදී එම පුද්ගලයා මාර්ග අංක 143 හංවැල්ල - පිටකොටුව wp NA 3729 දරන බස් රථයෙන් පිටකොටුවට පැමිණ ගෑස්පහ හන්දියෙන් බසින ආකාරයද අනාවරණය විණි.

බස් රථය පොලිස් බාරයට ගෙන රියැදුරු සහ කොන්දොස්තරගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ එකී පුද්ගලයා තරමක් බරැති එම ගමන් බෑගය සමඟ හංවැල්ලෙන් බස් රථයට ගොඩවූ බවයි.

“සර්... බස් එක හංවැල්ලෙන් ගමන් අරඹන විට හතර පස්දෙනෙක් හිටියා... ඔය කෙනත් පිටුපස අසුනේ ඉන්නවා වගේ දැක්කා...“ ඔවුන් දෙදෙනාගේ හෙළි කිරීම සේම හංවැල්ල බස් රථ ගාල අවට සීසීටීවි කැමරාවකද මනාව දිස් වූයේ එම පුද්ගලයා නිල් පැහැති ඩීසල් ත්‍රිරෝද රථයකින් පැමිණ එදින පෙරවරු 11.15ට පමණ එම බසයේ පිටුපස දොරින් ගොඩවන බවයි. අනතුරුව විමර්ශන නිලධාරින් යුහුසුලු වූයේ එම ත්‍රිරෝද රිය සොයා ගැනීමටයි. ත්‍රිරෝද රථයේ රියැදුරාද විමර්ශන නිලධාරින්ට සොයා ගැනීමට හැකිවිණි. එම රියැදුරා කීවේ තමන් එදින කොළඹ රැකියාවට යන විටදී අදාළ පුද්ගලයා මාර්ගයේ එමින් සිටියදී ත්‍රිරෝද රථයට නංවාගත් බවයි.

කාන්තා මළසිරුර හමුවුණු දාට පසු දින දිනපතා පුවත්පත් ඒ පිළිබඳ පොලිසියට සහාය ලබා දෙමින් පුළුල් මාධ්‍ය අවකාශයක් ලබා දී තිබුණේ එම පුද්ගලයා හඳුනා ගැනීමටයි. ඒ අතර එදින පෙරවරුවේ හංවැල්ලෙ ස්ථානයක තිබී කාන්තා ඇඳුම් සහිත බෑගයක් හමුවී තිබිණි. ඒ පිළිබඳව දෙවැනිදා පෙරවරුවේම හංවැල්ල පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාරගේ ප්‍රධානත්වයෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සුජිත් හෙට්ටිආරච්චි විමර්ශන සිදුකරමින් සිටියදී පොලිසියට පැමිණියේ හංවැල්ල නගරය පසුකොට රත්නපුර දෙසට මීටර් කීපයක් යද්දී දකුණට වන්නට පිහිටි හෝටල් හිමිකරුවෙකි.

“සර්... මං ඊයේ උදේ හෝටලයේ උඩ තට්ටුවේ සිටින විට බෑගයක් රැගෙන පුද්ගලයෙක් හෝටලයේ ඉඳලා යනවා දැක්කා... එයා පොලිසිය හොයන කෙනා වගේ...“

එම තොරතුර පිළිබඳව වහා උසස් පොලිස් නිලධාරින් දැනුම්වත්කොට ‘මිඩ්වේ‘ නමැති එකී හෝටලයට ගොස් විමර්ශන නිලධාරිහු එලෙස පිටව ගිය පුද්ගලයා ගැන තොරතුරු සොයා බැලූහ. එහිදී හෙළිවී තිබුණේ එම පුද්ගලයා තරුණියක සමඟ 27 වැනිදා රාත්‍රී 10ට පමණ පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා දී එහි නතර වී ඇති බවයි. හෝටලයේ පුද්ගලයන්ගේ නම් ඇතුළත් පොතෙහි දෙදෙනාගේම ජාතික හැඳුනුම්පත් විස්තර ඇතුළත් වූහ. හෝටලයේ මුදල් ගනුදෙනු කළ කාන්තාව කීවේ,

“ඒ දෙන්නා ආවේ 27 වැනිදා රාත්‍රි 10ට. ගියේ පළමු වැනිදා උදේ 10ට. ඒ පුද්ගලයා මා ළඟට පැමිණ රුපියල් 4100ක බිල ගෙවලා අයිඩී දෙකත් අරන් ගියේ... හැබැයි ගෑනු කෙනා යනවා දැක්කෙ නෑ... පහුවැනිදා උදේ ටිවී එකේ පත්තර කියවන විට තමයි අපි දැනගත්තෙ මෙහෙම මළසිරුරක් බෑග් එකක දාගෙන ගිහින් කියලා. ඊට පස්සෙ ඒ ගැන පොඩි මතකයක් ආවා. ඒත් එක්කම දෙවැනිදා උදේ කෝල් එකක් ආවා. කතා කළ කෙනා ඇහුවේ, අයිඩී ගත්තම පොතක ලියනවද... ඒවා මකන්න බැරිද... කවුරුහරි ආවොත් දෙනවද... එහෙම ඇහුවා. මං කිව්වා පොලිසිය ආවොත් තොරතුරු දෙන්න අපි බැඳිලා ඉන්නවා කියලා. ඊට පස්සෙ ෆෝන් එක තිබ්බා...“

ඒ අනුව එලෙස හෝටලයට ඇමතුමක් දී තිබුණේ හෝටලයෙන් බෑගයක් රැගෙන ගිය පුද්ගලයා බවටද හෝටල් හිමිකරුවන්ට සැකයක් පහළ විණි. එම හෝටලයේ යුවළ නතර වී තිබුණේ නොම්මර 106 කාමරයේයි. පොලිසිය කාමරය පරීක්ෂාවේදී එහි සෑම තැනක්ම ජලයෙන් සෝදා පිරිසුදු කර තිබූ ආකාරයක්ද දිස්විණි. ඒ අතර එම පුද්ගලයා හංවැල්ල නගරයේ වෙළෙඳසලකින් රුපියල් 6250කට ගමන් බෑගයක්ද ගෙන හංවැල්ලෙ තිබූ සඳුදා පොළෙන් මන්නයක්ද ගන්නා ආකාරය සීසීටීවී කැමරාවන්හි සටහන්ව තිබී පොලිසිය සොයා ගත්තේය. එසේම එම යුවළ හෝටලයේ සිටි කාලය තුළදී එක් අවස්ථාවක කාන්තාව සමඟ පිටතට ගියත් පසුව කිහිප විටක්ම පිරිමි පුද්ගලයා පමණක් යන-එන ආකාරය දුටු බව හෝටල් සේවකයෝද පොලිසියට හෙළි කළහ.

එලෙස 27 වැනිදා රාත්‍රී 10ට පමණ හෝටලයේ නතර වීමට පැමිණ අයිඩී ලබා දී තිබුණේ මොනරාගල, බඩල්කුඹුර, වෙහෙරගොඩ පදිංචි 52 හැවිරිදි අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි නමැත්තෙක් සහ කුරුවිට, තෙප්පනාවේ විසූ 30 හැවිරිදි දිලිනි යසෝදා ජයසූරිය නමැති තරුණ කාන්තාවකි.

වහා ක්‍රියාත්මකව පොලිස් කණ්ඩායම් දෙකක් එම නිවෙස් සොයා ගියේය. එහිදී කාන්තාවගේ තෙප්පනාව නිවෙසට ගිය නිලධාරින්ට අනාවරණය වූයේ දිලිනි යාළුවන් සමඟ ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසා ඉකුත් 27 වැනිදා නිවෙසින් පිටව ගොස් ඇති බවයි.

ඒ අතරේ බඩල්කුඹුරේ ප්‍රේමසිරි පිළිබඳ වැඩිදුර විමර්ශනයේදී හෙළි වූයේ ඔහු බුත්තල පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උපපොලිස් පරීක්ෂකවරයෙක් බවයි.

බුත්තල පොලිසියේ දූෂණ මර්දන රාජකාරිය සහ කොවිඩ් රාජකාරියන්හි නිරතව සිටි ඔහු පසුගිය 27 වැනිදා මවගේ දානය යැයි සඳහන්කොට දින 3ක් නිවාඩු ගෙන පොලිසියෙන් පිටව ගොස් තිබිණි. ඔහු පිළිබඳ වැඩිදුර හෙළි වූයේ කලක් ඇමැති ආරක්ෂක අංශයේ සේවය කළ අයෙක් බවයි. එසේම ප්‍රේමසිරි දක්ෂ කායවර්ධන ශිල්පියෙක් මෙන්ම පොලිස් බොක්සිං සංචිතයේද සිටි අයෙකි.

2015 සිට 2018 පමණ කාලය තුළ හේෂා විතානගේගේ රාජකාරි කොට පසුව උපපොලිස් පරීක්ෂකවරයෙක් ලෙස උසස්වීම් ලබා ඔහු බුත්තල පොලිසියට අනුයුක්තව රාජකාරියට ගොස් තිබේ.

හේෂා විතානගේ රාජකාරි කරන සමයේ දේශපාලන වැඩවලට හේෂා හමුවට පැමිණි දිලිනි සමඟ ඔහු අනියම් සබඳතාවකට මුල පුරා තිබිණි. දිලිනිගේ එකම වැඩිමහල් සහෝදරයා ප්‍රභාත් ජයසූරිය කුරුවිට ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරයෙකි. දිලිනිද එජාප පාලන සමයේ රත්නපුර යොවුන් පෙරමුණේ භාණ්ඩාගාරික ලෙසද කටයුතු කරමින් යොවුන් සේනාංක වැනි වැඩසටහන්වලටද එක්ව සිටි කැපී පෙනෙන යුවතියකි.

කුරුවිට සහ නාරද මධ්‍ය මහා විද්‍යාලවලින් සිප්සතර හදාරා ඇති ඇය සීතාවකපුර කර්මාන්තපුරයේ රැකියාවකින් පසු කඩුවෙල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික දුරකථන සමාගමක ශාඛාවක සේවයකොට තිබ ුණාය. මීට මාස තුනකට පමණ පෙරදී ඔත්පළව සිටින ඇයගේ මව වන 80 හැවිරිදි කේ.කේ. සෝමවතී රැකබලා ගැනීමට දිලිනි රැකියාවෙන් ඉවත්ව තිබුණාය. දිලිනිගේ පියාද මීට වසර 20කට පමණ පෙරදී මිය ගොසිනි.

ප්‍රේමසිරි සහ දිලිනි පිළිබඳව බොහෝ තොරතුරු අනාවරණය වෙද්දී ප්‍රේමසිරිගේ නිවෙස පිහිටි ප්‍රදේශයට අයත් බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති සුනිල් දිසානායකද උසස් පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත විමර්ශනයට එක් වූහ. ඒ අනුව ස්ථානාධිපතිවරයා විසින් ප්‍රේමසිරිගේ නිවෙසට බුද්ධි නිලධාරින් දෙදෙනෙක් යැවුණේ ඔහු නිවෙසේ සිටිනවාදැයි සැක හැර දැනගැනීමේ අටියෙනි. ඒ දෙවැනිදා පස්වරුවේයි.

ඒ මොහොතේ නිවෙසේ සිටි ප්‍රේමසිරි නිලධාරින් දුටු සැණින් අසල කැලෑබද පෙදෙසකට පැන ගිය බව පොලිසිය සඳහන් කළේය. එහෙත් වයස අවුරුදු 26ක් පමණ වන කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු පුතෙක් ඇතුළු 17 හැවිරිදි සහ 11 හැවිරිදි දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වන ප්‍රේමසිරිගේ බිරිය රමණි ක්‍රිෂාන්තිගෙන් ඔහු පිළිබඳ බොහෝ තොරතුරු පොලිසියට අනාවරණය වූවාය. ප්‍රේමසිරි 27 වැනිදා නිවාඩු ගෙන නිවෙසට පැමිණි සැණින් කොළඹ වැඩමුළුවකට යන බව පවසා නිවෙසින් පිටව ගිය බවත් නැවතත් දෙවැනිදා අලුයම නිවෙසට පැමිණි බවත් ඇය කීවාය. තවද කලෙක පටන් ප්‍රේමසිරි සහ දිලිනි අතර වූ අනියම් සබඳතාව පිළිබඳවත් ඇය බොහෝ තොරතුරු හෙළි කළ අතර වරක් කුඩා දියණිය පමණක් නිවෙසේ සිටි මොහොතක එම කාන්තාව සමඟ ප්‍රේමසිරි නිවෙසටද පැමිණ ගොස් තිබූ බවත් ඇය හෙළි කළාය.

එසේම දිලිනිට කීප විටෙකදීම ඇමැතුම් ගෙන තම සැමියා සමඟ තිබෙන සබඳතාව නතර කරන ලෙසද ඇය ආයාචනය කර තිබුණාය. නිවෙසින් පලා ගිය ප්‍රේමසිරි සොයා පොලිසිය පුළුල් විමර්ශනයක යෙදුණත් දෙවැනිදා රාත්‍රියේ ඔහුව සොයා ගැනීමට පොලිසිය අපොහොසත් විණි. එහෙත් ඔහුගේ නිවෙසේ සිට කිලෝමීටරයක පමණ දුරින් වූ පහේ කණුව ප්‍රදේශයේ රබර් වත්තක තුන්වැනිදා අලුයම පහට පමණ රබර් කිරි කැපීමට ගිය වැඩිහිටි යුවළක් ප්‍රේමසිරි රබර් ගසක එල්ලී සියදිවි හානි කරගෙන සිටි ආකාරය දුටුවේය. ඒ අසල තිබී වස කුප්පියක්ද පසුව පොලිසිය සොයා ගත්තේය.

Comments