කුලියට ගොයම් කපලා තමයි මම බයිසිකලයක් ගත්තේ | සිළුමිණ

කුලියට ගොයම් කපලා තමයි මම බයිසිකලයක් ගත්තේ

 

ශ්‍රී ලංකා පාපැදියේ සුසන්තිකාව දිනූෂා දිල්රුක්ෂි

බෑ කියන දේවල් පුළුවන් කියලයි මම හිතන්නෙ

නිවැරැදි පුහුණුවක් - පැහැදිලි අරමුණක් ලබාදුන්නොත් ආසියානු පදක්කමක්

පහන නොනිවන එක ක්‍රීඩා ඇමැතිගේ වගකීමක්

ආසියාව නෙවෙයි ලෝකය දිනන්න පුලුවන් පාපැදි ක්‍රීඩකයෝ අපිට ඉන්නවා

වටිනාකම නොදකින පාපැදි ක්ෂේත්‍රයට ආභරණයක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාපැද ක්‍රීඩිකාව දිනූෂා දිල්රුක්ෂි ය. වර්තමානයේ පාපැදි වර්ගීකරණය අනුව අංක එක දිනා සිටින ඇය 2019 වසරේ දකුණු ආසියානු කාලය මැනීමේ පාපැදි තරග ඉසව්වේ රිදී පදක්කම් ලාභිනිය ය. ඒ වසර දහසයකට පසුව එවන් දස්කමක් කළ පළමු ශ්‍රී ලාංකික පාපැදි ක්‍රීඩිකාව ලෙසිණි.

මේ අනුව දකුණු ආසියාව දිග් විජය කරන්නට සමත්ව ඇති ඈ ආසියාව දිනන්නට විභව ශක්තියක් ඇති ශ්‍රී ලංකාව සතු විශිෂ්ට පාපැදි ක්‍රීඩිකාවකි. තමනට ලැබුණු යම් ප්‍රතිලාභයක් වෙත්නම් ඉන් උපරිම ප්‍රයෝජන උකහා ගනිමින් එහි ප්‍රතිලාභ පෙරළා රටට ලබාදීමට හැකි විභවතාවෙන් හෙබි ක්‍රීඩිකාවක සේ ඇය හැඳින්විය හැකිය.

එහෙයින් ඇය ක්‍රීඩා අමාත්‍යාංශයේ පෞද්ගලික අධීක්ෂණයට ලක්විය යුතු පාපැදි ශූරියකි. කොටින්ම කියන්න නම් මලල ක්‍රීඩාවේ සුසන්තිකා ජයසිංහ වැනි දිරිය ශක්තියකින් හෙබි පාපැදි ක්‍රීඩාවේ සුසන්තිකා ජයසිංහ ලෙසින්ද ඇය හැඳින්විය හැකිය. මේ එවන් අධිෂ්ඨානය ප්‍රතිබද්ධ විශිෂ්ට දක්ෂතාවෙන් පෝෂිත පාපැදි ක්‍රීඩිකා දිනූෂා දිල්රුක්ෂි හා ‘ක්‍රීඩා’ පැවැත්වූ සාකච්ඡාවකි.

දිනූෂා මොකද මේ දවස්වල කරන්නෙ?

පාපැදි පුහුණු වෙනවා. ගුවන් හමුදා පාපැදි කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වශයෙන් තමයි මම තරග වදින්නේ. ඒ නිසා නිරන්තරයෙන් දක්ෂතා වැඩිදියුණු කරගන්නවා.

ගුවන් හමුදා පාපැදි සවාරියට සූදානමින් වෙන්න ඇති පුහුණුව ශීඝ්‍ර කරලා තියෙන්නේ?

ඔව්. ඒකත් ප්‍රමුඛ හේතුවක්. ඒ නැතත් අපි ගුවන් හමුදා පාපැදි සංචිතයේ ක්‍රීඩකයින් හැටියට පාපැදි පුහුණුව සිදුකරනවා. ඒක සාමාන්‍යයෙන් සිදුකළ යුත්තක්.

ඔබේ ගම් පළාත කොහේද?

මම ආනමඩුවේ.

ඒ කියන්නෙ වන අලි තර්ජන මැද පාපැදි පැදපු ක්‍රීඩිකාවක්?

ඔව් ඒත් පෞද්ගලිකව මටනම් වන අලි තර්ජනයකට මුහුණ දෙන්න වුණේ නෑ. නමුත් මම ඉන්න ප්‍රදේශයේ එක් කොටසකට වන අලි තර්ජන තිබෙනවා. ජීවත්වීම සඳහා සටන් කරන මිනිස්සු ඉන්න පළාතක් තමයි මම නියෝජනය කරන්නෙ.

කොහොමද පාපැදි ක්‍රීඩාව සමඟ සම්බන්ධ වුණේ?

මැරතන් දුවන්න බැරිවුණු නිසා. මම මුලින්ම මැරතන් තරගයකට තමයි සහභාගි වුණේ. ඒත් ඒ තරගයෙන් මට ස්ථානයක් ලැබුණේ නෑ. ඉතින් ඊට පස්සේ දවසේ තිබුණු පාපැදි තරගයට පදින්න මම තීරණය කළා.

ඒ විධිහට තරග වදින්න පාපැදියක් තිබුණද?

නෑ.

එහෙනං කොහොමද තරග වැදුණේ?

දන්න කෙනෙක්ගෙන් ඉල්ලා ගත්තා.

රේස් පදින්න පුලුවන් එකක් ද?

විශේෂයක්ම නෑ. ටිකක් පරණ පාපැදියක්.

ඉතින් මොකද වුණේ?

දිනුවා.

ඊට පස්සෙ?

ඊට පස්සෙත් මම තරග ඒ පාපැදිය ඉල්ලාගෙන තරග කළා. ඒවාත් දිනුවා.

දිගටම පැද්දේ ණයට ඉල්ලාගත්ත පාපැදියෙන්ම ද?

නෑ. මම ණයට ඉල්ලා ගත්ත පාපැදියෙන් තරග කීපයක් පැදලා දිනුවාට පස්සේ පාපැදියක් ගන්න හිතුවා. සල්ලි නැති නිසා අම්මාට ඒක අරන් දෙන්න බැරිවුණා. පස්සේ මගේම උත්සහයෙන් සල්ලි එකතුකළා. අඩුපාඩුව අම්මා දාලා පාපැදියක් මිලදී ගත්තා.

ඔබ එතකොට පාසල් යන ළමයෙක්. කොහොමද පාපැදියක් ගන්න සල්ලි සොයාගත්තේ?

කුලී වැඩ කරලා. පාපැදිය ගන්න ඕනෑ කරපු රුපියල් දස දහස සොයාගන්න කුලියට ගොයම් කැපුවා. මම පාසල් ඇරිලා ගියේ කුලියට අස්වනු නෙළන්නයි. වරුවක් ගොයම් කැපුවොත් රුපියල් හාරසියයක් ලැබෙනවා. මම ඒ විධිහට ගණන් හද හද කුලියට ගොයම් කැපුවා.

අම්මා දැනගෙන හිටියාද දිනූෂාගේ සැලැස්ම?

නෑ. අම්මාත් කුලී වැඩට ගිය නිසා මම ඇයට නොකියා තමයි කුලියට ගොයම් කැපුවේ. ලැබෙන මුදල් කැටේකට දාලා එකතු කළා පාපැදියක් ගන්න.

දැනගත්තාට පස්සේ අම්මා මොකද කිව්වෙ?

අම්මා මට බැනලා, කුලී වැඩ කරන්න ගියා කියලා ගැහුවා. ඒත් පස්සේ අම්මාව මාව අල්ලාගෙන ඇඬුවා. තාත්තා නැති නිසා එයාට මාවයි නංගිවයි බලාගන්න දුක් විඳිනවා කියලා ඇය කිව්වා. ඒ නිසාම ගොඩාක් ආර්ථික ප්‍රශ්න තියෙන නිසා මේ විධීහට අපිට දුක් විඳින්න වෙලා කියමින් ඇඬුවා. අන්තිමට අම්මා එයාගේ කණේ තිබුණු ලොකු කරාබු දෙක උගස් කරලා, අතේ තිබුණු සල්ලි ටිකත් එකතු කරලා පාපැදිය ගන්න ඕනෑ සල්ලි හදාගත්තා.

ඊට පස්සේ කොහෙන්ද පාපැදිය ගත්තේ?

අම්මයි, මායි නවගත්තේගමට ගිහින් පාපැදියක් මිලදී ගත්තා. මට හරි සතුටුයි. අපි ඒකත් අරන් රජකමක් ලැබුණා වගේ සතුටින් ගෙදර ආවා.

ඒකෙන් කොහොමද තරගවලට පැද්දේ?

පාපැදිය රේස්වලට හරියන්න හදාගන්න සල්ලි තිබුණේ නෑ. අන්තිමට මම මේ ගැන මහඋස්වැව රතනපාල මහා විද්‍යාලයේ ක්‍රීඩා උගන්නපු අනිල් සර්ට කිව්වා. සර් මට සල්ලි දුන්නා. ඒ මුදලින් තමයි පාපැදිය හදාගත්තෙ.

ඊට පස්සේ ගුවන් හමුදාවට බැඳුණා?

ඒ සඳහා අවස්ථාව පෑදුණා කිව්වොත් හරි. මම පාසල් මට්ටමින් ජයග්‍රහන ලබාගෙන ඉන්නකොට රත්නපුරයේ තිබුණු සමස්ත ලංකා පාසල් පාපැදි තරගය බලන්න ‘එයාර් ෆෝස්’ එකේ නිලධාරීනුත් ඇවිත් හිටියා. එතන හිටපු 'වොරන්ට් ඔෆිසර් රුවන් කුමාර මහතා' මගෙන් ඇහුවා ගුවන් හමුදාවට එන්න කැමති නැද්ද කියලා. ඒ වෙද්දී ගුවන් හමුදාව පාපැදි කණ්ඩායමක් හදන්න සූදාමින් සිටියා. ඉතින් මම 2011 වසරේ උසස් පෙළ කරලා ඉවර වුණු ගමන් ගුවන් හමුදාවට බැඳුණා.

පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණමඩුව වැනි ප්‍රදේශයක ඉඳලා ගුවන් හමුදාවට බැඳුණාම මොනවගේ හැඟීමක් ද ඇතිවුණේ?

මුලින්ම මට බය හිතුණා. කටුනායක, ඒකල ගුවන් හමුදා කඳවුරේ මහ ගේට්ටුව ඇතුළේ අම්මා මාව තනිකරලා ගිය පළමුවැනි දවසේ මට හරි දුකයි. ඉතින් මම හොඳටම ඇඬුවා.

මොකද ගෙදරින් පිට මම ඉන්න පළමුවැනි දවස තමයි ඒ. දවස් කීපයක්ම මේ වේදනාව මගේ පපුවේ තිබුණා. ඒත් අපිට හම්බවෙලා හිටිය පුහුණුකරුවා අපිට දරුවන්ට වගේ සැලකුවා. ඔහු කියලා දුන්නා ජීවත් වෙද්දී පවුලෙන් ඈත් වෙද්දී සිතිවිලි හදාගන්න හැටි. අරමුණු වලට හඹායන්න ඕනැ කොහොමද කියලා. එතැන ඉඳලා ගුවන් හමුදා ජීවිතයට අපි හැඩගැහුණා.

එතකොට ඔබට ජාතික තලයෙදිත් පාසල් තරගවල දැක්වූ දක්ෂතා පවත්වා ගන්න ලැබුණද?

නෑ. මුල්ම දවස්වල මම ඒ තරම් දක්ෂතා දැක්වූයේ නෑ. එතකොට මම ජාතික තලයේ අට, නවය නැත්නම් දහය හැටියට තමයි තරගයක් අවසන් කළේ. ඒත් මගේ පුහුණුකරු සාජන්ට් ජනක සුමිත් කුමාර ගුවන් හමුදාව අනුග්‍රහයෙන් මට රේසිං පාපැදියක් අරගෙන දුන්නා.

ඒ කියන්නේ ඔබේ හැකියාව පුහුණුකරු දැකලා තියෙනවා කියන එකනේ?

මම ඒ ගැන සාජන්ට්ගෙන් ඇහුවා. ඔහු මට කිව්වේ පාපැදි ක්‍රීඩාවෙන් දීප්තිමත් අනාගතයක් මට තිබෙනවා කියලයි. ඒ නිසා මට ඉස්සරහ හිටපු ඇතැම් ක්‍රීඩිකාවන්ට රේසිං පාපැදියක් දෙනවාට වඩා ඉක්මනට මට රේසිං පාපැදියක් අරගෙන දුන්නා. ගුවන් හමුදාව ඒ සඳහා ලක්ෂ තුනක් වැය කළා. මට කෝච් කිව්වේ දැන් පුළුවන් තරම් මහන්සිවෙලා පුහුණු වෙන්න කියලයි.

මම ඒක කළා. කවදාවත් මම මගේ පුහුණුවට බොරු කළේ නෑ.

ඒ කියන්නේ අලුත් රේසිං පාපැදිය ඔබට වාසනාව ගෙනාවා ?

ඔව්. මම ඒ පාපැදියෙන් පැදපු පළමුවැනි රේස් එකේදීම තුන්වැනියා වුණා. ඊට පස්සේ දිගටම ඉදිරියටම ආවා.

පුත්තලමෙන් ආපු කෙල්ලක් රටේම දක්ෂ ක්‍රීඩිකාවක් බවට පෙරැළීමේ රහස ගැන කෙටියෙන් කියමු?

උනන්දුව, ධෛර්යය වගේම පුහුණුව තමයි ඒකට ප්‍රධානම හේතුව. මම හැම වෙලාවෙම මට කරන්න පුළුවන් උපරිම දේ කරන්න උත්සහ කළා. මම දැක්ක සුවිශේෂී ක්‍රීඩකයන්ගෙන් උපදෙස්, අත්දැකීම් එකතු කරගත්තා. ඒ නිසා මම වේගයෙන් සාර්ථකත්වය සොයාගත්තා. අන්තිමට ලංකාවේ පළමුවැනි පාපැදි ක්‍රීඩිකාව වුණා.

ඔබේ පළමු විදෙස් සංචාරය මොකක්ද?

2014 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පාපැදි තරගාවලියට තමයි මම මුලින්ම විදෙස් ගත වුණේ. ඒ ස්කොට්ලන්තයට.

ඒක අලුත් අත්දැකීමක් වෙන්න ඇති?

ඔව්. ආණමඩුව, පුත්තලම ජීවත් වුණු නවගත්තේගම ලොකු නගරයක් විධිහට දැකපු මම ඒකල ගුවන් හමුදා කඳවුරට ඇවිත් ලංකාව දකින්න පටන් අරගෙන ටික කාලයකින් ලෝකය දකින්න යනවා කියන්නේ විශාල අත්දැකීමක් වුණා.

ඒ කියන්නේ දිනූෂාටත් ක්‍රීඩාවේ කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න වුණා කියන එක ද?

ඔව්. දක්ෂ ක්‍රීඩකයන්ගේ ජීවිතවල ආරම්භයේ කැපිලි, කෙටිලි තිබෙනවා. මගේ ක්‍රීඩා ජීවිතයටත් එවැනි බාධාවන් තිබුණා. ජාතික පුහුණු සංචිතයේ හිටිය සමහර බලධාරීන් මාව ඉවත් කරලා ඒ වෙනුවට වෙනත් අයව ඒ සංචාරයට අරගෙන යන්න උත්සාහ කළා.

තව මොනවද ඔබ ලබා ඇති ජයග්‍රහණ?

මට දකුණු ආසියානු කාලගණනය කිරීමේ තරගයකදී (සාග්) රිදී පදක්කම දිනාගන්න හැකිවුණා. වසර 16කින් මෙපිට අපි එවැනි ජයක් ලබා තිබුණේ නෑ. ඒ ජයග්‍රහණය මා තුළ ඇතිකළේ විශාල පිබිදීමක්.

දැන් හිච්චි වයසෙන් පුත්තලම, ආණමඩුවෙන් ඒකල ගුවන් හමුදා කඳවුරට ආපු ගෑණු දරුවා දක්ෂතාවයන්ගෙන්, අත්දැකීම්වලින් වැඩිලා තරුණියක් වෙලා. ජීවිතයේ ඊළඟ අදියර ගැන ඔබේ සැලසුම කොහොමද?

ඔව් දැන් මට විසි අටක්. ඒත් හැකිතාක් කාලයක් පාපැදිය එක්කම ඉන්නවා. මොකද මට ආසියානු පදක්කමක් ලංකාවට දිනාදෙන්න උවමනායි. ඇත්තම කියනවා නම් පාපැදි ක්‍රීඩාවෙන් ලෝකය දිනන්න හැකි දක්ෂයෝ අපේ රටේ ඉන්නවා.

ඔබ හිතන්නේ ඒක විය යුත්තේ කොහොම කියලද? අපි දන්න විධිහට නම් ආසියාව දිනන්න තරම් පුහුණුකරුවෝ එහෙම අපේ රටේ නෑ?

ඇත්ත අපේ පුහුණුකරුවන් දකුණු ආසියාව දිනන්න සුදුසුයි. එතැනින් එහා යන්න නම් අපිට ජාත්‍යන්තර පුහුණුවක් අවශ්‍යයයි. එවැනි පුහුණුවක් ලබාදෙනවා නම් ජාත්‍යන්තරය දිනාගන්න අපහසු නෑ. එවැනි විදේශීය පුහුණුවක් දෙනවා නම් එයින් නිසැක ප්‍රයෝජන ගන්න පිළිවන්.

පාපැදිය කියන්නේ කාන්තාවන්ට සුදුසු ක්‍රීඩාවක් නොවෙයි කියන එකට මොකක්ද ඔබේ පිළිතුර?

21 වැනි සියවසේ ජීවත් වෙලත් මිත්‍යාමත පස්සෙ යන්න එපා. ඔබ දන්නවා එදා හිටිය කාන්තාව අද නෑ. අද රැකියා කරන, අධ්‍යාපනයෙන් ඉදිරියට යන, ක්‍රීඩාවේ නිරත වෙන කාන්තාවො එමටයි. මොකද කාන්තාව කියන්නේ අතීතයේ වගේ යුගදිවියට එළඹිලා දරුවෝ හදාවඩාගෙන පවුල් ආත්තු කරන වර්ගයක් පමණක් නෙවෙයි. ඔවුන්ට ලෝකයක් එක්ක සටන් කරන්න පුළුවන්. ලෝකයක් පාලනය කරන්න පුළුවන්. පාපැදි ක්‍රීඩාව කියන්නේ එහි ක්ෂුද්‍ර අංශුවක්. තවත් එක් පියවරක්. ක්‍රීඩාවක් කළොත් ඒකේ ප්‍රතිලාභ ඉහළයි.

ඒත් දැන් පාපැදි ක්‍රීඩාව කරන්න ආරක්ෂිත මං පෙත් නෑනෙ. එතකොට මාපියන් තම දරුවන්ව පාපැදි ක්‍රීඩාවට යොමුකරන එක අඩුවෙනවා නේද?

ඇත්ත දැන් වාහන වැඩියි. නමුත් අපි පුහුණු වෙන්නේ ආරක්ෂිත විධිවිධාන සහිතව. අපිට බුද්ධියක් තියෙනවානෙ. ඒක පාවිච්චි කරලා රේස් පදින්න ඕනෑ. පුහුණු වෙන්න ඕනෑ. එහෙම නැතිව අනතුරු පිටුදකින්න බෑ.

අවසන් වශයෙන් ඔබේ බලාපොරොත්තු ගැන කතාකරමු.

මට රට දිනවන්න අවශ්‍යයයි. මගේ ආයතනය දිනවන්න ඕනෑ. මගේ අම්මාගේ දෙනෙත්වලට සතුටු කඳුළු ගේන්න ඕනෑ. ඒ වගේම මට මේ ගමන එන්න උපකාර කරන එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ, එයාර් කොමඩෝර් කිත්සිරි ලීලාරත්න, වින්ග් කමාන්ඩර් ප්‍රසන්න රණසිංහ, වින්ග් කමාන්ඩර් රංග දිනූෂ, සාජන් ජනක සුමිත් කුමාර, ජාතික පුහුණුකරු උපාලි රත්නායක වගේම දූනගහ ප්‍රදේශයේ ජීවත්වන මගේ ක්‍රීඩා ජීවිතයට ශක්තියක් වෙන මහේෂ් ද සිල්වා යන මහත්වරු වගේම මගේ පාපැදි ක්‍රීඩාවට නන් ආකාරයෙන් උපකාර කළ හා කරන සුමිතුරන්, නිලධාරින් සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන්ගේ සෘජු මැදිහත්වීමකින් පාපැදි ක්‍රීඩාවේ විශේෂ පුහුණුවක් ලබාගෙන ඉදිරි ගමනක් යන්න අපි බලාගෙන ඉන්නවා.

 

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments