කාන්තා­වන්ට සම­තැ­නද? නිසි­තැ­නද? | සිළුමිණ

කාන්තා­වන්ට සම­තැ­නද? නිසි­තැ­නද?

නිර්ධන පන්තිය වෙනුවෙන් හඬ නඟමින් සටන් වැදුණු ජර්මන් ජාතික සමාජවාදී නායිකාවක වන ක්ලාරා සෙට්කින්ගේ 1910 දී කාන්තා අයිතිය පිළිබඳ මූලික පියවර තබමින් කාන්තා අයිතීන් ගැන මුලින් ම කතා කළේ කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදීය. අයිතීන් වෙනුවෙන් සටන් වැදුණු කම්කරු කාන්තාවන් සැමරීමට ජාත්‍යන්තර කාන්තා දිනයක් නම් කළ යුතු බවට යෝජනාව ගෙන ආවේ ද ඇයයි. අන්තර්ජාතික කාන්තා දිනය ඇරඹෙන්නේ කාන්තාවන් 15,000ක් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙනි. ඉන් වසරකට පසු ජාතික කාන්තා දිනය පළමුවරට ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමෙරිකානු සමාජවාදී පක්ෂය විසිනි. ප්‍රථම සැමරුම කෝපන්හේග් නුවරදී පැවැති සමුළුව පැවැත්වීමෙන් අනතුරුව 1911දී ලොව රටවල් කිහිපයක ලෝක කාන්තා දිනය සමරනු ලැබී ය. ඒ අනුව යමින් මාර්තු 8 වැනිදා අප මේ සමරන්නේ 110 වැනි අන්තර්ජාතික කාන්තා දිනයයි.

කාන්තා දිනය පළමු වරට 1911 වසරේදී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල සැමරිණි. 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් එය සමරනු ලැබීමත් සමඟ ඊට නිල පිළිගැනීමක් ලැබිණි. එම දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංගමය යෙදූ පළමු තේමා පාඨය වූයේ, "අතීතය සමරමින්, අනාගතය සැලසුම් කරමින් සිටිමු," යන්නය.

මේ වනවිට ලොව පුරා කාන්තා සංවිධාන දස දහස් ගණනින් බිහි වී තිබේ. ඒවායේ අරමුණු එකින් එකට වෙනස් ය. එය ලෝකයෙහි අසමතුලිත හා නොදියුණු බවෙහි කැඩපතකි. මේ බොහෝ කාන්තා සංවිධාන විමුක්තිකාමී බවට වඩා ස්වකීය පුද්ගලික පරමාර්ථ සාධනයේ ලා ක්‍රියාකරන බැවින් එහි සැබෑ අරමුණ යට ගොස් ඇති බවක් පෙනේ. සමතැන - නිසිතැන ගැන ගැටලු මතු වී තිබේ. ලොව පවතිනාතාක් කල් ගැහැනු පිරිමි සමාන වන්නේ නැත. ඔවුනොවුනට සුවිශේෂී වන ශක්‍යතා, දුර්වලතා සහ ආශා ඇත. ජීව විද්‍යාත්මකව පවා සමාන තත්ත්ව නැත. එහෙත් සියල්ලෝම මනුෂ්‍ය ප්‍රාණීහු වෙති. එනිසා තත්වානුකූලව මේ විභවතා තේරුම් ගත යුතුය. ඒ ඒ අවස්ථා සඳහා වඩා ප්‍රමුඛ වන්නේ කවරෙක්ද යන්න විනා තැන ගැන ගැටලු මතු විය යුතු නැත.

ලංකාව සම්බන්ධයෙන් ගත් කල කාන්තාව සම්බන්ධයෙන් ඇත්තේ බොහෝවිට ගෞරවනීය තත්ත්වයකි. එය සමතැනට වඩා නිසිතැන වෙනුවෙන් නිර්මාණය වූවකි. ඒ කෙසේ වුවත් ලංකාවේ ද කාන්තා සංවිධාන හා අරගල තිබේ. කාන්තා විමුක්තිය ලබාගැනීම සඳහා දෙපිරිසක් සිවිල් සමාජය වෙනුවෙන් සටන් කරති. එක් පිරිසක් රාජ්‍ය නොවන සංවිධාන හෙවත් එන්ජිඕ ය; අනෙක් පිරිස වාමාංශික පක්ෂ ය. රාජ්‍ය නොවන සංවිධාන මුළුමනින් ම වාගේ යැපෙන්නේ විදේශ ආධාර ව්‍යාපෘති මඟිනි. ඔවුන්ගේ සටන්පාඨ කාලෙන් කාලට වෙනස් ය. ගබ්සාව නීතිගත කරන ලෙසටත් සමලිංගික අයිතිය සැමට ලැබිය යුතු බවටත් ඇතැමුන් පෙනී සිටින්නේ එබැවිනි. ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාරය තුළ වාමාංශික ව්‍යාපාරවලට සම්බන්ධ කාන්තා සංවිධාන පියවර ගණනාවක් පෙරට ගිය ද; කාන්තා ජනගහනය ප්‍රතිශතයක් ලෙස සසඳන කල එහි ව්‍යාප්තිය ප්‍රමාණවත් නැත. එහෙත් කාන්තා රාජ්‍ය නොවන සංවිධානවලට සාපේක්ෂව නම් වමේ ව්‍යාපාරයේ කාන්තා සංවිධාන ක්‍රියාකාරිත්වයෙන්, සංවිධාන ශක්තියෙන්, මතවාදී සහ පිරිස් බල මට්ටමින් සිටින්නේ බොහෝ ඉදිරියෙනි.

අරගලයකදී පීඩිත කාන්තාවන් සතු ශක්තිය අවතක්සේරු හෝ අධිතක්සේරු කළ යුතු නොවේ. කළ යුත්තේ ඒ දෙස විචාරශීලි ව බැලීමයි. එ‍ම අත්දැකීම් කාන්තා පරපුර යුතුකම් සහ වගකීම් සමඟ මෙන්ම සංකීර්ණ වූ සමාජ තත්ත්වය සමඟ ගළපා බැලිය යුතුය.

ලංකාවේ කාන්තා ක්‍රියාකාරකම් ඇරඹෙනුයේ මුල් ම පොදු කම්කරු අරගල ඇතුළත ය. හුණුපි‍ටියේ එමලියා එදා ට‍්‍රෑම් රථ වර්ජනයේදී නායකත්වය ගත් කාන්තාවකි. හර්තාලය 1953 අගෝස්තු 12 ක්‍රියාත්මක කිරීමේදී ද එහි ක‍්‍රියාකාරි වැඩ කොටසක් කළේ ද කාන්තාවන් ය.

වමේ ව්‍යාපාරය වෙනුවෙන් දේශපාලනය, සමාජය සහ ආර්ථික අයිතිය වෙනුවෙන් සටන් කිරීමට කාන්තා නායිකාවෝ ගණනාවක් ම කටයුතු කළෝය. පුරුෂාධිපතිත්වයට යටවී ජීවත්වීමට සිදුවී ඇතැයි අසුබවාදීව සිතනු වෙනුවට කාන්තාවන්ට වැදගත් තැනක් තිබෙන බැව් වටහාගත් ඒ කාන්තා නායිකාවන් සමාජවාදී සටනේ පුරෝගාමීන් පිරිසක් ලෙස හැඳින්විය හැකිය. ඒ අතර වාමාංශික ව්‍යාපාරයේ උපත වශයෙන් සැලකෙන සූරියමල් ව්‍යාපාරයේ සභාපතිනිය වූ පාර්ලිමේන්තුවට තේරී පත්වූ එක ම විදේශීය කාන්තාව වන ඩොරින් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු ඉතිහාසයේ ප‍්‍රථම වරට සිංහල භාෂාවෙන් කතාවක් කළ මන්ත්‍රිනිය වූ කුසුමා ගුණවර්ධන, වමේ ව්‍යාපාරයේ පසුකලෙක ගිනිසිළුවක් බඳුවූ විවියන් ගුණවර්ධන, ලියොන් ට්‍රොට්ස්කි සමඟ දේශාපාලන සබඳතා පැවැත්වූ එක ම කාන්තාව වන සෙලීනා පෙරේරා ඇතුළු කාන්තා නායිකාවන් ගණනාවක් ම වේ.

කාන්තා විමුක්තිය ලැබිය හැක්කේ අන්තවාදී හුදෙකලා අරගල ඔස්සේ නොවේ. ‍වාම ව්‍යාපාරයට අනුව ජනතාවගේ විමුක්තිය ඇතුළත කාන්තා විමුක්ති මාර්ගය ද වැටී ඇත.

සාහිත්‍ය ක්ෂේත්‍රයේ කාන්තාව සුන්දර වස්තුවකි; කාව්‍ය අනුභූතියකි. වේද සාහිත්‍යයට අනුව ඇය සියලු විෂ කලතා තැනූ මායාව නැමැති කරඬුවකි. බුදු දහමේ වසල, පරාභව, මංගල ආදී සූත්‍ර මඟින් හෙළි කරන්නේ වසල එසේත් නැතිනම් නුගුණ වීම කෙරෙහි ස්ත්‍රී පුරුෂ බව බලනොපාන බවයි. ශුද්ධ වූ බයිබලයෙහි හිතෝපදේශ කොටස දක්වන පරිදි විනීත වූ දේවගරුක බිය ඇති කතට පැසසුම් ලැබීම නිරන්තරයෙන් ම සිදු වේ. පහත් බව හෝ පාපී බව තීරණය වන්නේ උපත අනුව නොව ක්‍රියාව අනුව බව බයිබලයෙන් ද ඔප්පු වන්නේ එලෙසිනි. මේ සියලු ධර්මයන්ගෙන් පැහැදිලි වන්නේ කාන්තාව වෙනස් ප්‍රපංචයක් සේ සැලකීම දැන්වත් නතර කළ යුතු බව ය.

110 වන කාන්තා දිනය සමරන මේ මොහොතේ කාන්තාවගේ චින්තනමය පුළුල් වීමක් කෙරෙහි මිස බොරු ආටෝප කතන්දර අවැසි නැති බව අපේ අදහසයි. ස්ත්‍රිය යනු තවත් මානවයකු බව පිළිගන්නටත් එය සාමාන්‍ය තත්ත්වයක් බව වටහා ගන්නටත් හැකි නම් එතැනින් එහාට කතාවක් නැත. නොඑසේනම්, ස්ත්‍රීන් කුමන අරගල කර, තමාගේ අයිතීන් රැක ගැනීමට උත්සුක වුව ද, ඒ ප්‍රතිසංස්කරණ, පුරුෂ මුලික සමාජයක පවතින පීඩාව නැවත නැවත නිර්මාණය කරනු ඇතැයි නැවත උපකල්පනය විය හැකි බැවිනි. ආර්ථික, සාමාජීය, දේශපාලන හා සංස්කෘතික වශයෙන් ඇයගේ චින්තනය පුළුල් වන්නේ නම් දිනයක් වෙන්කර සැමරීමක් අවැසි නොවනු ඇත යන්න බොහෝ දෙනාගේ උපකල්පනයයි. අනෙකාට ගරු කිරීමට කාන්තාවක් ද පිරිමියෙක් ද යන්න අදාළ නැති කරුණක් බව පමණක් සටහන් කර තබන්නෙමු.

Comments