කඩි­නම් කළ යුතු පාස්කු කොමි­සමේ නිර්දේශ | සිළුමිණ

කඩි­නම් කළ යුතු පාස්කු කොමි­සමේ නිර්දේශ

සිවිල් ජනතාව එල්ල කරගෙන දකුණු ආසියාවේ සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය ලෙස යුද විශ්ලේෂකයන් හඳුන්වන්නේ පාස්කු ඉරිදා මෙරට සිදුවූ අයිඑස් අයිඑස් අන්තවාදී ප්‍රහාරයයි. මෙරට හා විදෙස් සිවිල් ජනතාව 259කට මරු කැඳවමින් 500කට අධික පිරිසකට තුවාල සිදු කරමින් සිදු කළ මේ ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිව යුත්තන්ට නිසි දඬුවම් පනවන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිරතුරුවම ප්‍රකාශ කරන ලදී. ප්‍රහාරයෙන් වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර මේ සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ජනාධිපති විමර්ශන කොමිසමක් ද පත් කළ අතර එයින් සෑහීමකට පත්විය හැකි බවක් නොවීය.

වත්මන් රජය බලයට පත්වීමත් සමඟම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කෙරිණි.

පුද්ගලයන් 400කට අධික පිරිසකගෙන් සාක්ෂි විමසා සකස් කරන ලද මේ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට පිළිගන්වන ලද අතර එහි අන්තර්ගතය ඔස්සේ අදාළ පුද්ගලයන්ට එරෙහිව ඉදිරි නීතිමය කටයුතු කිරීමට නියමිතය.

ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් අවධානය යොමු කළ ඇති පරිදි ප්‍රහාරය සම්බන්ධ තොරතුරු පූර්ව ලෙසින් වාර්තා වී ඇතත් ඒ සම්බන්ධව අවධානය යොමු නොකළ ආරක්ෂක අංශ නිලධාරීන් මෙහි ඍජු චූදිතයන් බවට පත්ව තිබේ. එමෙන්ම එම වකවානුවේ මෙරට පාලන තන්ත්‍රයේ සිටි දේශපාලඥයන්ද කොමිසම මඟින් වගකිව යුතු පුද්ගලයන් ලෙසින් හඳුන්වා දී තිබේ.

කොමිසමේ වාර්තාවට අනුව පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් සහ අගමැති රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුඛ රජය වගකිව යුතු බව නිර්දේශ කර ඇත.

අග­ති­යට පත් වූවන් වෙනු­වෙන් නිර­තු­රු­වම හඬ නැගූ කොළඹ අග­ර­ද­ගුරු මැල්කම්  කාදි­නල් රංජිත් හිමි­පා­ණන් ප්‍රහා­ර­යෙන් තුවාල ලැබූ  කාන්තා­වක අස්වැසූ අයුරු

එම නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් ඇතුළු දේශපාලඥයන් කිහිප දෙනකුට එරෙහිව අපරාධ විධිවිධාන යටතේ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලීමට ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත.

එමෙන්ම හිටපු අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහයන් ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක් වූ ලිහිල් ප්‍රතිපත්ති එවකට රජය ක්‍රියාශීලි පියවර ගැනීමට අපොහොසත්වීමද ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් බවද කොමිසම විසින් පෙන්වා දී තිබුණි. ඉස්ලාම් අන්තවාදය ප්‍රහාරයක් දක්වා වර්ධනය වීමට එය හේතුවක් වී ඇති බව කොමිසම විසින් නිර්දේශ කර ඇත.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ඒකකයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යන අයටද මේ සම්බන්ධ ඍජු චෝදනා ගොනුකළ හැකි බවට කොමිසම නිර්දේශ කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් 2019 අප්‍රේල් මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවට හා සිංගප්පූරුවට විදේශ ගත වූ විට දී ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා අගමැතිවරයා හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හෝ පත් නොකිරීම සම්බන්ධයෙන්ද කොමිසමේ අවධානය යොමුව ඇත.

එය ප්‍රහාරය පිළිබඳව දැනුවත්ව චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස්. අන්තවාදයට මඟපාදා ඇති බවත් බවත් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහජන ආරක්ෂාව පිණිස ජනාධිපතිවරයා විසින් සැලසිය යුතු ක්‍රියාදාමයන් උල්ලංඝණය කර ඇති බවත් කොමිසම නිර්දේශ කර තිබේ.

හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්වරයා ලෙස සිය රාජකාරී ඉටු කිරීමේ දී ධනාත්මක හා ඵලදායී පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවත් පූජිත් ජයසුන්දර ද සහරාන්ගේ පසුබිම, වර්ධනය හා හැසිරීම් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා සැලකිල්ලට ගෙන නොමැති බවත් වාර්තා කර ඇත. පූජිත් ජයසුන්දරයන් රටේ පොලිස්පතිවරයා ලෙස තීරණාත්මක පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවත් එහි සඳහන්ය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් එවකට යුද හමුදාපති ධුරය දැරූ ජෙනරාල් මහේෂ් සේනානායකට දුරකථනයෙන් අමතා බලපෑම් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ටත් මේ සිදුවීම්වලට සම්බන්ධ බවට පෙනී යන රිෂාඩ්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ යුතු බවට කොමිසම නිර්දේශ කර ඇත.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොළඹ උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ දේශබන්දු තෙන්නකෝන් පණිවුඩකරුවෙකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකර නොමැති බවත් ඔහු සම්බන්ධයෙන්ද විනය පරීක්ෂණ පැවැත්විය යුතු බවට ද කොමිසම නිර්දේශ කර ඇත.

ප්‍රහාරය එල්ල වන බවට පෙර දිනත් ප්‍රහාරය එල්ල වූ 21 වැනිදා උදෑසන පවා ඒ ගැන නොතැකූ නිලධාරීන් ගැනද මෙහිදී අවධානය යොමු වී තිබේ.

බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ සිදුකළ අධ්‍යයනයට අනුව බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට කොමිසම නිර්දේශ කර ඇත. එමෙන්ම ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ප්‍රකාරව අපරාධ නඩු පැවරිය හැකි ද යන්න සලකා බැලිය යුතු බවද කොමිසමේ දක්වා ඇත.

ඒ උන්වහන්සේ විසින් 2013 හා 2014 වසරවල මහරගම හා අළුත්ගම යන ප්‍රදේශවල සිදුකළ ප්‍රකාශ නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට නිර්දේශ කරමිනි.

වහබ්වාදය හා වහබ්වාදී විද්වතුන් විසින් සිදුකරන ඉගැන්වීම් සහ ප්‍රකාශන තහනම් කළ යුතු බවත් සියලුම තවුහිද් සංවිධාන, වහබ්වාදී සංවිධාන වන බැවින් ඒවා ද තහනම් කළ යුතු බවත් කොමිසමේ නිර්දේශ අතර වේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 32කට ඍජුවම මිනීමැරීමේ හා ඊට කුමන්ත්‍රණය කිරීම් යටතේ පාස්කු ප්‍රහාරට අදාළ නඩු පැවැරෙන අතර මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින 241 දෙනකුටද පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කටයුතු කිරීම වෙනුවෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් නියමිතය.

එහිදී ප්‍රහාරය සැලසුම් කළ අය මෙන්ම දැනට ජීවත්ව සිටින ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයන්ට නඩු පැවරෙනු ඇත.

කොමිසමේ වාර්තාවට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන ඒකකය විසින්ද මේ සම්බන්ධව විශේෂ පුළුල් පරීක්ෂණ සිදු කෙරුනු අතර ඒ ඔස්සේ සකසල ලද එක් ගොනුවක් පිටු 4,000කින් පමණ සමන්විත ලිපිගොනු 8ක්ද නීතිපතිවරයාට යොමු කර ඇත්තේ සැකකරුවන්ට නඩු පැවරීම සඳහාය. මීට අමතරව පාස්කු කොමිසම විසින් ඉදිරිපත් කළ නිර්දේශ අතර පහත නිර්දේශ දැක්විය හැකිය.

මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ සියලු දේපළ රාජසන්තක කිරීම. මියගිය අයට රජයෙන් රුපියල් මිලියන දෙකක් හා තුවාල ලැබූ අයට රුපියල් ලක්‍ෂ 05 බැගින් වන්දි ලබාදීම. මඩකලපුව සියොන් දේවස්ථානයේ මරණ අවම කිරීම වෙනුවෙන් කැපවුණු රමේෂ් රාජුගේ සමීපතම ඥාතීන්ට තිළිණයක් ලබාදීමද ඒ අතර වේ.

එමෙන්ම පාස්කු ප්‍රහාර සම්බන්ධව සිදු කරන ලද විමර්ශනවලට අදාළව රිෂාඩ් බදුර්දීන් හා අසාද් සාලි සිදු කරන ලද මැදිහත්වීම්වලට අදාළව නීති මඟින් කටයුතු කිරිමත් මේ අතර වේ.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කළ රෂිඩ් අක්බාර්ට එරෙහිව අපරාධ නඩු පැවරීම හා තවුහිද් ජමාද් සංවිධානයේ අබ්දුල් රාසික්ට එරෙහිව චෝදනා ගොනු කිරීමද වේ.

මාවනැල්ල බුදුපිළිමවලට හානි පැමිණවීම සම්බන්ධව හෙළි කළ වෙඩි ප්‍රහාරයකට ලක් වූ කස්ලීම්ට රජයේ වියදමින් මහා බ්‍රිතාන්‍යයේදී ප්‍රතිකාර ගන්නට අවස්ථාව සැලසිය යුතු බවද කොමිසම දක්වා ඇත.

මීට අමතරව ආගමික පදනම මත දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කිරීමත් සමාජ මාධ්‍ය ප්‍රකාශන අධීක්ෂණය කිරීමත් ඔවුන්ගේ නිර්දේශ අතර වේ

එමෙන්ම චූදිතයන් වෙනුවෙන් නඩු විභාගය සඳහා කැපවෙන විශේෂ මහාධිකරණයක් පිහිටුවා දිනපතා නඩු විභාග කිරීමත, විනිසුරුවරුන්ට විශේෂ රැකවරණයක් ලබාදීමද මේ නිර්දේශ අතර වේ.

ඉදිරියේදී අනුගමනය කළ යුතු නිර්දේශ ලෙසින් දක්වා ඇත්තේ ඕනෑම පොදු ස්ථානයක මුහුණු ආවරණය සේ නිර්මාණය කර ඇති ඇඳුම් ඇඳීම තහනම් කිරීමත් ජනවාර්ගික අසමගිය ඇති කරන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට විධිවිධාන සැලසීමද කළ යුතු බවය.

ආරක්‍ෂක අමාත්‍යාංශය සෑම විටම ජනාධිපතිවරයා යටතේ පැවතිය යුතු බවත් ඔහු විදේශ ගත වන්නේනම් අනිවාර්යයෙන්ම වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයකු පත්කළ යුතු බවද නිර්දේශ කර තිබේ.

විදෙස් රටවල තහනම් කර ඇති අන්තවාදී දේශකයන්ගේ ජීවිත කතා හෝ වෙනත් කෘති මෙරට කිසිම ආයතනයක් විසින් පළ නොකළ යුතු බවක් ආරක්‍ෂක අවසරයකින් තොරව කිසිම විදේශිකයකුට මෙරට සේවය කිරීමට ඉඩ නොදිය යුතු බවද නිර්දේශයන් අතර වේ.

එමෙන්ම කාලාන්තරයක් තිස්සෙ කතාබහට ලක් වූ මද්‍රසා පාසල්වලට ලැබෙන අරමුදල් නියාමනය කිරීම මෙන්ම සියලු ආගමික පාසල් නියාමනය කළ යුතු බවත් මද්‍රසාද ඇතුළුව බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු ආගමික පාසල් නියාමනය විය යුතු බවත් බෞද්ධ කි‍්‍රස්තියානි හින්දු හෝ ඉස්ලාම් වශයෙන් පාසල් ආගමික වර්ගීකරණයක් නොකළ යුතු බවටත් නිර්දේශ කර තිබේ.

ආගමික කටයුතු සඳහා පැවැතිය යුත්තේ එක් අමාත්‍යාංශයක් පමණන් බවත් එය ජනාධිපතිවරයා යටතේ පැවැතිය යුතු බවද මේ නිර්දේශ අතර වේ.

ත්‍රස්තවාදයට එරෙහිව නව නීතියක් පැනවිය යුතු බව මෙහි නිර්දේශ කර ඇති අතර ජංගම දුරකථන සබඳතා නිකුත් කිරීමේදී එක් පුද්ගලයකු සඳහා ලබාදෙන සම්බන්ධතා ගණන සීමා කිරීමටද හදිසි නීතිය පැනවීමකින් තොරව පොලිසියට හමුදාවේ සහය ලබාගත හැකි නීතිමය රාමුවක් සකස් කළ යුතු බවද මේ නිර්දේශ අතර වේ.

පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ සිදුවීම්වලට ප්‍රධාන වශයෙන් අරමුදල් සපයනු ලැබුවේ ඊබ්‍රාහිම් සොහොයුරන් වන ඉන්ෂාන් සහ ඉල්හාම් විසින් බව තහවුරු වී ඇති බවත් අගතියට පත් පාර්ශ්වයන් සඳහා වන්දි ගෙවීම සහ සුභසාධන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම කඩිනමින් සිදු කළ යුතු බව පරීක්‍ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

 

Comments