කළු සුදු භේද නැති මානව ගුණය | සිළුමිණ

කළු සුදු භේද නැති මානව ගුණය

 

ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩක මයිකල් ඕහාර්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මිතය

මිනිසකුගේ එක සුන්දර සිතුවිල්ලකට පුළුවන් තවත් මිනිසෙක්ගේ ජීවිතය සුන්දර කරන්න. ඒ වගේ ම මේ සමාජය සුන්දර ස්ථානයක් බවට පත් කරන්න. හැබැයි එවැනි සුන්දර සිතුවිලි තිබෙන මිනිස්සු අඩුයි. මේ එවැනි පුද්ගලයකු නිසා ලෝක ප්‍රසිද්ධ වූ චරිතයක් පිළිබඳ කතාවක්.

මෙය කළු ජාතික අසරණ දරුවෙකුට අසීමිතව ආදරය කළ සුදු ජාතික ගැහැණියක පිළිබඳ කතාවකි. ඇය නමින් ලේන් ඇනී තෝගිය. ඔහු නමින් ජෙරෝම් විලියම්ස් හෙවත් මයිකල් ඕහර්ය. ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩාවේ දක්ෂ ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකි. ඔහුගේ ඒ සාර්ථකත්වය සුන්දර සිතුවිලි ඇති ගැහැණියක නිසා සිදු වූවකි.

1986 මැයි 28 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙනසි ප්‍රාන්තයේ ළමුන් දොළොස් දෙනකුගෙන් යුත් කළු ජාතික පවුලක උපත ලබන මයිකල් ඕහාර්ගේ ළමා කාලය එතරම් සුන්දර නොවේ. මව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා සහ පියා අපරාධ රැසකට සිරගත කර ඇති නිසා කුඩා කළ සිට ඔහුගේ ජීවිතය පුරා අසුන්දරත්වය තැවරී තිබිණි. පවුල් පසුබිම නිසා ම වසර නවයක කාලයක් තුල ඔහු එකොළොස් වතාවක් පාසල් මාරු කරන අතර ඒ හේතුවෙන්ම නිරන්තරව කැපකරු මාපිය නිවෙස් ද මාරු කරන්නට සිදු විය.

කෙසේ හෝ අධ්‍යාපනය ලබා දිය යුතු නිසා මයිකල් ඕහර්ගේ මාමා කෙනකු මැදිහත්ව ඔහු හඳුනන ක්‍රීඩා ගුරුවරයකුගේ මාර්ගයෙන් නගරයේ පිහිටි වින්ගේට් විද්‍යාලයට මයිකල්ව ඇතුළත් කරනු ලබයි. ඒ මයිකල් ක්‍රීඩාවට දක්ෂයකු වූ බැවිනි. කළු සුදු වර්ණභේද වාදය දැඩි ලෙස පැවතීම නිසා පාසලට ඇතුළු කළ දින සිට ඔහුට සුදු ජාතිකයන්ගේ අපහාස සහ ගැරහුම්වලට පාත්‍ර වන්නට සිදු විය. මේ නිසා පාඩම් කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ මයිකල් විභාගවලට පෙනී සිටියත් කිසිඳු අකුරක් ලියූවේ නැත. නමුත් ඔහුට සිදු වන සමාජ අසාධාරණත්වය සිය ප්‍රශ්න පත්‍රයේ පසුපස ලියා තැබුවේය.

“මගේ වටේට තියෙන හැම දේම සුදු පාට යි. ඩෙස් බංකු, බිත්ති, පොළොව ඒ වගේ ම ළමයි, ගුරුවරු. එයාල මට ප්‍රශ්න දීලා තනියම විසඳන්න කියනවා. මම බාත්රූම් එකට ගිහිල්ලා කණ්ණාඩිය දිහා බලාගෙන කියනව මේ නම් මයිකල් උඹ වෙන්න බැහැ කියලා”

මයිකල් ඕහාර් බුද්ධිමත් ළමයකු බව පන්තිභාර ගුරුතුමිය තේරුම් ගන්නේ එතැන් සිටය. මයිකල් ඕහාර් ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුවහන් වන්නේ ලේන් ඇනී තෝගි නම් ධනවත් කාන්තාව මුණ ගැසුණ විටය. අධික සීතලෙන් යුත් රාත්‍රියක කබායක්වත් නොමැතිව පාරේ ගමන් කරමින් සිටින මයිකල්ව දකින ඇය ඔහුව තම නිවසට කැඳවා ගෙන යයි. හිසට නිවහනක් හෝ ආදරය, කරුණාව නොමැතිව අසරණව සිටි මයිකල් තම නිවසට ගෙන්වාගෙන කැපකරු මවු පිය යුවළක් වන්නට ලේන් ඇනී තෝගි සහ ශෝන් ටුවී යුවල කටයුතු කරයි. මයිකල්ගේ අඩාල වුණු අධ්‍යාපන කටයුතු නැවත ගොඩ නංවන්නට උත්සාහ කරන අතරතුර ඔහු සතු ක්‍රීඩා හැකියාව ද අවබෝධ කර ගනී. නමුත් සුදු ජාතික වංශවත් පවුලක් කලු ජාතික ළමයකු හදා වඩා ගැනීම සමාජය දකින්නේ වෙනස් කෝණයකිනි. ටුවී පවුලේ දරුවන් වන ශෝන් ජූනියර් (පුතා) සහ කොලින්ස් (දියණිය) පවා කිසිඳු පැකිලීමකින් තොරව මයිකල් තම සහෝදරයකු ලෙස පිළිගත් නිසා මයිකල්ගේ ආත්ම විශ්වාසය වඩාත් දියුණු වෙයි.

මීටර් 1.84ක් උස, කිලෝග්‍රෑම් 140ක් බර, පළල් පස්සක්, අති විශාල කලවා දෙකක් සහ ඊට සරිලන යෝධ අත් දෙකකුත් සහිත මයිකල්, ටුවී යුවළගේ මඟ පෙන්වීම යටතේ ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩාවට යොමු වේ. ක්‍රීඩා කරද්දී රළු ස්වාභාවයක් පෙන්නුම් කළත්, මයිකල් සතු හැකියාව දිනෙන් දින දියුණු කරන්නට මේ යුවළ කටයුතු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වයස අවුරුදු 17ක් වන විට මයිකල් පිටියේ ඉතා ඉහළින් දස්කම් දක්වන ක්‍රීඩකයකු බවට පත් වේ. මේ දස්කම් නිසා ප්‍රමුඛ පෙළේ පාසල්වලින් සහ ක්‍රීඩා කණ්ඩායම්වලින් ද මයිකල්ට ආරාධනා සහ ශිෂ්‍යත්ව ගලා එයි. එහි ප්‍රතිඵලයක් ලෙස ටෙනසි ප්‍රාන්ත පාපන්දු කණ්ඩායමේ ප්‍රමුඛතම ක්‍රීඩකයා බවට පත්වන මයිකල් අද වන විට සුපිරි ගණයේ ක්‍රීඩකයකු බවට පත් වී හමාර ය.

මයිකල් ඕහර්ගේ ජීවිත කතාව 2006 වසරේ දී මයිකල් ලෙවිස් නම් ග්‍රන්ථ රචකයා විසින් The Blind Side නමින් එළි දක්වනු ලැබූයේය. පසුව 2009 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ජෝන් ලී හෑන්කොක් නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් The Blind Side නම් සිනමාපටය නිර්මාණය කරනු ලබයි. චරිතාපදාන, ක්‍රීඩා සහ නාට්‍ය යන ශානරයන්ට අයත් මෙම සිනමාපටය IMDb දර්ශකයේ 7.7 ක් ලබා ගැනීමට සමත් වන අතර සම්මාන උළෙලවල් 29 ක් සඳහා නිර්දේශ වී සම්මාන 8 ක් ද ලබා ගෙන තිබේ. මෙහි ලේන් ඇන් තෝගි ගේ චරිතය සඳහා සැන්ඩ්‍රා බුලෙක් එක් වන අතර මයිකල් ඕහාර්ගේ චරිතය ක්වින්ටන් ආරොන් විසින් නිරූපණය කරනු ලබයි. සැන්ඩ්‍රා බුලොක් එම චරිතය වෙනුවෙන් ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනා ගැනීම ද සුවිශේෂී වේ.

ලොව පුරා ඉමහත් ප්‍රසාදයට බඳුන් වන මේ චිත්‍රපටය ඉතා සංවේදී එකක් වන අතර සමාජයේ නොපෙනෙන පැතිකඩක් ලොවට අනාවරණය කිරීමක් ලෙස දැක්විය හැකි ය. මයිකල් ඕහර් වැනි දරුවන් මිලියන ගණනක් ලෝකයේ සිටිය හැකි ය. එහෙත්ලේන් ඇන් තෝගි වගේ කාන්තාවන් සිටින්නේ අතළොස්සකි. මෙරට ළමා නිවාසවල ද මයිකල් ඕහර්ලා වැනි දක්ෂයන් සැඟව සිටිය හැකි ය. එබැවින් අපට අවශ්‍ය වන්නේ මෙවැනි මානව දයාවෙන් යුත් හදවත් ඇත්තවුන්ය. අප ද ඒ ගැහැණියගේ පියවර පසුපස උතුරායන සතුටකින් හා මහා අධ්‍යාත්මික සැනසීමකින් පා තැබිය යුතුම ය.

Comments