ජීවිතයේ විඳීම හා කෙටි කතාවක සැබෑව | සිළුමිණ

ජීවිතයේ විඳීම හා කෙටි කතාවක සැබෑව

 

කෘතිය - නිරෝධායන චාරිකාව

කර්තෘ- කපිල කුමාර කාලිංග, සුරස ප්‍රකාශනයකි

දුරකථනය 077 305 1627

 

ශූර කෙටි කතාකරුවෙකු යැයි කියන්නේ ඉතා සුළු සිදුවීමක් වුවත් අවසානය දක්වාම නොසන්සිදෙන කුතුහලයක් තුළ පාඨකයාව රඳවා ගනිමින් කතාව කියවා අවසන් කරන්නෙකුට ය. ඒ පවත්වා ගැනීම තුළ ඔහු පාඨකයාව යම් දැනුවත් කිරීමක් කරන්නෙ ද යන්න අර තත්වයට සාපේක්ෂව වෙනම කතාවකි. අමෙරිකානු ලේඛක මාක් ට්වේන්ට ඒ ශූර හැකියාව තිබුණි. ඔහුගේ ඇතැම් කතාවක අන්තර්ගතය පාඨකයාගේ මුල් බලාපොරොත්තු සුන් කරන තත්වයන් පවා ඇති කළ ද කතාවේ අවසානය දක්වා ම පාඨකයාව තමන්ගෙන් ගිලිහී යා නොදී තබා ගැනීමේ හැකියාව ඔහුට තිබුණි. පාඨකයා කතාවක් එක හුස්මට කියවා අවසන් කරනු ලබන්නේ කුතහලය වඩවමින් කතාකරුවෙකු නිර්මාණය කරන ඒ ශූර කතා කලාව නිසා ය. කෙසේ වෙතත් කපිලගේ කෙටි කතා විලාසය 70 දශකයේ සිට මේ දක්වා විහිදී ඇති ආකාරය මාක් ට්වේන් වැන්නෙකුගේ ශූර කෞශල්‍යයේ සිට චෙකොෆ්ගේ ස්වභාවවාදී ශෛල්‍යය ද සිහි ගන්වන්නේ මුත් ඉනුත් නොනැවතී අධි යථාර්ථවාදී නිරූපණාත්මක කතා කලාවක් අනුව යන මුරකාමි වැනි නව්‍යවාදීන්ගේ හැදෑරීම් ද සිහි ගන්වතැයි කීම අතිශයෝක්තියක් නොවේ.

කපිල කුමාර කාලිංග කෙටි කතාකරණයට පිවිසෙන්නේ 70 දශකයේ දී නැගී ආ පුවත් පත් මුල් කොට ගත් කෙටි කතා කලාවත් සමග ය. මෙරට තරුණ කලාකරුවන්ගේ නව අත්හදා බැලීම් සම්බන්ධයෙන් දීප්තිමත් කාල වකවානුව වන 70 දශකය නියෝජනය කිරීමට භාග්‍යවන්ත වු කපිල ඒ පසුබිම අදටත් විදාරණය කරන බවට මෙම කෙටි කතා සංග්‍රහය නිදර්ශනයක් වේ.

“නිරෝධායන චාරිකාව” නම් මෙම කෙටි කතා සංග්‍රහය එහි නමට අනුව පසුගිය කාලයේ සිට ම පවත්නා රෝ බිය පාදක කරගත් තවත් එක් ප්‍රකාශනයක් යැයි සිතිය හැකි කෘතියක් වශයෙන් මුල දී කෙනෙකුට සිතුනත් එය කියවා අවසන් කළ තැන දී පාඨකයා අත් විඳින්නේ තමන් දැන හෝ නොදැන කතුවරයාගේ සියලු නිර්මාණාත්මක හසු කර ගැනීම්වලට තමන් අසු වී වෙනස් වී ඇති බවක් ය. ඒ හසුවීම් ද මනා විවිධත්වයකින් යුතු ය. උදාහරනයක් ලෙස “ඔටු දඩයම” නම් කතා වස්තුව මුලින් කී මාක් ට්වේන් නිදර්ශනය සිහිපත් නොකරන්නේ ද? එය කියවා අවසන් වු තැන දී මේ කතුවර තෙමේ මගේ කාලය කා දැමුවේ යැයි කියන්නට සිතෙන අන්දමේ හැඟීමක් යමෙකු නොලැබුවොත් ඒ පාඨකයා කිසිම හැඟීමක් විඳීමක් නැති එකෙකු විය යුතු ය. නමුත් ඒ හැඟීම ඇතිව හෝ නැතිව වුව පාඨකයා, කතුවරයා විසින් කතාව කියා ඇති මෝහනීය විලාසය වෙනුවෙන් ස්තූතිවන්ත නොවුණොත් එය පුදුමයකි.

“ගුවනේදි හමු වු තරුණිය” කියවන්නෙකු මුල දී තමන් වෙනුවෙන් අත් කරගන්නා ආහ්ලාදය අතරමග දී කඩා වැටෙන විට නිසැකවම තමාව එසේ ඇද වැට්ටවීම ගැන කතුවරයාට සාප කිරීමට වුව ඉඩ තිබේ. ඒ අනිකක් නිසා නොව තමන්ව සුව නින්දකින් අවදි කිරීම හේතුවෙනි.

ඒ සුව නින්දේ අයිතිය ඒ වන විටත් පාඨකයා තමන්ට ම පවරා ගෙන අවසන් ය. 80 දශකයේ දි ඔහු විසින් ලියන ලද “චිත්‍ර ශිල්පියා දුටු විකාර සිහිනය” හි එන ආකාරයේ ඇතැම් විට ඊටත් වඩා සාහසික ඒ විකාරරූපී නිරූපණය ඉවසා ගන්නට පාඨකයා සුදානම් නැත. මන්ද තමන් මුලින් ලද ආහ්ලාදය ඒ තරමට ම සුවදායක වු හෙයිනි. කෙසේ වෙතත් කතාව අවසන් වන්නේ ජීවිතය ඔබ සිතන තරම් සිහිනමය සුන්දරත්වයක් නොවේය යන ප්‍රත්‍යක්ෂය සමඟ ය. එහෙත් අවබෝධය යනු සුන්දරත්වය පෙරලා නිර්මාණය කරන්නක්ය යන්න ද ඒත් සමඟම අවධාරනය කෙරෙයි. කතුවරයාගේ සුනම්‍ය බස් වහර එය මැනවින් ඉටු කරයි.

“නිරෝධායන චාරිකාව” යන කතා වස්තුව ද කලින් කී ඔටු දඩයමට දෙවැනි නොවේ. කිසිසේත් ම බලාපොරොත්තු නොවන අන්දමේ චාරිකාවක් තුළ බොහෝ කාලයක් පාඨකයාව රඳවා එසේ නැත්නම් අත් අඩංගුවේ තබාගෙන සිටි කතුවරයා අවසානයේ දි පවසන්නේ ඔබ ගත කරන මේ ඔබේ ම වන ජීවිතය ඔබට කොතරම් පහසුවක් ද යන්න යි ඒ තුළ බොහෝ විට ඔබ නොසිතන තරමේ සුරක්ෂිතතාවක් ඇද්ද යන්න යි. එය කොතරම් උණුසුම් රැකවරණයක් සපයා දෙන්නේ ද යන්නත් එහි ම එන ධ්වනිතාර්ථයකි.

මෙහි එන තවත් වෙසෙස් අත්දැකීමක් බවට “කාමරය” පත් වෙයි. අපට අපේ ජීවිතයේ දී සිදුු වන විශාලම මග හැරීම වන්නේ අපේ ම තරුණ විය යැයි සිතමි. එහෙත් ග්‍රීසියේ විසු “මයිලො” සිය තරුණ විය ගැන සිහි කරමින් හඬා වැටීම වැනි අමන තැනකට අපි යා යුතු නොවෙමු. එහෙත් බොහෝ විට මැදිවිය පසු කරන මිනිසුන් ඒ නිසා පත්වන ඊර්ෂ‍යාකාරී මෙන් ම සංවේගදායි තත්ව විවිධ හැසිරීම් ඔස්සේ ප්‍රකාශයට පත් කරයි. කතාවේ එන කාමරය යනු එවැනි තැනකි. එය මුල් කොටගෙන අර වියපත් මිනිසා හා ගැහැනිය තුළ වෙන වෙන ම නිර්මාණය වන විකාර හැසිරීම් ඒ වේදනාකාරි ඊර්ෂ්‍යාකාර පරවශ හුදෙකලාවෙන් ම විනා අන් යමකින් උපදී දැයි සිතා බැලීම වටී.

“දුෂ්කර පළාතට ආ ගුරුතුමී” නිතැතින් ම මෙරට පාඨකයෙකුට සිහි ගන්වනු ඇත්තේ 80 දශකයේ පාසැල් සමය මෙන්ම විශ්ව විද්‍යාලයිය තරුණ වියක් කිසිදු සාධනීය අරුතකින් තොරව මුළුමනින්ම ඝාතනය වු වැදගැම්මකට නැති විප්ලවවාදී සහ රජය මුල් කොටගත් භීෂණය යි. එහෙත් මේ ගුරුතුමිය එකී නටබුන් වු සංහාර මතකයක් මැදින් ඔබව ගෙන යන්නේ ඔබට ඔබ වෙනුවෙන් ම වුව පරිකල්පනය කරගත හැකි වෙනස් ම මානයකට ය. එය මෙසේ ද විස්තර කළ හැක. කතුවරයා සිය අත්දැකීම් පරිකල්පනය මත පිහිටා යමක් කිය යි. ඔබ එය ඔබේ අත්දැකීමෙන් හා පරිකල්පනයෙන් ගෙන ඒ ගැන යමක් සිත යි. එවැනි විසංවාදී වුත්, ප්‍රතිඵලදායි වූත් සම්බන්ධයක් ඒ අලුත් ගුරුතුමිය ඔබ හමුවේ ගොඩනඟයි.

පොදුවේ ගත් කල කපිල කුමාර කාලිංග යනු ශූර කෙටි කතාකරුවෙකි. ඔහු විසින් ජීවිතයේ නාමයෙන් ගොඩනඟන අරූපාවචර වුත්, නිර්මාණශීලි විරූපාකාර වුත් හැඩතල ඔහු පුවත් පත් ඇසුරේ කෙටි කතා ලියු කාලයේ සිට ම ගොඩනැඟුවකි. එසේ ගත් කල ඒ සියල්ල ඔහුගේ ජීවමය ප්‍රකාශයන් ය. මකුළුවෙක් දැළක් වියන්නේ උගේ ම ගොදුරු ලොබ වෙනුවෙනි. එහෙත් හිමිදිරි පාන්දර සිට මැදියම් රැය ගෙවෙන තෙක් පැවත යළිත් උදෑසන දක්වා දකින ඒ අපුරු මකුළු වියමන සොබා දහමින් උපන් රසිකයෙකු තුළ ඇති කරන හැඟීම්, මෙන් ම ඔහු හෝ ඇය තුළ අවදිවන පරිකල්පනය ඔබට හිමි දෙයකි.

එය අර දැළ වියු මකුළුවාගේ ගොදුරු ලොබ සමඟ සසඳන්නට යෑම නොකළ යුත්තකි. ලොව සෑම දක්ෂ නිර්මාණ ශිල්පීයෙකු ම දක්ෂ නිර්මාණකරුවකු බවට පත් වන්නේ ඔවුන් තුළ පවත්නා ගොදුරු ලොබ තරමටම ය. ඒ නිසා ම ඔව්හු සොඳුරු ආඥාදායකයෝ වෙති. එසේ නැතියවුන් කරන්නේ සාහිත්‍යයේ නාමයෙන් නිකරුණේ වචන නාස්ති කිරීමකි. කොළ මිටියක් හා පෑනක් තිබු පමණින් නිර්මාණශීලි ලේඛකයෙකු බිහි නොවේ යැයි ප්‍රකට කියමනක් තිබේ.

Comments