කාදිනල් හිමිපාණන්ගේ වේදනාව | Page 2 | සිළුමිණ

කාදිනල් හිමිපාණන්ගේ වේදනාව

මෙරට එක්තරා ආගමික උම්මත්තකයන් පිරිසක් විසින් ප්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන අටකදි සිදු කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ලබන අප්‍රේල් මස 21 දා වනවිට දෑවුරුද්දක් සපිරෙයි. පාස්කු ඉරිදා දිනයක සිදු කළ එම ම්ලේච්ඡ ප්‍රහාරය නිසා විදේශිකයන් නම දෙනකු ඇතුළු දෙසිය විසි දෙනෙක් ඝාතනය කෙරුණහ. එම පිරිසට අමතරව තවත් 506 දෙනෙකුට බරපතළ තුවාල සිදු විය.

එම පිරිස මිය ගියේත් , බරපතළ ලෙස තුවාල ලබා අංග විකල තත්ත්වයකට පත්වී ඇත්තෙත් මුහුණට මුහුණ ලා කෙරෙන ත්‍රස්තවාදී සටනක දී නම් එලෙස තුවාල ලැබූවන්ට සහ ඔවුන්ගේ සමීප ඥාතී මිත්‍රාදීන්ට යන්තමින් හෝ සිත් සනසා ගැනීමට ඉඩ තිබුණේය. එසේ වුවද එම වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල් වල අයට එම ඉඩ ප්‍රස්ථාව පවා නොලැබී ගොස් ඇත්තේ අතිශය අවාසනාවන්ත අයුරිනි. ඊට හේතුව වන්නේ එම අහිංසකයන් පිරිස ආගමික උම්මත්තකයන් කණ්ඩායමකගේ කල්පිත අරමුණක ගොදුරක් ලෙස මෙලෙස විපතට පත්වීමයි.

කෙසේ වෙතත් ඉකුත් 2019 වසරේ අප්‍රේල් මස 21 දා ඇතිවූ එම ත්‍රස්ත ප්‍රහාරය කිසිසේත්ම හුදෙකලා සිද්ධියක් ලෙස සිතිය නොහැකිය. මන්ද එවැනි අනපෙක්ෂිත ම්ලේච්ඡ ප්‍රහාර මීට පෙර ලෝකයේ බොහෝ රටවල සිදු වී ඇති බැවිනි. එසේම ස්වර්ගයට ගොස් දිව්‍ය කන්‍යාවන් සමූහයකගේ පහස විඳ ගැනීමේ මුග්ධ වියරුවෙන් පෙළුණ මෙවැනි උම්මත්තකයන්ට රුපියල් මිලියන ගණනින් මුදල් ලබා දෙන සහ ඒ සඳහා අවශ්‍ය නවීන අවි ආයුධ පවා ඉල්ලන සුනංගුවෙන් සපයා දෙන ත්‍රස්ත සංවිධාන ගැනද මීට පෙර අපට අසන්නට ලැබුණේය. දැනට මාස කිහිපයකට ඉහත මෙරට මුස්ලිම් පල්ලි සඳහා කඩු 600 ක් පමණ විදෙස් රටකින් එවා ඇතැයි කියන්නේ ද එවන් ත්‍රස්ත සංවිධානයකින් විය හැකිය.

එසේ වුවද එකී දේශපාලනඥයකු කියා සිටියේ දේවස්ථාන අවට වැවී තිබෙන තණකොළ කැපීම සඳහා එම කඩු ලැබී තිබෙන බවය. ඒ කතාව ඇසූ අපේ ආරක්ෂක ලොක්කන් මුවින් නොබැණ නිහඬ වූවා විය හැකිය. තවත් උම්මත්තකයන් පිරිසක් මාවනැල්ලේ බුදුපිළිම වලට හානි කිරීමේ සිද්ධියේ පොලිස් පරීක්ෂණ යට ගැසුණේ ද එවකට පැවැති යහපාලන ආණ්ඩුවේ බලවතුන් ගේ මැදිහත් වීමෙනි.

එහිදී එකී දේශපාලඥයන්ට අවශ්‍ය වූයේ සිද්ධිය කෙසේ හෝ යට ගසා තමන්ට ලැබිය යුතු මුස්ලිම් ඡන්ද ගිලිහී යාමට ඉඩ නොදී රැකගැනීමටයි. නිය පොත්තෙන් කඩා ගැනීමට තිබූ ප්‍රශ්නය පාස්කු ප්‍රහාරය දක්වා දික් ගැසීම එහි ඊළඟ ප්‍රතිඵලය විය.

ඉකුත් යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳව පුළුල් වශයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ විනිසුරුකරුවන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබුණේ එම සිද්ධියට අදාළ හැම පාර්ශ්වයකින්ම සාක්ෂි විමසා බලා අධිකරණයට කරුණු වාර්තා කිරීමේ අදහසිනි. ඇතැම් විට එම පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අයට සැබෑවටම දඬුවම් දීමේ අදහසක් යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන් අතර ද තිබුණා විය හැකිය. එහෙත් අන්තිමේදි සිදු වූයේ යහපාලන ආණ්ඩුව 2020 ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් කුජීත වී , විපක්ෂයට වැටීමය.

කෙසේ වුවද වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් එදා ජනාධිපතිවරණයේ මෙන්ම මහ මැතිවරණ වේදිකාවේ ද බෙහෙත් දෙන ලද්දේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සියලු දෙනාම තමන් කෙසේ හෝ නීතිය ඉදිරියට ගෙන එන බව කියමිනි. එසේ කියමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට ද මේ වන විට වසරකට වැඩි කාලයක් ගත වී තිබේ. එහෙත් පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් සිටින්නේ නිරුපද්‍රිතවය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ට බාර දී ඇත. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව මෙතෙක් පියවර නොගැනීම ප්‍රශ්නයකැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඉකුත් දා ප්‍රකාශ කර තිබුණේය. තමන් එහි පිටපතක් ඉල්ලා තිබුණද එම ඉල්ලීම මේ දක්වාම ඉෂ්ට නොවීම පිළිබඳව තම බලවත් කණස්සල්ල පළ කර තිබූ උන්වහන්සේගේ අදහස වී ඇත්තේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු සිදු වී ඇති ආකාරය ගැන සෑහිමකටට පත්වීමට නොහැකි බවයි. ඊට හේතුවී ඇත්තේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම කටයුතු ඕනෑවට එපාවට මෙන් සිදු කරන බවක් පෙනී යාමය.

යම් අයකුට සිදු වී ඇති තුවාලයක වේදනාව දන්නේ එකී තුවාලකරුවාට සහ එම වින්දිතයාගේ සමීප ඥාතී මිත්‍රාදීන්ට පමණි. ඒ අතින් බලන විට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ වේදනාව මෙන්ම කෝපයද අතිශයින් සාධාරණය. මන්ද ඉකුත් බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමි වී ගොස් තිබෙන සහ සදාකාලික අංග විකල තත්ත්වයට පත්ව සිටින්නන් අතරින් සියයට 75 කටත් වැඩි පිරිසක් කතෝලික බැතිමතුන් වන බැවිනි. ඔවුන් එදා අදාළ දේවස්ථානවලට නොගියා නම් ඒ අහිංසකයන්ට මේ වන විටත් යහතින් ජීවත් වීමට ඉඩ තිබුණේය. එහෙත් අන්තිමේදී ඔවුන්ට සිදුවූයේ අකාලයේ මිය යාමටය. නැතහොත්, සදාකාලික අංග විකලත්වයට පත්වීමටය.

එලෙස විපතට පත්වූ තම කතෝලික බැතිමතුන් වෙනුවෙන් පෙනී සිටීම ගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සලකනු ලබන්නේ එය තමන් සතු පරම යුතුකමක් වශයෙනි. එසේම උන්වහන්සේ අද මේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින්නේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටු කරදීමේ අදහස පෙරදැරි කර ගෙනය. කාදිනල්තුමන්ගේ එම කැපවීම පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට උපරිම වන්දියක් ලබා දීමේ උත්සාහයකට ලඝු කොට දැක්වීම ද උන්වහන්සේට කරන බලවත් අගෞරවයක් බව අපගේ අදහසයි. ඒ අනුව කාදිනල්තුමන්ගේ එම උත්සාහය අප දකින්නේ අනාගතයේදි තවත් පිරිසකට මෙවන් ව්‍යසනයක් සිදුවීම වළක්වා ගැනීමේ පියවරක් වශයෙනි.

 


Comments