පැය 9ක් රට හෙල්ලූ වි.ජ.මු. | සිළුමිණ

පැය 9ක් රට හෙල්ලූ වි.ජ.මු.

මාත්‍යාංශ ඇතුළු රජයේ බොහෝ ආයතනවලට ලැබෙන දුරකථන ඇමැතුම් වලදී දුරකථන ක්‍රියාකාරු පිළිතුරු දෙන්නේ “ආයුබෝවන්........ අමාත්‍යාංශය” යනුවෙනි. එමෙන්ම වර්තමානයේ බොහෝදෙනා සිය හිතමිතුරන් සමඟ කරන දුරකථන කතාබහ අවසන් වන්නේ ‘බුදු සරණයි’ කියමිනි. මේ සම්ප්‍රදායයන් සමාජයේ භාවිත වන්නට පටන් ගත්තේ අසූව දශකයේදී යයි කීවොත් නිවැරදිය.

මෙම යෙදුම් සමාජයට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ පසුගිය සතියේ දිවි ගමනට සමුදුන් භාෂා විශාරදයකු, උගතකු, විද්වතකු හා හිටපු කථානායකවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාටය.

දසක හතරකට වැඩි කාලයක් මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා කැබිනට් ඇමතිවරයකු ලෙස විවිධ ඇමැති තනතුරු දරමින් ද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හා කථානායක වශයෙන් ද කටයුතු කොට ඇති ලොකු බණ්ඩාරයන් දේශීය වෛද්‍ය සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශවල කැබිනට් ඇමැති ලෙස සේවය කළ කාලයේ ගනු ලැබූ සමහර පියවරයන් දේශීය සංස්කෘතිය හා සමාජය නව මඟකට යොමු කිරීමට හේතුවූ බව පැහැදිලිය.

මැති ඇමැතිවරුන්, ප්‍රභූන් හා උසස් නිලධාරින්ට ‘සර්’ වෙනුවට ‘ඇමැතිතුමා’, ‘ඔබතුමා’ යනුවෙන් අද බොහෝ දෙනා අමතනු ලබන්නේ ද වි.ජ.මු. ලොකුබණ්ඩාර ඇරැඹූ වෙනසෙහි ප්‍රතිඵලයක් වශයෙනි.

 

• උපත හපුතලේගමදි

 

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ හපුතලේගමදි 1941 අගෝස්තු මස 5 වැනි දින උපත ලැබූ විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණ්ඩාරයන් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා ඇතුළු වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයටය.

පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන විජමුගේ දේහයට ගෞරව දැක්විමට පැමිණි අවස්ථාවේ පවුලේ ඥාතින්ට ශෝකය ප්‍රකාශ කළ අවස්ථාව

එහිදී ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් ඔහු පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පරීක්ෂණයට පෙනී සිට බී.ඒ. ගෞරව උපාධිය ද හිමිකර ගත්තේය.

අනතුරුව ඔහු නීතිය හැදෑරීම සඳහා නීති විද්‍යාලයට බැඳුණි. හෙළ සිරිතට මුල්තැන දෙමින් යු‍රෝපීය ඇඳුම වෙනුවට ජාතික ඇඳුමින් සැරැසී නීතිඥයකු වශයෙන් අධිකරණයේ දිවුරුම් දුන් ඔහු තම නමේ මුල් අකුරු වන ඩබ්ලිව්.ජේ.එම්. වෙනුවට වි.ජ.මු. යනුවෙන් භාවිතා කළේය.

වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කෙළේ රජයේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදකයකු වශයෙනි.

 

• කොළකැඳ ඔසුපැන් හඳුන්වාදීම

 

දක්ෂ කථිකයකු වූ වි.ජ.මු. එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසියේ නීති විද්‍යාලයේ සිටි ආචාර්යවරයකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ මඟ පෙන්වීම යටතේය. 1977 පාර්ලිමේන්තු මැතිවරණයට සිය උපන් ප්‍රදේශය වන හපුතලේ ආසනයෙන් තරග කොට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ලොකුබණ්ඩාර මහතා 2010 දක්වා එම ආසනය නියෝජනය කෙළේය.

ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ වසර 10ක් පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස සිටි වි.ජ.මු. ලොකුබණ්ඩාරයන්ට සිය දස්කම් පෙන්වීමට අවස්ථාව ලැබුණේ 1988දී ඔහු දේශීය වෛද්‍ය හා සංස්කෘතික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ පසුවයි.

දේශීය වෛද්‍ය ඇමැතිවරයා වශයෙන් සමාජයට කොළ කැඳ හා ඔසු පැන් හුරු කිරීමට මූලික වූ වි.ජ.මු. පාර්ලිමේන්තුවට ද කොළකැඳ හඳුන්වා දුන්නේය.

අද ජංගම රථ මගින් හා මඟ දෙපස තබාගෙන කොළ කැඳ අලෙවි කිරීම සුලභ දසුනක් වී ඇති අතර එය බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය ද වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු පාසල් හා තාප්පවල චිත්‍ර ඇඳීමේ රැල්ලක් පැතිර ගියේය. එහෙත් ප්‍රථමයෙන්ම පාසල් තාප්පවල චිත්‍ර ඇඳීම ආරම්භ වූයේ වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් 1988 දී දේශීය වෛද්‍ය හා සංස්කෘතික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ පසුව ඔහුගේ සංකල්පයක් අනුවය.

දරුවන්ට සෞඛ්‍ය පුරුදු හා යහපත් ගුණධර්ම අවබෝධ කරදීම සඳහා එම චිත්‍ර උපයෝගී විය.

සිංහල හා ඉංග්‍රීසි භාෂා විශාරදයකු වූ ලොකුබණ්ඩාරයන්ට සිංහල භාෂාව, සාහිත්‍යය, බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය පිළිබඳ හසල දැනුමක් තිබුණි.

එමෙන්ම ඔහු දක්ෂ චතුර කථිකයෙක් ද වූ අතර ඕනෑම මාතෘකාවක් පිළිබඳව ක්ෂණිකව අදහස් දැක්වීමෙහි සමතෙක් ද විය. ඒ පිළිබඳව මා ලැබූ අත්දැකීමක් මෙහිදී සිහියට නැ‍ඟේ.

ඒ 1978 වසරේදි මුදල් ඇමැති රොනී ද මැල් මහතා විසින් ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දෙවැනි අයවැය විවාදය පැවැති අවස්ථාවයි.

විජමු ලොකු බණ්ඩාරයන්ගේ  පුතකු සිය පියාගේ දේහයට අවසන් වශයෙන් ගෞරව දැක්වූ අයුරු

එකල ගාලුමුවදොර පිහිටි පාර්ලිමේන්තුවේ රැස්වීම රාත්‍රි 8 දක්වා පැවැත්විණි. පාර්ලිමේන්තු මාධ්‍යවේදියකු වශයෙන් මම ද එම විවාදය වාර්තා කරමින් සිටියෙමි. රාත්‍රි 7 පමණ වන විට විවාදය ගෙනයාම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් සභාවේ නොසිටීම එවකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වූ වින්සන්ට් පෙරේරා ඇමතිවරයාට බලවත් ප්‍රශ්නයක්වී තිබුණි.

වින්සන්ට් පෙරේරා මහතා සභාවේ එහා මෙහා යමින් ඊළඟ කතාව සඳහා මන්ත්‍රීවරයකු සෙව්වේ කතා කිරීම සඳහා කලින් නම් දී තිබූ මන්ත්‍රීවරුන් සභාවේ නොසිටි බැවිනි. වි.ජ.මු. ලොකුබණ්ඩාර මන්ත්‍රිවරයා පසුපෙළ අසුනකට වී නිදා වැටෙමින් සිටියේය.

අන්තිමේදි වින්සන්ට් පෙරේරා මහතා ඔහු වෙත ගොස් ඊළඟ කතාව කරන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් වි.ජ.මු.ට කතා කිරීමට තිබුණේ ඊළඟ දිනයේදීය. කෙසේ වුවද වි.ජ.මු. කතා කිරීමට එකඟ වූයෙන් වින්සන්ට් පෙරේරා මහතා මුලසුන වෙත ගොස් ඔහුගේ නම දුන්නේය.

අනතුරුව මුලසුනෙන් නම ප්‍රකාශ වූ සැණෙන් නැඟී සිටි ලොකුබණ්ඩාර මහතා කතාව පටන් ගත්තේ අයවැය ලේඛනය සාහිත්‍ය කෘතියක් වශයෙන් හඳුන්වමිනි. මුදල් ඇමැතිවරයා අයවැයෙන් බදු පනවා ඇත්තේ බඹරකු මල නොතලා රොන් ගන්නා ආකාරයෙන් බව පැවැසූ ඔහු උම්මග්ග ජාතකය ඇතුළු බෞද්ධ සාහිත්‍ය කෘතිවලින් ද උපමා ගෙන හැර දක්වමින් චතුර කතාවක් කෙළේ අප ඇතුළු ගැලරියේ සිටි පිරිස් අමන්දානන්දයට පත් කරමිනි.

වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් දේශීය වෛද්‍ය ඇමැතිවරයා ලෙස සිටියදී පාරම්පරික දේශීය වෙදකම හා ආයුර්වේදය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකිරීමට හා දේශීය වෙදකම පිළිබඳ ලියැවී තිබූ පුස්කොළ පොත් සිංහලෙන් මුද්‍රණය කිරීමට ද කටයුතු කළේය.

 

• හිස තෙල් ගෑමේ උත්සවය

 

‍එමෙන්ම ප්‍රකට ජ්‍යෝතිර්වේදීන්ගෙන් යුත් කමිටුවක් පත්කොට සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්පාදනය කිරීමට හා සිංහල අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය රාජ්‍ය අනුග්‍රහය ලබන උත්සවයක් බවට පත්කිරීමට පියවර ගත්තේ ද වි.ජ.මු. ලොකුබණ්ඩාරයන්ය.

සුභාෂිතය, නම්පොත, නාමාෂ්ඨ ශතකය, සිරිත් මල්දම, ලෝකෝපකාරය ආදී පැරණිපොත් යළි මුද්‍රණය කොට ජනතාව අතට පත්කිරීමට ඒ මහතා කටයුතු කෙළේ ඔහු සංස්කෘතික කටයුතු ඇමැතිව සිටියදීය.

වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් ග්‍රන්ථ කර්තෘවරයකු ද විය. සීගිරි ගී සිරි, රසදීපනි ශාස්ත්‍රීය වාද ලිපි, ඡන්ද දායකයා වෙතටයි, ගරු කථානායකතුමනි (මෙය ඔහු පාර්ලිමේන්තුවේ කළ කතා ඇතුළත් කෘතියකි.) ඔහු ලියූ ග්‍රන්ථ කිහිපයකි. මේ හැර ‘THE MYSTQUE OF SIGIRIYA’ නමින් ඉංග්‍රීසි භාෂාවෙන් ද සීගිරිය ගැන ඔහු කෘතියක් පළකොට ඇත.

අධ්‍යාපන ඇමැතිව සිටියදී සිංහල භාෂාව නිවැරදිව ලිවීම පිළිබඳව සිසුන් හා ගුරුවරුන් දැනුම්වත් කිරීම සඳහා විද්වතුන් ලවා සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීමට ද කටයුතු කළ වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් සෑම වසරකම මාර්තු මස 2 දින සිංහල භාෂා දිනය ලෙස නම් කොට එම දිනයේදී විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද පියවර ගත් නමුත් මේ වන විට සිංහල භාෂා දිනය අමතක කොට දමා ඇත.

ඒ මහතා 2001 දී අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ හා ජාතික ඒකාග්‍රතා ඇමැති වශයෙන් පත්වූ අතර කාලාන්තරයක් තිස්සේ ඉංග්‍රිසියෙන් පැවැති නව නීති වාර්තා (New law reports) සිංහල භාෂා‍වෙන් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගැනීමද විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත.

 

• 16 වැනි කථානායක ලෙස පත්වීම

 

වි.ජ.මු. ලොකුබණ්ඩාරයන්ගේ දේශපාලන හා පාර්ලිමේන්තු ජීවිතයේ සුවිශේෂම අවස්ථාව වන්නේ 2004 අප්‍රේල් 4 දා පාර්ලිමේන්තුවේ 16 වැනි කථානායකවරයා වශයෙන් පත්වීමයි. විපක්ෂයේ මන්ත්‍රිවරයකුව සිටියදී තියුණු තරගයකින් කථානායකවරයා ලෙස තේරී පත්වීමද විශේෂ සිද්ධියකි.

2004 මහමැතිවරණයෙන් ආණ්ඩු බලය හිමි වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. එම සන්ධානය කථානායක ධුරයට ඩිව් ගුණසේකරයන් ඉදිරිපත් කළ අතර විපක්ෂයෙන් ඉදිරිපත් වූයේ වි.ජ.මු. ලොකුබණ්ඩාරයන්ය. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් සිටි නමුත් කථානායකවරයා තෝරා ගැනීම සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී ඡන්ද 110ක් ලබා ගනිමින් ලොකුබණ්ඩාරයන් පත්වූයේ ආණ්ඩු පක්ෂයේ ගාලගෝට්ටි මධ්‍යයේය.

ඩිව් ගුණසේකරයන්ට ලැබී තිබුණේ ඡන්ද 109කි. කථානායක තෝරා ගැනීමට පාර්ලිමේන්තුවට පැය 9ක් ගතවිය. පෙරවරු 10ට ආරම්භ වූ රැස්වීම අවසන් වූයේ පස්වරු 7.15ටය. මෙහිදී මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගාලගෝට්ටි හා පොර බැඳීම් නිසා එක් මන්ත්‍රී හිමිනමක් රෝහල්ගත කිරීමට ද සිදුවිය.

කථානායක ධුරයට පත්වීමෙන් පසු ලොකුබණ්ඩාරයන් සභාව නිහඬ කිරීම සඳහා කලින් සිට පැවැති “ඕඩර් ප්ලීස්” (Order please) වචනය වෙනුවට “කරුණාකර නිශ්ශබ්ද වන්නැ” යි පැවැසීමට පටන් ගත්තේය. එහෙත් ඇමැතිවරයකු ලෙස දස්කම් දැක්වුවද සභාව මෙහෙයැවූ ලිහිල් ආකාරය නිසා ඔහු කථානායකවරයකු වශයෙන් සාර්ථක නොවූ බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

 

• රැස්කළේ දැනුම හා ජනතාවයි

 

පක්ෂ දේශපාලනයෙන් පාර්ලිමේන්තුවට පත්වී ඇමැති තනතුරු දරමින් විශාල වශයෙන් මුදල් උපයා පරම්පරා ගණනාවකට ධනය රැස්කරන අය සිටින සමාජයක වි.ජ.මු. ලොකුබණ්ඩාරයන් මුදල් පසුපස හඹා ගියේ නැත. ඔහු රැස් කළේ ජනතාව සහ දැනුමයි. දූෂණ හා වංචාවලට එරෙහිව තදින්ම කටයුතු කළ ලොකුබණ්ඩාරයන් තමන් යටතේ සිටි නිලධාරියා ද එවැනි ක්‍රියාවලින් වළක්වාලීමට කටයුතු කළ බව ඒ මහතා දේශීය වෛද්‍ය ඇමැතිවරයාව සිටියදී එහි සහකාර ලේකම්වරයකු ලෙස සේවය කළ, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු වන අසෝක මාලිමගේ පවසයි. එසේ වුවද එතුමාගේ අභාවය හේතුවෙන්, භාෂාවට, සාහිත්‍යයට, දේශීය සංස්කෘතියට සිදු වූ පාඩුව පියවා ගැනීමට තව බොහෝකල් බලා සිටීමට මෙරට ජනතාවට සිදු වනු ඇත.

Comments