මට යළි ජීවි­තය දුන්නේ මනු­ස්ස­කම පිරුණු ආද­ර­ණීය මිනිස්සු | සිළුමිණ

මට යළි ජීවි­තය දුන්නේ මනු­ස්ස­කම පිරුණු ආද­ර­ණීය මිනිස්සු

වකු­ග­ඩු­වක් හොයා ගන්න මාස 9ක් ගියා... 
මට වකු­ග­ඩුව දුන්නේ මුස්ලිම් සහෝ­ද­රි­යක්
 
මාරා­න්තික වෙලා­වෙදි සැමියා කිව්වා මට උදවු කරන්න නෑ  කියලා 
 
සැත්ක­මට අවශ්‍ය ලක්ෂ 15ක මුදල මේ රටේ කාරු­ණික මිනිස්සු දුන්නේ නැති නම් මම අද ජීව­තුන් අතර නෑ
 
 

ඇන්ජලා සෙනෙවිරත්න...වර්ෂ 1984දී ලංකාවේ රූ රැජන ලෙස අභිෂේක ලබන ඇන්ජලා, අනතුරුව විවාහක රැ රැජන ලෙසද කිරුළු පලඳිනවා. ඉන්පසු කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇන්ජලා සම්මානිත රංගන ශිල්පිනියක් ලෙස අසීමිත සහෘද රසික පර්ෂදයක ආදරය දිනාගන්නට සමත් වෙනවා. ද්වී භාෂා පරිචයක් සහිත ඇය ඉංග්‍රීසි නාට්‍ය වේදිකාවේත් ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍යවේදිනියක ලෙසත් කැපී පෙනෙන භූමිකාවක් සලකුණු කළ අතීතයක් තිබුණා.

 

පහුගිය කාලයේ අසාධ්‍ය රෝගී තත්ත්වයකට මුහුණ දුන් ඇන්ජලා සිය අසීරු තත්ත්වය ගැන ඇගේම වචනයෙන් ඔබට කිව්වා. ජීවිතයේ තීරණාත්මක කඩඉමක් පසුකර දැන් සුවපත් වෙමින් සිටින ඇය නැවතත් සුපුරුදු ආදරණීය හඬින් රසඳුන සමඟ කෙටි පිළිසඳරකට එක් වුණා.

 

ප්‍රතිකාරවලින් පස්සේ දැන් ඔබ සුවපත් ?

දැන් සුවය ලබමින් ගෙදරට වෙලා ඉන්නවා. ඉදිරි මාස හයක කාලයක් ඉතාමත් පරෙස්සම් වෙන්න කියලයි වෛද්‍ය නියමය. කෑම බීම පවා පිටට ගිහින් ගන්න බැහැ. සැත්කම බරපතළ එකක්. දිගටම බෙහෙත් පාවිච්චි කළ යුතුයි.

 

ඇන්ජලා ඒ සැත්කම ගැන කතා කරන්න කැමතිද?

එය වකුගඩු බද්ධයක්. එය ලබාදුන්නේ අවුරුදු හතළිස් හතරක මුස්ලිම් කාන්තාවක්. වකුගඩුව ලබාදීම ගැන මම ඇයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා වගේම නිතරම පින් දෙනවා.

මේ සඳහා පරිත්‍යාගශීලි කෙනෙක් හොයාගන්න මට මාස 09ක් බලා ගෙන ඉන්න වුණා. මාධ්‍ය ඒ ගැන දැනුම්වත් කරමින් මට බෙහෙවින්ම උදවු කළා. සමාජ මාධ්‍ය පවා ඒ සඳහා ඉදිරිපත් වුණා. මට වකුගඩුවක් ලබා දෙන්න අට දෙනෙක් ඉදිරිපත් වුණා. ඒ අතරින් මට වඩාත් ගැළපෙන කෙනා හමුවුණේ අන්තිමටයි. ඉතාමත් කැපවීමකින් ඇය එතැනදී කටයුතු කළා. ඇයත් වෛද්‍ය පරීක්ෂණ පනහකට වඩා වැඩි සංඛ්‍යාවකට මුහුණ දී ලොකු වෙහෙසකින් පසුවයි මට අලුත් ජීවිතයක් ලබා දුන්නේ.

වෛද්‍ය ජොයෙල් අරුචෙල්වම්, වෛද්‍ය ඒ එල් එම් නසාර් ඇතුළු විශාල හෙද කාර්ය මණ්ඩලයක් ජාතික රෝහලේදී සැත්කම කරන්න මට උදවු කළා. දැඩි සත්කාර ඒකකය කාර්යමණ්ඩලයත් පුදුමාකාර ආදරයකින් මට උදවු කළා. ඒ හැම දෙනාම මම මේ වෙලාවේ ඉතා ආදරයෙන් මතක් කරනවා. පෙබරවාරි මස 10 වැනිදා සැත්කම සිදු කළා. 16 වැනිදා මට ගෙදර එන්නටත් අවස්ථාව සැලසුණා.

 

ඇන්ජලාට මේ අත්දැකීම දැනුණේ කොහොමද ?

මූලික රෝග විනිශ්චයේදී මට රෝගී තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. පහුගිය අවුරුද්දේ මැයි මාසේ 4 වැනිදා මගේ රෝගී තත්ත්වය පිළිබඳ දැනගන්න කොට එය උත්සන්නම අවස්ථාවක තිබුණේ. රෝගය 5 වැනි අදියරයටම ගිහින් බව දැනගත්තහම මම පුදුමාකාර මානසිකව පසුබෑමකට ලක් වුණා.

ජයවර්ධනපුර රෝහලේදී දැන ගන්නට ලැබුණා ප්‍රතිකාර වෙනුවෙන් මට ලක්ෂ 15ක පමණ මුදලක් අවශ්‍ය බව. ඒ වන විට මා සතුව එතරම් මුදලක් තිබුණෙ නැහැ. ඒත් එක්කම මගේ සැමියා දුක්බර කතාවක් මට කිව්වා. ඒ තමයි මගේ ප්‍රතිකාරවලට උදවු කරන්න ඔහුටත් ශක්තියක් නැති බව. මම ඒ වෙලාවේ ගොඩක් අසරණ වුණා. මම මගේ රසිකයන්ට මාධ්‍ය මඟින් සමාජ මාධ්‍ය මඟින් මගේ තත්ත්වය දැනුම් දුන්නා. මගේ කතාව දැකපු රසිකයෝ ඔවුන්ගේ ආදරය මට ලබා දුන්නා.

ඔවුන්ගේ උපකාරයෙන් මට ලක්ෂ 17ක් සම්පූර්ණ කර ගන්න ලැබුණා. කලා ක්ෂේත්‍රයේ අය අතරින් කලාකරුවන් 16 දෙනෙක් මාත් එක්ක හිටියා. ඒ අතරෙන් ස්වර්ණා මල්ලවආරච්චි, සබිතා පෙරේරා ජයසිංහ සහ සතීස්චන්ද්‍ර එදිරිසිංහ වැනි ප්‍රවීණයන් සහ මගේ සමකාලීන සහෝදර සහෝදරියන්. ඔවුන් ලබා දුන් සහයෝගය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. චිත්‍රපට සංස්ථාවෙන් රුපියල් පනස්දහක් සහ සංස්කෘතික අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂයක් ලබා දුන්නා. ඒ මුදල්වලින් තමයි මට වකුගඩු ලබාදුන් සහෝදරියගේ සෞඛ්‍ය වෙනුවෙන් කටයුතු කරන්න හැකි වුණේ. සිංහල දෙමළ මුස්ලිම් වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයක් මේ ක්‍රියාවලියේදී මට මුණ ගැහුණා. අපේ රටේ අපි හැමෝම හරිම ආදරයෙන් නේද ඉන්නේ කියලා මට හිතුණා. ඒ වගේම අසල ගෙදරක මගේ නෑනා පදිංචිව ඉන්නවා. ඇය තමයි මට මේ දවස්වල කෑම බීම හදල ගෙනත් දෙන්නේ. රටේ තියෙන සෞඛ්‍ය තත්ත්වය නිසා බාහිර කිසිවකු සමඟ සම්බන්ධ වෙන්න අපට අවස්ථාවක් නැහැ.

 

ගත කරපු කාලය ගැන ආපහු හැරී බැලුවොත් මොකද හිතෙන්නේ ?

මම හුදෙකලා වෙලා නෑ කියලා මට දැනුණා. මාව නාඳුනන අයත් මා එක්ක ඉන්නවා කියලා දැනෙනවා. නිතරම මගේ රසිකයන්, යහළුවන් මගේ දුක සැප හොයලා බලනවා.

 

ඔබේ දියණියන් ගැන කතා නොකළොත් අඩුවක්.?

ලොකු දුව ජෝර්දානයේ ගුවන් සේවිකාවක් විදිහට සේවය කරනවා. මුලින් ඇයව තමයි නම් කරගෙන හිටියේ මට ගැළපෙන වකුගඩුවක් ලබාදෙන්න. නමුත් වසංගත තත්ත්වය නිසා ඇයට ලංකාවට එන්න අවසරය ලැබුණේ නැහැ. අනෙක් දුවලා දෙදෙනා ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. කොරෝනා තත්ත්වය නිසා ඔවුන්ටත් රැකියාවේ ගැටලු මතුවුණා. ඒ වගේම නිරෝධායන නීති තදින්ම බලපෑවා. ඒත් ඔවුන් හැම තත්පරයකම මා එක්ක හිටියා.

 

ඇන්ජලා අනාගතයේදී කලා කටයුතුවල නියැළෙන්න අදහසක් තියෙනවද ?

මට ගැළපෙන චරිතයක් ලැබුණොත් මම අනිවාර්යෙන්ම බාර ගන්නවා. අද සිනමාව වෙනදට වඩා වෙනස්. ඒ තුළ නිර්මාණශීලී දෙයක් කරන්න මම කිසි විටෙකත් පැකිලෙන්නේ නෑ.

 

Comments