පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ ජේත්තුකාරයා කිං ඛාන් ශ්‍රී ලංකාවට එරෙහි ලාහෝර් ප්‍රහාරයේ මහ මොළකරුත් ඔහුයි | සිළුමිණ

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ ජේත්තුකාරයා කිං ඛාන් ශ්‍රී ලංකාවට එරෙහි ලාහෝර් ප්‍රහාරයේ මහ මොළකරුත් ඔහුයි

 

ඔහු සැලකුණේ ජේත්තුකාර කුමාරයකු ලෙසය. කාන්තාවන් අතර ඔහුට තිබූ පිළිගැනීම එවැන්නකි. හේ පසුගියදා රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය. මේ අදේශපාලනික සටහන තැබෙන්නේ ඔහු හා බැඳී පවතින 'සදාකාලික අමරණීය කුමාර මතකයන්' කීපයක් සම්බන්ධයෙනි.

ඔහු දැන් ජීවිතයේ මැදියම පසුකර පශ්චිම යාමයට සපැමිණ ඇත. එහෙත් පෙරයම මෙන්ම දිවියේ මැදියමේ මුල් යුගය ගත කළේ කුමාර ලීලාවෙනි. ඊට බොහෝවිට ඉවහල් වූයේ ඔහු සතුව පැවැති ආර්ය වංශික උත්තුංග පෙණුමයැයි ද සිතිය හැකිය.

එකී පෙනුම උපයෝගී කරගනිමින් ඔහු කුමාර ජීවිතයක් ගත කළේය. එය කුමාර ජීවිතයකැයි කියන්නේ එකී ජීවිතයට බොහෝ සුඛ විහරණ

එක්කර ගැනීමට ඔහුට හැකි වූ හෙයිනි. සුරූපිනියන්, රාජකීයයන්, දේශපාලන ලෝකයේ හා ව්‍යාපාර ලෝකයේ ධනකුවේරයන්ගේ පෙළපත්වලින් පැවැත ආ සුුකුමාල කාන්තාවන් දෝලනය වූ ජීවිතයක් ලෙස එය දැකගත හැකි හෙයිනි.

එමෙන්ම ආසියානු ක්‍රිකට් අධිරාජ්‍යයේ මහරාජා තෝරන්නේ නම් එකී තනතුරට පළමුවෙන්ම එක්වන්නේ ඔහුගේ නාමය යැයිද කිව හැකිය. ඒ එකල ඔහුගේ හිසට ඉහළින් කපුටකුවත් පියඹා නොයන තරමට ඔහු සවිමත් චරිතයක් වූූ හෙයිනි. ඒ අන් කවරකුවත් නොව පාකිස්තානයේ වත්මන් අග්‍රාමාත්‍ය හා හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ය.

ඉම්රාන් ඛාන්ගේ ක්‍රිකට් දිවිය ගැන කතාකිරීමේදී ඔහු ක්‍රිකට් පිටියට එක් වූයේ හැත්තෑව දශකයේ දීය. එලෙස ජාත්‍යන්තර පිටියට පැමිණි ඔහු එහි දශක දෙකකට ආසන්න කාලයක් ගතකළේය. ඒ කාල සීමාව තුළ තම කණ්ඩායම ලෝක ක්‍රිකට් පිටියේ ඉහළින් ඔසවා තැබීමට ද ඔහුට හැකියාව ලැබිණි.

එහෙයින් එකල ලෝක ක්‍රිකට් සිතියමේ පහළ ස්ථානයකට ශ්‍රේණිගතව සිටි පාකිස්තානය එහි ඉහළට ඔසවා තැබීමේ වැඩි ගෞරව හිමිවන්නේ ද ඔහුටය. ආකර්ශනීය පෞරුෂය, සටන්කාමී නායකත්වය ඔහු ප්‍රකට කළ අතර ජාත්‍යන්තර පිටියේ ටෙස්ට් තරග 88 ක් වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ඔහු එහිදී කඩුලු 362 ක් දවාගෙන ඇතිබව දැකගත හැකිය. එක්දින තරග 17 ක් තුළ කඩුලු 182 ක් දවාගත් ඉම්රාන් ඛාන් පිතිකරුවකු වශයෙන් රැස්කර ඇති සමස්ත ලකුණු ප්‍රමාණය ලකුණු 3709 කි. එය ටෙස්ට් තරගවලදී නම් 3807 කි.

නිවැරදිවම කියන්නේ නම් ඉම්රාන් ඛාන් 1969 වසරේ සිට 1992 වසර දක්වා කාලය තුළ එරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ. එක්තරා ආකාරයකට ඉම්රාන් ඛාන් යනු කලක් දේශපාලන පිටියේ ප්‍රමුඛ චරිතයක් වූ ලිබියාවේ හිටපු නායක මොහොමඩ් ගඩාෆිට සමානය. කාන්තා ආකර්ශනය ඒ තරමටම හිමිකම් කියූවෙක් ලෙස ද ඉම්රාන් සැලකිය හැකිය.

ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග 382 කට ක්‍රීඩාකර ඇති අතර කඩුලු 1287 ක් මෙන්ම ලකුණු 17771 ක් රැස්කර තිබේ. එහිදී රැස්කර ඇති ශතක සංඛ්‍යාව 30 කි. අර්ධ ශතක 93 ක් ද ඊට අයත්ය.

ඉම්රාන්ගේ ක්‍රිකට් ජීවිතයේ ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය වන්නේ 1992 වසරේ පාකිස්තාන කණ්ඩායමට ලෝක කුසලාන එක්දින ශූරතාව දිනාදීමට තම කණ්ඩායම මෙහෙයවීම ය.

'අපේ කණ්ඩායමට තරග ජයගැනීමට විශාල හැඟීමක් තිබුණා. අපි කණ්ඩායම එක පුද්ගලයෙක් වගේ ක්‍රීඩා කළේ. පරාජය වෙන්න ගිය තරග අපිට පුලුවන් වුණා ජයග්‍රහණයට පෙරළා ගන්න.

මම මගේ කාර්යය ඉටුකළා. දැන් වාරය තරුණ ක්‍රීඩකයන්ගෙයි' යැයි පැවසූ ඉම්රාන් ඛාන් එදා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙන් සමුගත්තේය.

ඉන් අනතුරුව 1996 වසරේදී ඔහු පාකිස්තාන ජනතාව හමුවට පැමිණෙමින් දැන් තමන්ට අවශ්‍ය ජනතාවට සේවය කිරීම බව ප්‍රකාශ කළේ දේශපාලනයට එක්වීමට තැත්කරන බවක් පෙන්වමිනි. එසේ පවසමින් ඔහු 'යුක්තිය උදෙසා ජනතා ව්‍යාපාරය' නමැති දේශපාලන පක්ෂය පිහිටුවා ගනිමින් වසර 22 ක අරගලයකින් පසුව 2018 පාකිස්තාන මහා මැතිවරණයෙන් ජය ලබා එරට අග්‍රාමාත්‍යවරයා බවට ද පත්විය. පසුගියදා

ශ්‍රී ලංකාවේ සංචාරය කළේ එම අගමැති ඉම්රාන් ඛාන් ය.

ඉම්රාන් ක්‍රිකට් පිටිය තුළ පෙන්වූ නායකත්වය හේතුවෙන් ඔහු ප්‍රකටව සිටියේ කිංග් ඛාන් යනුවෙනි. එදා ඔහු කිං ඛාන් යැයි හැඳින්වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයා අවසානයේ ඔහු තම රටේ නායකයා බවටද පසුකාලීනව පත්කරගැනීම එක අතකින් සුවිශේෂයැයි කිවහැකිය.

ඔහු පාකිස්තානය වෙනුවෙන් සිදුකරන ලද සේවාව වෙනුවෙන් ජනාධිපති සියා උල්හක් විසින් රාජ්‍ය පදක්කමක් පිරිනැමූ අතර එය ඔහුට සිය දේශයෙන් ලබාදුන් සුවිශේෂී ගෞරවයක් සේ සැලකෙයි. මේ අතර ඔහු වඩාත් ගැළපෙන්නේ ක්‍රිකට් පිටියට නොව රිදී තිරයට බව ද පැවසූ ලොව පුරා තරුණියන් එමට වූහ. ඊට හේතුවන්නට ඇත්තේ ඔහුගේ කඩවසම් භාවය, ප්‍රසන්නත්වය හා පෞරුෂය වන්නට ඇත.

ඔක්ස්ෆර්ඩ් උපාධිධරයා

ඔහු ලාහෝර් හි පාසල් අධ්‍යාපනය ලබා එංගලන්තයට ගොස් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දර්ශනවාදය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් දිනාගත්තේය. ඒ කාල සීමාව තුළ එම විශ්විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් ඔහු සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කළේය.

ඉම්රාන් ඒ සඳහා එංගලන්තයේ රැඳී සිටි කාලය තුළ 'මහල් නිවාස සෙවණ' නම් ස්ථානයේ වූ නිවසක් කුලියට ගෙන ජීවත් වූ අතර එය කලාගාරයක් බඳුවූයේ යැයි පැවසිණි. විදග්ධ චිත්‍ර, ක්‍රිකට් ක්‍රීඩක ඡායාරූප, ඉන්දියානු සායම් සිතුවම්, සමරු තිළිණ හා කුසලාන, වටිනා පොත්පත්, තමා ගැන තොරතුරු පළවූ පුවත්පත් හා සඟරා එහි තබා තිබුණේ යැයි ද ප්‍රකාශ විය.

පාකිස්තානයට අංග සම්පූර්ණ පිළිකා රෝහලක් ඉදිකරදීමට ද ඔහු කලක් වෙහෙස වූයේ විශාල වශයෙන් මුදල් එකතු කරමිනි. සිය කැපවීම හා බොහෝ දෙනෙක්ගේ ධන පරිත්‍යාග සහිතව ඔහු එම ඉලක්කය සම්පූර්ණ කළේ 1994 වසරේදීය. එය ඔහු සිදුකළේ පිළිකා රෝගය වැළඳීම හේතුවෙන් තම මව මියගිය හේතුවෙන් බව කියැවෙයි.

එම රෝහල විවෘත කිරීමට ආ පිරිස අතර ඔහු විවාහ කරගත් ධනවත් එංගලන්ත ජාතික කාන්තාවක් වන ජෙමීමා ගෝල්ඩ්ස්මිත් වූ අතර ඩයනා කුමරිය ද විණි. කෙසේ නමුත් එය ඔහුට එතරම් විශාල සංසිද්ධියක් නොවුණේ ඉම්රාන් ඛාන් යනු කෙළිලොල් ජීවිතයක් ගෙවා දමා ඇති කුමාර ජීවිතයකට උරුම්කම් කීවකු වන හෙයිනි. පසුකලෙක ඔහු දේශපාලනික වශයෙන් මුහුකුරා ගිය චරිතයක් බවට පෙරැළී තිබීම විශේෂිතය.

මුල්ම ශ්‍රී ලංකා ගමන

මෙවර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවට ප්‍රථම වාර කීපයක් ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති ඉම්රාන් පළමු වරට මෙහි ආයේ 1976 වසරේදීය. ඒ ඉන්ටිකාබ් අලාම්ගේ නායකත්වය යටතේ මෙහි ආ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වශයෙනි. ඉන් අනතුරුව 1986 සහ 1992 වසරවල ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගවලදී කණ්ඩායම මෙහෙයවනු ලැබිණි. 1982 වසරේ ලාහෝර්හි පැවැති ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 116කට කඩුලු 14ක් (8/58 සහ 6/58 වශයෙන්) දවාලීම අමතක නොවන දස්කමකි. එය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී එල්ලවූ දරුණුම ප්‍රහාරය යැයි නම්කිරීමට වුව ද අපහසු නැත.

ක්‍රිස්ටෝපර් රණසිංහ

Comments