පඬුරු පාක්කුඩම් වෙනුවෙන් ඇතුන් සමඟ ඇත්ගොව්වෝත් සටනට | සිළුමිණ

පඬුරු පාක්කුඩම් වෙනුවෙන් ඇතුන් සමඟ ඇත්ගොව්වෝත් සටනට

 

‘ප්‍රිමියර් ලීග් ඇත්පොර ගැන අපි පසුගිය සතියේ කතා කළා. ඇත් පොර බලා තුටු පහටු වෙන එක රජ, මැති, ඇමැති පමණක් නොවෙයි එකල රජු යටතේ සිටි යටත්වැසියන් වූ රටවැසියන්ද මහත් අභිමානයෙන් සිදුකරන ලද්දක්. එමගින් ඇතිකරන්නට උත්සාහ කළේ නිර්භීත භාවය, ධෛර්යය, නොපසුබට වීර්ය වගේම සටනට සුදුසු ඇත් පංතීන් තෝරාගැනීම වන්නට පිළිවන්. මේ එහි තවත් අදියරක්.’

‘තනිව ඇත්තු පොරට යවන එක අසාධාරණයැයි සිතූ ඇතැම් නිර්භීත ඇත් ගොව්වෝ ඇත් සටන් වලට සෘජුව මැදිහත් වෙලා තිබෙනවා කියලා ඔබ දන්නව ද? එහෙම සෘජුව සම්බන්ධ වූ අවස්ථාවන් ඉතිහාසය පුරා සොයාගන්න පිළිවන්. අද ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ශූරතාවලට යන ක්‍රීඩකයෝ, එහෙමත් නැත්නම් සටන් කරුවෝ, බොක්සිං ක්‍රීඩකයෝ එහෙමත් නැත්නම් ග්ලැඩියේටර්වරුන් ආකාරයට ඇත්ගොව්වෝ ඇතුන් පිට නැගී සටනට ඉදිරිපත් වෙලා තිබෙනවා.

මේ වගේ වෙලාවේදී තමන්ගේ පිළිමල් ඇතා පිට ඉන්න ඇත්ගොව්වා මරා දමන්න සිතාගෙන ප්‍රතිවාදී ඇතා සටන් කරලා තිබෙන්නේ මාරාවේශයෙනුයි. ඒත් මේ විධිහට සටන් කරද්දී තමන්ගේ හැකියාව රජුට පෙන්වන්න පිළිවන් වන නිසා ඇත් ගොව්වෝ ජීවිතය පරදුවට තියලා ඇත් සටන් වලට එක්වෙලා තිබෙනවා. හැබැයි රජුත් මේවගේ ඇත්ගොව්වන්ට හා ඔවුන්ගේ පවුලේ උදවියට උපකාර කරන්න පසුබටවී නෑ.

ගලින් කොටු කරපු තැනක එහෙමත් නැත්නම් ගල් ඉදිකඩයක තමයි ඇත්පොර පැවැත්විලා තිබෙන්නේ. ඒ පොර රජු නරඹලා තිබෙන්නේ ගල් ඉදිකඩයට ඉහළින් තනපු මන්දිරයක් හිඳිමිනුයි. බක්මහේ පැවැත්වෙන අලුත් අවුරුදු මංගල්‍යයේ ඇත් පොර පවත්වා තිබෙනවා.

ඌවයි, සබරගමුවයි ප්‍රදේශවලින් පල්ලේගම්පහ කුරුවේ අය නියමිත සටන් වලට සති කීපයකට කලින් ඉඳලා හීලෑ ඇතුන් සහය කරගෙන වල් අලි රංචු එලවන්න පටන් ගන්නවා. උඩගම්පහ කෙත්ගල්ලේ කුරුවේ අය තවත් වල් අලි රංචුවක් එළවනවා. අලුත් අවුරුද්ද එළඹෙද්දී දෙරංචුවම ඉඳිකඩයා ළංවත්ම ඇත් පොර නැරඹීමට පැමිණෙන් මහ ජනතාව පළමුව ළංවෙන්නේ කුමන අලි රංචුවද දින්නේදැයි කියා ඔට්ටු අල්ලනවා.

වල් අලි එළවද්දී ඌව සහ සබරගමුව පළාතේ ඇත්තන්ට පවතින මහත් බාධාව තමයි කඩුගන්නාවේ කන්ද නැගීමට සිදුවීම. ඇත් රංචුව පළමුව පොර පිටියට ගෙන ඒම වගේම එම රංචුව දිනවීමට කටයුතු කිරීම පිළිබඳ සතුටු වුණු මහනුවර රාජධානියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවෝ එම අයට හැටපස් අමුණු නින්දගමක් තෑගි වශයෙන් ලබාදීලා තිබෙනවා. එ් රජු ලබාදුන් තෑග්ග දැක්වෙන සන්නස මේ වෙද්දීත් මාවනැල්ල ප්‍රදේශයේ හිඟුල, හා ගනේතැන්න ගම්මානවල ජීවත්වන කුරුවේ ගෝත්‍රිකයන්ගේ පවුල් පරම්පරා තුළ තිබෙන බව කියැවෙනවා.

 

 

Comments