හුරු නැති ගු ණ ඇති අක්ක­පාන සම්බෝ­ලය | සිළුමිණ

හුරු නැති ගු ණ ඇති අක්ක­පාන සම්බෝ­ලය

කුඩා කල අප පොත් ඇතුළේ දමා අක්කපාන කොළ මුල් ඇද්ද වූ හැටි ඔබට මතක ඇති. බහුල වශයෙන් ගල් තලා මත වර්ධනය වන අක්කපාන ගසේ කොළ ආහාරයට ගත හැකි බව බොහෝ දෙනා නොදන්න කරුණක්. වර්තමානයේ අක්කපාන වැඩකට නැති ගහක් ලෙස හඳුන්වන්න පුරුදු වී සිටියත් එය ඖෂධීය ගුණයෙන් සපිරි ආහාරයට ගත හැකි ශාකයක්. නීරෝගීව ඉන්නත්, අවට පරිසරයේ වැවෙන ගහකොළවල උපරිම ප්‍රතිඵල ලබා ගන්නටත් පුරුදුව සිටි එකල ගැමියෝ අක්කපාන දුටුවේ රසගුණ පිරි ආහාරයක් ලෙසයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

පිරිසුදු වතුරෙන් සෝදා ගත් අක්කපාන ළපටි දලු 50ක්

සිහින්ව ලියාගත් රතු ලූනු ගෙඩි 5-6ක්

ගම්මිරිස් තේ හැඳි 1/2ක්

සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 3-4ක්

නාරං ගෙඩියක්

කරපිංචා කොළ කිහිපයක්

ගාගත් පොල්

කරවල කුඩා කැබැල්ලක්

ලුණු අවශ්‍ය පදමට

 

 

රස රහස්

දෙහි වෙනුවට නාරං යුෂ දැමීමෙන් විශේෂ රසයක්

පුළුස්සා ගත් කරවල එක්කිරීමෙන් සම්බෝලයට වැඩි රසයක්.

අක්කපාන ගුණ අගුණ

මුත්‍රා ගල් දියකර හැරීමේ අපූරු හැකියාවක් අක්කපාන කොළ සතු බව ආයුර්වේදයේ සඳහන්.

සිරුරේ විෂ නැසීමට සහ විවිධ මානසික ව්‍යාකූලතාවලටත් අක්කපාන කොළ ඖෂධයක් ලෙස භාවිත කෙරේ.

සුවිශේෂී ගුණ රැසක් සහිත අක්කපාන දලු සම්බෝලය ඉඳහිට හෝ කෑමවේලට එක්කර ගත හැකි නම් ප්‍රතිඵල බොහෝය.

වෛද්‍ය මතය වන්නේ අක්කපාන සම්බෝලය නීරෝගී පුද්ගලයකු සති දෙකකට වරක් ආහාරයට ගැනීම ප්‍රමාණවත් බවයි.

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම අක්කපාන දලු වරකට කොළ 5 - 6ක් බැගින් ගෙන එකමත එක තබා ඉතා සිහින්ව ලියා ගන්න. කරපිංචා කොළ කිහිපයක් තලපයක් ආකාරයට සේ මිරිස් ගලක හොඳින් අඹරා ගන්න. කරවල කැබැල්ල ලිපේ ගින්දරට දමා පුලුස්සා ගන්න (ගෑස් ලිපේ ගින්දරෙන් වුවද කළ හැකියි ). කරවල කැබැල්ල අවශ්‍ය පමණට පුලුස්සා ගෙන නිවෙන්නට හැර කුඩා කැබලිවලට කඩා ගන්න.

මැටි භාජනයක් ගෙන එයට රතුලූනු, අමු මිරිස්, ගම්මිරිස්, අඹරාගත් කරපිංචා සහ ලුණු එක්කර එයට නාරං ගෙඩිය (ඇට නොවැටෙන සේ) මිරිකා ගන්න. දැන් මෙය කුඩා ලී හෝ පොල්කටු හැන්දකින් හොඳින් මිශ්‍ර කර ගාගත් පොල්, පුලුස්සාගත් කරවල කැබලි සහ සිහින්ව ලියාගත් අක්කපාන දලුද එක්කර හොඳින් කලවම් කර පිළිගන්වන්න.

 

 

Comments