සිංහල හා ජර්මන් භාෂාවල සමාන තැන් තියෙනවා | සිළුමිණ

සිංහල හා ජර්මන් භාෂාවල සමාන තැන් තියෙනවා

 

ජර්මන් භාෂාව පිළිබඳව කථිකාචාර්යවරියක වශයෙන් කැලණිය, මොරටුව, සබරගමුව යන විශ්ව විද්‍යාල වලට සම්බන්ධව කටයුතු කරන අෂානි ශාලිකා රණසිංහ අධ්‍යාපන අමාත්‍යාංශයෙ මෙන්ම ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය යන ආයතනයන්හි සම්පත් දායකයෙකු හැටියට ද කටයුතු කරයි. එමෙන්ම කළ ජර්මන් සාහිත්‍ය කෘති ගණනාවක් ම සිංහල බසට නගා ඇති ඇය සිංහල නවකතා ද ජර්මන් බසට නඟා ඇත. මේ වනාහි ඒ සම්බන්ධයෙන් ඇයත් සමඟ පැවැත් වු සාකච්ඡාවකි.

 

n සිංහල හා ජර්මන් භාෂාව අතර සමානකම් ඇතැයි පිළිගැනෙනවා. ඒ පිළිබඳව මොකද හිතන්නේ?

“අපි එකිනෙකා හමුවේ ආමන්ත්‍රණය කරන විදිහක් තියෙනවානෙ. හදුනාගැනීමේ ප්‍රමාණය අනුව “ඔයා, ඔබ” වශයෙන් අපි එකිනෙකාව අමතනවා. නමුත් ඉංග්‍රීසි භාෂාවේ දි ඒ මොනව වුණත් You කියන වචනය විතරයි තියෙන්නෙ. එතනදී ජර්මන් භාෂාව අපට සමීප යි. ඒ අයත් හඳුනාගැනීමේ සමීපකම අනුව Sie,du කියන දෙයාකාරයෙන් ම කතා කරනවා. අපේ භාෂාවෙන් කිව්වොත්, ඔබ - ඔයා කියන තේරුම ම තමයි. ඒ වගේම “ස” ශබ්දය “ෂ” “ශ” කියල තුන් ආකාරයකට අපි පාවිච්චි කරනවා වගේ ජර්මන් භාෂාවෙත් “ස” ශබ්දය තුන් ආකාරයකට භාවිතා වෙනවා. සිංහල භාෂාව ගත්තම නම්‍යශීලි බවක් තියෙනවනෙ. උදාහරණයක් විදිහට “මම ගෙදර යනවා ” කියන එක අවශ්‍යතාව අනුව විධි කිහිපයකට ම අපට කියන්න පුළුවන්. ඒ විදිහට ම ජර්මන් භාෂාවත් නම්‍යශීලි විදිහට හසුරුවා ගන්න පුළුවන්. ජර්මන් බසින් සිංහල බසට පොතක් පරිවර්තනය කරන එක මේ සමානකම් නිසා ම හරි පහසුයි කියලයි මට නං හිතෙන්නෙ.“

 

n ඔබ මේ වන විට කෘති කිහිපයක් ම ජර්මන් බසින් සිංහලට නගා තිබෙන පොත පත මොනවාද?

“මම මුලින් ම වොල්ෆන්ග් බෝෂර්ට්ගේ කෙටි කතා එකතුවක් දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ කෙටි කතා නමින් පල කලා. ඊට පස්සේ මම දිගටම කලේ නවකතා. කුඩා වියේ සිට ම තමන්ගේ ජීවිතය තුළ වු වෙනස්කම් අපුර්වාකාරයෙන් ලියවුණ “එමා” තමයි මගේ දෙවැනි කෘතිය. අන්ධ තරුණියක හා ඇයට කණවැල ඇල්ලු බැල්ලක ගැන කතාවක් තමයි මෙහි එන්නෙ. “සාරා කියන්නෙ මගේ තවත් පරිවර්තනයක්. ජර්මන් බසින් සිංහලට නැගුව මෙහි මුල් කෘතිය ලියවෙන්නෙ ප්‍රංශ භාෂාවෙන්.

“ලෝකයේ එක්තරා අඳුරු කාල පරිච්ඡේදයක දී සුවහසක් අහිංසක මිනිසුන් තමන් කිසිදා නොකල වරදකට බොහෝ දුක් විඳ අවසානයේ දි සොහොන් කොතක් හෝ අහිමිව ඝාතනය වු කතාවක් තමයි සාරා තුළ ඔබ කියවන්නෙ. ඉන් පසුව “ශුද්ධ වු පිරික්සුමේ සිරකරු” කෘතිය ලියනවා. මෙතන දි කියන්න ඕනෙ ඒ කියපු කෘතියත්, සාරා කියන කෘතියත් ඵෙතිහාසික පසුබිමක ලියවුණ කතා වස්තූන්ය කියන එක. ඒ අනුව ඒ කතා දෙක පසුබිමේ ම ඉතිහාසයක් තියෙනවා. ඒ වගේ ම ශුද්ධ වු පිරික්සුමේ සිරකරු කෘතිය ප්‍රධාන ධාරා දෙකකින් විකාශනය වීමත් විශේෂත්වයක්.“

 

n “දහ අටවන සියවසේ ප්‍රංශයේ ජීවත් වු ජෝන් බැප්ටිස්ට් ග්‍රව්නුයි නැමති අසාමාන්‍ය සුවඳ විලවුන් නිෂ්පාදකයා, ලෝකයේ ශ්‍රේෂ්ඨත ම සුවඳ විලවුන් නිපදවීමේ අරමුණෙන් මනුෂ්‍ය ඝාතකයෙක් බවට පත් වීම මෙහි තේමාව බවට පත් ව තිබේ.” ඔබේ “සුවඳ විලවුන්” නම් පරිවර්තනයේ පෙරවදනෙන් ඔබ එහෙම කියනවා. ඒක හරි අමුතුයි නේද?

“ එය අසාමාන්‍ය අත්දැකීමක්. මැරෙන්න අත් ඇරල දාපු ළමයෙක් නොමැරී ජීවත්වෙලා තමන්ගේ ඉරණම වෙනුවෙන් සමාජයට දක්වපු ප්‍රතිචාරය මේ කතව ඇතුලේ තියෙනවා. ඒ වගේ ම “ඕගි” කියන්නෙත් බයිපෝල් කියන රෝගයෙන් පීඩා විඳ සුවය ලබා අදටත් ජීවත්වන අයෙකුගේ චරිතය පාදක කරගත් කතාවක්. ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් බුක් ෆෙයාර් එකේ දි ඔහුව මට හමු වුණා.

මම ජර්මන් බසට නැඟූ සිංහල කෘතිය තමයි, BAYAN කියන්නෙ.

ඒක ප්‍රමුදිත් රූපසිංහගේ කෘතියක්. දෙවැනි ලෝක යුද සමයේ යුක්රේනියාව පසුබිම් කරගෙන ලියු මෙ කෘතියේ කථකයා “බයන්” නමින් හැඳින්වෙන රුසියානු සංගීත භාණ්ඩය තමන්ගේ ජීවිතයේ සංවේදි විඳීමක් බවට පත් කරගන්නා ඒ කතාව හරි හැගීම්බර යි. අප්‍රිකානු කලාපයේ ව්‍යාප්ත වු ඉබෝලා රෝග වසංගතය එක්ක යන ජීවිතයේ වේදනාවන් පසුබිමේ ලියවුණ කතාවක් හැටියට මෙය ගත හැකි යි.“

 

n ළමා පොත් සංවර්ධන විළිබඳවත් මෑත කාලීනව ඔබ යොමු වී සිටිනවා නේද?

“ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය, ඒ වගේ ම අධ්‍යාපන අමාත්‍යාංශය එකතුව ඒ වගේ ම පින්ලන්ත රජයේ අනුග්‍රහයෙන් තමයි මේ කටයුත්ත සිද්ද වෙන්නෙ. ජාත්‍යන්තර ප්‍රමිතිය මත මෙරට ළමා පොත් සංවර්ධනය කිරීම සම්බන්ධ මෙම කර්තව්‍යයේ සම්බන්ධීකරණ කාර්යය මට පැවරිලා තියෙනවා. මේ සඳහා පුස්තකාල ප්‍රලේඛන සේවා ආයතනයත් සම්බන්ධ යි. මෙහි දී ජර්මන් බසින් සිංහල බසට පොත් පරිවර්තනයේ දි මතුවන ගැටලු පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. භාෂා ප්‍රශ්න වලට වඩා මෙතන තියෙන්නේ ඇතැම් නම් ගම් පිළිබඳ ප්‍රශ්නයක්.

උදාහරණයක් හැටියට සුවඳ විලවුන් කෘතියේ එන ඇතැම් ශාක විශේෂ සිංහල පාඨකයාට හඳුන්වා දීම හරිම අපහසු කටයුත්තක් වුණා. ඒ වගේ ම සමහර පුද්ගල නාම උච්ඡාරනය කරන අයුරු අපිට වෙන ම සොයා ගන්න වෙනවා. මේ ගැටළුකාරී තත්ව සම්බන්ධයෙන් තමයි ඒ විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.

 

n ජර්මනියේ පැවැත්වෙන ෆ්‍රැන්ක්ෆර්ට් පොත් ප්‍රදර්ශනය ගැන ඔබේ අත්දැකීම් මොන වගේද?

“විශාලත්වය අතින් නම් ඒ ගැන වෙන ම කතා කරන්න ඕනෙ කියලයි මම නං හිතන්නෙ. ඒකට සාපේක්ෂව අපේ බුක් ෆෙයාර් එක ගත්තොත් ඒක අර ෆ්‍රැන්ක්ෆර්ට් ප්‍රදර්ශනය ඇතුලේ පොඩි කොටසක් විතරයි. අනික ඒ පොත් ප්‍රදර්ශනය ඇතුළේ පොත් මිලට ගන්න බැහැ. එතන සිද්ද වෙන්නෙ ලේඛකයන් හමු වීම, ඒ වගේ ම ලේඛකයන් හා ප්‍රකාශකයන් අතර ගිවිසුම් අත්සන් කිරීම, තමන්ගේ අත් පිටපතක් වෙනුවෙන් ප්‍රකාශකයෙකු සොයා ගැනීම වගේ කටයුතු යි.

පොත් මිලට ගැනීම එයින් පිටස්තරව සිද්ද වෙන කාර්යයක්. ඇත්ත වශයෙන් ම ඒක සුළුවෙන් කතා කරන්න බැරි තරම් ලොකු අත්දැකීමක්.

 

n කථිකාචාර්යවරියක හැටියට ඔබේ කාර්යභාරය?

“මෑතක සිට මම මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පැවරූ අධ්‍යාපන පැවරුම් ගැන කතා කරන්න කැමතියි.

ඒ අනුව ඔවුන් දෙකොටසකට බෙදලා එක් කොටසක ට ජර්මන් ගීතයක් සිංහලට පරිවර්තනය කරලා පසුබිම් සංගීතයක් සමඟ නිර්මාණය කිරීම පැවරුමක් බවට පත් කළා. අනිත් කණ්ඩායමේ අය ජර්මන් කෙටි කතාව බැගින් පරිවර්තනය කරන්න ඕනෙ. ඒ විදිහට පරිවර්තනය වුණ කතා එකතුවක් මුද්‍රණයෙන් එළි දක්වන්නත් මම කටයුතු කරලා තියෙනවා.

 

n සාහිත්‍යයික පරිවර්තන කාර්යය ගැන ඔබ දරන අදහස ?

“පරිවර්තන කටයුතු වල දී ඒ මුල් කෘතිය දෙතුන් පාරක්වත් කියවලා අවබෝධයක් ගැනීම වැදගත්. එක වරක් කියවලා පොතක් ගැන සියුම් ඒ වගේ ම සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න අපට බැහැ. ඒ මොකද කියවීමේ දී වාරයෙන් වාරයට අපි ඒ පොතේ අන්තර්ගතය ගැන ලබන හැගීම ඒ වගේ ම අවබෝධය වෙනස් වෙන්න පුළුවන්.

එහෙම කරලත් මට හිතෙනවා මගේ සමහර කෘති මීට වඩා හොඳට කරන්න තිබුණාය කියලා.

ඒත් මට ලැබෙන පාඨක ප්‍රතිචාර අනුව මට තෘප්තියක් තියෙනවා මගේ අතින් මුල් කෘති වලට සාධාරණයක් ඉෂ්ට වුණාය කියලා.

Comments