බොනපාට් සනාථ කළ බිල් ගේට්ස්ගේ ටෙනිස් ආදරය | සිළුමිණ

බොනපාට් සනාථ කළ බිල් ගේට්ස්ගේ ටෙනිස් ආදරය

 

දැන් මම අඩු ම තරමින් සතියකට වතාවක්වත් ටෙනිස් පිටියට ආපහු එනවා. ඒත් ඒ සුන්දර ක්‍රීඩාවත් සමග නැවතත් එකතු වෙන්නේ ප්‍රධාන ධාරාවේ ජයග්‍රාහි තරගකරුවන් හමුවේ මම වසර 61 ව සිටිය දී ය.

ඔබට යමක් සිතිය හැකි නම් එහි තේරුම ඔබට එය කළ හැකිය යන්න යි.

මීට වසර හතරකට පෙර එනම් 2017 වසරේ අමෙරිකා එක්සත් ජනපදයේ දී ලොව ප්‍රකට පුද්ගලයින් දෙදෙනෙකු අතර එක්තරා ආගන්තුක හමුවීමක් ඇතිවෙනවා. එක්කෙනෙක් තමයි ප්‍රකට ටෙනිස් ශූර රොජර් ෆෙඩෙරර්. අනිකා වෙනින් කවුරුවත් නෙවෙයි මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිලියනපති බිල් ගේට්ස්.

බිල් ගේට්ස් නව යෞවන වියේ සිට ම ටෙනිස් ක්‍රීඩාවට අනුරාගී ලෙසින් බැඳී සිටින්නෙක්. එමෙන්ම ළමා වියේ සිට ම ටෙනිස් ක්‍රීඩා කළ අයෙක්. ඒත් ඒ බව දන්නවුන්ට වඩා නොදන්නවුන් වැඩි යි. ඔහු යෞවන වියේ සිට ම විවෘත හා වෙනත් ටෙනිස් තරග නැරඹීමට කවදාවත් ප්‍රමාද වෙලා නැහැ.

අර මුලින් කීව හමුවීම තුළ බිල් ගේට්ස්, රොජර් ෆෙඩෙරර් පදනම විසින් පවත්වනු ලබන මහා ටෙනිස් තරගයක රොජර් සමග කණ්ඩායම්ගතව ක්‍රීඩා කරන්න ආරාධනයක් ලබනවා. ඒ ගැන රොජර්ගේ නියෝජිතයා මෙසේ විස්තර කරනවා.

“රොජර් සහ මම බිල් ගේට්ස් හමු වී අපේ කණ්ඩායමට එක් වන්න යැයි කළ ආරාධනයට ඔහු එකඟ වුණා.” ඒ අනුව තරගය 2017 අප්‍රේල් 29 දා වොෂින්ටනයේ සීඩ්ල්ස් හී කී ඇරීනාවේ දී පැවැත්වෙන්න කටයුතු සිදු වෙමින් තිබුණා. ගේට්ස් හා රොජර් එක කණ්ඩායමක් වශයෙන් එවකට අමෙරිකාවේ සිටි තරුණ ටෙනිස් ක්‍රීඩා තරු පෙළ බඳු ජෝන් ඉස්නර්, පෙරල් ජෑම් හා මයික් මැක්ක්‍රොට් ද සමග ඇවිලෙන මේ ක්‍රීඩා සටන නරඹන්න පැමිණ සිටි පිරිස 16,000 ක් තරම්.ගේට්ස් මේ මොහොත දකින්නේ තමන්ගේ සිහිනයක් සැබෑ වීමක් හැටියට යි.

64 වියේ පසුවෙන වියපත් මිනිසෙකුගෙන් බලාපෙරොත්තු විය හැකි ටෙනිස් ක්‍රීඩා කෞශල්‍යය කුමක් ද යන ප්‍රශ්නය මෙහි දී ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ම පරිගනක විද්‍යාවට වඩා ටෙනිස් ක්‍රීඩාවට ඇලුම් කළ බිල් ගේට්ස් කෙනෙක් යන්න හිතළුවක් විය නොහැකි ද යන්නත් ඔබ තුළ කුකුසක් ඇති නොවුනොත් ඒකත් පුදුමයක්.

සීට්ල්ස් හි මැද පාංතික පවුලක උපත ලද බිල් ගේට්ස් ටෙනිස් පිත්ත අතට ගත්තේ සිය ළමා වියේදීම යි. පාසල් වියේදීත් එය එසේ ම සිදු වු නමුත් උසස් විදුහලේ උසස් විෂයයන් හදාරද්දී පසෙකින් තැබු ඒ ටෙනිස් පිත්ත නැවතත් අතට ගැනීම තවදුරටත් ප්‍රමාද වෙන්නේ ඔහු වයස විසි ගණන්වලදී ම ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වීම නිසා යි.

කෙසේ වෙතත් ඔහුගේ ම බුද්ධිමය නිරීක්ෂණයට අනුව ටෙනිස් ක්‍රීඩාවට ඔහු මෙතරම් ඇල්මක් දක්වන්න ඇත්තේ ඒ තුළ පවත්නා ඉක්මන් තීරණ ගැනීමට යොමු කරවන ගුණාංගය නිසා වෙන්න පුළුවන්. ඒ අනුව fore hand , back hand, shallow shot, deep shot යන පහරවල් හමුවේ ඉක්මනින්ම තීරණය කිරීමේ හැකියාව ටෙනිස් ශූරයෙකු බිහි කිරීමට හේතු වෙනවා. ඒ වගේම එක් ප්‍රමාද තීරණයක් හමුවේ ඔහු ලබන පරාජය නොවැළැක්විය හැකි වෙනවා.

තමන්ගේ අතින් ටෙනිස් පිත්ත ගිලිහුණ ඒ දවස් ගැන බිල් ගේට්ස් සිය “ගේට් නෝට්ස්” නම් බ්ලොග් අඩවියේ මෙසේ සඳහන් කරනවා.

“මම ටෙනිස් ක්‍රීඩාව අත්හැර දැමු ඒ කාලයේ දී මයික්‍රොසොෆ්ට් හා බැඳුණු මුල්‍ය කටයුතු සිදු කරන්නට වෙහෙසුණා. මේ අතරතුර කාලයේ දී මගේ එකම ව්‍යායාමය වුණේ, කාර්යාලය වටා දිවීමත්, උඩට පහළට පැනීමත් විතරයි.”

නමුත් ඔහුගේ ටෙනිස් ක්‍රීඩාවේ අවසානය එය වුණේ නෑ.

වසර 2000 දී ඔහු මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයෙන් විශ්‍රාම ගන්නවා. ඊට පස්සෙ තමන් ලබන ඒ විවේක කාලය ගැන ඔහු මෙහෙම ලියනවා.

“දැන් මම අඩු ම තරමින් සතියකට වතාවක්වත් ටෙනිස් පිටියට ආපහු එනවා. ඒත් ඒ සුන්දර ක්‍රීඩාවත් සමග නැවතත් එකතු වෙන්නේ ප්‍රධාන ධාරාවේ ජයග්‍රාහි තරගකරුවන් හමුවේ මම වසර 61 ව සිටිය දී ය.”

ඒ විදිහට නැවතත් ටෙනිස් පිටියට ආ ගේට්ස් 2017 දී අර මුලින් කී හමු වීමෙන් පසු 2020 අමෙරිකානු සුපිරි ක්‍රීඩා තරු සමග සුපිරි තරගයකට අවතීර්ණ වුණා. තරගය අවසාන වෙන්නේ 6 - 4 ක් වශයෙන් ගේට්ස් හා රොජර් ජයග්‍රහනය කරමිනු යි. ඉන් රොජර් ෆෙඩෙරර් පදනම මිලියන දෙකක ආදායමක් ලබනවා. ඒත් මේ පදනමේ මුදල් යොමු කරල තියෙන්නේ අප්‍රිකානු කලාපයේ ළමයින්ගේ අධ්‍යාපනයට යි. ඒත් සමගම අප්‍රිකාවේ තවත් තරග දෙකකට සහභාගි වීමට ගේට්ස් ආරධනා ලබනවා. මෙහි දී නැපෝලියන් බොනපාට් කියු කතාවක් සනථා වෙනවා.

“ඔබට යමක් සිතිය හැකි නම් එහි තේරුම ඔබට එය කළ හැකිය යන්න යි.”

 

Comments