අඩි විස්සේ පාරෙන් රූම­ස්සල ඇවි‍ෙළයි | සිළුමිණ

අඩි විස්සේ පාරෙන් රූම­ස්සල ඇවි‍ෙළයි

 

 

 

අපේ තක්සේරුව එතැනට පාරක් අවශ්‍ය නෑ කියන එක. ඒ නිසා මේ පාරට අපි අනුමැතිය දෙන්නේ නැහැ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්

බන්දුල හරිශ්චන්ද්‍ර

 

 

 

 

 

 

 

‘විරෝධය නිසා දැන් නවත්තලා තියෙන්නේ’

මාර්ග සංවර්ධනය අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු, ක්‍රිෂානිකා බන්දුලා
 

මේ මාර්ගය හරිත කලාපය ඔස්සේ වැටී ඇති බැවින් එවැනි ඉදිකිරීමක් සඳහා අවසර ලබා දී නැහැ නාගරික සංවර්ධන අධිකාරියේ

 

ගාල්ල දකුණු පළාත් අධ්‍යක්ෂ අනුර මැදවල

 

පීල්ල පාර යනුවෙන් හඳුන්වන කොටස

මේ දිනවල රූමස්සල සම්බන්ධ ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ කන්ද පාමුල උණවටුන දෙසින් ඉදිවී ඇති මහල් 16කින් සමන්විත කාමර 250කින් යුතු දැවැන්ත හෝටලය සහ එයට ප්‍රවේශ වීම සඳහා ඉදිකිරීමට පිඹුරුපත් සකස් කරන මාර්ගයයි.

දැන් හෝටලය ඉදිවී අවසන්ය. හෝටලයේ හිමිකරුවා හිටපු ජනාධිපති හා පරිසර විෂය බාර අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සිරිසේනයන්ගේ සහෝදර ඩඩ්ලි සිරිසේනය. ඔහුගේ අරලිය හෝටල් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපෘතියක් ලෙස මේ හෝටලය ඉදිකර ඇති අතර තවත් නොබෝ දිනකින් එය විවෘත කිරීමට ද සැලසුම් සකස් කර ඇත.

රූමස්සල සුරැකීමේ සංවිධානය ඇතුළු පාරිසරික සංවිධාන ගණනාවක් සහ ප්‍රදේශවාසීන් බොහෝ දෙනකු ද චෝදනා කරන්නේ මේ හෝටල් හිමිකරුවාගේ වුවමනාවට රූමස්සල හරහා මාර්ගයක් තනන බවයි. මෙහි ඉතිහාස කතාව ඇරඹෙන්නේ හෝටලයට ‍ඉදිකිරීමට අවසර දීමේ පටන්ය.

මේ හෝටලය නීති විරෝධී අයුරින් ඉදිකළ බව බොහෝ දෙනා කියති. පරිසර සංවිධාන ද ඒ බව පෙන්වා දෙයි. නමුත් කිසිම අවස්ථාවක දී කිසිවකු ඊට එරෙහිව නීතිය හමුවට මෙතෙක් ගොස් නැත. මේ පිළිබඳ උණවටුනේ ව්‍යාපාරිකයකු වන නීතිඥ රූපසේන කොස්වත්තගෙන් විමසූ විට ඔහු කීවේ හෝටලයට විරුද්ධව අධිකරණ නියෝගයක් ගැනීමට නම් අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු බවයි. නමුත් ඒ සඳහා වැය කළ යුතු මුදල අධික බැවින් එවැන්නක් සාමාන්‍ය පුරවැසියකුට සිදුකළ නොහැකි බවයි.

නීති විරෝධී ඉදිකිරීමක් සිදුවන විට ඊට එරෙහිව කටයුතු කළ යුතු වන්නේ රාජ්‍ය ආයතන විසිනි. නමුත් මෙහි දී රාජ්‍ය ආයතන කර ඇත්තේ හෝටලය සඳහා සියලු පනත්වලට පටහැනිව කටයුතු කරමින් අනුමැතිය ලබා දීමයි.

මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක් අත්සන්, මුද්‍රා සහිත අනුමැතිය දී තිබේ. ඒ සියලු ලේඛනවලට අනුව නම් මේ හෝටලය නීත්‍යානුකූලය.

අරලිය හෝටලය උඩුගුවනට දිස්වන අයුරු

මීටර 15කට වඩා උසැති බැවින් හෝටලය අධි උසැති ගොඩනැගිල්ලකි. අදටත් වලංගු නාගරික සංවර්ධන අධිකාරියේ 1986.03.10 අංක 392/9 දරන ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ පළලින් මීටර් 12කට නොඅඩු වීථියකට යාබදව භූමි භාගය පිහිටා ඇත්තේ නම් මිස එවැනි සැලැස්මක් අනුමත නොකළ යුතුය යනුවෙනි.

එහෙත් අරලිය බීච් හෝටල් ව්‍යාපෘතියට යාබද යද්දෙහිමුල්ල වැල්ලේ දේවාල පාරෙහි පළල හබරාදුව ප්‍රාදේශීය සභාවේ 2009.08.28 දිනැති ගැසට් පත්‍රයට අනුව මීටර් 3.05කි. ඊට පිවිසිය හැකි තවත් මාර්ගයක් වන බොනවිස්ටා මාර්ගයේ පළල ද එම ගැසට් පත්‍රයට අනුව මීටර් 3.66කි. නාගරික සංවර්ධන අධිකාරිය 1986 ගැසට් පත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් මීටර 4ක්වත් පළල නැති පාරක් ඇති ස්ථානයක අධි උසැති හෝටලයක් ඉදිකරන්නට නීති විරෝධී ලෙස අවසර දී ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු එස්. එස්. පී. රත්නායක මාධ්‍ය වෙත කරුණු දක්වමින් 2018 වර්ෂයේදී පවසා ඇත්තේ මෙම දැවැන්ත හෝටල් ව්‍යාපෘතියට අනුමැතිය ලබා දී ඇත්තේ පිවිසුම් මාර්ගයේ පළල මාර්ග සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට නොගැළපුණත් එම මාර්ගයට ගොඩනැගිලි සීමාවක් බලපැවැත්වීම හා එක් දිශාවකට පමණක් ගමන් ගන්නා ප්‍රවේශයක් ලෙස සැලකීම, බරවාහන ඇතුළු නොකිරීම යන කරුණු සලකා බලමින් බවයි.

මාර්ගයේ ගොඩනැගිලි සීමාවක් ඇතැයි පවසමින් හෝටලයට අනුමැතිය ලබා දීමෙන් අදහස් කරන්නේ මේ හෝටලය හේතුවෙන් අවශ්‍ය නම් මාර්ගය දෙපස ඇති සාමාන්‍ය ජනතාවගේ ව්‍යාපාරික ස්ථාන කඩා දමන බවට වක්‍රාකාරයෙන් අභියෝග කරමින් නොවේ ද ? එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පවසා ඇති ආකාරයට මේ මාර්ග කිසිවක් එක් පැත්තකට පමණක් වාහන ධාවනය කළ හැකි මාර්ගයක් බවට පත්කිරීමේ හැකියාවක් සහිත මාර්ග නොවේ. තනි පුද්ගලයකුගේ අවශ්‍යතාවට එවැන්නක් කළ හැකි ද ? එසේනම් මේ අවසර ලබා දීම නීති විරෝධීය.

නාගරික සංවර්ධන අධිකාරිය එදා එසේ මාර්ග සීමා උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස අවසර දුන්න ද දැන් මේ හෝටලයට ප්‍රවේශ මාර්ගය බලාපොරොත්තු වූ ආකාරයෙන් නැති වීම හේතුවෙන් තරු පන්ති හෝටලයක් බවට පත්කර ගැනීමේ ගැටලුවක් මතු වී ඇති බව පැවසේ. තරු ලබා ගැනීමට නම් ඒ සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු මාර්ගයක් තිබිය යුතුය.

උණවටුන වැල්ලේ දේවාල මාර්ගයත්, එතැන් සිට වෙරළ පිවිසුම් මාර්ගයත් මේ හෝටල් හිමි ඩඩ්ලි සිරිසේන විසින් සිය ධනයෙන් ගල් අල්ලා සංවර්ධනය කළේ ඇතැම් හබරාදුව ප්‍රා‍දේශීය සභාවේ ද අධීක්ෂණයෙනි.

නමුත් හෝටලයට අවශ්‍ය පළල ඒ මාර්ගයේ නැත. එසේ නම් හොඳම විකල්පය වන්නේ හෝටලයේ මුහුණත හරවා ඇති යද්දෙහිමුල්ල මාර්ගය, කුළුණුකන්ද මාර්ගය හා ‍බොනවිස්ටා මාර්ගය සංවර්ධනය කර මේ මාර්ග එකිනෙකට යා කිරීමයි. ‍

කවුරුන් කෙසේ කුමක් කීව ද අරලිය හෝටල් සමූහයේ හිමිකරු ඩඩ්ලි සිරිසේනට මේ මාර්ගය අවශ්‍ය වන්නේ ඒ කරුණු සම්පූර්ණ කරගැනීමටය. මේ සඳහා ඔහුට හෝඩුවාවක් ලැබී තිබේ. 1936 දී මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අඳින ලද පිඹුරක මේ ස්ථානයේ මාර්ගයක් සලකුණු කර ඇත. නමුත් එවැනි මාර්ගයක් ඉතිහාසය පුරාම භෞතිකව තිබී නැති බවට පැරැන්නෝ සාක්ෂි දරති.

ගල් ගොඩවල් සහ ඇළ මාර්ගයක් උඩින් පනිමින් යන අඩි පාරක් පමණක් එහි තිබී ඇත. එතැන මාර්ගයක් නැති බව හබරාදුව ප්‍රාදේශීය ලේකම්ගේ ගම් සිතියමෙන් ද පැහැදිලි වෙයි. එමෙන් ම ප්‍රාදේශීය සභාව විසින් ගැසට් කර ඇති මාර්ග ලේඛනයේ ද මෙතැන පාරක් නැත.

 

උණවටුන ජංගල් බීච් වෙරළ තීරය

ප්‍රාදේශීය ලේකම්ගෙන් තොරතුරු පනත යටතේ ලබාගත් තොරතුරු අනුව පැහැදිලි වන්නේ මේ මාර්ගයක් තිබෙන බව කියන ප්‍රදේශයේ සිටින සියලු පදිංචිකරුවන් අනවසරයෙන් භූමිය අල්ලාගෙන සිටින්නන් බවයි. අභයභූමි ප්‍රදේශ අනවසරයෙන් අල්ලාගෙන හෝටල් සහ නිවාස ඉදිකරන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර මාර්ගයක් ලබාදීමට ඇතැම් රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්නේ කවර හේතුවක් නිසා දැයි ප්‍රශ්න කළ යුතුය.

උණවටුනේ ජනතාව සමඟ පසුගිය දා ගැටලු සාකච්ඡා කිරීමට පැවැති සාකච්ඡාවක දී ඩඩ්ලි සිරිසේන පවසා තිබුණේ තමන් මේ මාර්ගය ගැන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඇති සැලැස්ම පිළිබඳ ප්‍රාදේශීය ලේකම් සමඟ සාකච්ඡා කළ බවයි. ඒ පිළිබඳ පසුව විමසීමක් කළ බවද ඒ කතාව වැරදි ලෙස අවබෝධ කරගෙන ඇති බව ද ඔහු පවසා තිබේ. එහිදී සිරිසේන පවසන්නේ මේ මාර්ගය ගැන තමන් කතා කළේ තම වුවමනාවට නොව ගමේ වුවමනාවට බවයි. සෑම දෙයක්ම අල්ලාගෙන තමන්ට චෝදනා කිරීම වැරදි බව ද ඔහු එහිදී පවසා තිබිණ. නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජනා කළ මහ ගාල්ල සංවර්ධන ව්‍යාපෘතියේ දී රූමස්සල ද කලාප හතරක් යටතේ එය සංවර්ධනය වෙයි. එහි දී හරිත කලාප හඳුනාගෙන ඇති අතර හරිත කලාපවල කිසිදු ඉකිරීමක් සඳහා නීතියෙන් ඉඩක් නැත. මේ යෝජිත මාර්ගය වැටී ඇත්තේ හරිත කලාපයෙනි. මේ යෝජනාවලිය 2019 දී ගැසට් කර ඇතත් 2020 දී නව රජය බලයට පත්වීමත් සමඟ එම ගැසට් නිවේදනය අවලංගු කර ඇත. නමුත් නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ යෝජනාවලිය යළි කඩිනමින් සංශෝධන කිහිපයක් සහිතව ගැසට් කරන බවයි.

අප මේ පිළිබඳ නාගරික සංවර්ධන අධිකාරියේ ගාල්ල දකුණු පළාත් අධ්‍යක්ෂ අනුර මැදවලගෙන් විමසූ විට කියා සිටියේ ගැසට් නිවේදනය දැනට තාවකාලිකව අවලංගු කර ඇතත් එහි රෙගුලාසි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බවයි. එමෙන් ම මෙම යෝජනා කර ඇතැයි කියන මාර්ගය හරිත කලාපය ඔස්සේ වැටී ඇති බැවින් එවැනි ඉදිකිරීමක් සඳහා අවසර ලබා දී නැතැයි ද හෙතෙම කීවේය.

මේ මාර්ගය අවශ්‍ය වන්නේ ජනතාවට නම් ජනතාවගේ ඉල්ලීමක් තිබිය යුතුය. නමුත් අප දන්නා පරිදි මේ සම්බන්ධයෙන් හබරාදුව ප්‍රාදේශීය සභාවට හෝ හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට හෝ දිස්ත්‍රික් සම්බ්න්ධීකරණ කමිටුවට එවැනි ඉල්ලීමක් කිසිම දිනක ඉදිරිපත් වී නැත. හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු පනත යටතේ කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් ප්‍රාදේශීය ලේකම් තරංගා වික්‍රමරත්න පවසා ඇත්තේ මෙම මාර්ගය සංවර්ධනය කිරීමට ඉල්ලීම කර ඇත්තේ ප්‍රාදේශීය සභාව බවයි. එමෙන්ම වනජීවී කලාපයට ආසන්නව පවතින බැවින් එම දෙපාර්තමේන්තුවේත්, මාර්ගයට රජයේ ඉඩම් වෙන්කර දීම අවශ්‍ය බැවින් අනෙකුත් රාජ්‍ය ආයතනවලටත් නිර්දේශ ලබාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව දක්වා ඇත.

මේ මාර්ගය පිළිබඳ විමසූ විට ප්‍රාදේශීය ලේකම්වරිය මෙසේ කීවාය.

“රූමස්සල හරහා පාරක් කපන්නේ නැහැ. ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීමක් කළා, පැරණි සිතියම්වල දැක්වෙන මාර්ග කොටස සභාවට පවරා දෙන්න කියලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. නමුත් මාර්ගයක් සෑදීමට කටයුතු කරලා නැහැ.

මාර්ග සංවර්ධනය අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු ක්‍රිෂානිකා බන්දුලාගෙන් විමසූ විට මෙසේ කීවාය

“මේ මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් සභාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඒ සඳහා අවශ්‍ය කටයුතු කරගෙන ගියා නමුත් දැඩි විරෝධයක් මතුවෙලා නිසා දැනට එම කටයුතු නවතා දැමීමට තීරණය කර තිබෙනවා.”

මේ මාර්ගය ඉදිකිරීමේ සූදානම පිළිබඳ හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ශාන් විදානගමගෙන් විමසූ විට මෙසේ කීවේය.

“මේ මාර්ගය ඇත්තටම සිතියම්වල ලකුණු කරලා තියෙනවා. නමුත් එය ප්‍රාදේශීය ලේකම් සතුව තිබෙන්නේ. ඒ නිසා අපි සභාවෙන් ඉල්ලීමක් කළා එම කොටස අපිට පවරන්න කියලා. ගමේ අයගෙත් ඉල්ලීමක් තිබෙනවා මේක සංවර්ධනය කර දෙන්න කියා. මේ නිසා අපිට හැකියාව තිබෙනවා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු අදාල ආයතනවලින් විමසා බැලීමෙන් අනතුරුව මේ මාර්ගය සංවර්ධනය කරනවා ද නැද්ද කියා තීරණය ගන්න. මේ මීටර 180ක කොටසක් බේරාගෙන හිටියා කියලා පරිසරය ආරක්ෂා වෙන්නෙත් නැහැ. එතැන මාර්ගය හැදුවා කියා පරිසරය විනාශ වෙන්නෙත් නැහැ.”

සභාපතිවරයා පවසන්නේ උණවටුන හෝටල් කරුවන්ගේ සංගමය විසින් මේ මාර්ගය ඉදිකර දෙන්න යැයි ඉල්ලීමක් කර ඇති බවයි. ඔහු පවසන හෝටල් කරුවන්ගේ සංගමයේ අනුශාසකත්වය දරන්නේ ඩඩ්ලි සිරිසේන විසිනි.

සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් නීතිඥ රූපසේන කොස්වත්ත පවසන්නේ හෝටල් කරුවන්ගේ සංගමය යනු ඩඩ්ලි සිරිසේනගේ අවශ්‍යතා ඉටුකිරීමට අටවාගත් සංගමයක් බවයි.

උණවටුන වැල්ලේ දේවාල මාර්ගය ගල් අල්ලා සංවර්ධනය කළ ආකාරයට හෝටල් ව්‍යාපාරිකයා විසින් මේ මාර්ගය ද ඉදිකර දෙනු ඇත්දැයි සභාපතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ යම් පුද්ගලයකු පොදු කටයුත්තක් තම ධන පරිත්‍යාගයෙන් ඉටුකර දෙන්නේ නම් එය සභාවෙන් ප්‍රතික්ෂේප නොකරන බවයි. නමුත් මෙම මාර්ගය ඉදිකිරීමට පෙර ඒ සම්බන්ධ පාරිසරික බලපෑම් අධ්‍යයනයක් කරන බවත් පරිසර ඇමතිවරයාද ඒ බව පවසා ඇති බවත් සභාපති විදානගම කීවේය.

‍පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය අඳුරත්විල චන්ද්‍රජෝති හිමියෝ මෙසේ කීහ.

ගාල්ල නගරය ආසන්නයේ තිබෙන ලෝකයේ අවධානය දිනාගත් රූමස්සල පරිසර පද්ධතිය මේ ආකාරයට විනාශ කරන්න දෙන්න බැහැ. අරලිය හෝටලය ඉදිකළේ අනවසරයෙන්. ඒ ඉදිකිරීම් කරලා දැන් අවට පරිසරය විනාශ කරන්න හදනවා. වගුරු භූමියක් ගොඩකළා. දැන් හෝටලයට යන්න රූමස්සල හරහා අඩි 40ක පාරක් කපන්න ඉල්ලමින් ඒක සාධාරණීකරණය කරන්න විවිධ කතා කියනවා.”

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍රගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.

“මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මූලික මිනුමක මේ ස්ථානයේ අඩි 40ක පාරක් තිබෙනවා. ඒ 1936 දී. දැන් පරිසරය වෙනස් වෙලා, නීති අණ පනත් වෙනස් වෙලා, අවශ්‍යතා වෙනස් වෙලා. මේ ස්ථානයේ ඉතාමත් වටිනා කොරල්පරයක් තිබෙනවා. රූමස්සල අභයභූමියක් හැටියට වෙන්කර තිබෙනවා. මෙම මාර්ගය යෝජනා කර තිබෙන ස්ථානය අපි නිරීක්ෂණය කළා. එතැන අඩි පාරක් තිබෙනවා. නමුත් අපේ තක්සේරුව එතැනට පාරක් අවශ්‍ය නෑ කියන එක. ඒ නිසා මේ පාරට අපි අනුමැතිය දෙන්නේ නැහැ. නමුත් එතැන ඇති අඩි පාරේ යාමට ඒමට බාධාවක් නැහැ.” මාධ්‍ය මඟින් හා පරිසර සංවිධාන මඟින් විවිධාකාරයෙන් සිදුකරන ලද හෙළිදරව් කිරීම් වලින් පසුව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.අමරසිංහගේ අත්සනින් යුතුව පසුගිය සඳුදා (01) මේ සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් ද නිකුත් තර තිබිණි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර තිබූ එම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබුණේ ප්‍රදේශය හරහා අඩි පාරක් ඇති බවත් එම අඩි පාර දෙපස ගස් කපා විනාශ කර නොමැති බවත්ය. ගස් කපා දමා ඇත්තේ යාබද ඉඩමකට ප්‍රවේශ මාර්ගයක් සඳහා බවත් එහි සඳහන් කර තිබිණි.

මාධ්‍යවේදින් විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව පසුගිය 02 වැනිදා මධ්‍යම පරිසර අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ප්‍රේමරත්න ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු රූමස්සල සාම චෛත්‍යය අසල ගස් කපා දමා ඇති ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා ගොස් තිබිණි.

එහිදී රූමස්සල වනජීවී අභයභූමියේ සීමා මායිම් ආසන්නයෙන් ම වැටී ඇති අඩි පාර දෙපස තැන තැන ගස් කපා දමා ඇති ආකාරයත්, එම අඩි පාරේ සිට සාම චෛත්‍යය දෙසට අඩි 05ක පමණ ගස් වැටියක් ඉතිරි කර යෝජිත අඩි 40 මාර්ගයේ පළලට සමාන වන පරිදි තවත් අඩි 30ක පමණ ප්‍රමාණයක් ගස් කපා හෙළි පෙහෙළි කර ඇති ආකාරයත් ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්විය.

රූමස්සල ජන්ගල් බීච් දෙසට යන මාර්ගයෙන් හැරී යන පීල්ල පාර නම් අඩි පාර ආරම්භයේ සිටම පුළුල් කරමින් තිබෙන ආකාරයත් ඒ අසල කළු ගල් කඩා ඉවත්කර ඇති ආකාරයත් මෙම ක්ෂේත්‍ර චාරිකාවේ දී මාධ්‍යවේදීන් විසින් පෙන්වා දෙන ලදී.

ඒ අවස්ථාවට පැමිණි මධ්‍යම පරිසර අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ තමන් ඇතුළු නිලධාරීන් මීට සතියකට පමණ පෙර එම ස්ථානයට පැමිණෙන විට එම ගස් කපා දමා ඇත්තේ පුද්ගලික පදිංචිකරුවකුගේ නිවසට යාමට යැයි ග්‍රාම නිලධාරීවරයා පැවසූ බවයි. නමුත් එම නිවස කුඩා ලෑලි නිවසක් වන අතර එය අනවසර පදිංචිකරුවකුගේ නිවසක් යැයි චෝදනා කරමින් අසල ඇති ජපන් සාම චෛත්‍යයේ නායක හිමියන් ‍පොලිසියට පැමිණිල්ලක් ද යොමු කර තිබිණි. එවැනි කුඩා නිවසක පදිංචි පවුලකට අඩි 40ක් විශාල මාර්ගයක් ඉදිකිරීමේ අවශ්‍යතාවක් නොමැති බැවින් මෙම මාර්ගය උණවටුනේ හෝටලයක් සඳහා අනවසරයෙන් සකස් කරන පිවිසුම් මාර්ගය බව ප්‍රදේශවාසීහු සහ පරිසරවේදීහු චෝදනා කරති.

වනජීවී දෙපාර්තමේන්තුව විසින් අභයභූමියේ සීමා මායිම්කර ඇති මායිම් ගල් පැහැදිලිව දක්නට ඇති අතර එයට යාබඳව මෙම මාර්ගය ඉදිකරමින් පවතින්නේ අභයභූමියේ මීටර 100ක ප්‍රේරණ කලාපයේ බවත් එහිදී නිරීක්ෂණය විය.

එය කිසිසේත්ම එළි පෙහෙළි කළ හැකි ප්‍රදේශයක් නොවන බව පැවසූ සහකාර අධ්‍යක්ෂ ප්‍රේමරත්න එහිදී කියා සිටියේ මේ කරුණු තමන් මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් අධ්‍යක්ෂවරයා මගින් සභාපතිවරයා වෙත කඩිනමින් වාර්තා කර එම කොටස එළි පෙහෙළි කළ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වුවද ඩඩ්ලි සිරිසේන සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ තමන්වත් නොදන්නා පාරක් ගැන කියමින් තමාටත් හෝටල් ව්‍යාපෘතියටත් විවිධ ආකාරයෙන් මඩ ගසන බවයි. තමන් හෝටල් ව්‍යාපෘතිය ඉදි කළේ පරිසර හිතකාමී අයුරින් බවද ඔහු එහි පවසා තිබේ.

සිළුමිණ මේ සම්බන්ධව ඩඩ්ලි සිරිසේනගෙන් දුරකථනයෙන් විමසූ විට ඔහු පවසා සිටියේ, “මට එහෙම පාරක් ඕන නැහැ, මට කියන්න තියෙන්නේ එච්චරයි.” යනුවෙනි.

Comments