පොත පතට ආදරය කරන ඔබටම වෙන්වූ තැන “BOOKRACK” | සිළුමිණ

පොත පතට ආදරය කරන ඔබටම වෙන්වූ තැන “BOOKRACK”

 

තරුණ ලේඛකයෙකු වන දේවක සඳරුවන් විසින් අලුතින් ආරම්භ කරන්නට යෙඳුන කියවීම් හලක් (ඔහු එය නම් කරන්නේ Book rak යන නමිනි.) යැයි කිව හැකි නාවල රාජගිරිය පාරේ පිහිටි ඒ සංස්කෘතික ආයතනය දැක බලා ගන්නට ගිය අවස්ථාවේ දී ය. දේවක ඒ සම්බන්ධයෙන් දැරුවේ මෙවැනි අදහසකි.

 

“අපිට පුළුවන් මෙය Book cafe එකක් විදිහට හඳුන්වන්න. පොත් ප්‍රකාශනය, අලෙවිය කියන මේ දේවල් බුද්ධිමය කටයුත්තක් වෙන තරමට ම වෙළඳ ව්‍යාපාරයකුත් වෙනවා. එදා ඉඳල ම ඒක එහෙම යි. ඒත් අද පවතින තරගකාරීත්වයත් එක්ක අපිට සිද්ද වෙලා තියෙනවා ලෝකයේ අලුත් ප්‍රවණතා සමඟ ඉදිරියට යන්න. දැං හිතලා බලන්න එදා අපි පොත් සාප්පුවකට ගිහිල්ලා පොතක් මිල ට ගත්ත විදිහෙයි, අද ඒ දේම කරන විදිහෙයි කොච්චර වෙනසක් තියෙනව ද කියලා. නමුත් ලෝකයේ දියුණු රටවල් එක්ක ගත්ත මේ තියෙන තත්වයත් ප්‍රමාණවත් නෑ. පොතක් මිලට ගන්න එන පාඨකයෙක් පොතක් කියවල බලල මිලට ගන්න කැමති නම්, ඒ සඳහා අවස්ථාවක් තියෙන්න ඕනෙ. විදේශ රටක නම් එහෙම ඇවිත් සිසිල් බීම හෝ උණුසුම් පානයක් බොන ගමන් නිවි සැනසිල්ලෙ පොතක් මිලට ගන්න පුළුවන් Book cafe කියල. අපි හඳුන්වපු එහෙම තැන් තියෙනවා. මම උත්සාහ කරන්නේ මේ ආයතනය හරහා එහෙම සංස්කෘතියක් ඇති කරන්න.”

“ඒ විතරක් නෙවෙයි මේ කියන කියවීමේ සංස්කෘතියට අපේ ප්‍රවීණ ලේඛකයින් පිළිබඳ විස්තර වෙනත් දත්ත පහසුවෙන් සොයාගත හැකි ක්‍රමවේදයක් සකස් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. විදේශ රටවල නම් එක පොතක් ලියු ලේඛකයෙකු ගැන වුණත් තොරතුරු දත්ත ඇතුළත් වෙබ් අඩවියක් ඔවුන්ගේ නමින් තියෙනවා. ඒත් අපේ රට ගත්තොත් කොයිතරම් ප්‍රවීන ලේඛකයෙකුගේ වුණත් අන්තර්ජාලය තුළින් එහෙම විස්තරයක් හොයාගන්න එක පහසු නෑ. මේකට විසඳුමක් වශයෙන් අපත් සමඟ ගනුදෙනු කරන ලේඛකයින්ට (පොත් 5ක් හෝ 6ක් පල කොට තිබේ නම්) අපේ වියදමින් ආරම්භ කොට පවත්වාගෙන යෑමේ පදනමින්, ඔවුන්ට වෙබ් අඩවි නිර්මාණය කර දීමේ කටයුත්ත ද අපි කරනවා.

කියවීමේ උනන්දුව ඇති අලුත් තරුණ පරපුරක් අපට ඉන්නවා. ඒ ඔවුන්ගේ අනාගත අවශ්‍යතාව තමයි අද අපි මේ විදිහට ආරම්භ කරන්නෙ.” එහි දී ම අපට හමුවුණ ලේඛක කුමාර සිරිවර්ධන මේ සම්බන්ධයෙන් දැරූ අදහස මෙවැනිය.

“පරිවර්තකයෙකු හැටියට සෑම වෙලාවකම මගේ අතේ පොත් දෙකක් තියෙනව. එකක් පරිවර්තනය කරමින් සිටින පොත. අනික මං කියවන පොත.

මගේ ජීවිතේ ගෙවිලා ගිහින් තියෙන්නෙ ම පොත් එක්ක. එදා අපිට පොත් සාප්පුවකට යනවා කියන එක සාමාන්‍ය අත්දැකීමක්. ඒත් අද පොත් සාප්පුවකට යන අපිට පොත් ඇසුරු කරලා අපට අවශ්‍ය පොත් මිලට ගන්න හැකියාවක් තියෙනවා. සමහරවිට කියවල බලා ගන්න පුළුවන් පහසුකමුත් තියෙනවා. නමුත් මේ පහසුකම හැම තැනක ම නෑ. බුක් රැක් කියන මේ තැන ඒ තත්වයේ වැඩි දියුණුවක් විදිහට ගන්න පුළුවන්. විවේකී පාඩුවේ සිසිල් බීම වීදුරුවක් හරි උණුසුම් කෝපි එකක් හරි බොන ගමන් පොතක් කියවල බලලා තෘප්තිමත් සිතකින් පොතක් මිලට ගන්න පුළුවන්කම මෙතන තියෙනවා. මේවා සංවර්ධනීය තත්ව විදහට දකින්න පුළුවන්. විශේෂයෙන් ම පොත් ප්‍රකාශනය, අලෙවිය සම්බන්ධ නව තාක්ෂණ තත්ව හමුවේ දියුණු වෙලා තියෙන පසුබිමක අනවශ්‍ය තරගය, කුළල් කා ගැනීම් පැත්තකට දාලා සාමුහික දියුණුවක් වෙනුවෙන් ක්ෂේත්‍රයේ හැම කෙනෙක් ම එකතු වෙන්න ඕනෙ කියල තමයි මං නං විශ්වාස කරන්නෙ.” ලේඛිකාවක වන මානෙල් ජයන්ති අපට පැවැසුවේ මෙවැනි අදහසක්. “අපට මේක අලුත් අදහසක් වුණාට සංවර්ධිත රටවල් වලට නම් මේන අලුත් දෙයක් නෙවෙයි. එංගලන්තය වගේ සංවර්ධිත රටවල ළමයින්ට කියවීම හුරු කරන්නේ කුඩා වයසෙදි ඉඳලම යි. ඒක ඒ අය ලොකු වගකීමක් හැටියට සලකනවා. අපේ රටේ නං එහෙම තත්වයක් මම තාමත් දකින්නෙ නෑ.

ඔවුන් ඒ වෙනුවෙන් කාලය නිර්මාණය කරගෙන තියෙනවා. නමුත් අපි තාමත් ඉන්නෙ පොත් කියවන්න කාලයක් නැහැයි කියන තැන. එහෙම බැලුවම කියවීමේ සංස්කෘතියක් රට ඇතුළේ වැඩි දියුණු කිරීම වෙනුවෙන් අපිට අලුත් හඳුනාගැනීම් අවශ්‍ය යි. බුක් රැක් කියන එක එහෙම සංස්කෘතියක් ඇති කරන්න ගත්ත අලුත් පියවරක් හැටියට යි මම දකින්නේ.

ලේඛක දිලීප ජයකොඩිද බුක් රැක් ගැන කියන්නේ මෙවැනි අදහසක්.

“අද පොතක් එළි දක්වනවා කියන එක විශාල කටයුත්තක්. හෝල් එකක් බුක් කරගන්න ඕනෙ. ඒක පුරවගන්න මිනිස්සු හොයන්න ඕනෙ. නමුත් විදේශ රටවල නම් පොත් කතුවරයා සමඟ රැස්වෙන කණ්ඩායමක් පොතක පරිච්ඡේදයක් කියවීම, අදහස් පළ කිරීම වගේ කටයුතු වලට වෙන්වුණ තැන් තියෙනවා. එහෙම කියවීමේ සංස්කෘතියක් ඒ රටවල තියෙනවා. අන්න ඒ වගේ මෙතන ඉඩක් තියෙන එක ගැන මං අගය කරනවා.

The Reading Cafe By Bookrack

නො 331/1 ඒ 2/1 , නාවල පාර රාජගිරිය.

දුරකතන - 071-111 44 22

වට්සැප් - 076 1074191

වෙබ් -https://readingcafe.lk 

Comments