හැබෑ දිවියේ රඟනොපෑ හැබෑ නළුවා නික්ම ගිය වගයි | සිළුමිණ

හැබෑ දිවියේ රඟනොපෑ හැබෑ නළුවා නික්ම ගිය වගයි

බලන සෑම ඉසව්වකම තරු බැබළෙන අදවන් යුගයක පවා මහ පොළොව මත සිට සැමට එකසේ දයාව පෑ ඔහුට රසිකයන් අසීමාන්තිකව පෙම් බැන්ඳේ ඒ සරල බවටය.

ජයලාල් රෝහණයන් යනු යළි යළිත් කියැවිය හැකි පුස්තකයක් බඳු චරිතයකි.

 

‘ජයලාල් රෝහණ' යන නම අදින් තෙමසකට පසු අමතක වන නමක් නොවේ. ඊට හේතුව ඔහු මෙරට සුවහසක් 'නළුවන්' අතර මනුස්සකමට වටිනාකමක් එක් කළ චරිතයක් වීම යැයි හැඟේ. බොහෝ දෙනකු ජයලාල්, හැඳිනගන්නේ වේදිකාවේ, පුංචි තිරයේ, ගුවන්විදුලියේ සහ රිදී තිරයේ විවිධ නිර්මාණ හරහා වුවද ඔහු රසිකයන්ගේ හද පතුලේම ඉඩක් වෙන් කරගන්නේ 'මුතුමිණ' හරහාය. ඒ සුසිරන් ද සිල්වාගේ ‘ඉසුරු යෝගය‘ ටෙලි නාට්‍යයේ ඔහු කළ අමරණීය රංගනය සමඟිනි. අදටත් ඔහු වෙනුවෙන් රසික හදවතේ මුතුමිණ බඳු රස මතක ගණන් කළ නොහැකි තරම්ය.

 

ජයලාල් රෝහණ නමැති රංගධරයාට වඩා ජයලාල් රෝහණ නම් මිනිසාට සොඳුරුතම ඉඩක් ක්ෂේත්‍රයේ මෙන්ම රසික පර්ෂදයේද වෙන්ව තිබූ බව නොරහසකි. ඊට හේතුව ඔහු මෙරට මහ පොළොවෙන්ම දූවිල්ලක්ව ඉපිද, මහ පොළොව මතම පය ගසමින් සිටි මිනිසත් බවෙන් පමණක් බැබළුණු චරිතයක් වූ බැවිනි. කියන්නට අකමැති වුණත් ඔහු ඉඳහිට හෝ තම අතීතය පිළිබඳ සිසුන් සහ රසිකයන් සමඟ පිළිසඳරක යෙදුණේ, ඒ ඔස්සේ තවත් අයකු ජීවිතය පිළිබඳ සුබවාදයක් ඇතිකර ගනී යන හැඟුමෙනි. මන්ද යත් සුපිපුණු සොඳුරු සිනා මලක් ලෙසින් ඔහු අප නෙත් මානයේ පෙනී සිටියත් ඔහුගේ අතීතය සැබැවින්ම කර්කෂක, අභියෝගාත්මක සහ තීරණාත්මක ජීවන වෙළුමක් වූ බැවිනි.

පීතෘ සෙනෙහස ඉතා කුඩා අවදියේම දුරස් වූ ජීවිතයක, පවුලේ වැඩිමහල් දරුවා ලෙස තමන්ගේ බාල සොයුරු සොයුරියන්ගේද වගකීම් සහ අනාගතය, ජයලාල්ගේ කර මත පැටවී තිබුණි. බදාම අනමින්, සිමෙන්ති අදිමින් හෝ කුලී වැඩ කොට ඔහු තම සොයුරන්ගේ කුස පිරෙව්වා පමණක් නොව හෙතෙම එවැනි කටුක මාවතක පවා නිරුවත් පයින් ගමන් කොට ජීවිතය ජයගත්තේය. මියෙන තුරුම ඔහු පැවසූ පරිද්දෙන් ඔහු මෙතෙක් පැමිණි ගමනේ පාදම වූයේ නිදහස් අධ්‍යාපනයම පමණකි. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට සහ එහිදී ඔහුට අකුරු අතර ජීවිතය කියා දුන් ගුරුවරුන්ට ඔහු දැක්වූ ගෞරවාදරය ඔහුගේ නෙතු තෙමූ අවස්ථා බොහෝය. සියලු අභියෝග, පීඩා දුක් කම්කටොලු මධ්‍යයේ ඔහු ජීවිතය ජයගනිමින් උසස්පෙළ පරීක්ෂණය සමත්ව පේරාදෙණිය සරසවියට ඇතුළත් විය.

ඔහු රංගනයෙන් පෝෂණය ලබන්නේ වේදිකාවෙනි. ගාමිණී හත්තෙට්ටුවේගම, සයිමන් නවගත්තේගම, සුගතපාල ද සිල්වා, ගුණසේන ගලප්පත්ති වැනි වේදිකාවේ පතාක නම්, රෝහණයන්ගේ මුවඟින් පිටවන වාරයක් පාසා ඔවුන්ගෙන් උකහාගත් දැනුමට, ශිල්පයට කෘතවේදීත්වයක් ඊට අපූරුවට මුසුව තිබුණි.

 

පේරාදෙණිය, කැලණිය සරසවි ජීවිත තුළ ප්‍රාමාණික ශාස්ත්‍ර ගවේෂණයකින් සහ න්‍යායික ඥානයකින් සන්නද්ධ වූ ඔහු, වේදිකාවෙන් ප්‍රායෝගික භාවිතය සහ ශිල්පීය සිද්ධාන්තද උගෙන, මිනිසකු ලෙස සම්පූර්ණ කළ හැකි ඉහළම උපාධිය 'පොදු ප්‍රවාහනය' නම් සරසවියෙන් සම්පූර්ණ කළ බව ඔහු තම සිසු පරපුරට නිතර පැවසීය. ඔහුගේ චරිතාවලිය වේදිකාවේ වුවද, සිනමාවේ වුවද, පුංචි තිරයේ වුවද එකිනෙක හාත්පස වෙනස් පරාස පුරාවට ප්‍රසාරණය වූයේ ඔහු දුම්රියේ, බස් රියේ ගත කළ අධ්‍යනයන කාලවල රුකුලෙනි.

බොහෝ දෙනකු ටෙලිවිෂනයෙන් හෝ සිනමාහලෙන් ඉඳහිට දුටු ජයලාල්ට වඩා ප්‍රතාපවත් රංගකාරිකයකු ලෙස ඔහු සිට ගත්තේ වේදිකාව මතය. නිහාල් සිල්වා, ජේ. එච්. ජයවර්ධන, ග්‍රැන්විල් රුද්‍රිගූ වැනි නළුවන් ප්‍රකට කරමින් පැවැති භූමි ස්පර්ශිත රංග රටාව ජයලාල් රෝහණ න්‍යායිකව උගත් දැනුමෙන් පෝෂිතව විකාශනය කළේය. එයින්ද නොනැවතී විශ්වීය කලා වපසරිය පිළිබඳ බෙහෙවින් උනන්දු වෙමින් නිබඳව ඒ පිළිබඳ තමා උගත් දේ සිසු සිසුවියන් සමඟ නිර්ලෝභීව බෙදා හදා ගත් ඔහු, මෙරට සිටි කළුනික මෙන් දුර්ලභ වූ යාවත්කාලීන කලාකරුවෙකි.

කලා ලොවේ දිදුලන තරු මන්දාකිණියේ කිසි කලෙක පෙනෙන්නට නොවූ ඔහු සැමදා අසුන් ගත්තේ ප්‍රේක්ෂකාගාරයේය. බලන සෑම ඉසව්වකම තරු බැබළෙන අදවන් යුගයක පවා මහ පොළොව මත සිට ගෙන සැමට එක ලෙස දයාව පෑ ජයලාල් රෝහණයන්ට රසිකයන් අසීමාන්තිකව පෙම්බැන්ඳේ ඒ සරල බවටය.

විටෙක ඔහු වේදිකාව වෙනුවෙන් දැක්වූ ප්‍රේමය සහ විෂය වෙනුවෙන් දැක්වූ අවංක බව පුදුම සහගතය. තමන් රඟ දක්වන නාට්‍යයක් වෙනුවෙන් දින ගණනක් පුහුණු වී වෙහෙසෙනවාට අමතරව, නිදි වරමින් දැන්වීම් ඇලවීමටත් නාට්‍ය බඩු බාහිරාදිය පැටවීමටත් අංග රචනය සහ ආලෝකකරණය වැනි දේටත් මෙන්ම ඉවුම්පිහුම් ආදිය සිදු කොට තම සගයන්ට සවියක් වීමට පවා ඔහු තුළ වූ නිහතමානීත්වය සමඟ නූතන හීනමානික රංග රූපකයන්ට හැරෙන්නටවත් නොහැකිය.

නළුවකු සතු විය යුතු ඇතැම් දේ පිළිබඳ විශේෂයෙන්ම ක්ෂේත්‍රීය අවකාශය පිළිබඳ රෝහණයන් සතු දැනුම විශ්මිත වූවකි. වේදිකා ආලෝකකරණය පිළිබඳ 'සබේ විදුලි විලක්කුව' නම් කෘතියක්ද, අංග රචනය පිළිබඳ 'සැබෑ මුහුණේ වෙස් මුහුණු' නම් කෘතියක්ද ඔහු අතින් අනතීත පරම්පරාවන්ට තිළිණ වන්නේ වේදිකාවේ; කලාවේ ඔහු එකතු කළ දැනුම, අත්දැකීම් සහ ඔහු වඩා පුරුදු පුහුණු කළ ආකල්පද පත අට එකට හිඳ අවසනය.

මේනකා ශ්‍රියානි සමඟ කුටුම්භගතව, දුවණියකට සහ පුතකුට පියකු ලෙසින් සෙනෙහස පෑ ඔහු, තමාට භද්‍ර යෞවනයේදීම අහිමි වූ පිය සෙනෙහසින් සුවහසක් සිසු සිසුවියන්ට පියකු ලෙස දයාව පෑවේය. වසර ගණනකට පෙර දුම්රිය අනතුරකට ලක්ව හිසට බරපතළ තුවාල ලැබුවද මරණයට අභියෝග කරමින් නැඟී සිටියේය. සුපුරුදු සිනහවෙන්ම කලාව, රසිකයා සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටියේය. එහෙත් වයස අවුරුදු පනස් හයක තරම් අඩු කලෙකින් ඔහුගේ අවසන් සුසුම් වාතලයට මුසුවීම මහත් අපරාධයක් වන්නේ, හෙට දින ක්ෂේත්‍රයට එක්වන පිරිස් හට මහා රූපණ සරසවියක දොරටු වැසීම යන ඛේදනීය තත්ත්වය නිසාය.

ඔහු යළිත් යළිත් කියැවිය හැකි පුස්තකයක් බඳු චරිතයක් වන්නේ ලද ශිල්ප ඥානය හා සමානවම ඔහු තුළ වූ ආකල්ප සහ දැක්ම ශ්‍රේෂ්ඨ වූ බැවිනි. ඔහුගේ වියෝව 'යථා කාලයේ තථා අයුරින්' සිදු වූවක් නොවුණත්, වයස අවුරුදු පනස් හයකදී මතු පරපුරට පවතින දර්ශනයක් ඉතිරි කර යෑම පිළිබඳ නිතැතින්ම ඔහුට අප කෘතවේදී විය යුතුමය.

Comments