කළු සළුවෙන් මුහුණු වසා දෙවියන් වෙනුවෙන් මරා‌‌ෙගන මැරෙන මුස්ලිම් කාන්තාවෝ | සිළුමිණ

කළු සළුවෙන් මුහුණු වසා දෙවියන් වෙනුවෙන් මරා‌‌ෙගන මැරෙන මුස්ලිම් කාන්තාවෝ

ජිහාඩයේදී කාන්තාවන් සහ පිරිමින් එක සමාන ලෙස පිළිගන්නා අතර, දෙවියන් උදෙසා සටන් වැදීමේදී ස්ත්‍රී පුරුෂ බේදයක් සැලකෙන්නේ නැත. මේ අන්දමින් කාන්තාවන් මරාගෙන මැරෙන ප්‍රහාර ඇතුළු සටන් සඳහා පිරිමින් හා සමසමව යොදාගත් සංවිධාන කිහිපයක් වේ. පලස්තීනයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය, පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය, ඉරාක -අල් කයීඩා සංවිධානය, චෙච්නියානු බෙදුම්වාදී සංවිධානය, නයිජීරියාවේ බොකෝ හරාම් සංවිධානය, මේ සඳහා ඉතා හොඳ උදාහරණය.

 

ජිහාඩ් හි ක්‍රියාත්මක කාන්තාවෝ ඔවුන් මව්වරුන් සහ බිරියන් වශයෙන් වර්ගකොට දක්වා ගනිති. එහිදී ඔවුන් පවසන්නේ මව්වරු ලෙස පුත්තුත්, බිරියන් ලෙස සැමියන් සටන් සඳහා සහභාගී කරවීම තම වගකීම බවයි. ඔවුන් ඒ වෙනුවෙන් පවුල තුළ බර උසුලමින් තම දායකත්වය ලබා දෙති. දරුවන් සාදති.

 

මුස්ලිම් අන්තවාදය සතුව පවතින්නේ තරමක් දිගු ඉතිහාසයකි. ලොව සෙසු සෑම අන්තවාදී මතවාදයක්, අන්තවාදී ක්‍රියාවක් සේම මුස්ලිම් අන්තවාදයද බුද්ධිමත් මිනිසුන්ගේ ප්‍රතික්ෂේපයට ලක් වුවද එය යළියළිත් දලුුලමින් වර්ධනය වෙමින් පවතින්නේය. ජිහාඩ් හෙවත් ආගම වෙනුවෙන් දිවිපිදීම උතුම් ක්‍රියාවක් සේ සලකන බැවින් මුස්ලිම් අන්තවාදී ක්‍රියාවලට සහභාගී වීමට කැමති පිරිසගේ අඩුවක් නම් දක්නට නොලැබෙන්නේය.

මෑතකාලීනව මේ අන්තවාදී ක්‍රියාකාරිකයන් අතරට එක්වූ කාන්තාවන් සම්බන්ධව කතාබහක් පැතිරී ගියේ ඒ පුවත ඇසූවන් පුදුම කරවමිනි. බොහෝ දෙනා සිතුවේ ඉස්ලාම් අන්තවාදී ක්‍රියා සඳහා කාන්තාවන් සහභාගී කරවා ගැනීම අවම බවයි. එහෙත් ඉතිහාසය විමසන විට පෙනී යන්නේ ඉස්ලාම් අන්තවාදී ක්‍රියා සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය ඉස්ලාම් අන්තවාදය තරම්ම පැරණි බවයි.

අනික් අතට අන්තවාදී සංවිධානවල කාන්තා සාමාජිකත්වය සහ ක්‍රියාකාරීත්වය පුරුෂ ක්‍රියාකාරිකයන්ටත් වඩා පැතිරුණු වපසරියක ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. සැබවින්ම සත්‍ය නම් අන්තවාදී සංවිධානවල පදනම කාන්තාවන් බවට පත්වෙමින් ඇති බවයි.

ඉස්ලාම් භක්තියන් වහරන භාෂාවට අනුව ‘ජිහාඩ්’ යනු දෙවියන් උදෙසා සටන් වැදීමයි. නැතහොත් ඉස්ලාමයේ සතුරන්ට විරුද්ධව කරන සටනයි. ජිහාඩ්ය තුළ පුරුෂ ක්‍රියාකාරීත්වය පිළිබඳ බොහෝ අදහස් මීට පෙර අවස්ථා ගණනාවකදී ප්‍රකාශ වී පැවතියද කාන්තා ක්‍රියාකාරීත්වය සාකච්ඡාවට බඳුන් නොවූ තරම්ය. එහෙත් ජිහාඩ්ය තුළ කාන්තාව නියෝජනය කරන භූමිකාව අති විශාලය.

ඉස්ලාම් අගම අනුව කන්තාව සහ පුරුෂයා පැහැදිලිව තමතමන්ගේ භූමිකාවන් තුළ ක්‍රියාත්මක විය යුතුය. මෙසේ පැවසුවද තම ආගමට ගරු කරන එහෙත් නූතන ලෝකය සමඟ ජීවත් වන අති බහුතරයක් ඉස්ලාම් භක්තිකයන් ද සිටින බව සිහිපත් කළ යුතුමය. එහෙත් බොහෝ අවස්ථාවලදී කාන්තාවන් පුරුෂයන් හා සමතැන් නොගන්නා අතර, ඇඳුමෙන් පැලඳුමෙන් පවා කාන්තාව සීමාසහිතව පවත්වාගෙන යෑම මුස්ලිම් සමාජයේ සාමාන්‍ය ක්‍රමවේදයයි. එය මුස්ලිම් සමාජයේ එකමිතිය පවත්වාගෙන යෑමට ආගම විසින් පනවන ලද රීතියක් ලෙස හඳුනාගත හැකිය. කාන්තාව යනු සමාජයේ ප්‍රගමනයට හේතුවන මූලික සාධකය වන්නේ කාන්තාව යනු ප්‍රධාන ලිංගික සාධකය වන බැවිනි. එබැවින් ලිංගිකත්වය තුළ සමාජය ගැටගැසීමක් මෙහිදී බලාපොරොත්තු වන්නට ඇතැයි සිතිය හැකි අතර එය බොහෝදුරට ඔවුන්ගේ සමාජයට අනුව සාර්ථක වී තිබෙන බවක්ද දැක ගත හැකිය.

ඒ මතවාදය අනුව කාන්තාව ජිහාඩයද තුළ ක්‍රියාකාරී නොවන බවට අනුමාන පැවතියද සැබවින්ම සත්‍ය නම්, ඒ සීමිත සමාජ ක්‍රියාකාරීත්වය තුළ මුස්ලිම් කාන්තාවන් බොහෝ සෙයින් ක්‍රියාකාරී බවය.

ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිබන්ධයකට ( මේ සංවිධානය 2010දී ස්ථාපිත කරන ලද ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතනයකි) අනුව ජිහාඩය තුළ කාන්තා ක්‍රියාකාරිත්වයට 1980 දශකය දක්වා ඉපැරණි ඉතිහාසයක් හිමිවන්නේය. එහි භූමිය වන්නේ ඇෆ්ගනිස්ථානයයි. වරින්වර ඇමරිකානු සහ සෝවියට් ආක්‍රමණවලට මුහුණ දුන් ඇෆ්ගනිස්ථාන ජනතාවට එම ආක්‍රමණවලට පිළිතුරු දීමේ අවශ්‍යතාව මත අන්තවාදී කණ්ඩායම් හා සම්බන්ධ වීමට සිදුවූ බව අනුමාන කෙරේ. ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ සිටි විදේශ හමුදාවලට වරින්වර ප්‍රහාර එල්ල කිරීමට අන්තවාදී කණ්ඩායම් කටයුතු කළ බවත්, ඒ අතර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට කාන්තාවන්ද ඉදිරිපත් වූ බවත් ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානය පෙන්වා දෙයි. ඒ අනුව මුස්ලිම් කාන්තාවන් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා සහභාගී වීමේ ඉතිහාසය 1980 දශකය දක්වා අතීතයට දිවේ.

බොහෝ දෙනා විශ්වාස කරන්නේ ගිනි අවිය යනු කාන්තාවන් අත නොරැඳිය යුතු උපකරණයක් වශයෙනි. රටරටවල ආරක්ෂක හමුදාවල කාන්තා අංශ පිහිටුවා ඇති නමුත් ඒ අංශ මගින් සිදුකෙරෙන්නේ සේවාවන් සහ සත්කාර්යයන්ය. එහෙත් ඇතැම් අන්තවාදී සංවිධානවල පුරුෂ සාමාජිකයන් සංඛ්‍යාවෙන් අවම වන විට ස්ත්‍රී සාමාජිකයන් ඉදිරිපෙළ සටන් සඳහා යොදාගනු දැකගත හැකිය. මුස්ලිම් අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරිත්වය සලකනවිට පෙනී යන්නේ පුරුෂ සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩුවීමක් සිදුවීමට පෙර සිටම කාන්තා සාමාජිකාවන් සටන් සඳහා දායක වී ඇති බවය. ඒ සඳහා උදාහරණ කිහිපයක්ද ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානය ස්වකීය නිබන්ධය මඟින් පෙන්වා දී තිබේ.

ඔවුන්ට අනුව මුස්ලිම් කාන්තාවන් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොමු වී ඇත්තේ ඔවුන්ට මුස්ලිම් සමාජය තුළ නිරායාසයෙන් ලැබී ඇති ආරක්ෂාව පදනම් කර ගනිමිනි. මුස්ලිම් රටක විදේශ හමුදා ක්‍රියාත්මක වන අවස්ථාවක ඔවුන්ට පහර එල්ල කිරීමට පහසුම ක්‍රමය වී ඇත්තේ කාන්තාවන් යොදා ගැනීමය. ඒ පුරුෂයන්ට වඩා කාන්තාවන් පරීක්ෂා කිරීම අවම වන බැවින් සහ ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් හේතුවෙන් ඔවුන් පහසුවෙන් හඳුනාගත නොහැකි බැවිනි. පුරුෂයන්ට වඩා කාන්තාවන්ට පහසුවෙන් මුරකපොලු පසුකරමින් ගමන් කිරීමේ හැකියාවද තවත් වාසියක් ලෙස හඳුනාගෙන තිබේ. මේ වාසි පදනම් කර ගනිමින් කාන්තාවන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ අවස්ථා රාශියකි.

‘දාබික්’ යන අයිඑස් සංවිධානයේ ඔන්ලයින් සඟරාව පෙන්වා දී ඇති ආකාරයට ප්‍රහාර සඳහා පුරුෂයන් පසුබට වුවද කාන්තාවන් කිසිසේත් පසුබට වන්නේ නැත. එම සඟරාව මේ අදහස උපුටා දක්වා ඇත්තේ ලොව ප්‍රධානතම අන්තවාදී මුස්ලිම් සංවිධාන දෙකක නායකයන් දෙදෙනෙකු කළ සාකච්ඡාවක් ඇසුරිණි. ඉන් එක් අයෙක් වන්නේ ඉරාක අල් කයීඩා සංවිධානයේ හිටපු නායක අබූ මුසාබ් අල් - සර්කාවිය. ඉහත අදහස වඩාත් සාහිත්‍යමය ලෙස සර්කාවි විසින් පවසනු ලැබ තිබුණේ ‘නයිට්වරුන් වීමට පුරුෂයන්ට තවදුරටත් අවශ්‍ය නොවේ නම් ඇස අඳුන් පිසලා කාන්තාවන් එම තැන ගනු ඇතැයි’ යනුවෙනි.

සැබවින්ම ජිහාඩයේදී කාන්තාවන් සහ පිරිමින් එක සමාන ලෙස පිළිගන්නා අතර, දෙවියන් උදෙසා සටන් වැදීමේදී ස්ත්‍රී පුරුෂ බේදයක් සැලකෙන්නේ නැත. මේ අන්දමින් කාන්තාවන් මරාගෙන මැරෙන ප්‍රහාර ඇතුළු සටන් සඳහා පිරිමින් හා සමසමව යොදාගත් සංවිධාන කිහිපයක් වේ. පලස්තීනයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය, පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය, ඉරාක -අල් කයීඩා සංවිධානය, චෙච්නියානු බෙදුම්වාදී සංවිධානය, නයිජීරියාවේ බොකෝ හරාම් සංවිධානය, මේ සඳහා ඉතා හොඳ උදාහරණ වන අතර අල් ෆටා සංවිධානයේ අල් අක්සා මාට්‍රිස් බ්‍රිගේඩය කාන්තාවන් යොදවා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම අතින් ඉදිරියෙන්ම සිටින බව පැවසෙන්නේය. 2004 දහ 2006දී එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් කාන්තාවන් යොදවා සිදුකළ බව හමාස් සංවිධානය පිළිගෙන තිබේ. පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය 2003 සහ 2006 අතර කාන්තාවන් යොදවා මරාගෙන මැරෙන ප්‍රහාර පහක් එල්ල කළ බව පවසා තිබේ.

මීට අමතරව චෙච්නියානු බෙදුම්වාදී සංවිධානය සහ බොකෝ හරාම් සංවිධානය ප්‍රහාර සඳහා කාන්තාවන් විශාල වශයෙන් යොදා ගන්නා බවට ප්‍රසිද්ධියක් ලබා තිබේ. වසර 2000 සිට චෙච්නියානු බෙදුම්වාදීන් කාන්තාවන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස යොදා ගනිමින් සිටිති. 2008 වසරේදී ඉදිරිපත් වූ වාර්තාවක් අනුව චෙච්නියාවේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් අතරින් සියයට 42ක් කාන්තාවන්ය. ඉරාක අල් කයීඩා සංවිධානයේ නායක අබූ මුසාබ් අල් සර්කාවිගේ මරණයෙන් පසු නිකුත් වූ දත්ත අනුව ඔහුගේ පාලන කාලයේදී කාන්තාවන් යොදවා සිදු කර ඇති මරාගෙන මැරෙන ප්‍රහාර සංඛ්‍යාව 25කි. 2014 වසරේ සිට කාන්තාවන් යොදවා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට බොකෝ හරාම් සංවිධානය කටයුතු කර තිබේ. නයිජීරියාව හා ඒ අවට රටවල කාන්තා මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දායකත්වය සියයට 54ක් බව ප්‍රකාශ වී තිබේ.

මරාගෙන මැරෙන ප්‍රහාරවල කාන්තා දායකත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේද උදාහරණයක් පවතින බව අමතක කළ යුතු නැත. ඒ පසුගිය පාස්කු ප්‍රහාරය සමග බැඳුණු ප්‍රහාර මාලාවේදී ය.

ලොව පුරා මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා මුස්ලිම් කාන්තාවන්ගේ දායකත්වය එසේ වන විට මරාගෙන මැරෙන නොවන එහෙත් සටන් සහ යුදමය කටයුතු සඳහා මුස්ලිම් කාන්තාවන්ගේ දායකත්වය වෙනමම ගෙන සාකච්චා කළ යුතුව තිබේ. ඒ මරාගෙන මැරෙන ප්‍රහාරවලටත් වඩා වැඩි අවධානයක් සෙසු සටන් සඳහා මුස්ලිම් කාන්තාවන් වෙතින් ලැබී ඇති බැවිනි.

2014 වසරේදී අබූ බකර් -අල් බග්දාදි අයිඑස් සංවිධානයේ අරමුණු ප්‍රකාශයට පත් කළ පසු ලොව පුරා සතර දෙසින් මුස්ලිම් කාන්තාවන් සහ වයස විස්සට අඩු දැරිවියන් මේ සංවිධානය බැඳීම සඳහා ඉරාකයට සහ සිරියාවට පැමිණි බවට සාක්ෂි පවතින බව ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානය පවසන්නේය.

2012 වන විට ඒ යටතේ නෙදර්ලන්තයේ සිට සිරියාවට පැමිණ ඇති මුසලිම් කාන්තාවන් සංඛ්‍යාව 8කි. බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සිට පැමිණ ඇති කාන්තාවන්ගේ ගණන මෙයට වඩා වැඩි අගයක් ගන්නා බවද සඳහන්ය. එය 145- 200ත් අතර වන බවටද ප්‍රකාශ වී තිබේ. මේ අතරින් වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු විස්සට අඩු දැරිවියන් වීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ සංඛ්‍යා අතරට ආසියානු රටවල මුස්ලිම් කාන්තාවන්ගේ දායකත්වය ඇතුළත් වී නොමැත. එහෙත් එම රටවල යුරෝපයට වඩා වැඩි අගයක් සටහන් විය යුතු බව නොඅනුමානය.

සටන් සහ යුද කටයුතු මෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා මුස්ලිම් කාන්තාවන්ගේ දායකත්වය මෙසේ වන අතර යුදමය කටයුතුවලදී මෙන්ම සංවිධාන කටයුතුවලදී ලැබෙන කාන්තා දායකත්වය වෙනමම විමසිය යුතුය. මන්ද යත් එම කටයුතුවල කාන්තා දායකත්වය බොහෝ අන්තවාදී මුස්ලිම් සංවිධානවල පදනම වී ඇති බැවිනි. එමෙන්ම මුස්ලිම් ආගමික විශ්වාසයට අනුව මේ කටයුතු සඳහා දායකවීමද සැලකෙනුයේ ජිහාඩ් හා සම්බන්ධ වගකීම් ඉටු කිරීමක් වශයෙනි.

ජිහාඩ් හි ක්‍රියාත්මක කාන්තාවෝ ඔවුන් මව්වරුන් සහ බිරියන් වශයෙන් වර්ගකොට දක්වා ගනිති. එහිදී ඔවුන් පවසන්නේ මව්වරු ලෙස පුත්තුත්, බිරියන් ලෙස සැමියන් සටන් සඳහා සහභාගී කරවීම තම වගකීම බවයි. ඔවුන් ඒ වෙනුවෙන් පවුල තුළ බර උසුලමින් තම දායකත්වය ලබා දෙති. දරුවන් සාදති. අමතරව ඔවුන් කරන කටයුතු රාශියකි. ඒ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ප්‍රචාරණයයි. ඉස්ලාම් සටන්කාමීන් පිළිබඳ ඇඟ කිළිපොළා යන, ජනතාව වඩාත් ආකර්ෂණය කරවන ප්‍රචාරණ ව්‍යාපාරවල අක්මුල්වල සිටින්නේ කාන්තාවන් බව ඇසීම පුදුමයට කරුණක් වනු ඇති නමුදු එය එසේය. ප්‍රචාරණ පත්‍රිකා බෙදීම, කණ්ඩායම් සන්නිවේදය යනාදී අංශ යටතේද කාන්තාවන් ලොව පුරා ක්‍රියාත්මකය. අන්තර්ජාල වෙබ් අඩවි සංස්කරණය, සඟරා සංස්කරණය සහ බෙදාහැරීම බහුතරයක්ම කාත්නාවන් අතින් සිදු කෙරේ.

මේ සියල්ලටම කාන්තාවන් ආයුද ප්‍රවාහනයේදී වැඩි වැඩකොටසක් ඉටු කරන බවද ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානය පෙන්වා දේ. ඉතා සූක්ෂ්ම ලෙස අායුද සඟවාගනිමින් අවශ්‍ය ස්ථාන කරා රැගෙන යෑමට මුස්ලිම් කාන්තාවන්ගේ අති විශාල සහයක් ලැබෙන බව ප්‍රකාශිතය. මීට අමතරව මුස්ලිම් අන්තවාදය සඳහා කාන්තාවන්ගෙන ලැබෙන වක්‍රාකාර සහය රැසක්ද වේ. උදාහරණයක් ලෙස හිස්බුල්ලා සටන්කාමීන් ක්‍රියාත්මක වන ප්‍රදේශවල මුස්ලිම් පවුල්වල මව්වරුන් හිස්බුල්ලා සටන්කාමීන් සමඟ පමණක් විවාහ වීමට තම දියණිවරුන් පොලඹවීමද සැලකෙන්නේ ජිහාඩ්හි ක්‍රියාත්මක වීමක් වශයෙනි. නැඟෙනහිර ආසියානු රටවල ක්‍රියාත්මක ජමාහ් ඉස්ලාමියා සංවිධානයට සම්බන්ධ පවුල් අතර වෙනමම ජාලයක් ක්‍රියාත්මක වන්නේ විවාහ කටයුතු සම්බන්ධයෙනි. මේ සියල්ල ක්‍රියාත්මක වන්නේ කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් බව විශේෂයෙන් පැවසිය යුතු නැත.

කළු සළුවෙන් හිස සිට පොරවා අවම වශයෙන් දෙනෙත් හෝ විවෘතව ප්‍රදර්ශනය නොකරමින් ඉතා සංයමයෙන් යුතුව දිවි ගෙවීමට කැපවන මුස්ලිම් කාන්තාවන් අන්තවාදයට කැපවන්නේ එසේය. ඔවුන්ගේ ජීවිත අභ්‍යන්තරයේමෙතරම් බිහිසුණු කතා සැඟව ඇතිදැයි සිතීමද අපහසු වුවද සත්‍යය එසේය. එහෙත් පැවසිය යුතු එක් දෙයක් තිබේ. එනම් අන්තවාදය සමස්තය හා නොබැඳෙන බවය.

සැබෑ මුස්ලිම් භක්තික කාන්තාවන් වඩාත් උසස් වූ අරමුණු වෙනුවෙන් තම පවුල සහ දරුවන් දරමින් ඒ වෙනුවෙන් කැපවන බවය. මෙලොව බහුතරයක් මුස්ලිම් කාන්තාවන් ඒ අතරට අයත් වන බවය. ඔවුන් සැබෑ මුස්ලිම් ආගම නියෝජනය කරන බවය.

 

Comments