වසං­ගතේ පර­ද්දන්න ට්‍රැක් පනින්නෙ නැතුව මීට­රෙන් ඉන්න | සිළුමිණ

වසං­ගතේ පර­ද්දන්න ට්‍රැක් පනින්නෙ නැතුව මීට­රෙන් ඉන්න

 ඡායාරූප- අනුරාධ බණ්ඩාර  හැඩගැන්වීම- යෝෂිත කුමාර

නිරෝධායනය වෙන කෝකිල පවන් කියන කතාව

මම බය නැති වුණාට බිරියයි, ආච්චියි ගොඩක් සංවේදී වුණා...

සම්මානයකට නිර්දේශ වෙන්නත් වාසනාවක් තියෙන්න ඕනේ...

 

 

මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය චරිතය මාලන් නැතහොත් මනමාලං ය. මාලන් කිව්වට ඔහුගේ සැබෑ නම කෝකිල පවන් ය. කිරි ඉබ්බන්දෙණියේ මහරජතුමා ලෙස කුඩා කාලයේ ජගත් සම්මානයට පවා පාත්‍ර වූ ඔහු දැන් කඩවසම් තරුණයෙකි. මේ දිනවල ඔහුට කොරෝනා ආසාදනය වී ඇති පුවත කාටත් නොරහසක්. කෝකිලගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සහ කලා කටයුතු ගැන විමසීමට අප අදහස් කළේ ඔහුට ළෙන්ගතු ඒ රසිකයන් වෙනුවෙන්.

 

කෝකිල මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස් වල ජයප්‍රකාශ් සිවගුරුනාදන් මගේ ආදරණීය මාමගේ 'නාඩගම්කාරයො' සහ මගේ ආදරණීය අයියා ධනුෂ්ක රත්නායකගේ 'දාම්' ටෙලිනාට්‍යයේ වැඩකටයුතු කරනවා. ඊට අමතරව හඬකැවීම් කටයුතුත් කරගෙන යනවා.

ඒ අතරේ ජනප්‍රිය නළුවටත් නිර්දේශ වී තිබෙනවා?

සම්මානයකට නිර්දේශ වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම ඒකට වාසනාවත් තියෙන්න ඕනේ. එය මට ගොඩක් විශේෂයි. මගේ සහෝදරයෝ සජිත, සංගීත්, චමීර අයියා අපි ඔක්කොම නිර්දේශ වීම සහ එකම සම්මානයක් වෙනුවෙන් තරග වදින්න වුණ එකත් සතුටට කාරණාවක්.

ඒ සියලු වැඩකටයුතු අතරමග නතර කරන්න වුණා නේද?

ඔව්.. මටත් කොරෝනා වැලඳුණු නිසා ඒ සේරම දේවල් අඩාල වුණා.

දැන් කොහොමද ඔබේ සෞඛ්‍ය තත්ත්වය?

අවුලක් නැහැ.ප්‍රතිකාර කරගෙන යනවා. මම සහ මගේ බිරිය මේ මොහොතේත් නිරෝධායනය වෙමින් ඉන්නෙ .මම PCR එකක් කළාට බිරිය කළේ නැහැ. ගොඩක් අය කිව්වා රිදෙනවා කියනවා නිසා ඇය බය වුණා. මම PCR එක කරලා ගෙදර ආවම කොහෙටවත් යන්නත් අමාරු වුණා. ඒ නිසා මගේ බිරියට PCR එකක් කරගන්න බැරි වුණා. අපි දෙන්නා දැන් එකම ගෙදර දෙපැත්තක නිරෝධායනය වෙනවා.

ඔබේ කණ්ඩායමේ අනිත් පිරිසත් මේ වෙනකොට නිරෝධායනය වෙමින්ද ඉන්නෙ?

ඔව් ..ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ඇතුළු සියලුම දෙනා PCR පරීක්ෂණවලට ලක්වී තිබෙනවා. නමුත් තවම ඔවුන්ගේ රිපෝට් ඇවිල්ලා නැහැ. සියලුම වැඩ නවත්තලා හැමෝම නිවෙස්වල නිරෝධායනය වෙනවා.

කෝකිල කොරෝනා ආසාදිතයෙක් කියලා දැනගත්තෙ කොහොමද?

මට ආරංචි වුණා මගෙ සහෝදරයා සජිතට ආසාදනය වෙලා කියලා. ඒ වගේම මටත් යම් යම් රෝග ලක්ෂණ තිබුණා. පොඩි හිසරදයක්, උගුරෙ වේදනාවක්, ඇඟට පණ නැති ගතියක් සහ උණ ගතියක්. ඒ නිසා මම ගිහින් PCR පරීක්ෂණයක් කළා.

ආසාදිතයෙක් බව දැනගත් මොහොතේ

ඔබට මොනවද හිතු‍ණේ?

මට අමුතුවෙන් බයක්වත් චකිතයක්වත් දැනුණේ නැහැ.නමුත් මගේ බිරියට ඒක සෑහෙන්න බලපෑවා. අඩුගානේ එයාට මං ළඟට ඇවිල්ලා බදාගන්නවත් විදිහක් නැහැ.

එයා සෑහෙන්න ඇඬුවා. ඊළඟට මගේ ආච්චි...මම හැමදාම එයාව බලන්න යනවා. එයාට දැන් වයස 75ක්.

ආච්චිත් මේ සිද්ධිය අහලා ගොඩක් සංවේදී වුණා.මාව දන්න හැමෝම මට කතා කරලා මාව ශක්තිමත් කරනවා. ඒක තමයි මට තියෙන ලොකුම ආශිර්වාදය. අනික තරුණ පරම්පරාව හැටියට අපිට මේ වයිරසය එක්ක සටන් කරන්න පුළුවන්. මොන වසංගතයක් ආවත් අපි මානසිකව වැටෙන්න නරකයි.

බාල මහලු සියලු දෙනාටම මම කියන්නෙ කොතනකවත් වැටෙන්න එපා. අපි ගොඩක් හයිය ලේ තියන ජාතියක්. හැමදේටම ශක්තිමත්ව මුහුණ දෙන්න.

ලැබුණු අත්දැකීම් එක්ක කෝකිල සමාජයට දෙන පණිවුඩය මොකක්ද?

තමන් ආසාදිතයෙක් බවට සැකයක් තියෙනවා නම් ඒක සඟවන්න එපා. මම හැම තැනටම කතා කරලා තිබුණු වැඩ සේරම කැන්සල් කළා. මොකද මම දන්නවා මේකේ තියන භයානකකම. මේ වෙලාවේ තමන් වගේම අනුන්වත් පරෙස්සම් කරගැනීමේ වගකීම හැමෝටම තියෙනවා.

ඒ නිසා මම ආදරණීය සියලුම දෙනාටම කියන්නෙ අපිට වෙන්න තියන දේවල් වළක්වන්න බෑ. හැබැයි හැමදේම වෙන්නෙ හොඳටයි කියලා බලාගෙන ඉන්නත් බෑ. මේ ටික කාලේ අපි පරෙස්සම් වෙන්න ඕනේ. හරියට මාක්ස් එකක් දාලා, සැනිටයිසර් ගාලා මීටරෙන් ඉන්න. මට හිතෙන්නෙ සමහරු ඉන්නෙ මීටරෙන් නෙවේ ට්‍රැක් පැනලා.

මේ වසංගතෙන් ගොඩ එන්න නම් මීටරෙන් ඉන්න, ට්‍රැක් පනින්න එපා කියලයි මම හැමෝටම කියන්නේ.

 

 

 

Comments