ඇමති රන්ජන්ගේ ගමනක අවසානය | සිළුමිණ

ඇමති රන්ජන්ගේ ගමනක අවසානය

ඉකුත් දශක පහක් ඇතුළත කැරලි දෙකකට ජවිපෙ නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් ක්‍රියාත්මක වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් වූහ. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.

21 කොටස

කොළඹ ප්‍රබල ඉලක්කයන් කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමේ වගකීම සඳහා 5දෙනකු ගේ සාකච්ඡාවක් 1989 නොවැම්බර් 16 පස්වරු 5.30ට කොළඹ මරදානේ අභයසිංහාරාම විහාරස්ථානයේ කාමරයක සමන් පියසිරි විසින්ම පවත්වන ලදී. ඒ ජවිපෙ නායක විජේවීර ඝාතනයෙන් පසු ජවිපෙ නව නායකයා වශයෙන් සමන් පියසිරි ප්‍රනාන්දු පත්වීමෙන් අනතුරුවය. සිය පත්වීමෙන් අනතුරුව විජේවිර ගේ ඝාතනයෙන් මසක් සපිරෙන 1989 දෙසැම්බර් 13 රටපුරා විවිධ ස්ථානයන්හි ප්‍රහාරයන් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රබල ඉලක්කයන් කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට නායක සමන් පියසිරි ප්‍රනාන්දු තීරණය කළේය.

එහි දී විදේශ ඇමැති සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විජේරත්න අධිබලැති කාර් බෝම්බයක් යොදා ඝාතනය කිරීම හෝ ඇමැති රන්ජන් ඇතුළු හමුදා ප්‍රධානීන් උත්සවයක දී වස දී ඝාතනය කිරීම සහ නාරාහේන්පිට යුද හමුදා පොලිස් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කර ආයුධ පැහැර ගැනීම වැනි කඩිනම් සැලසුම් සකස්කරන ලදී. මෙහි දී ඇමැති රන්ජන් කාර් බෝම්බයෙන් ඝාතනය කිරීම සම්පත්ට ද වස දී ඇමැති රන්ජන් ඇතුළු පිරිස ඝාතනය කිරීම වරුණට ද, නාරාහේන්පිට යුද හමුදා පොලිස් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුම සකස්කිරීම එහි සේවය කළ සිල්වාටද වගකීම් පැවරිණි. සෙසු දෙදෙනා මෙම කටයුතුවලට සහාය වීමට යොදවන ලදී.

ඇමැති රන්ජන් අධිබලැති කාර් බෝම්බයෙන් ඝාතනය කිරීමේ සැලසුමේ නායකයා වූයේ ශ්‍රීවර්ධන දිසානායක ජයරත්න හෙවත් කීර්ති හෙවත් සම්පත්ය. මෙහි දී වස දී ඇමැති රන්ජන් ඇතුළු පිරිස ඝාතනය කිරීමේ වගකීම බාර දුන් වරුණ නමින් හැඳින්වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ එක් කලාපයක සන්නද්ධ නායකයාය. වරුණගේ පැවිදි නම ධම්මකිත්ති හිමිය. කොළඹ සරසවියේ ශ්‍රාස්ත්‍ර පීඨයේ උපාධිධාරියකු වූ ධම්මකිත්ති හිමියෝ උපාධිය ලබාගැනීමෙන් අනතුරුව උපැවිදිවි ජවිපෙ පූර්ණකාලීනයකු විය. නාරහේන්පිට යුද හමුදා පොලිස් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ වගකීම පැවරූ සිල්වා ලෙස හැඳින්වූයේ පසුකලෙක විජේවීර ඝාතනය රටට හෙළි කළ පොළොන්නරුවේ පදිංචි යුද හමුදා පොලිසියේ ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රානන්ද සිල්වාය.

සමන් පියසිරි ගේ එම සාකච්ඡාව පැවැත්වූ මරදානේ අභයසිංහාරාමය එකල ජනාධිපති ආර්. ප්‍රේමදාස ගේ ප්‍රබල ආධාරකරුවන් වූ භික්ෂූන් සහ දායකයන් සිටි විහාරස්ථානයකි. ජවිපෙ සාකච්ඡා එහි දී සම්බන්ධීකරණය කළේ ජවිපෙ ප්‍රබල ක්‍රියාකරුවකු වූ එහි වැඩ වාසය කළ ඇතිමලේ ප්‍රඥ්ඥාරතන හිමිය. මොනරාගල උපන් උන්වහන්සේ ගේ මව සීතා කුමාරිහාමිය. සමන් පියසිරි 1989 දෙසැම්බර් 27 අත්අඩංගුවට ගැනීමෙන් දෙදිනකට පසු ප්‍රඥ්ඥාරත්න හිමි උපැවිදිවී අසේල වීරසිංහ නමින් ව්‍යාජ හැඳුනුම්පතක් සකසා ගෙන අනුරාධපුර ප්‍රදේශයට පලාගොස් සැඟවී සිටියේය. පසුව 1990 මාර්තු 19 ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයේ (ඔප්ස් කම්බයින්) මගින් අත්අඩංගුවට ගන්නා ඔහු කොළඹ තිඹිරිගස්යායේ යටාරෝ වධකාගාරයේ දී තිරස්චීන වධබන්ධනයට ලක්ව 1990 මාර්තු 21 ඝාතනයට ලක්විය.

වසර 1931 අප්‍රේල් 04 උපන් රන්ජන් විජේරත්න සිය වෘත්තීය ජීවිතය ඇරඹුවේ ප්‍රසිද්ධ වැවිලිකරුවකු ලෙසය. පසුව එජාපය 1977 බලයට පත්වීමෙන් පසු ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂක විය. කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේ සභාපති ලෙසද කලක් කටයුතු කළ ඔහු පසුව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයන්හි ලේකම්වරයා විය. එජාප සභාපති හර්ෂ අබේවර්ධන 1987 දෙසැම්බර් 23 ජවිපෙ කැරලිකරුවන් විසින් ඝාතනය කිරිමෙන් පසු එම තනතුරට පත්වූයේ රන්ජන්ය. පසුව කැරලිකරුවන් විසින් එජාප මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු ද 1988 මැයි 20 ඝාතනය කිරීමෙන් පසු එම තනතුරට පත්වූයේ ද ඔහුය. එවකට එජාප මහ ලේකම් වූ රන්ජන් ගේ පෞද්ගලික සහකාරවරුන් ලෙස සිරිකොත මූලස්ථානයේ සේවය කළේ වෘත්තීය සමිති සහ පක්ෂ සංවිධාන බාරව තිස්ස අත්තනායක සහ ලිපි ලේඛන බාරව රාහුල සිරිවර්ධනය.

වසර 1989 පෙබරවාරි මහ මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ රන්ජන්ට ජනාධිපති ප්‍රේමදාස විසින් විදේශ ඇමැති සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති තනතුර පවරන ලදී. ස්වේච්ඡා හමුදා සේවයේ කර්නල්වරයකු ලෙසද 1984 සිට 1988 දක්වා කටයුතු කළ රන්ජන් ජවිපෙට එරෙහිව තීරණාත්මක ප්‍රති ප්‍රහාරයකට නායකත්වය දෙන ලදී. ‘ත්‍රස්තවාදීන් අශිෂ්ට නම් ඒකට එරෙහි සටනේ දී ශිෂ්ටත්වය සොයනු එපායැ’යි ඇමැති රන්ජන් ගේ එකළ ප්‍රකට කියමනක් විය. කැරලිකරුවන් විසින් රන්ජන් ගේ රියදුරකු වූ හෝමාගම කිරිවත්තුඩුවේ පදිංචි සෝමදාසද ඝාතනය කර තිබිණි.

අධිබලැති කාර් බෝම්බයක් ඇමැති රන්ජන් ගේ රියේ හප්පවා ඝාතනය කිරීමේ සැලසුම ජවිපෙ නායක සමන් පියසිරි විසින් වේගවත් කරන ලදී. ඒ පිළිබඳව සමන් පියසිරි ගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් 1989 දෙසැම්බර් 11 දෙහිවල සරණංකර පාරේ මාතරගේ දොන් ආරියදාස භාරකරු වූ ජවිපෙට අයත් නිවසක දී කලින් මරදාන අභයසිංහාරාමයේ දී පැවැති සාකච්ඡාවට සහභාගි වූ අයගේම සහභාගිත්වයෙන් පැවැත්විණි. තවත් ඉදිරි සැලසුම් ගැනද සමන් පියසිරි එහි දී සාකච්ඡා කළ අතර කොළඹ කලාපයේ සන්නද්ධ නායකයන් ගේ ස්ථාන වෙනස්වීම්ද සිදුකරන ලදී. අධිබලැති කාර් බෝම්බය ශ්‍රීවර්ධන දිසානායක හෙවත් කීර්ති හෙවත් සම්පත් විසින් සවිකළේ කහ පැහැති නවීන පන්නයේ 12 ශ්‍රී ලාන්සර් රථයකය. එයද කැරලිකරුවන් විසින් පැහැර ගත්තකි. මරදානේ එකල නැවතී සිටි සම්පත් කාර් බෝම්බය සෑදීම සඳහා පකිස්ථානයේ නිෂ්පාදිත පුපුරණ ද්‍රව්‍ය ලබාගත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයකු ගෙනි. බෝම්බය සවිකළේ නාවල සේනානායක මාවතේ නිවසකදීය.

අධිබලැති කාර් බෝම්බයක් පුපුරුවා ඇමැති රන්ජන් ඝාතනයට තැත්කළ සැලසුමේ නායකයකු වූ ශ්‍රී‍වර්ධන දිසානායක ජයරත්න හෙවත් කීර්ති හෙවත් සම්පත් හම්බන්තොට බඳගිරියේ යහන්ගල දී 1965 දෙසැම්බර් 27 උපන්නෙකි. දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ සම්පත් මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ 2වැනි වසරේ සිසුවෙකි. ගොවියකු වූ සම්පත් ගේ පියා ශ්‍රීවර්ධන දිසානායක සොමිපාල මත්තල උපන්නෙකි. මව ලීලාවතී දිසානායකය. එම දෙපළට පුතුන් තිදෙනෙක් සහ දූවරුන් තිදෙනෙකි. සම්පත් 4 වැන්නාය. ජවිපෙ 2වැනි කැරැල්ල ආරම්භයේ දී පූර්ණකාලීනයකු වූ සම්පත් මොරටු සරසවියට ඇතුළු වූයේ 1986දීය. ජවිපෙ 2වැනි කැරැල්ල අවසාන භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඩී 1 කලාපයේ සන්නද්ධ අංශයේ ලේකම් වූයේද සම්පත්ය. ඩී 1 කලාපයට කොළඹ නගරය සහ ඒ අවටද පෑලියගොඩ පාලමේ සිට වැල්ලවත්ත දක්වාද නම් කෙරිණි.

මොරටු සරසවියේ බෝම්බ නිෂ්පාදන අංශයේ නායකයකු වූයේ මොරටු සරසවියේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාවේ (එන්.ඩී.ටී) දෙවන වසරේ සිසු පොළොන්නරුව දිවුලංකඩ විහාරගම දී 1965 ජූනි 04 උපන් ගුණමුනි අනිල් පියරත්න හෙවත් රංජිත් හෙවත් පීරිස්ය.

මෝටර් රථයක ඇටවූ අධිබලැති බෝම්බයක් පුපුරුවා හරිමින් ඇමැති රන්ජන් ඝාතනය කිරීමට 1989 දෙසැම්බර් කාර් රථය පදවාගෙන එම රථය සමඟම මරුමුවට පත්වීමට ඉදිරිපත් වූයේ පේරාදෙණියේ සරසවියේ පශු වෛද්‍ය සිසු ගාල්ලේ හබරාදූව අඟුළුගහ පදිංචි ප්‍රීමන් ඩයස් ජනක සෙනෙවිරත්න හෙවත් රොබට්ය. ඔහු පශු වෛද්‍ය පීඨයේ 1986 කණ්ඩායමට අයත් දෙවැනි වසරේ සිසුවකු විය. ජනක සෙනෙවිරත්න ගේ පියා හබරාදූව කටුකරුන්දේ උපන් ප්‍රීමන් ඩයස් අබේගුණවර්ධන සෙනෙවිරත්න වූ අතර දික්කුඹුර පාඨශාලීය විදුහලේ ගුරුවරයකු විය. පසු කලෙක ඔහු විශ්‍රාම ගියේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයකු වශයෙනි. දීගොඩ ඉමදූවේ උපන් ජනක ගේ මව වූ දීගොඩ ගමගේ කරුණාවතී මාතර දික්කුඹුර අන්ද්‍රාගොඩ කණිටු විදුහලේ විදුහල්පතිනියයි. ඇය විශ්‍රාම යනවිට දෙවැනි ශ්‍රේණියේ විදුහල්පතිනියකි.

තිදෙනකු වූ පවුලේ බාලයා ජනක සෙනෙවිරත්න වූ අතර වැඩිමහල් සොහොයුරා අශෝක ද වැඩිමහල් සොහොයුරිය රේණුකා ද විය. ගාල්ල ඇලෝසියස් විදුහලේ අධ්‍යාපනය ලැබූ ජනක ඉතා කෙළිලොල්, රූමත්, කොණ්ඩය බොකුටු නළුවකු මෙන් සිත් ගන්නා ආකර්ෂණීය තරුණයකු වූ අතර පේරාදෙණියේ පශු වෛද්‍ය පීඨයට ඇතුළු වීමත් සමඟම දැවැන්ත පරිවර්තනයකට ලක්විය. ජාතික අර්බුදය, ශිෂ්‍ය මර්දනය, නිදහස් අධ්‍යාපන කප්පාදුව, රාජ්‍ය භීෂණය ඇතුළු ගණනාවක් හමුවේ සංවේ දී වූ ඔහු ජවිපෙ 2වැනි කැරැල්ලට ක්‍රියාකාරීව එක් විය.

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේද සිසුන් 17 දෙනකු 1986 සිය 1990 දක්වා ශිෂ්‍ය ව්‍යාපාරයට පූර්ණකාලීනව එක්වී සිටි අතර ජනක සෙනෙවිරත්න සමඟ ඉන් තිදෙනෙකුම ජවිපෙ 2වැනි කැරැල්ලේ දී ඝාතනය ලක්විය. එක් අයකු වූයේ පශු වෛද්‍ය පීඨයේ 83/84 කණ්ඩායමේ 31 දෙනා අතරින් අයකු වූ අම්පාර ඉඟිනියාගල ලක්ෂ්මන් රංජිත් අබේරත්න හෙවත් ටොමාය. පවුලේ දෙවැනියා වූ ලක්ෂ්මන් නිහඬ චරිතයක් වූ අතර පියා ගොවියෙකි. පල්ලෙකැලේ හමුදා කඳවුරට 1987 අප්‍රේල් 15 ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ ලක්ෂ්මන් 1988 දෙසැම්බර් 12 කොළඹ මැගසින් බන්ධනාගාරය බිඳ දැමීමෙන් පසු ජවිපෙ මුදාගත් ජවිපෙ සාමාජිකයන් 221 දෙනා අතර විය. පසුව පන්නල ප්‍රදේශයේ තලම්මැහැර බමිමන්ත විහාරස්ථානයක සිට කුලියාපිටියේ ජවිපෙ ශිෂ්‍ය අංශයේ කලාප නායකයකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී 1989 මැයි 21 අත්අඩංගුවට පත්වූ අතර ඝාතනය කරන ලද ඔහුගේ සිරුර කුලියාපිටිය පන්නල මාර්ගයේ කන්කානියමුල්ල කැලයේ බෝධිය අසල දී පුළුස්සා දමා තිබිය දී හමුවිය. තවත් පශු වෛද්‍ය ශිෂ්‍යයකු වූ 1985 කණ්ඩායමේ කුලියාපිටියේ නිහාල් ප්‍රේමරත්න හෙවත් සිරා ජවිපෙ කලාප නායකයකුව සිටිය දී 1989 අවසාන කාලයේ දී පැල්මඩුල්ලේ දී අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයට ලක්විය.

ඇමැති රන්ජන් විජේරත්න කාර් බෝම්බයක් මගින් ඝාතනය කිරීමට තමා වෙත පැවරූ වගකීම ඉටු කිරීම සඳහා ජනක සෙනෙවිරත්න බෝම්බ ඇටවූ මෝටර් රථයෙන් 1989 දෙසැම්බර් මස රන්ජන් විජේරත්න දින තුනක් පමණ කිරුලපන සහ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ ලුහුබැඳ ගියද ඉලක්කය සපුරාගත නොහැකි විය. පසුව කොට්ටාව හන්දියේ දී 1989 දෙසැම්බර් 26 අත්අඩංගුවට ගෙන මත්තේගොඩ කඳවුරේ දී දරුණු වධබන්ධනවලට ලක්වූවද ජනක කිසිදු කරුණක් හෙළි නොකළේය.

අධිබලැති බෝම්බය සවිකළ මෝටර් රථයේ ඉදිරිපස ආසනයේ දිවි පිදීමට වූවද සූදානමින් ඉලක්කය සොයා ජනක සමඟ ගමන් ගත්තේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ 86/87 කණ්ඩායමේ සිසු කෑගල්ල ගලිගමුවේ උපන් අශ්විනි ඉරේෂා පොල්ගම්පොල හෙවත් දීපානිය. ඇය ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ 1989 අග දී මුල්පෙළේ කාන්තා නායිකාවකි.

තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අශ්විනී කුඩා කාලයේදීම පියා සහ මව වෙන්වී සිටි අතර කෑගල්ලේ ෂොපින් සෙන්ටර් නම් වෙළෙඳසැල හිමි මාමා යටතේ ඇය හැ දී වැඩුණේය. එක් සොහොයුරෙක් සිටී. ඇයගේ පෙම්වතා පේරාදෙණිය වෛද්‍ය පීඨ සිසුවෙකි. අශ්විනිවද මොරටුවේ දී 1989 දෙසැම්බර් 30 පැහැරගෙන යෑමෙන් අනතුරුව ඝාතනයට පත්විය. ඇය ඝාතනයට පෙර තිරස්චීන අතවරයන්ටද මුහුණ දුන්නාය.

ඇමැති රන්ජන් ඝාතනය කිරීමට සකස්කළ කාර් බෝම්බය ඇතුළත් මෝටර් රථය ඇරැව්වල සිය නිවසේ කාර් බෝම්බ රථයක් බව නොදැන තබා ගෙන සිටීමේ වරදට කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම වසරේ (කණිෂ්ඨ) සිසුවකු වූ නිශාන්ත සම්පත් එදිරිවික්‍රම 1989 දෙසැම්බර් 31 පෙරවරු 9.20ට මහරගම බෝකුන්දර පාරේ ඇරැව්වල පිහිටි සිය නිවසේ දී ආරක්ෂක හමුදා මගින් අත්අඩංගුවට ගනු ලැබීය. රාගම පෞද්ගලික වෛද්‍ය විදුහලට එරෙහි සටනේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු වූ නිශාන්ත 1966 ඔක්තෝබර් 5 උපන් අතර තිදරු පවුලක වැඩිමලාය. මව ඩොරින් වූ අතර පියා තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියකු වූ ෆැන්සිස්ය. මහානාම විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ නිශාන්ත 6වැනි ශ්‍රේණියේ සිට ඉගෙනුම ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේය. තවත් සරසවි සිසුවකු විසින් බෝම්බ ඇටවූ කාර් රථය දෙදිනකට පෙර නිශාන්ත ගේ නිවසේ තබාගියේ බැටරිය අක්‍රීය වන බැවින් එය පසුදින ගෙනයන බව කියමිනි. නිශාන්ත එය කාර් බෝම්බයක් බව දැන සිටියේ නැත. නිවසට කඩාවැදුණු හමුදා භටයින් එහි සිටි නිශාන්ත සහ ඔහුගේ ඥාති සොහොයුරකු වන උදය පරණමාන අත්අඩංගුවට ගෙන නිවස ඉදිරිපිට දණගස්සවා නිවසේ මිදුලේ නතරකර තිබූ කහ පැහැති නවීන පන්නයේ ලාන්සර් රථයද ආරක්ෂක අංශ භාරයට ගන්නා ලදී. මේ අතරතුර බිම දණගස්සවා සිටි පරණමාන අත්අඩංගුවෙන් මි දී පලායෑමට සමත්විය.

කාර් බෝම්බය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිශාන්ත එදිරිවික්‍රම තිඹිරිගස්යාය යටාරෝ වධකාගාරයට ගෙන එන ලදි. වද බන්ධනයට ලක්වූ නිශාන්ත 1990 පෙබරවාරි 16 එහි දී ඝාතනයට ලක්විය. අත්අඩංගුවට පත් ජනක ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයේ මූලස්ථා‍නයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්නට පෙන්වීම සඳහාද ගෙන යන ලදී. ජනක අත්අඩංගුවට ගත් පුවත කාර් බෝම්බ ඝාතන සිද්ධිය සමඟින් රජයේ රූපවාහිනියේ ප්‍රවෘත්ති මඟින්ද විකාශනය කෙරිණි. ජනක ද වධබන්ධනවලට ලක්වීමෙන් පසු 1990 පෙබරවාරි මස 16 යටාරෝ වධකාගාරයේ දී ඝාතනයට ලක්විය. විපක්ෂ මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඔවුනට සිදුවූයේ කුමක්දැයි පසුව ප්‍රශ්න කළේය. එවිට ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න කියා සිටියේ ඔවුන් පලා ගොස් ඇති බවය. බෝම්බය පිපිරවීම සැලසුම සකස් කළ ශ්‍රීවර්ධන දිසානායක හෙවත් කීර්ති හෙවත් සම්පත්ද 1989 දෙසැම්බර් 25 මරදානේ දී අත්අඩංගුවට ගත් අතර යටාරෝහී දී වධබන්ධනවලට ලක්වීමෙන් ඝාතනය විය. මේ සියලු දෙනාම අත්අඩංගුවට ගෙන වධබන්ධනවලට ලක්වූයේ තිඹිරිගස්යාය යටාරෝ වධකාගාරයේ දී සහ කොළඹ නීති පීඨ වධකාගාරයේදීය. මොවුන් වධබන්ධනවලට ලක්කිරීම සම්බන්ධයෙන් පසුව චෝදනා ලැබුවේ එහි සිටි හමුදා නිලධාරින් වූ කපිතාන් උපුල් වීරසිංහ, මේජර් අශෝක තෝරදෙණිය, ලුතිනන් තුවාන් මුතාලිෆ්, ලූතිනන් මංජුල මනතුංග, ලූතිනන් චාමේන්ද්‍ර රණසිංහ, ක්‍රෝපල් නිව්ටන් ඇතුළු කිහිපදෙනෙකි. ලූතිනන් චාමේන්ද්‍ර සහ ක්‍රෝපල් නිව්ටන් පසුව 1990 අගෝස්තු පෑලියගොඩ සිසිර මෝටර්ස් අසල මංකොල්ලයක් සිදු කරද් දී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය.

ආරක්ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විජේරත්න සහ හමුදා ප්‍රධානින්ට ඔවුන්ගේ ආහාරවලට වස දමා ඝාතනය කිරීමට ජවිපෙ නායක සමන් පියසිරි සැලසුම්කර තිබුණේ කොල්ලුපිටියේ ඔබරෝයි හෝටලයේදිය. වර්තමානයේ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් නමින් හැඳින්වෙන්නේද නවීකරණයට ලක්වූ එම හෝටලය වේ. එය 1989ද තරු පහේ හෝටලයකි. ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය(ඔප්ස් කම්බයින්) විසුරුවා හරින ලද අවස්ථාවේ දී එහි සේවය කළ ඉහළ පෙළේ නිලධාරින් 15කට පමණ සහ පොලිසියේ එක් අයකුට උසස්වීම් ලබාදීමේ උත්සවයක් මෙම හෝටලයේ දී 1990 මාර්තු 08 පස්වරු 6ට පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. (ඔප්ස් කම්බයින් වසා දැමීමේ පෙරෙට්ටුව එදින පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.) එයට හේතුව වූයේ ජවිපෙ නායක විජේවීර ඇතුළු ඉහළ පෙළේ නායකයන් අත්අඩංගුවට ගෙන ජවිපෙ 2වැනි කැරැල්ල මුළුනුපුටා දැමීමට ඔවුන් කළ සේවයට උපහාර පුද කිරීමට සහ දිරිමත් කිරීම වෙනුවෙනි. ඒ සඳහා උපහාර පිරිනැමීමේ උත්සවයට 125කට ආරාධනා කර තිබිණි.

මෙයට සහභාගි වූ අය අතර ආරක්ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විජේරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් සිරිල් රණතුංග, හමුදාපති ලෙෆ්ටිනන්ට් ජනරාල් හැමිල්ටන් වනසිංහ, හමුදා කාර්ය මණ්ඩලයේ සහ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයේ (ඔප්ස් කම්බයින්) ප්‍රධානි මේජර් ජනරාල් සිසිල් වෛද්‍යරත්න, ක්ෂණික විහිදුම් බළකාය (ආර්.ඩී.එෆ්) අණදෙන නිලධාරි කර්නල් ජානක පෙරේරා (විශ්‍රාම ගියේ මේජර් ජනරාල්වරයකු ලෙසය), ඔප්ස් කම්බයින් දෙවැනියාවූ කර්නල් ලක්ෂ්මන් අල්ගම(විශ්‍රාම ගියේ මේජර් ජනරාල්වරයකු ලෙසය), යුද හමුදා විශේෂ බළකාය පිහිටුවිම සඳහා පුරෝගාමී මෙහෙවරක් කළ කපිතාන් ගාමිණී හෙට්ටිආරච්චි (විශ්‍රාම ගියේ මේජර් ජනරාල්වරයකු ලෙසය) ඇතුළු හමුදා නිලධාරින්ද පොලිස් අධිකාරි රොනී ගුණසිංහ ඇතුළු කිහිපදෙනෙක්ද විය.

ඔබ්රෝයිහි පැවැත්වෙන උත්සවය පිළිබඳව ජවිපෙට ලැබුණු වාර්තා සහ සම්බන්ධතා සමන් පියසිරි විසින් ඔබ්රෝයි හෝටලයේ දී වසදීමේ මෙහෙයුම භාරව කටයුතු කරන වරුණට පවසන ලදී. එමෙන්ම හමුදාවේ එම කටයුතු සිදුකරන අරක්කැමියකු ගේ සහ ඔබ්රෝයි හෝටලයේ සේවකයකු ගේද සම්බන්ධතා සකස්කර දෙන ලදී. එමෙන්ම වසදීම සඳහා සයනයිඩ් දියර අඩංගු සිලින්ජර් ලබාගැනීම සඳහා පුද්ගලයෙක්ද හඳුන්වා දෙනු ලැබීය. ජවිපෙ කොළඹ කලාපීය සන්නද්ධ නායක වරුණ එතරම්ම උස නොමැති 28 හැවිරිදි තරුණයකු වුවද පෙනුම එයටත් වඩා ළාබාලය. විජේවීර ඝාතනයෙන් පසු වරුණට ආරක්ෂාව සඳහා නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරක් 1989 දෙසැම්බර් 01 සිට හිමිවිය. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ජවිපෙට හිතවත් ඉහළ නිලධාරියකු ගේ මාර්ගයෙන් එම රැකියාව වරුණට සොයා දුන්නේ අම්පාරේ නෙවිල්ය. වසර 1990 අගෝස්තු නෙවිල්ද ඝාතනයට ලක්විය. නාරහේන්පිට යුද හමුදා පොලිසියේ ජවිපෙට සම්බන්ධ හමුදා භටයන් 1989 නොවැම්බර් සිට ජවිපෙ නව නායක සමන් පියසිරි සමඟ සම්බන්ධකම් පැවැත්වූයේද වරුණ හරහාය. එකල වරුණ කටයුතු මෙහෙයවූ ස්ථානයන් කිහිපයක් විය. එක්තැනක් වූයේ බොරැල්ල සුපර්මාර්කට්හි 2වැනි මහලේ ටේලර් සාප්පුවකි. තවත් තැනක් වූයේ රාජගිරියේ හන්දියේ හෝටලයකි.

මෙවර වරුණ ඇමැති රන්ජන් ඇතුළු පිරිසට වසදීමේ මෙහෙයුම සැලසුම් කිරීම සඳහා තෝරාගත්තේ බොරැල්ලේ කොටා පාරේ ප්‍රදීප් ස්ටෝස් නැමති සිල්ලර වෙළඳ ව්‍යාපාරික ස්ථානය වේ. එහි හිමිකරු වනාතමුල්ලේ අජිත්ය. ඔහුගේ සොහොයුරා වූයේ සරත්ය. අජිත් ගේ ඝාතනයෙන් පසු බොරැල්ලේ කරවල කඩයක් කළ සරත් දැන් සිටින්නේ ස්විස්ටර්ලන්තයේය. පොලිස් අධිකාරි ගෆූර් ගේ මස්සිනාට බෝම්බ ගසා වෙඩි තැබූ ප්‍රදීප්ද 1988 මැද භාගයේ දී සැඟව සිටියේ අජිත් ගේ නිවසේදීය.

ඇමැති රන්ජන් ඇතුළු හමුදා ප්‍රධානීන් සහභාගිවන උත්සවයේ මෙහෙයුම් කටයුුතු හමුදා ආරක්ෂාව යටතේ සිදුකළ අතර ආහාරපාන පමණක් හෝටලයෙන් ලබාගැනීමට තීරණය විය. ඔබ්රෝයි හෝටලේ වසදීමේ සැලසුම සඳහා සයනයිඩ් දියරය වරුණ ලබාගත්තේ උතුරේ දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ මෝදර ඉබ්බගෙවත්තේ පොඩි රවී ගෙනි. එය මිලි ලීටර් 10 දියර වශයෙන් සිලින්ජර් කිහිපයක දමා තිබිණි. මිලි ලීටර් 10ක් යනු තේ හැඳි දෙකක් පමණ වේ. ප්‍රථම අත්හදා බැලීම සිදුකළේ කොටා පාරේ ප්‍රදීපා ස්ටෝස්හි හිමිකරු අජිත් සමඟය. ඒ කුඩා කරවල කැබැල්ලකට සයනයිඩ් දියරය දමා බළලකුට දීමෙනි. බළලා වැනි වැනී සිටියද ක්ෂණිකව මිය ගියේ නැත. ඒ සයනයිඩ් දියරය කල් ඉකුත්වීම නිසාය. පසුව යළිත් කලින් නියෝජිතයා ගෙන්ම එයට වඩා අධිසැර සයනයිඩ් දියරයක් පෙර ආකාරයටම ලබාගන්නා ලදී. අත්හදා බැලීම එවර සාර්ථකවූ අතර බළලා ක්ෂණිකව මියගියේය.

ඔබ්රෝයි හෝටලයේ සාදයේ දිනයවූ 1989 දෙසැම්බර් 8 දිනය උදාවන විට සියලු සැලසුම් වරුණ අකුරටම සකස් කළේය. ඒ අනුව සාදයේ අමුත්තන් පිළිගැනීමට ලබාදෙන සිසිල්බීම සඳහා සයනයිඩ් විස සහිත සිලින්ජර් කිහිපයක් සාදයේ කටයුතු බාරව ඔබ්රෝයි හෝටලයට පැමිණෙන හමුදාවේ අරක්කැමියකුට එදින දහවල් භාරදෙන ලදී. එය ඇමැති රන්ජන් ඇතුළු ප්‍රධාන මේසයේ වාඩිවන 8 දෙනාට සිසිල් බීමට මිශ්‍රකර ලබාදීමට තීරණය විය. එය ලබාදීමෙන් පසු අජිත් කුමාර පාර්ලිමේන්තු බෝම්බය තබා පලා ගියාසේ අදාළ අරක්කැමියා වැඩේ සාර්ථක වූ පසු පලා යෑමට නවීන පන්නයේ වාහනයක්ද ඔබ්රෝයි හෝටලය ඉදිරිපිට නතරකර තිබිණි. පානදුරේ මොරොන්තුඩුවේ ඒ සඳහා සැඟවීමට ස්ථානයක් පවා වරුණ අදාළ තැනැත්තාට සූදානම් කර තිබිණි.

නියමිත වේලාවට සාදයට පැමිණි ඇමැති රන්ජන් ඔහුට වෙන්කළ මේසයේ හමුදා ප්‍රධානීන් කිහිප දෙනකු සමඟ වාඩිවිය. සයනයිඩ් විස යෙදූ සිසිල්බීම අඩංගු වීදුරු ඇමැති රන්ජන්ට පිළිගන්වන ලදී. ඇමැති රන්ජන් තමාට උණුසුම් පානයක් ලෙස තේ ගෙන එන්නේ නම් සතුටු වන බව කියා සිටියේය. සෙසු අයද එය අනුමතකර ඔවුනටද තේ ගෙනෙන ලෙස ඉල්ලා සිටියහ. සයනයිඩ් යෙදූ සිසිල්බීම යළි ගෙනගිය සේවකයා එය වෙනත් බන්දේසියක තබා වෙනත් අයට ඇල්ලීමට ගෙන යෑමට තැත්කළ ද එය දැනගෙන සිටි අරක්කැමියා ඒවා පසෙක තබා තේ ලබා දී ඔහු ගිය පසු සයනයඩ් යෙදූ විස සිසිල් පැන් අදාළ වීදුරුවලින් ඉවතට විසි කරන ලදී. සාදයට පැමිණි සෙසු අය සිසිල්බීම පානය කළ අතර ඔවුනට ගැටලුවක් ඇති නොවූයේ ඒවාට විස මුසු සයනයිඩ් නැති හෙයිනි. මේ සඳහා සහාය දුන් ඔබ්රෝයි හෝටලයේ ජවිපෙ සාමාජිකයකු මඟින් හෝටලයෙන් පිටත ඇති රථයේ රියදුරුට පැයකට පමණ පසු පණිවිඩයක් යවා තිබුණේ තමා නොඑන බවකි. ඔබ්රෝයි සේවකයා වැඩේ කුමක්දැයි හරියටම නොදන්නා නමුත් රථයේ රියදුරු සහ අරක්කැමියා සම්බන්ධ කළ ජවිපෙ හිතවතා ඔහු විය.

වස දී ඇමැති රන්ජන් සහ හමුදා ප්‍රධානීන් ඝාතනය කිරීමේ සැලසුම හෙළිවන්නේද මාස කිහිපයකට පසුවය. ඒත් අහම්බයකිනි. ජවිපෙ නායක සමන් පියසිරි 1989 දෙසැම්බර් 27 අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ලඟ තිබූ ලියවිලි කිහිපයක් ආරක්ෂක අංශවලට හමුවිය. සමන් පියසිරි කිසිදු තොරතුරක් හෙළිනොකළ අතර 1989 දෙසැම්බර් 29 ඝාතනයට ලක්විය. ඔහු සමඟ අත්අඩංගුවට ගත් ලේඛනයක ජවිපෙට සම්බන්ධ බව කියන හමුදා සාමාජිකයන් ගේ නම් සහ ඔවුන්ගේ නිවාස කිහිපයක ලිපින තිබූ අතර එම නිවෙස්වල සාමාජිකයන්ට හිරිහැර නොකරන ලෙසට අදාළ ප්‍රදේශවල ජවිපෙ දිස්ත්‍රික් සන්නද්ධ නායකයන්ට දැනුම් දී තිබිණි. එම ලැයිස්තුවේ නාරහේන්පිට යුද හමුදා පොලිස් මූලස්ථානයේ ලාන්ස් ක්‍රෝප්‍රල්වරුන් වන ගිනිගත්හේනේ බී. එම්. කේ. රාජපක්ෂ(සෙ/90606), අනුරාධපුරයේ බන්දුලසේන(පසුව ශ්‍රිලනිපයෙන් අනුරාධපුර නැගෙනහිර නුවර ගම්පළාත ප්‍රාදේශීය සභාවේ සභාපති විය), කිරිඳිවෙල එස්. ඒ. ඩබ්ලිව් සෙනරත්(සෙ/90586), මාතලේ එම්. ආර්. එම්. ධර්මපාල බණ්ඩා, මාතර අශෝක, කළුතර කේ. ටී. සරත් (සෙ/90911) සහ මාතර එස් උල්විස්හේවා(සෙ/90865) යන අයගේ නම් සඳහන් විය. ඔවුහු 1990 මාර්තු මස අත්අඩංගුවට ගත් අතර එක් අයකු වූ රාජපක්ෂ ගේ ලොකරයෙහි තිබී සයනයිඩ් දියරය ඇතුළත් සිලින්ජරයක් හමුවිය. ඔහු එය තමා බොරැල්ලේ කොටා පාරේ ප්‍රදීප් ස්ටෝස් හිමි අජිත් ගෙන් ලබාගත් බව කියා සිටියේය. පසුව ව්‍යාපාරික ස්ථානය හිමිකරු අජිත් ආරක්ෂක හමුදාව අත්අඩංගුවට ගත් අතර එම කඩයේ සැඟවී සිටි ආරක්ෂක අංශ එහි පැමිණි ජවිපෙ ක්‍රියාකාරි ලංගම සේවකයකු ඇතුළු කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන වරුණ සොයා නාරහේන්පිට මහවත්තේ වැටලීමක් කර වරුණ අත්අඩංගුවට ගනු ලැබීය. අජිත් ගේ කඩයේ වීදුරු කඩා අලාභහානි කර තිබෙනු දක්නට ලැබිණි. ප්‍රදීප් ස්ටෝස්හි අජිත් සහ වරුණද යටාරෝ වධකාගාරයට ගෙනයෑමෙන් පසු ඝාතනයට ලක්විය. අත්අඩංගුවට ගත් යුද හමුදා ලාන්ස් ක්‍රෝපල්වරුන් 8 දෙනා පනාගොඩ යුද හමුදා කඳවුරේ ගල් පල්ලිය සිර කුටියේ වසර 2ක් දඬුවම් විඳීමෙන් පසු නිදහස් විය. නාරාහේන්පිට යුද හමුදා පොලිසියේ ඡායාරූප ශිල්පී ලාන්ස් ක්‍රෝපල් ඉන්ද්‍රානන්ද සිල්වා වසර ගණනාවක් අත්අඩංගුවේ සිටි අතර පසුව 1997 දෙසැම්බර් 16 නිදහස් විය. ජවිපෙ විසින් 1989 දෙසැම්බර් මාසයේ දී කාර් බෝම්බයක් පුපුරුවා ඝාතනය කිරීමේ සහ 1990 මාර්තු වස දී ඝාතනය කිරීම යන ප්‍රයත්න දෙකෙන් බේරුණු විදේශ ඇමැති සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විජේරත්න දෙමළ බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ කොටි සංවිධානයේ දුරස්ථ පාලක අධිබලැති කාර් බෝම්බයට 1991 මාර්තු 02 උදේ 8.27ට ගොදුරුවී ආරක්ෂක භටයන් ඇතුළු 19 දෙනකු සමඟ හැව්ලොක් ටවුමේ දී ඝාතනයට පත්වී දැවී අළුවී ගියේය. ඒ හරියටම මෙයට වසර 30කට පෙර මාර්තු 2දාය.

Comments