සතියේ කල දවස | සිළුමිණ

සතියේ කල දවස

මේෂ - වියදමට වඩා ආදායම සරු වේ

මේෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 09-10-11 යන ස්ථාන පසු කිරීම නිසා ඉතා සුබ ඵල දෙයි. විශේෂයෙන් තමාට වැඩිහිටි පාර්ශ­්වයෙන් ලැබිය යුතු උරුමකම් හිමිකම් මෙන්ම රැකියාගත උසස්වීම් හා ආර්ථික ප්‍රතිලාභ ලැබීමට වාසනාව පවතී. තමාට කාලයක සිට අපේක්ෂාවෙන් සිටි ණය මුදලක් හිමි වේ. ඒ තුළින් කිසියම් ආයෝජනයකට පෙලඹෙනු ඇත. වියදමට වඩා ආදායම සරු වේ.

 

වෘෂභ - හදිසි ධන ලාභ

වෘෂභ ලග්නය හිමි ඔබට මෙම සතිය හදිසි ධන සම්පත් ගෙන දේ. තමා විසින් පවත්වාගෙන ආ ව්‍යාපාරයක ප්‍රතිලාභ උසස් වේ. තම ඥාති පාර්ශ්වයේ කෙනකු විසින් තමාට එල්ල කර තිබූ චෝදනාවක් නිතරගයෙන් ජය ගැනීමට ඔබට පුළුවන් වෙයි. තුනටියේ ආපදාවක් නිසා කිසියම් ප්‍රතිකර්ම කිරීමක් සඳහා යොමුවීමට සිදුවන අතර එය සතිය මැදභාගය වන විට සුව අතට හැරෙනු ඇත.

 

මිථුන - ජීවිතයට ශක්තිමත් අඩිතාලමක්

මිථුන ලග්නයට අනුව බොහෝ ආසාවන් කෙරේ සිත දිව යන අතර ඒවායෙන් ජයග්‍රහණ රැසක් හිමි වන සතියකි. චන්ද්‍රයා 07 - 08 - 09 යන ස්ථාන පසුකර යන නිසා මංගල කටයුතු කෙරේ සුබවාදි වනු ඇත. ඒ අනුව අවිවාහක අයට මංගල යෝජනා ආදර සම්බන්ධතා මෙන්ම නිවසේ උත්සවශ්‍රියක් උසුලන සතියක් ද වේ. කොහොමින් හෝ තම බලාපොරොත්තු සඵලවන අතර ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද නිසි ලෙස සැලසෙන සතියකි.

 

කටක - අන් අයගේ සහාය

කටක ලග්නයට අනුව ඔබ විදේශ සංචාරයක් සඳහා යොමුවන සතියකි. චන්ද්‍රයා 06 - 07 - 08 ස්ථානවල ගමන් කිරීම නිසා අඩුම තරමේ විවිධ දුර බැහැර ගමන් ද යෙදෙනු ඇත. තම සිතේ පැවතුණු අරමුණක් ඉටුකර ගැනීමට වෙර දරන සතියකි. අන් අයගේ ද සහාය මේ සඳහා යොමුවීම නිසා සතිය මැදභාගයේ සිට එය ඉටුකර ගැනීමට ඔබට හැකියාව ලැබේ. තමාගේ මවු පාර්ශවයේ කෙනෙකුට බලපාන ගුප්ත දෝෂයක් නිසා එයට ප්‍රතිකර්ම කිරීමේදි ඔබට වෙහෙසවීමට සිදු වේ.

 

සිංහ - සිතේ පැවති බරකින් නිදහස් වේ

සිංහ ලග්නයට අනුව ඔබට මෙම සතිය වාසනාවන්ත සතියකි. චන්ද්‍රයාගේ සිදුවන 05 - 06 - 07 ගමන් මාර්ගය නිසා මෙතෙක් පැවති බොහෝ බාධක ඉවත්වන ලකුණු පළ වේ. පුත්‍ර ඵලයකට හේතුවෙයි. තම දරුවකු වෙනුවෙන් යුතුකම් ඉටුවන සතියක් වන අතර තම දේපළ මිල මුදල් දරුවන් වෙනුවෙන් බෙදාහදා දීමට පෙලඹෙන සතියකි. ආගමික කටයුතු රැසක් කෙරේද යොමුවන අතර තමාට හිතවත් කීප දෙනෙකුගෙන් බොහෝ ඇප උපකාරද ලැබෙනු ඇත.

 

කන්‍යා - නිවසක් තැනීමට සැලසුම්

කන්‍යා ලග්නයට අනුව මෙම සතිය කිසියම් භෞතික සම්පත් උදා කෙරෙන සතියකි. නිවසක් තැනීමට සැලසුම් සකස්වේ. ඒ සඳහා තම ඉඩම් වපසරිය සුද්ධ පවිත්‍ර කොට සැකසීමට වෙහෙස මහන්සි වන සතියකි. චන්ද්‍රයා 04 - 05 - 06 යන ස්ථාන පසු කර ගමන් කිරීම මෙම තත්ත්වයට හේතුවන අතර ඇති තරම් මුදල් ගැවසෙන සතියකි. තම රැකියා අභිවෘද්ධිය ද සැලසෙනු ඇත.

 

තුලා ලග්නය - ආගමික සහජීවනය ලැබේ

තුලා ලග්නයට අනුව මෙම සතිය ඉතා වාසනාවන්ත සතියකි. චන්ද්‍රයා 03 - 04 - 05 යන ස්ථානවල ගමන් කරමින් දේපළ, මිල මුදල්, රැකියා ප්‍රතිලාභ මෙන්ම ගෘහ ජීවිතයේ බොහෝ සුබඵල ගෙන දෙන සතියකි. තම සිතේ පැවතුණු බලාපොරොත්තු කීපයක් ඉටුකර ගැනීමට අවස්ථාව උදා කෙරෙන අතර තමා වෙතින් ඈත්ව සිටි බොහෝ දෙනෙකු තමා සමඟ යළි සහසම්බන්ධ වෙමින් කටයුතු කෙරෙන සතියක් ද වන අතර ආගමික කටයුතු තුළින් ද සිත සන්සුන් කරගත හැකිවනවා ඇත.

 

වෘශ්චික - සමාජයේ කැපී පෙනෙයි

වෘශ්චික ලග්නය හිමි ඔබට හදිසි ධන ලාභයක් ගෙන දෙමින් ආරම්භ වන සතිය ඉතා සැහැල්ලු එකක් වනු ඇත. චන්ද්‍රයා 02 - 03 - 04 යන ස්ථාන පසුකරමින් කෙරෙන මෙම යහපත නිසා සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් ද ඔබට හිමිවනු ඇත. තමා තනිව කළ කටයුතු රැසකට බොහෝ දෙනාගේ සහාය ලැබීම තුළ ඉතා සැහැල්ලුවෙන් කටයුතු කරගෙන යාමට දිරිය ශක්තිය ලැබෙනු ඇත.

 

ධනු - පවුලේ මතභේද අවසන්වේ

ධනු ලග්නය හිමි ඔබට මෙම සතිය තුළ කලක් අවහිරයක්ව තිබූ දෙයකින් නිදහස උදා වේ. තමා අතරමඟ නවතා දමා තිබූ ව්‍යාපාරයක් යළි ආරම්භ කිරීමට අවස්ථාව උදාවනු ඇත. කලාකාමී අදහස් මල්ඵල ගැන්වේ. නිර්මාණශීලී අයට සුබ වේ. තමා කරගෙන ආ නිර්මාණයක් නැවතී තිබුණ ද එය යළි අවසන් කිරීමට හැකිවනු ඇත. සමාජයේ කැපී පෙනෙන ප්‍රගතියක් ඉන් ලැබෙන අතර ආදායම් ලැබීමේ වාසනාව ද ඉන් අත්වනු ඇත. පවුලේ කලක් තිස්සේ පැවතුණු මතභේදයක් අවසන් වනු ඇත.

 

මකර - ආර්ථික අපහසුතා මඟ හැරේ

මකර ලග්නය හිමි ඔබට මෙම සතිය තුළ ගමෙන් හෝ තමා වෙසෙන නගරයෙන් දුර බැහැරකට යාමට සිදු වේ. ඒ නිසාම ශරීර වෙහෙස දැඩිව දැනෙන වකවානුවකි. එහෙත් උත්සාහයේ වෙහෙස මහන්සියේ තරමටත් වඩා ප්‍රතිඵල උසස් වන නිසා සිතේ සතුට දැනවෙන සතියකි. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව 12 - 01 - 02 යන ස්ථානවල ගමන් කිරීමෙන් ආර්ථික වශයෙන් ප්‍රතිලාභ උදාවනු ඇත.

 

කුම්භ - අභිවෘද්ධියට ඉඩකඩ

කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව නොසිතූ විරූ ලැබීමකට හේතුවිය හැකිය. තම ඉඩමක තිබූ වස්තුවක් තමාට හිමිවන ලකුණු පෙනේ. අඩුම තරමින් ලොතරැයි ජයග්‍රහණ හෝ තමා කෙනෙකුට දී තිබූ මුදලක් දෙගුණ තෙගුණවී තමාට ලැබීමට පවා ඉඩ ඇත. සුපරික්ෂාවෙන් කටයුතු කළහොත් නිරතුරුවම එය තමාට හිමි වන අතර; අපරික්ෂාකාරි වුවහොත් එම වාසිය වෙන අයට යන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. චන්ද්‍රයා 11 - 12 - 01 යන ස්ථාන පසුකරමින් යන නිසා එම තත්ත්වය පෙනෙන්නට තිබේ.

 

මීන - ව්‍යාපාරයකින් උසස් ප්‍රතිඵල

මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 10 - 11 - 12 යන ස්ථානවල ගමන් කරන මෙම සතිය රැකියාවේ සැලකිය යුතු ප්‍රගතියක් උදා කෙරෙන අතර ආර්ථික ප්‍රතිලාභයකට ද හේතුවෙයි. සිතේ බරක්ව තිබූ ගැටලු කීපයක් විසඳෙන සතියකි. දණහිස ආශ්‍රිත උවදුරු පෙනෙන්නට තිබෙන නිසා ප්‍රවේශම් වන්න. තම අභිමතය පරිදි කරගෙන ආ ව්‍යාපාර කටයුත්තක් අන් අයගේද සහයෝගය අනුව වැඩි දියුණු කරගෙන යාමට අවස්ථාව උදාවේ.

Comments