පිටියෙන් සමුගත් සයිලන්ට් මෑන් උපුල තරංග | සිළුමිණ

පිටියෙන් සමුගත් සයිලන්ට් මෑන් උපුල තරංග

 

මම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට සුබ පතමි. කණ්ඩායම ඉක්මනින් ශක්තිමත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

දිනෙක සියල්ල අවසන් විය යුතුයි. මේ ඒ සඳහා සුදුසුම කාලයයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා. ඒ 2005 අගෝස්තු 02 වැනිදා සිට ආරම්භ කළ ජාත්‍යන්තර ක්‍රිකට් ගමනට නැවතීමේ තිත තබමිනුයි.

 

එම දිනයේ එක්දින වරම් දිනා ගත් තරංග අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ දකුණු අප්‍රිකාවේ පැවැති එක්දින තරගයකට යි. එය පැවැත්වුණේ 2019 මාර්තු 16 වැනිදා කේප්ටවුන්හිදී යි.

ඔහු අවසන් වරට විස්සයි 20 තරගයට ක්‍රීඩා කළේ මීට වසර තුනකට පෙරයි. ඒ 2018 මාර්තු 16වැනිදා යි. ඔහු එහිදී තරග වැදුණේ බංග්ලාදේශයට එරෙහිව ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී ය. ඒ වගේම ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට එක්වුයේ 2017 අගෝස්තු මාසයේදී ඉන්දීයාවට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී යි.

මේ අවසන් තරග වාර්තා දෙස බලද්දී එයින් පෙනෙනවා මේ විධිහට කණ්ඩායම තුළ රැඳී සිටීම අසීරු කරුණක් බව.

සිය වෘත්තීය කාලය තුළ, තරංග එක්දින අන්තර් ජාතික තරග 235කට ක්‍රීඩා කර තිබෙනවා. 2016-2017දී තරග 22 ක දී නායකත්වය ලබා දුන්නේ උපුල් තරංගයි. පළමු වරට 2016 නොවැම්බර් මාසයේ දී තමයි ඔහු නායකත්ව වගකීම් බාරගත්තේ. ඒ සිම්බාබ්වේට එරෙහිව හරාරේහී දී පැවැති එක්දින තරගයක දී යි. තරග 4ක් ජය මාවත කරා මෙහෙයවීමට තරංගට හැකි වුණා. තරග 16ක් පරාජය වන්නට ඔහුට සිදුවුණා. මාස ගණනාවකට පස්සෙ ඔහු ඕස්ට්‍රේලියානු සංචාරයක් සඳහා විස්සයි 20 කණ්ඩායමේ පාලනය බාර ගනිමින් එරට සංචාරය කළා. එහිදී ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ රටේදීම 2-1 ක් ලෙස පරාජය කළා. මොහු විස්සයි20 තරග හයක නායකත්වය දරමින් තරග තුනක් ජය ගෙන ඇති අතර ඉතිරි තරග තුන පරාජය වි තිබෙනවා.

තරංගගේ නායකත්වය අසාර්ථක වුවත්, ජාතික කණ්ඩායම සමඟ සමස්තය ආකර්ෂණීය කාල පරිච්ඡේදයක් බවට පත්වුණා. ඔහුගේ ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග අතර එක්දින වාර්තාව ශ්‍රී ලංකා ඉතිහාසයේ හොඳම ඒවා යි. එක්දින ශතක 15 ක් රැස් කළ ඔහු, ශ්‍රී ලංකා පිතිකරුවන් අතර පස්වැනි වැඩිම ශතක ලාභියායි.

2011 ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු දැක් වූ දස්කම් අවසන් මහා තරගය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණිමට විශාල කාර්යභාරයක් ඉටු කළා. ආරම්භක පිතිකරු වශයෙන් ඔහු ලකුණු 395 ක් රැස් කරමින් ලකුණු 56.42 ක සාමාන්‍යයක් පවත්වා ගත්තා. එසේ ලකුණු රැස්කරද්දී ඊට ශතක (සිම්බාබ්වේට 133 සහ එංගලන්තයට නොදැවී 102) දෙකක් ඇතුළත් වුණා.

සනත් ජයසුරිය සමඟ එක්ව පළමුවැනි කඩුල්ලට 2006 දී ලීඩ්ස්හි දී එංගලන්තයට එරෙහිව පන්දු 206 කදී ලකුණු 286 ක් රැස් කිරිමට සමත් වීම කැපී පෙනෙනවා. මෙය එක්දින තරග ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා පවතින හත්වැනි සබඳතාවය ද වෙනවා.මිට අමතරව පළමුවැනි කඩුල්ලට තිලකරත්න ඩිල්ෂාන් සමඟ එක්ව සිම්බාවේ පිලට එරෙහිව 282 ක්, එංගලත්තයට එරෙහිවි නොදැවි 231, මහේල ජයවර්ධන සමඟ පළමුවැනි කඩුල්ල වෙනුවෙන් බංග්ලාදේශයට එරෙහිව රැස්කළ 215, ඉන්දියාවට එරෙහි 213,පාකිස්තානයට එරෙහිව 202 සහ සනත් ජයසුරිය සමඟ නවසීලන්තය හා 201ක් වශයෙන් තරංග අවස්ථා හතකදි ලකුණු 200 ඉක්මවු සබඳතා පැවැත්විමට සමත්ව තිබෙනවා.

තරංග ටෙස්ට් තරග 31 ක්, එක්දින තරග 235 ක් සහ විස්සයි 20 තරග 26 කට ක්‍රීඩා කර සිය වෘත්තීය ජීවිතය අවසන් කළා. ඔහුගේ ටෙස්ට් ලකුණු 1754 ක සාමාන්‍යය 31.89 ක් වූ අතර එයට ශතක තුනක් සහ අර්ධ ශතක 8 ක් ඇතුළත් වුණා. තරංග සිය එක්දින තරගවලදී ලකුණු 33.74 ක දී ලකුණු 6951 ක් රැස් කර තිබෙනවා. ශතක 15 ක් සහ අර්ධ ශතක 37 ක් රැස් කර ඇති අතර ඔහුගේ කෙටි විස්සයි 20 දිවිය තුළ තරග 26 ක දී, ලකුණු 407ක් රැස් කර ඇත්තේ එහි සාමාන්‍යය 16.28 ක් වශයෙනුයි.

“හොඳ දේ සියල්ල අවසන් විය යුතුයි” යන පැරණි කියමනට අනුව, වසර 15 කට වැඩි කාලයක් පුරා ගෙවා දැමූ මගේ ක්‍රීඩා ගමන දැන් අවසන් කළ යුතුයි. ඒ වෙනුවෙන් දැන් කාලය එළැඹී ඇති බව පෙනෙනවා. මම මගේ සියලු දේ ලබා දීමෙන් පසු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවක් මම විශ්වාස කරනවා” තරංග ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනවා.

"මම ආදරණීය මතකයන් හා මිත්‍රත්වයන් සමඟ ගමන් කළ මාර්ගයක් අතහැර යන්නෙමි. සෑම විටම මා කෙරෙහි විශ්වාසය තැබීම සහ මා කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මම ස්තූතිවන්ත වෙමි. මා සමඟ සිටීම ගැන ආදරණීය ක්‍රිකට් රසිකයින්ට, මිතුරන්ට සහ මගේ පවුලේ අයට ද කෘතඥවෙමි. මගේ ඉහළම මට්ටමේ සහ මගේ වෘත්තීය ජීවිතයේ අඩුම අවස්ථාවන්හිදී පවා ඔබගේ සුබ පැතුම් සහ දිරිගැන්වීමේ පණිවිඩ මගේ අභිලාෂය පිටුපස ඇති ප්‍රධානම තල්ලුව විය. ඒ සඳහා මම ඔබ සැමට ස්තූතිවන්ත වන අතර මම ඔබට ද සුබ පතමි."

"මම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට සුබ පතමි. කණ්ඩායම ඉක්මනින් ශක්තිමත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි."

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තරංග කණ්ඩායමට කළ “ඉමහත් සේවය” වෙනුවෙන් උපහාර දක්වා තිබුණා.

“උපුල් තරංග සිය දීර්ඝ වෘත්තීය ජීවිතය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ට සේවාවක් ඉටු කළා. ජාතික කණ්ඩායමේ බොහෝ ජයග්‍රහණ වලදී එය අත්‍යවශ්‍ය අංගයක් වුණා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා එම නිවේදනයෙන් පවසා තිබුණා.

Comments