හරි වහර | සිළුමිණ

හරි වහර

 

හරි වහර නම් කවර භාෂාවට වුවත් එක සේ යෙදෙන්නේ ඒ සියල්ලෙහි වැරැදි වහරක් ඇති හෙයිනි. අප මෙහි ලා විමසන්නේ සිංහලයේ හරි වහර යි.

සිංහලයේ ඉතිහාසය විමසා බැලීමේදී මැනැවින් පෙනී යන කරුණක් වන්නේ පැරැණි කල බසෙහි වැරැදි සිදු වැ ඇත්තේ ඉතා ම අඩුවෙන් බවයි.

එහෙත් කල් යත් යත් ම, ග්‍රන්ථකරණය පැතිර යත් ම වැරැදි සිදුවීම ද වැඩි වූ සේ පෙනේ. එයින් හරි වහරට - නිවැරැදි වහරට - හානියක් වූ සේ නොපෙනෙන්නේ දිගට ම හැම රචකයකු ම වාගේ හරි වහර ම යොදන්නට තැත් කළ නිසා යි.

එසේ වුව ද, කෝට්ටේ අවදියෙන් පසු වැ නම් අනුක්‍රමයෙන් වැරැදි වහර වැඩි වන්නට ලූ බව පැහැදිලි වැ පෙනී යයි.

සීතාවක අවදිය ලෙස ඇතැමුන් හඳුන්වන කාලයේ පොත්පත්වල හරි වහර පමණට ම වැරැදි වහරත් යෙදුණි. එ අතර ම බසෙහි වියත් බව ද කෙමෙන් වියැකෙමින් නොවියත් වහර යෙදෙන්නට බව ද පෙනේ.

මහනුවර හෙවත් සෙංකඩගල අවදිය වනවිට සිංහලය හැම අතින් ම පිරිහී නොවියත් වැරැදි වහර රජයන්නට වූ බව පැහැදිලි වැ දැකිය හැකි ය.

එකල බසට එකතු වූ වැරැදි වහර භූයෝවෘත්තියෙන් (බොහෝ සෙයින්) යොදන්නට වූයෙන් එ වහර බසෙහි තැන්පත් විය.

හරි වැරැදි තෝරා ගන්නට තරම් නුවණක් නැති සාමාන්‍යයෙන් එ වැරැදි වහර නිරතුරු වැ සිය ලියැවිලි ආදියෙහි යෙදූ හ. දිගු කලක් තිස්සේ ව්‍යවහාර කළ බැවින් ම මේ වැරැදි වහර හරි යැ යි කියන පිරිසක් ද පසු කලෙක සිටීම ය.

දහ නව වන සියවස අග කොටසේ දී බසෙහි වැරැදි තැන් සකස් කොට නිවැරැදි වහර පුනරුත්ථානය කිරීමේ යෙදුණු පඬිවරු කිහිප දෙනෙක් වූ හ. ඔවුන් අතර , හික්කඩුවේ සුමංගල නාහිමියෝ ද, රත්මලානේ ධර්මාරාම නාහිමියෝ ද වාසල මුදලි ගුණවර්ධනයෝ ද වෙසෙසින් සඳහන් කළ යුත්තෝ ය.

නිවැරැදි සිංහලය පුනරුත්ථානය කොට ස්ථාපනය කිරීම සඳහා විශිෂ්ටතම සේවාව කළෝ නම් කුමාරතුංග මුනිදාසයෝ (1887 – 1944) ය.

එතුමන් ගේ වියෝවින් මේ එළැඹෙන මාර්තු මස දෙවැනි දාට පෙර සත්සැත්තෑවක් සපිරෙන හෙයින් නිවැරැදි සිංහලය උදෙසා එතුමන් කළ මෙහෙවර කෙටියෙන් හෝ විමසා බලා ඇගැයුම වටනේය.

කුමාරතුංගයන් ගේ භාෂා සාහිත්‍ය සේවාව නොයෙක් අංශවල විහිදී ගොස් ඇත්තේ ය. මෙහි ලා විමැසෙන්නේ නිවැරැදි වහර මතු නොව දීම පිණිස එතුමන් ගෙන් වූ මෙහෙවර පමණෙකි.

එ මෙහෙවර විමැසීමේදී ප්‍රමුඛ වැ පෙනෙන සිංහලයෙහි සැඟැවී පැවැති නිවැරැදි ව්‍යාකරණ රීති ගණනාවක් ම නැවැත මතු කරනු ලැබ ඇත්තේ කුමාරතුංගයන් විසින් බව යි.

වාර්තාවක් හෝ සංශ්‍යාර්ථයක් (සැක අරුතක්) පවසන අන්තර්වාක්‍යයෙක උක්තය අනුක්ත ස්වරූපයෙනුත් ආඛ්‍යාතය බහු වචන රූපයෙනුත් තැබීම නිවැරැදි වහර යි. අපේ පැරැණි පොත්වල “කති යි වෙණ මී යන - සුසූ යැයි අත් ගැසූ සැකයෙන,” “පර සතුරන් එති එති යන බයටා” වැනි බොහෝ යෙදුම්වල මේ නිවැරැදි වහර දක්නා ලැබේ.

මෙය නූතනයේ දී හෙළි කොට දක්වන ලදුයේ කුමාරතුංගයන් විසිනි.

අප්‍රාණවාචී බහු වචන උක්තයක් වාක්‍යයෙක යෙදුණ ද ආඛ්‍යාතය ඒක වචනයෙන් තැබීම නිවැරැදි සිංහල වහර යි.

ඇතැමුන් මෙය නිවැරැදි වැ යෙදුවත් ඇතැම් සුප්‍රකට විද්වත්හු පවා ‘කුමුදු තාරකා එළියටත් ටිකක් පිපෙති” වැනි වාක්‍ය ලියමින් මේ වහර නො තකා හළ හ. එයට එක් හේතුවක් වූයේ සංස්කෘතයේ හෝ පාලියේ හෝ මෙ වැන්නක් නැති හෙයිනි.

සිංහලයට ආවේණික වූ මෙය ව්‍යාකරණ රීතියක් වශයෙන් පෙන්වා දෙන ලදුයේ කුමාරතුංගයන් විසිනි. අද ‘ගස් වැටෙති’, ‘මල් පිපෙති’ කියා පළමු වැනි වසරේ සිසුවෙක් වත් නො ලියයි.

ස්ත්‍රී ලිංග උක්තයක් ඒක වචන වුවත් අතීත කාලයේදී බහු වචන ආඛ්‍යාතයක් ගන්නා බව පෙන්වා දුන්නේ ද කුමාරතුංගයෝ ම ය.

“බැමිණි ලිය පුත් රුවන වැදූ”, “මායා (මහා මායා දේවිය) තුසී පුරෙහි වුසූ” ආදී සම්භාව්‍ය සාහිත්‍යයේ උදාහරණ ඒ සඳහා සාධක වශයෙන් යොදා ගැනිණ.

එහෙත් කෘදන්තයක් අවසාන ක්‍රියාව වශයෙන් යෙදෙන විට, මේ රීතිය නිවැරැදි නොවන බව ද පෙන්වා දෙනු ලැබිණ. ඒ අනුව ‘මව බත් පිසූහ’ යන්න නිවැරැදි වුව ද ‘මව බත් පිසුවෝය’ යන්න වැරැදි වේ.

මේ රීතිය පිළිබඳ ව වියතුන් අතර මත භේදයක් ද ඇති බව සඳහන් කළ යුතු ය.

මෙහි සඳහන් කැරුණේ කුමාරතුංගයන් හෙළි කළ නිවැරැදි ව්‍යාකරණ රීති කිහිපයක් පමණෙකි. එ පමණක් නො ව, එ තුමෝ වැරැදි වදන් ගණනාවෙක ද හරි වහර හෙළි කළ හ. එ තුමනට උපහාරයක් ලෙස ඉනුදු කිහිපයක් මෙහි දක්වමු.

එතකොට යනු වහරේ නිරතුරු ව යෙදෙන වදනෙකි. එහි වරද දුටු කුමාරතුංගයෝ එ තෙකට යනුවෙන් එහි නිවැරැදි වදන පෙන්වා දුන් හ.

මුතුන්මිත්තෝ යනු වැරැදි බවත් එහි නිවැරැදි වදන මුතුමිත්තෝ විය යුතු බව ද එ තුමෝ දැක්වූහ.

වහරෙහි නිරතුරු වැ යොදනු ලබන ‘බිරිඳ’ යනු අපශබ්දයක් (වැරැදි) වදනෙකැයි ද එහි නියම වදන ‘බිරිය’ බව ද පෙන්වාදුන් කුමාරතුංගයෝ ‘බිරින්දෑ’ යන නිවැරැදි වදන විකෘති කොට ‘බිරිඳ’ යන්න අව්‍යක්තයන් විසින් නිපදවන ලද්දෙකැ යි ද

දැක්වූ හ.

පුවත්පත් සකස් කිරීම (editing) කරන තැනැත්තා (editor) කර්තෘ (author) යනුවෙන් හැඳින්වීම වැරැදි බව පෙන්වා දුන් කුමාරතුංගයෝ ඔහු සංස්කාරක, සකසු යනුවෙන් හැඳින්වූ බව ද editorial යන්නට නියම වදන කතුවැකිය නොව සංස්කාරක ප්‍රබන්ධය, සකසු පබඳ යනු බව ද දැක්වූ හ.

භෝජන ශාලා සඳහා අවන්හල් යනු නිවැරැදි නො වෙතියි ද අවන් හල් යනු තැබෑරුම් හෙවත් සුරාපාන ශාලා වෙති යි ද සාධක සහිත ව දැක්වූ හ.

මෙ සේ කුමාරතුංගයන් පෙන්වා දුන් හරි වහර ඉතා බොහෝ ය.

 

Comments