ලෝක තාක්ෂණික අවකාශයේ ලාංකීය සන්නාමය | Page 2 | සිළුමිණ

ලෝක තාක්ෂණික අවකාශයේ ලාංකීය සන්නාමය

සභාපති සංජිව වික්‍රමනායක

බස් රථය එක සීරුවට දිවෙයි. අධිවේගී මාර්ගයේ ගමන විටෙක ඒකාකාරීය. කවුළු දොරින් වේගයෙන් මෑත් වෙමින් යන දර්ශන දෙස බලාගෙන හිඳිමි. ගමනාන්තය ජාතියක් පිළිබඳ අසිමිත අභිමානයක් උපදවන මහා තාක්ෂණික ලෝකයක් සමඟ තරග කරන අපේ විශිෂ්ටත්වයේ මහා සාධකය වූ e -wis තාක්ෂණික කලාපය ය. අපි ඒ අසිරිය දකිනු රිසිව ඈත ‘සූරියවැව‘ වෙත ගමන් කරමින් සිටියෙමු. අධිවේගී මාර්ගයෙන් ප්‍රවිෂ්ට වී විනාඩි පහක දුරකින් අතීතයක් සහිත හත්පන හන්දිය හමුවේ. ඒ අතීත ගම්මානය අද ලෝකයේ සලකුණු වී ඇත්තේ e -wis තාක්ෂණික කලාපය පිහිටා ඇති ස්ථානය ලෙසය.

e -wis තාක්ෂණික කලාපය ලෝකයේ කිසිම නිෂ්පාදනයකට නොදෙවැනිව අපේ පරිගණයක් නිර්මාණය කරන තැනය. ඩෙක්ස් ටොප් පරිගණකයේ සිට ලැප්ටොප්, නෝට් බුක්, ඕල් ඉන් වන් පරිගණක අපේ ආඩම්බරය සහිතව නිපදවෙන තැනනය. e -wis දුරකථනයේ සිට ටැබ්ලට් එක දක්වා නිපදවන තැනය.

අප රට තුළ පරිගණක දෘඩාංග නිෂ්පාදනය කරන මුල්ම හා එකම සමාගම මෙයය. අප පය ගසා සිටිනේ Original Device Manfactuere (OMD) හෙවත් උපාංග සැලසුම් කිරීම, නිෂ්පාදනය මෙන්ම හවුල්කාර සමාගම් වෙනුවෙන් එම නිෂ්පාදන සකසා දීම සිදු කරන තාක්ෂණික බිමකය. පරිගණක ලොවේ මහා දැවැන්තයන් වන Microsoft, Intel ආයතන අපේ නිෂ්පාදනයක් සඳහා එක්වන්නේ මේ භූමියේ දී ය.

පුරා වර්ග අඩි 25000ක පැතිරී ඇති මේ තාක්ෂණික කලාපය අති විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළකින් යුතුය. ස්තිථි විද්‍යුත් තරංග වළක්වන, දූවිලි පොදක් ඇතුළු නොවන විශේෂ පරිසරයක පිහිටා ඇති මෙම කර්මාන්ත බිම ISO 9001 :2008 තත්ත්ව සහතිකය ලබා එම ප්‍රමිති කළමනාකරණයෙහි යෙදෙන්නේය.

අපි ඒ බිමෙහි සීරුවෙන් ඇවිදිමින් සිටියෙමු. 84 දෙනකුගෙන් යුතු පිරිසක් මේ බිමෙහි වෙති. එයින් වැඩි දෙනා කාන්තාවන්ය. වසර 35කට පෙර e -wis තම ව්‍යාපාරය ආරම්භ කරන්නේ බහුජාතික සමාගම්වල දේශීය නියෝජන ආයතනයක් ලෙසය. ඉතා කෙටි කලෙක දී ඔවුහු ලංකාව තුළ ප්‍රධානම පරිගණක සැපයුම්කරු ලෙස පත් වූහ. විශ්වාසනීය උසස් සේවා සැපයීම් නිසා ගනුදෙනු කරුවෝ e -wis වටා එක් වූහ. ලංකාවේ අපට අපේම පරිගණයක් නිර්මාණය කිරීම සඳහා e -wis කටයුතු කරන්නේ ඒ අත්දැකීම් සම්භාරයත් සමඟය.

“2008 වසරේ ‘අපිට අපේම පරිගණයක්‘ තේමාව යටතේ දේශීයව පරිගණක නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. 2013 වසරේ e -wis colombo නිෂ්පාදන අංගණය ලෙස ලෝකයේ අති නවීන තාක්ෂණයක් යටතේ පරිගණක නිෂ්පාදනය කරන අංගණයක් සූරියවැව ප්‍රදේශයේ ආරම්භ කළා.“ e -wis නිෂ්පාදන අලෙවිය සඳහා අලුතින්ම හඳුන්වා දුන් අලෙවි මෙවලම නම් කර ඇත්තේ buye -wis.lk ලෙසය. වසරකට ආයතනය පරිගණක පහළොස් දහසක් පමණ නිෂ්පාදනය කරයි. එම නිෂ්පාදනය මේ කොවිඩ් උවදුරු සමයේ පාරිභෝගිකයන් වෙත සියලුම e -wis සේවා ළඟා වූයේ අන්තර්ජාලයේ දියුණු කළ buye -wis.lk මෙවලම ඔස්සේය.

e -wis ආයතනයේ තිබෙන තවත් සුවිශේෂීත්වයක් වන්නෙ පාරිභෝගිකයන්ට අවශ්‍යතාවට සරිලන ලෙස මදර්බෝර්ඩ්, ප්‍රොසෙසර්, කැපැසිටි, රැම් ඇතුළු සියලුම උපාංග වෙනස් කර දීමය. විශ්වාසනීය online බෙදා හැරීම් හා ලංකාවේ ඕනෑම තැනක පරිගණයක ගැටලුවක් ඇති වී දින තුනක් ඇතුළත අලෙවියෙන් පසු සේවාව ලබා දීමය.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පරිගණක ජාල පද්ධතිය ඔවුන්ගේය. පාසල් දහසක් සඳහා තාක්ෂණික විද්‍යාගාර ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඇරැඹූ ව්‍යාපෘතියට අවශ්‍ය පූර්ණ උපාංග පද්ධති සහ ජාලකරණය ද උපාංග පුහුණුව හා පවත්වාගෙන යාම සිදු කරන්නෙත් e -wis ආයතනය ය. ‍

ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය ට ද බොහෝ කලෙක පටන් අපේ රටේ මුහුදු සීමාව ඉක්මවා යන බහුදින ධීවර යාත්‍රා පාලනය කිරීමේ ගැටලුවට විසඳුම ලැබෙන්නේ e -wis වෙතින් සපයා දුන් IP64 rating අගයෙන් යුත් උපාංග එම යාත්‍රාවල සවි කිරීමත් සමඟය

මේ ආයතනය තුළ වෘත්තිය පුහුණුව ලැබුවෝ වෙති. ආයතනයේ අර්ධකාලීනව සේවා කර අත්දැකීම් ලැබුවෝ ද වෙති. ඔවුන් බොහෝමයක් ලෝකය දික් විජය කර ඇත.

e -wis පරිගණක නිමැවුම් මධ්‍යස්ථානයේ සභාපති සංජීව වික්‍රමනායක අප සමඟ විවෘත පිළිසඳරකට එක් වෙමින් සිය කතාව අපට කීවේ මෙසේය. "මම මේක පටන් ගත්තේ බැංකු ලෝන් එකක් වත් දුන්නෙ නැති කාලෙක. දේපළ පවා විකුණලා කාටවත් ණය නැති බර නැති ෆැක්ටරි එකක් පටන් ගත්තා. ඒ වෙලාවේ දුක් වුණා ආණ්ඩුවෙන් අපිට ඉඩමක් නුදුන්නට. මගේ ගම නුවර. ඉස්කෝලේ ගියෙ නුවර. ගොඩක් අය අහනවා ඇයි මේක නුවර කළේ නැත්තේ කියලා. සුදුසුම පරිසරය තමා මම මේ තෝර ගත්තේ.“

“එක් දවසක් මහින්ද රාජපක්ෂයන් “ඇයි ඔයාලට මේ රටේ පරිගණයක් හදන්න බැරි“ කියලා ඇහුවම. එක එක්කෙනා විවිධ උත්තර දුන්නා. එවිට එතුමා කිව්වේ “ඔයාලා හැමදාම කළේ එක්සසියුස් දෙන එක විතරයි“ කියලා. එදා එතුමා දුන්න අභියෝගය මම බාරගත්තා. ඒ දේ කරලා පෙන්නුවා. අපිට කියලා බ්‍රෑන්ඩ් එකක් හැදුවා. ජාත්‍යන්තරයට ගැළපෙන විදිහට ප්‍රමිතියකින් යුතුව කළමනාකරණය කළා. ඒ තමයි e -wis. මේ අවුරුද්ද තුළ ලෝකයේ පරිගණක වෙළෙඳපළට අපි අපේ පරිගණයක් නිකුත් කරනවා.“

ඒ හඬේ ඇත්තේ විශ්වාසය ය. පැහැදිලි දැක්මය. ජාතියක් ලෙස මෙතෙක් අපට හිඟ පාඩුව තිබූ දේය. අප තුළ මහා බලාපොරොත්තු උපදවන්නේ ලෝකය දිනන මිනිසුන් සතු ඒ විරල ගුණාංග ලාංකිකයකුගේ දෑසින් දකින විටය.

Comments