කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

ඔබ එනවා නම්

සිනා පොදක් දෙතො­ලට ළං කර­නට
බලා හිඳිමි ඔබ දකින සිතින්
වලා පෙළක් අහසේ පාවී යයි
තනි තරු­වට ඔච්චම් කර­මින්...

ගලා බසින ගංදිය පෙණ අතරේ
නෙත මඟ නැවතී බලා හිඳී‍
­පෙණ බුබු­ළක් සේ ඔබ එනවා න‍ම්
­දෝ­තට ගෙන සිර­කර ගන්නම්...

තුරු­පත් අතරේ ඔබ සැඟවී නම්
තුරු පාමුල මං තනි වෙන්නම්
කොයි මොහො­තක හෝ
ඔබ බැස එන­තුරු
නෙත නොපියා තනි­වම ඉන්නම්...

• කුමාරි රණ­සිංහ

 


නික්මීම

වාත­ලය දෙද­රවා
හඬ නඟන රළු කියත
කප කපා දමයි දර
එක දිගට ස‍ීරු­වට
ලී කුඩු ද ඉන් විදෙන
විසිර යයි එක රැලට
සුවඳ කර හාත්පස
හමන සුළ­ඟට මුසුව...

කාසි සරි කර­ගන්න
පැමිණ ඇති කොලු­වෙ­කුද
මිනි­හෙ­කුගෙ වැඩ කරයි
ළපටි සියු­මැලි ගතින
සෝයු­රිය පැමිණ එහි
මතක් කර දෙයි සැමට
සැදෑ කල අහර කිස...

සුදා ගිනි දැනුණු කොලු
වීද කල­බල එයට
පපු කැනති කිසිත් නැති
රකුසු වෙස් ගත් මැසිම
තමා­ටත් ඒ වගක්
පසක් වී ගිය ලෙසින
ගනී තම බොජුන ලෙස
ඒ පුංචි සිඟිති අත
නොසි­ද­ලනු මැන කියා
යදී ඔහු සෝයු­රිය
වෙදැ­දු­රන් පැමිණි කල
දිවි රකින තම සුරත...

වේදනා නසන ඔසු
දිවේ විනි­විද සිරුර
මදින් මඳ අඩු වෙමින්
නැව­තුණා හද ගැස්ම
අත මතු ද පණ නළ ද
අහිමි විය නොපැතූ ලෙස...

හැරේ යළි සියලු දෙන
තමා කළ කාරි­යට
අනේ මක් කොර­න්නද
සට­න­කින් ජීවි­තය

සුප්‍ර­කට ඇමෙ­රි­කානු කවි­යෙකු වූ රොබට් ෆ්‍රොස්ට් ගේ ‘Out Out’ කාව්‍ය ඇසු­රිනි.
Robert Frost (1874 – 1963)


මොහු සුප්‍ර­කට ඇමෙ­රි­කානු ජාතික කවි­යෙකි. ඔහුගේ නිර්මා­ණ­ව­ලට පාදක වී ඇත්තේ ගොවි­ප­ළ­වල් සහ වැඩ­බිම් පිළි­බඳ සිදු­වීම්ය. වැඩ බිමක කට­යුතු කළ කුඩා දරු­වෙ­කුගේ ඉතා­මත් අනු­වේ­ද­නීය සිදු­වී­මක් මේ පැදි­යට ද තේමාව වී ඇත. නිර්මා­ණ­යක් යනු ආන­න්ද­යෙන් ප්‍රඥාව කරා මෙහෙය වන්නක් බව වරක් ප්‍රකාශ කරන ලද්දේ මේ කවියා විසිනි.

පරි­ව­ර්ත­නය - • චන්ද්‍රා රෝහිණි කැටි­පෙ­ආ­රච්චි

 

 


සත්‍ය

කෙනෙ­කුට වල කපා සැන­හෙන රුදුරු ලොව
අයෙ­කුට රිදුම් දී තව­කෙකු ලබයි සුව
ඉප­දුන කෙනෙකු හට මර­ණය උරුම බව
නොද­නිති මොවුන් නිති රැස්කර ගනියි පව

බොරු වල කපා එය හොඳ­හැටි පයින් වසා
තව­කෙකු වෙර දරයි අනෙ­කෙකු වටන ලෙස
කුරිර වූ හද මඩල පුරවා නොයෙක මුසා
සිල්ගත් ලෙසිනි ඔහු මුව මද­හ­සින් වසා

කකුලේ හැපෙන මිණ කනෙ­කෙකු අහු­ලාද
මිහිරි කොවුල් නද බිහි­රෙකු අස­නේද
මිරි­වැඩි රනින් වුව කොරෙ­කුට වටි­නේද
පස්පව් පිරුණු හිත­කට බණ වැට­හේද

මරුවා අඬ ගසන මොහො­ත­කදී පැමිණ
කල කී සියලු දෙය මත­කෙට එයි සැණින
තිබු­ණත් අතී­තෙක නට­බුන් හද දවන
කිව හැකි වේද මොහො­තක් නව­තින ලෙසින

• කල්‍යාණි විද්‍යා­රත්න
 

 

ඒ වස­න්තය ද...

පිනි වැටෙන තුරු
හිමි­දි­රි­යක
හැඟුම් වෛව­ර්ණ­යෙන්
මල් යායක සිරි මවා
පෙර මතක දලු ලා වැඩුන
තැනක සිත සත­පවා…

තරු කැට නිදි නැති
රාත්‍රි­යක අඳුර බිඳ දමා
ඔය ඇස් මැවූ සිනා පොකුරු
ඍතු­වක් නිර්මා­ණය කළා...

අව­සර නැතු­වම
මේ දෙනු­වන් ඇහැ­රුණ විට
කව­දාක හැබැ­හින්
සොයා ඒවිදෝ…

ප්‍රශ්නා­ර්ථ­යක ඉතිරි කරවා
ඒ වස­න්තය ද...
හීන­ය­කදී විත­රක්
ඇවි­දන් යන්නට
ඇවිත් මට පෙන්වූ...

• ශාමිනී නටාෂා

 

 

ප්‍රථම පෙම...

සැබෑ­වට ම
හඳු­නා­ගත නොහැකි වූ
එක වරම
දිලිසී දැවී අළු වී ගිය
ආකාශ වස්තු­වකි
සද­හ­ටම...

• නයන්ත ජගත් පුංචි­හේවා

 

පිච්ච මල් සුවඳ

පිච්ච මල් වල සුවඳ අකැ­පළු
නුඹගෙ හිස පල­දන නිසා
තල්වැටේ ගිණි­ගත්තු රතු එළි
නිවෙන දින­යක් නැති නිසා
කපුරු පිච්චෙන කෝවිලේ අපේ
නෙතු හමු­වුණ නිසා
දැනෙන්නේ මේ තරම් හුරු­කම
සසර හමුවී ඇති නිසා....

නළල් තලයේ නුඹගෙ තිල­කය
තල්වැටේ උරු­මය වෙලා
වෙඩි හඬින් ගැස්සෙනා සිතගේ
පෙම් හැඟුම් යයි සැඟ­විලා
නෙතින් දොමළු වෙලා මත­කයි
අපේ සිත් අපි හැඳි­නුවා
තල්වැටේ ගිණි­ගත්ත
රතු­එළි නිවෙන දින දැන්
ළංවෙලා....

සින්දු­ කි­යනා නොතේ­රෙන බස
පෙමට නැහැ පර­හක් වෙලා
වරෙන් පැන­ගෙන තල් වැටෙන්
මගේ ළඟ­ටම ළංවෙලා
තනමු අලු­තින් නැවුම් පැතු­මක්
දෙසින් අපගේ එක් වෙලා
ලොවේ ගැර­හුම් අපට පල නැහැ
සිහින අපෙ ඇත ඉටු­වෙලා....

• පුෂ්ප­කු­මාර ආරි­ය­රත්න
 

 


සැන­සිල්ල

සඳ නිදි කරයි එල්ලී හිඳ අඹ අත්තේ
උල­මෙකු හඬ නඟයි ගම වෙල ඉස්මත්තේ
මැදි­යම් රැය ගෙවෙයි නෙත නැහැ නිදි ගත්තේ
නුඹ ළඟ නොවෙද මගෙ සිත සැත­පිය යුත්තේ

නුඹෙ දිග සුසුම් යහනේ නොඇ­සෙන රෑට
හිත ගතු කියයි තනි­කම නොදෙ­වෙනි ඊට
තනි කර ගෙදර තනි­යම දුර ආවාට
මම මට මිසක වෙන දොසු කිය­මිද කාට

මිදු­ලක පන්ස­ලක වෙල් එළි­යක පිපුණු
නෙළු­මක පොට්ටු­වක මල් කෙමි­යක හැපුණු
සුළ­ඟක මද­න­ලක මල් සුව­ඳක එතුනු
නුඹ ගැන මතක නොමැ­කෙන සුන්දර ලකුණු

වැව් තාවුල්ල දිය මංකඩ ගං ඉවුරේ
වෙල් ඉප­නැල්ල, බෝ මළුවේ මද අඳුරේ
ගිනි­යම් වැල්ල හෝ දිය මිදෙනා කතරේ
ඇත සැන­සිල්ල නුඹ සිටිනා විට නුදුරේ

• හේමන්ත ස්වර්ණ­ති­ලක

 

 

වියොව

තැනුව මන්දිර හොරු අරන්
සය­නයේ කොණ ගිනි අරන්
සිහි­වනා සඳ දෙද­රු­වන්
සිපිමී දුර කත­නය අරන්

වටේ නොසි­ටින මුණු­පු­රන්
මා මුදයි සසරේ බරෙන්
පටා­චා­ර­වක තැන අරන්
නොවැ­ල­පෙ­න්නෙමි වත් හොරෙන්

මැකී අලෝ­කය තිරෙන්
දිලෙමි ඔබ පෙව් සිප් කිරෙන්
සැන­හෙන්න ඔය මුදු සරෙන්
අම­තන්න හිඳිනා පුරෙන්

කිසිත් යන්නට නැති අරන්
සැන­සු­මක් ලොව නැති තරං
ඇවිත් පිටමං වූ දොරෙන්
ගන්න මං කාටත් හොරෙන්

නික්මු­නත් මේ ගිහි ගෙයින්
කර ලතත් පණ නල අයින්
පලක් වෙද සැප­තක් එයින්
අයෙත් ඔබ නොලැ­බෙන හෙයින්

• පුෂ්ප­රාණි සිරි­ව­ර්ධන

 

ඩීප්‍රෙ­ෂන් නග­රය

මේ ඩීප්‍රෙ­ෂන් නග­රයේ
සෙනි­ට­යි­සර් සුව­ඳින් පිරි
ඇස් දිලෙන මුව වැසුණු
කල­බ­ල­ඟනෝ හැසිරේ...
නුඹ නෑනෙ
සොඳු­රියේ...

දුම් නඟින දුම්රියේ.
නළා නද බස් රියේ
මීටරේ මීටර් නැති
ට්‍රැෆික් පොලිස් - හදිසි මැෂින්
මුව වසා පොදි කකා...

බම­වයි මා
කල­ඹයි මා
අඹ­රයි මා...

සළා­වැ­ටු­මක් සේ
මාරි­යා­වක් සේ
එක­වර ම උස්සා
බිම ගසයි...
රිදුම් පිරි­ම­දි­මින් යළිත්
අව­දි­වෙමි වීදියේ...

මතු­වන තෙක් නුඹ
කල­බ­ල­ඟ­නන් අත­රින්...

ලී බංකු රත් කරන්
බස් පොළේ සිටි­පි­යෙන්
මිදො­රියේ වරු ගණන්
උද්‍යානෙ මඟ බලන්
මං හිටියෙ ඇඳි­රියේ
නුඹ නෑනෙ
සොඳු­රියේ...

• කේ. ඩී. දර්ශන

 

 

සී ටී

පනහ දශ­කයේ ගීතයේ කොවු­ලාන
රසික පිරිස වස­ඟෙට ගත් කිඳු­රාන
කලා පර­පුරේ හද බැඳි සොඳු­රාන
අද­ටත් ඔබ තමයි පොප් ගී රජි­ඳාන

යුග කීප­යක් ළංවී ඇති ඔබගේ නමින්
පෙළ­හර පෑවා මත­කයි මියුරු හඬින්
ආදේ­ශ­යක් නැත තබ­නට ඔබගේ ළඟින්
ඒ හිඩැ­සත් ඔබ යන­විට අරන් ගිහින්

ගාය­යෙකු ලෙසින් ඔබ ලද පන්න­රයේ
වෙන­සකි ඇති කළේ ජනතා චින්ත­නයේ
ගීතය කලා­වට දිරි­දුන් ගෞර­වයේ
පැති­රෙයි යසස සී ටී නම දිග­න්තයේ!

• උපාලි රන්ජිත් රණ­සිංහ

 

 

ඔබ යළි එන­වද

රිද­වන වැළ­පෙන
ළය මට වෙහෙ­සයි
නිමක් නොමැති
ගම­නට පා එස­වෙයි...

හිරු මල මිලි­නවූ
එළ­ඹෙන සව­සක
ඉස්සර මෙන් යළි
එන­වද බලන්න...

පුරුදු තැනට නොව
පාළු සුසා­නෙට
අව­සන් වර­ට­ත්‍
­ඔබ දැක ගන්නට...

• ශ්‍රීමතී කුමාරි ජය­කොඩි

 

 


දොඩ­ම­ලුව

මන්දා­රම් අහ­ස­කට
ලස්ස­නයි පෑයු­වම දේදුන්න
සිතිජ මායිමේ කොනක
එබි බල­නවා වාගෙයි ඇය...

කළු කරං අහ­සම
බර­වෙච්ච වලා­කුළු කැටිය
තර­හෙන් බුම්ම­ගෙන
ලොකු ඇස් දෙකෙන් හිනා­වෙන
ඈ වගේ­මයි අද හරි­ය­ටම නුඹ....

කහට වැඩි තේ එකක් එක්ක
ලී බංකුව උඩ
හිටි­යැකි පැය ගානක්ම
දුක් බර හින්දි තනු­ව­කට
හැකි වේවි හිතම අවු­ස්සන්න...

"අහස" නුඹට හැකී අද
මා එක්ක දොඩ­මලු වෙන්න
නුඹට මත­කද ඇයව
මට හමු­වෙච්ච මුල් දිනය...

• ප්‍රදීප්. එන්. අතු­කෝ­රල

 

 

ආද­රයේ කනි­ණි­කාව ඔබ

සුදුම සුදු ඇසක
කළු ඉංගි­රි­යාව ඔබ
එහෙට මෙහෙට කැර­කෙන
බලා­පො­රො­ත්තුව දල්වන....

නොඉ­ඳුල් හද ගැබක
ලැගුම් ගත්තේ ඔබ
ටිකෙන් ටික මෝරන
ප්‍රේම­යක රාග­යක මල් පූදන....

නෙතක් ඇතුළේ රහ­සක
ලවණ පිරුණු කඳු­ළක
නිමැ­වුම් කාරිය ඔබ
විර­හ­වක පාළු­වක තනි කරන..

• හිල්මි සුපුන්

 

 

වැල­පුම

සිතු­නත් හැඩි දැඩි සිරු­රට ආලය
ඇයිද නුඹ එක සිතින් නොසි­ටියෙ
නුඹට මම දුන් ආලෙ මදි­දැයි
කඩුව වැදි රජ අතට දුන්නේ

නුඹේ තතු මට හොඳින් දැණු­නද
සිතුවෙ නෑ සිත දෙතැ­නක කියා
ළෙන්ගතු කම මට නොති­බු­ණා­නම්
මන්ද ආවේ පෙර­ම­ඟට නොකියා

සියලු විශ්වා­ස­යන් තැබුවේ
නුඹ මගේ බිරි­යයි සිතා
එහෙත් සිදු වුණෙ බලා ඉන්නට
නුඹේ හද­වත කළු නිසා

සොඳුර නුඹ­ටම දොස්න­ඟයි හැම
කඩුව දුන්නේ මන්ද කියලා
කමක් නෑ මම බලා ඉන්නම්
වැදි රජුන් දැන් නුඹෙ නිසා

• නිසං­සලා ගුණ­ව­ර්ධන

 

 

නුඹ

අද එතැයි
හෙට එතැයි කියා
නිත­රම සිතන

ඒ බලා­පො­රො­ත්තු­වම ඇති
කොරෝනා තෝන්තුව
විඳ­ව­මින්
මේ යුගය ගත කරන්න

• ජගත් දම්ප­හල

 


වීත­රාගී ප්‍රේමය
(Platonic Love)
සංසාරේ දිගට ඇවිත්
විඥා­නය දිලි­සෙන විට
විහිදී යන යහ හැඟීම
'වීත­රාගි පෙම' වේමය....

කිසිදු බැඳී­ම­කට නොයන
සංවර වූ තුන්දොර ළඟ
වෙළී ලෙලෙන සීත සුළඟ
'වීත­රාගි පෙම' වේමය ...

සක්වල කෙළ­වර සිටිය ද
ළඟ හිඳිනා බවම දැනෙන
තනි නොක­රන රැක­ව­ර­ණය
'වීත­රාගි පෙම' වේමය ....

සප්ත­ස්වර අතර රඳන
නිහඬ බවේ සංධ­ව­නියේ
ආධ්‍යා­ත්මික රිද්මය
'වීත­රාගි පෙම' වේමය .....

හමු­වන තෙක් ගමනේ ඉම
මේ විශ්වයෙ අංශු අතර
දිදු­ලන රන් ආලෝ­කය
'වීත­රාගි පෙම' වේමය ...

• චම්පානී දේවිකා දේව­රාජ

 

ඔබේ කවි නිර්මාණ
පහත ලිපිනයට එවන්න
කවි සිළුමිණ,
ලේක්හවුස්, කොළඹ 10.
විද්යුත් තැපෑල - [email protected]

Comments