අවු­රුදු 27යි... අපි දැන් පරි­ණ­තයි... | සිළුමිණ

අවු­රුදු 27යි... අපි දැන් පරි­ණ­තයි...

1994 වසරේ මාර්තු දෙවැනිදා ශ්‍රී ලාංකේය ගුවන් විදුලි ඉතිහාසයේ නව පිටුවක් පෙරළුණා. ඒ, සිරස ගුවන් විදුලි නාළිකාව ආරම්භ කිරීමත් සමඟ. සිරස ගුවන් විදුලි නාළිකාව ලබන මාර්තු 2 වැනිදා 27 වැනි සංවත්සරය සමරනවා.

 

සම්ප්‍රදාය වෙනසක් කරමින් සාර්ථකත්වයට පැමිණි ඔවුන්ගේ දශක දෙකකට එපිට අතීතය සහ ඉදිරිය ගැන කතා කරන සිරස fm නාළිකා ප්‍රධානී, සජිත රත්නායක සිරස සමාරම්භක දිනය සිහි කරමින් සංවාදය ආරම්භ කළා.

“ඒ, 1994 මාර්තු 02දා. ඒ වනවිට ගුවන්විදුලිය මාධ්‍යය තිබුණේ අසන්නන්ගෙන් ගොඩක් ඈත. සන්නිවේදකයා හා ශ්‍රාවකයා අතර විශාල දුරස්කමක් තිබුණා. ශ්‍රාවකයට වඩාත් සමීප බස් වහරක් එක්ක එදා අපි අලුත් කරපු ගුවන් විදුලි සම්ප්‍රදාය ඔස්සේ තමයි ඉන් අනතුරුව සියලුම පෞද්ගලික නාළිකා ගමන් කළේ.

එය වැඩසටහන් සම්පාදනයට ලඝු වුණේ නෑ. සියලුම සමාජ විපත්, ස්වභාවික උවදුරුවලදි අපි සමාජ සත්කාරය අපේ වගකීමක් කරගත්තා. මිනිස්සු එක්ක ජීවිතය බෙදා ගැනීමේ සම්ප්‍රදායක් ඇති කළා. රේඩියෝ වැඩසටහනක් ලෙස ආරම්භ වූ සිරස සුපර් ස්ටාර් රියැලටි තරග හරහා අලුත් ගායක ගායිකාවන් රාශියක් බිහි කරන්න අපිට හැකි වුණා. මාධ්‍ය ආයතනයක් විදියට සිරස ක්‍රිකට් කානිවල් හරහා ක්‍රිකට් තරගාවලිය මඟින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් රොෂාන් ජාතික කණ්ඩායම දක්වා රැගෙන යන්න අපිට පුළුවන් වුණා. අලුත් ගුවන් විදුලි වැඩසටහන් සංකල්ප ගණනාවක මුල් අයිතිකරු වීමේ ආඩම්බරය අපිට තිබෙනවා.

සජිත රත්නායක මෙතෙක් පැමිණි ඒ ගමන්මඟ ගැන කතා කරන්නේ දැඩි තෘප්තියකින්.

මේ වනවිට ඔබේ ගුවන් විදුලි නාළිකාවේ විකාශය වන වැඩසටහන් ගැන ඔබ සතුටු ද?. අප ඔහුගෙන් විමසුවා.

ඇත්තටම ඔව්. එය පර්යේෂණ අත්දැකීමක්. හිමිදිරි උදෑසන තුන හමාරේ සිට හයයි තිහ දක්වා ගුවන් කාලයේ විකාශනය වන පිනිබර යාමය වැඩසටහන තුළින් පරිත්‍රාණ ධර්ම දේශනා මෙන්ම අමාදම් මිහිර කාලීන දහම් පණිවිඩය දිනපතා ශ්‍රාවකයන් වෙත සමීප කරනවා. සමනල සිරස සති පාසල මඟින් දරුවන්ගෙ හිත් ඒකාග්‍ර කරගන්න පුංචි කාලයේ සිටම මඟ පෙන්වනවා. ප්‍රායෝගික ඉංග්‍රීසි පාසල, ලස්සන ලංකා , උමාරා සිංහවංශගේ සින්දු පන්තිය, හතර පහ ශ්‍රේණිවල සිටින දක්ෂ දරුවන්ට වෙන්වුණ තරගාවලියක් වන සමනල සිරස, පුංචි ප්‍රාඥයා වැනි සංකල්ප තුළින් ළමා මනසට ළං වෙන්න අපට හැකියාව ලැබුණා.

ටාසන් මේසන් සහ පූජා එක්ක සූරිය සිරස වැඩසටහන සාමාන්‍ය මෝර්නින් ෂෝ ආකෘතිය වෙනස් කළා. දහසක් මල්, සිහිනයකි ආදරේ ගුවන් විදුලි නාට්‍යය, විනෝදාස්වාදය හා දැනුම එක් වූ ටෙක්නික් හැන්දෑවත් , රාත්‍රියට තරුණ තරුණියන් වෙනුවෙන් ආදර සිරසත් අපි දිනපතා ශ්‍රාවකයන්ට තිළිණ කරනවා. නිවැරදි බුදු දහම සොයාගෙන යන සණරාමර සෙවන සහ පන්සිල් මලුව සහ කලාශිල්පීන් සමඟ රස මවන සතිඅග සාදය වැඩසටහන් සති අන්තයේ විකාශය වෙනවා. නිදි නැතිව වැඩ කරන මිනිස්සු එක්ක ජීවිතේ බෙදා ගන්න රාත්‍රී නමයේ සිට දොළහ දක්වා විකාශය කෙරෙන සිරස night time radio වැඩසටහන අපි ආරම්භ කළේ සංවත්සරය මූලික කරගෙනයි.

විසි හතර වැනි සැමරුම වෙනුවෙන් සිරසට සැලසුම් ගොඩක් තිබෙනවා. ඒ ගැන සජිත කිව්වෙ මෙහෙම කතාවක්...

සිරස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පටන් ගන්නවා. මේ වෙනකොට සිරසෙන් එළි දැකපු අලුත් ගීත 500ක් අතරින් සුවිශේෂී ගීත 27ක් තෝරාගෙන ඒවායේ කවර් වර්ෂන් 27ක් එළිදැක්වීමත් සංවත්සරයට සමගාමීව සිදුවන තවත් පියවරක්. තව රත්තරන් වටින ආරංචියක් කියන්නත් අපි එදාට බලාපොරොත්තු වෙනවා.“

සමාජ මාධ්‍යය ගුවන් විදුලි මාධ්‍යයට අභියෝගයක් වෙලා තිබෙද්දි ඒ අභියෝග ජයගෙන නිර්මාණාත්මක ගමනක් යන සිරසට ඔවුන්ගේ ශ්‍රාවක පදනම ගැන ලොකු විශ්වාසයක් තියනවා. සජිත ඒ ගැන කතා කරන්නේ ආඩම්බරයක් සමඟින්.

“ සිරසට අලුතින් අසන්නන් එකතු කරගන්න අවශ්‍ය නැහැ. පහුගිය වසරේ පෙබරවාරි මාසෙන් පස්සෙ ලංකාවේ රේඩියෝ රසිකත්වය මනින්න සමීක්ෂණ වාර්තාවක් නිකුත් වුණේ නැහැ. හැබැයි හැමදාම රසිකයන්ගේ සැබෑ ආදරය තියෙන්නෙ සිරසට බව අප කිව යුතුයි.

අවුරුදු විසි හතක් කියන්නෙ, අපි දැන් පරිණතයි. අපේ සන්නාමය යටතේ ඉන්න අසන්නන්ව රැකගෙන ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවන්න කටයුතු කිරීම දැන් අපේ වගකීමක්.

Comments