එදා අබිමන් පෑ කාන්තාවගේ අද දවස | සිළුමිණ

එදා අබිමන් පෑ කාන්තාවගේ අද දවස

 

අපේ ලිඛිත ඉතිහාස කතාව අරඹෙන්නේ විජයාවතරණයෙනි. විජය එනවිට කුවේණිය සිටියේ කපු කටිමිනි. දියුණු සංස්කෘතික සමාජයක පේෂකර්මයෙහි පරිචයක් ලද ස්ත්‍රියක ආනුභාවය කුවේණිය විසින් නිරූපණය කළාය. මහාවංසය ප්‍රකාරව විජයට ලංකා රාජ්‍ය අත්පත් කර දෙන්නේ කුවේණිය විසිනි. අතීත ලංකාවේ කාන්තාවගේ වෘත්තීය පරිණතිය මෙන්ම ඇය සතුව තිබූ සමාජ බලයේ ප්‍රමාණය වංසකතා කරුවා සිය ලේඛනය ආරම්භයේදීම පැහැදිලි කර තිබිණි.

 

මේ දිවයිනේ ජීවත් වූ කාන්තාව පිළිබඳ පැවති ගෞරවනීය තත්ත්වය සම්බන්ධව එතැන් සිට වංසකතා, සාහිත්‍යයික මූලාශ්‍ර මතු නොව, සෙල්ලිපි සාධක ඇසුරෙහි ද ගොඬනැඟෙන්නේ මනරම් සිතුවමකි.

චින්තනය නිදහස්ව ස්වාධීනව වැඩෙන්නේ ආර්ථිකව සමෘද්ධිමත් වූ පරිසරයක් තුළය. බටහිර අප අත් දකින ලිබරල් අදහස් සහිතව ගොඩනැගෙන මානව නිදහස ආර්ථික සමෘද්ධියත් සමඟ ඇති වූ චින්තන නිදහසේ ප්‍රතිඵලයකි.

ආර්ථිකව සමෘද්ධිමත් වූ අනුරාධපුර යුගයේ මුල් වකවානු තුළ මේ සමාජ චින්තනයේ දියුණු ස්වරූප නිරූපණය වන අයුරු වංසකතා සියුම්ව පරිශීලනයේදී පැහැදිලි වේ. මේ වකවානුවල සමාජය තුළ කාන්තාව ලැබූ නිදහස මෙන්ම ඇයට හිමිව තිබූ ගෞරවනීය තත්ත්වය පිළිබඳ තොරතුරු වසංකතාවල යටි පෙළෙන් පැවසෙයි.

මහාවංසය විසින් නිර්මාණය කරන සිංහලයේ මහා වීරයා දුටුගැමුණුය. සිංහලයේ මහා ජාතික සටන එළාර හා දුටුගැමුණු ඇතිවන යුද ප්‍රයාමයය. මේ මහා දේශපාලනික ගනුදෙනුව හසුරුවනු ලබන ප්‍රබල අධ්‍යාත්මික සාධකය ලෙස වංසකතාකරුවා දක්වන්නේ විහාර මහා දේවිය ය. යුද පෙරමුණේ ගමන් කරන්නේ ඇයය. අවසන් යුද්ධයේ සැලසුම් ඇයගේය.

එක් අවස්ථාවක ඉලනාග රජ ස්වකීය ප්‍රතිපක්ෂ රාජවංශිකයන් වූ ලම්භකර්ණයන් සමූල ඝාතනයට සූදානම්වන විට ඒ දේශපාලන ව්‍යසනය වළක්වන්නේ රජුගේ මෑණියන් විසිනි. වළගම්බාවන් දේශපාලනික වශයෙන් පිරිහී සතුරු ආක්‍රමණිකයන් රට අත්පත් කරගත් මොහොතේ ඔහුට පලා යන්නට සලස්වා සතුරන් අතට පත්වන සෝමා දේවිය ගැනත්, රාජ්‍ය බලය ගෙන අසංස්කෘත නිදහස් ජීවිතයක් ගත කළ අනුලා දේවිය ගැනත්, සොත්ථිසේන මරා සිය සැමියා රාජ්‍යයෙහි පිහිටුවූ සංඝා කුමරිය ගැනත් කියන වංසකතා කරුවා අතීත ලාංකික කාන්තාවගේ දේශපාලන භූමිකාවේ හැඩය පෙන්වා දෙයි.

මධ්‍යකාලීන ලංකාවේ ප්‍රතාපවත් වීරයා වූ මහා රණකාමී පැරකුම්බාවන් තැතිගන්වන සුලු අභියෝගය කළ රුහුණේ වීරවරිය සුගලාය. මහා පැරකුම්බාවන්ගෙන් පසු අවස්ථා කිහිපයක දී ලීලාවතී රැජන රාජ්‍ය විචාලාය. නිශ්ශංකමල්ල රජුගෙන් පසු රාජ්‍ය හොබවන කල්‍යාණවතී රැජන හය වසක් සිංහලයේ රජ කළාය. රාජ්‍ය පරිපාලනයට උචිත වූ පෞරුෂවත් ගැහැනියක් අතීත සමාජයේ නිර්මාණය විය.

සාහිත්‍ය කලා විෂයන්හි අගපත් කාන්තාවන් ගැන වංසකාතවන්හි පෙනේ. පළමුවන අග්බෝ රජු දවස රාජ සභාව හැඩ කළ දොළොස් මහා කවීන් අතර බෑබිරිය, දළබිසෝ නම් කිවිඳියෝ වූහ. රාජසභාව ඔපවත් කළ ඒ විද්වත් සාහිත්‍යධර කාන්තාවන් ගේ හැඩය පොදු සමාජයෙන් මතුවන ආකාරය සීගිරී ගීවලින් පෙනුණි.

සමාජ ජීවිතය තුළ කාන්තාවගේ භූමිකාව පිරිමියාට නොදෙවැනි වූ අයුරු පෙනුණි. කෘෂි ආර්ථිකයක් පැවති සමාජයක ආර්ථිකය ගොඩනැගීම සඳහා ගැහැනිය නිශ්චිත දායකත්වයක් සැපයුවාය. මධ්‍යාකාලීන සමාජ සංස්කෘතිය ගැන ප්‍රශස්ථ අධ්‍යයනයක් කළ මහාචාර්ය එස්.බී.හෙට්ටිආරච්චි සිය පර්යේෂණය තුළ මධ්‍යකාලීන ලාංකිකයාගේ පවුල් සංස්ථාවෙහි සැමියාට මෙන්ම බිරියට ද සම තැන් හිමි වූ අයුරු පෙන්වා දුන්නේය.

සමාජය තුළ මවගේ භූමිකාව අතිශයින්ම ප්‍රබල එකක් විය. සිය දූ දරුවන්ගේ විවාහය, දරුවෙක් සසුන්ගත කිරීම වැනි තීරණාත්මක කටයුතුවලදී මවගේ මෙන්ම පියාගේ ද අයිතිවාසිකම් සම ව තිබිණි. අම්මා සිංහල සමාජය තුළ වන්දනීය උත්තමාවක් වූ අයුරු ලිඛිතව සනාථ කරන්නේ 8 වන අග්බෝ රජු දාසයෙක් සේ සිය මවට උවැටන් කළ අකාරය දක්වන මහාවසංකරුය.

ගැහැනියට තනිමඟ පැමිණිය හැකි සමාජයක් එකල පැවති අයුරු සමහර වසංකතා දක්වයි. හයවන අග්ගබෝධි රජුගේ (ක්‍රි.ව.733 – 772) දියණිය වූ සංඝා තම සැමියාගෙන් වෙන්ව රජවාසලට පැමිණියේ හුදෙකලාවය. අනුරාධපුරයේ සිටි සැතපුම් අටක් වූ මිහින්තලයට හුදෙකලාව ගිය කාන්තාවක ගැන තොරතුර මහාවංසකරු කියයි. ගැබිනි මවක් ගිරිඛණ්ඩ විහාරයේ පැවති ප්‍රසිද්ධ උත්සවයකට රාත්‍රී කාලයේ තනියම සහභාගී වූ පුවතක් විසුද්ධි මග්ගයේ දැක්වේ. සීගිරි ගී ලියූ සමහර රසවතියන් ඒ සොඳුරු බිමට ගොස් තිබුණේ හුදෙකලාවය. ඔවුහු ඒ වග ගී කොට ලියා තැබූහ. විවාහයකදී ගැහැනියගේ මතයට ගරු කරන අතීත සමාජයක් අපට තිබිණි.

ඇය සතුව තිබූ ආර්ථික ශක්තිය, ඇය ගොවිකමට අමතරව පෙහෙකාර, කුම්භකාර, වැනි වෘත්තීන්හි යෙදෙමින් ආර්ථිකයට දැක්වූ දායකත්වය ගැන ඉඟි අනුරාධපුර මුල් යුගයේ කෙරෙන භ්‍රාමීය අක්ෂර සහිත ලෙන් ලිපිවල විරුද නාම හෙළි කළේය.

මුළු අතීතයේම නොවුණද ඉතිහාසයේ යම් තීරණාත්මක වකවානුවල බෞද්ධ දර්ශනයෙන් ලැබුණු ආලෝකයෙන් ශික්ෂිත සමාජය ගැහැනිය ඇයට හිමි විය යුතු ගෞරවනීය තැන පිහිටුවා තිබිණි. ඒ සමාජය තුළ ඇය සුරක්ෂිත විය.

ඒ ප්‍රාර්ථනා කළ යුතු සමාජ වටපිටාවේ පදනම අද දෙදරා තිබේ. කාන්තාවකගේ අයිතිය හා ගෞරවය සිහිකරන්නට දිනයක් වෙන් කරන්නට සිදු වන්නේ ශිෂ්ටත්වය ඉරිතැලී ගිය ලෝකයකය. අපි ඒ ලෝකයේ ජීවත් වෙමින් කාන්තා දිනය සමරමු.

 

Comments