මේක මගේ නැව­තීමේ තිත නෙමෙයි | සිළුමිණ

මේක මගේ නැව­තීමේ තිත නෙමෙයි

ඡායා­රූප - සවීන් වැන්ලන්බර්ග්

 

රංගන ශිල්පිනියක ලෙසින් වසර ගණනාවක් පුරා ප්‍රේක්ෂක හදවත්වලට ළං වූ තරුෂි පෙරේරා මෑතකදී ටෙලි නාට්‍ය රචනයට යොමු වන්නේ කලෙක සිට තිබූ හීනයක් සැබෑ කරගන්නයි. තරුෂි ඒ හීනය හාහා පුරා කියා හැබෑ කරගත්තේ ‘රෑනගල වලව්ව‘ ටෙලි නිර්මාණයෙන්. තිර රචිකාවක් ලෙස ඇරැඹු ඒ ගමන් මඟේ හිතපු තරම් දුර යන්න හැකියාව ලැබෙයිද? හදිසියේවත් ඒ හීනේ අතරමගදි ඉහිරුණොත් ඇගේ ගමන නවතියිද? මේ සියල්ලට උත්තර දෙන්න තරුෂි අප සමඟ කතාබහට එකතු වුණා.

 

ටෙලි නාට්‍ය රචිකාවක් වෙන්න තිබුණු හීනෙට මොකද දැන් වෙලා තියෙන්නේ?

අපි හැමෝටම එක එක හීන තියෙනවනේ. මම හීන දැක්කේ ටෙලි නාට්‍ය රචනයට එකතු වෙන්න. ‘රෑනගල වලව්ව‘ විදිහට එළියට ආවේ ඒ හීනය. මගේ මුල්ම ටෙලි නාට්‍ය තිර පිටපත තුළිනුත් විවරණය කරන්නේ ගැහැනියක් කුඩා වියේදී, තරුණ වියේදී සහ මවක් වුණාට පස්සේ මුහුණ දෙන්න වෙන කටුක අත්දැකීම් ගැන. මම මේ නාට්‍ය ලිව්වේ මීට කාලයකට කලින්. මගේ හීනය හැබෑ කරගන්න ගොඩක් මහන්සි වෙලා කාලය අරගෙන හරි පරෙස්සමට ලිව්වේ. නයනා කුමාරි, උද්දික ප්‍රේමරත්න, ආශා එදිරිසිංහ වගේ තවත් බොහෝ දෙනකුට මගේ හීනේ හැබෑ කරගන්න කතා කළා. මේ නිර්මාණය තුළ තිබෙන ගැඹුර අර්ථය නිසාම ඒ ශිල්පීන් මේ නිර්මාණයට එකතු වුණා. ඔවුන්ගෙන් මට ලැබුණු ඒ පිළිගැනීමට ස්තුතිවන්ත විය යුතුයි.

 

නමුත් මේ වෙනකොට ඔබ ‘රෑනගල වලව්වේ‘ පිටපත් රචනයෙන් ඉවත් වෙලා ?

අකමැත්තෙන් වුණත් ඒ දේ ගැන කියන්න වෙනවා. මම ලිව්ව දේ තුළ තිබුණු ගලාගෙන යෑමේ අනුපිළිවෙළ, හැඩය නාට්‍යයේ රූගත කිරීමේදී එහෙ මෙහෙ වෙන්න ගත්තා. තිරපිටපතේ තිබුණු දේ නෙමෙයි ඒ නිර්මාණයෙන් දැන් දකින්නේ. මම ලියපු දේ තුළ තිබුණු හැඩය නිර්මාණය තුළ නොවීම ගැන කලකිරීමක් තියෙනවා. ඒ නිර්මාණයේ තුළ කාන්තා චරිතවලින් ලොකු පණිවුඩයක් දෙන්න මට අවශ්‍ය වුණා. ඒ දෙන්න හදපු පණිවුඩය නිර්මාණයේ නැතිවීම ගැටලුවක්. එය ඉදිරියටත් වේවි දැයි හිතුණු නිසා මම ඒ නාට්‍යයේ රචනයෙන් ඉවත් වුණා. හැබැයි නාට්‍යයේ කතාව මගේ කතාව. ඉදිරියේදී ඒ කතාව කොහොම යයිද දන්නෙ නැහැ. මම ලියපු සම්පූර්ණ කතාව දැන් මං ළඟ තියෙන්නේ.

නොහොඳ නෝක්කාඩු එක්කද ටෙලි නාට්‍යයෙන් ඔබ ඉවත් වුණේ ?

සුහදව කතාබහ කරලා මම නාට්‍යයෙන් ඉවත් වුණා. නාට්‍යයේ අධ්‍යක්ෂවරයා සහ මම හිතවත්ව වැඩ කරනවා. ඉදිරියේදිත් එහෙම වෙයි. අපි වෘත්තීය මට්ටමේදී මේ නිර්මාණය පිළිබඳ යම් යම් දේවල් සාකච්ඡා මට්ටමේ තියාගත්තා. රාජකාරි මට්ටමේදී කතා කරගත් අදහස් නිර්මාණයට මිසක් පෞද්ගලිකව අපිට බලපාන්නේ නැහැ. අපි හැමෝම කැමැති ජීවිතේ අපි කරන ඕනෑම දේකින් තෘප්තියක් ලබන්න. මමත් කරන යමකින් තෘප්තියක් හොයන කෙනෙක්. එය මගේ දුර්වලකමද දන්නේ නැහැ. මම කරන දෙයකින් මට පොඩිම හරි දුකක් දැනෙනවා නම් ඒ තැනින් ඉවත් වෙලා දුක නැති කරගන්නයි මම උත්සාහ කරන්නේ. මේ තීරණයත් එහෙම හොඳට හිතලා බලලා ගත්තු තීරණයක්.

ඔබ වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන් කිහිප දෙනකුත් මේ නිර්මාණයෙන් ඉවත් වුණා කියලා ආරංචියි ?

සමහර දේවල් ගැන මම දැනුම්වත් නැහැ. සමහර දේවල්වලට ඔවුන්ගේ පෞද්ගලික කාරණා බලපෑවද දන්නේ නැහැ. මම ඉවත් වුණේ නම් මම කියපු හේතුව නිසා.

 

මේ නිර්මාණයෙන් ඉවත් වුණාම ඔබේ හීනයත් එතැනින් නතර වුණාද ?

කොහෙත්ම නැහැ. මේක මගේ නැවතීමේ තිත නෙමෙයි. මම තැනකින් වැටුණොත් වැටෙන්න හේතුව හොයාගෙන එතනින් කොහොම හරි නැඟිටිනවා. මම මගේ හීනයට අලුත් ආරම්භයක් දෙනවා. ඒ ගැන ඉදිරියේදි කියන්නම්. සමාජයට පණිවුඩයක් දෙන හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහට කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා.

 

තරුෂි රචනයට හිත ගියපු නිසා දැන් රංගනයට සීමා පනවා ගෙනද?

මේ දවස්වල ‘දෙවෙනි ඉනිම‘, ‘නීල පබළු‘ සහ ‘අකුරු මැකී නෑ‘ කියන ටෙලි නිර්මාණවලට සම්බන්ධ වෙනවා. හොඳ දේකට ආරාධනා ලැබුණොත් මම සම්බන්ධ වේවි. නමුත් පුතා වෙනුවෙන් කාලය වෙන් කරන්න පුළුවන් විදිහට තමයි මම නිර්මාණ තෝරා ගන්නේ. ඒ නිසාම දුර පළාත්වල රූගත කෙරුණු හොඳ නිර්මාණ කිහිපයක්ම මට මගහැරුණා. ඒ ගැන ලෝබකමක් තිබුණත් අම්මා කෙනෙක් විදිහට මගේ දරුවා වෙනුවෙන් කැප වෙන්න ඕනේ.

ඔබ රංගනයට යොමු වෙනවට සැමියාගෙන් දැන් අකමැත්තක් නැද්ද?

මුල් කාලේ නම් මම රංගනයට සම්බන්ධ වෙනවට ඔහුගේ කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් දැන් ප්‍රශ්නයක් නැහැ. ඔහු දැන් දන්නවා මම පුතා වෙනුවෙන් පුළුවන් උපරිම කැප වෙලා ඉන්න බව. ඔහු සීමා දාන්න කලින් මම මට සීමා පනවගෙන තියෙන්නේ.

රංගන ක්ෂේත්‍රයේ ඔබට තිබෙන ඉල්ලුම ගැන තෘප්තිමත් ද?

ඉල්ලුමේ නම් ලොකු අඩුවක් නැහැ. මට හොඳ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා. ඒ ගැන සතුටුයි. ඉදිරියේදිත් එවැනිම හොඳ නිර්මාණවලින් මම ප්‍රේක්ෂකයා අතර රැඳේවී.

 

තරුෂි වගේම පුතත් කලාවට ළැදියිද?

ඔහුටත් ඒ දක්ෂතා පිහිටා තියෙනවා. පුතා චිත්‍ර අඳිනවා, රඟපානවා, රැප් කරනවා. ඒ ගැන සතුටුයි. හැබැයි මම කැමැති ඔහු වෙනත් වෘත්තියක් කරන ගමන් කලාවේ නියැළෙනවටයි.

පුතාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේන්න අදහසක් නැද්ද?

ඉස්සර නම් පුතා නංගියෙක්ට මල්ලියෙක්ට කැමැති නැහැ. දැන් සෙල්ලම් කරන්න නංගියෙක් හරි මල්ලියෙක් හරි හොයනවා. බලමු නේද ඉතින්...අපිත් දරුවන්ට ආසයි.

 

Comments