අපේ දේ නංවා රටේ සන්නා­මය බබ­ළ­වන Made in Sri Lanka | සිළුමිණ

අපේ දේ නංවා රටේ සන්නා­මය බබ­ළ­වන Made in Sri Lanka

 අග­මැති මහින්ද රාජ­ප­ක්ෂ­යන්  ප්‍රද­ර්ශ­නය විවෘත කිරී­මෙන් පසු දේශීය නිපැ­යුම් කුටි නිරී­ක්ෂ­ණය කළ අව­ස්ථාව‍.  ඇමැති විමල් වීර­වංශ හා ජාතික ව්‍යව­සාය සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති අනුශ්ක ගුණ­සිංහ ද මෙහි සිටිති.
අග­මැති මහින්ද රාජ­ප­ක්ෂ­යන් ප්‍රද­ර්ශ­නය විවෘත කිරී­මෙන් පසු දේශීය නිපැ­යුම් කුටි නිරී­ක්ෂ­ණය කළ අව­ස්ථාව‍. ඇමැති විමල් වීර­වංශ හා ජාතික ව්‍යව­සාය සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති අනුශ්ක ගුණ­සිංහ ද මෙහි සිටිති.

සියරට දේ සිරි සැප‍ දේ’ මේ අනුව යමින් කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ප්‍රථම වරට ආරම්භ කළ ‘Made in Sri Lanka’ වෙළෙඳ ප්‍රදර්ශනය මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ අලුත් පිබිදීමක් ඇති කිරීමට ඉවහල් වූ බව දේශීය ව්‍යාපාරිකයන්ගේ අදහසයි.

පසුගිය පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු මෙන් ම මේ වනවිට වසංගත තත්ත්වයෙන් ව්‍යාප්තව යන කෝවිඩ් 19 ව්‍යසනය මෙරට ආර්ථිකයේ කොදු නාරටියට දැඩි ලෙස බලපෑම් කරමින් සිටී. අප ර‍ටේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මඟින් ආර්ථිකයට දක්වන දායකත්වය සමස්ත දළ දේශීය නිෂ්පාදනයෙන් 50% - 60% ක් අතර වුවත් එහි සමස්ත ආනයන පරිමාණය 5% - 10% අගයකට සීමා වේ. එවන් පසුබිමක් තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එළි දැක්වූ සෞභාග්‍යයේ දැක්මට අනුගතව යමින් ආනයන සීමා පනවමින් දේශීය ව්‍යවසායකයා රැක ගැනීමට බොහෝ පියවර රැසක් ගනු ලැබීය. ඒ අනුව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සංකල්පයක් අනුව ආරම්භ වූ Made in Sri Lanka සන්නාමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ අරමුණ ඇතිව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මඟින් සංවිධානය කරනු ලැබූ Made in Sri Lanka වෙළෙඳ ප්‍රදර්ශන මාලාවේ පළමුවැන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් හා ජපන් තානාපති අකිරා සුගියාමා මෙන් ම ප්‍රංශ තානාපති එරික් ලැවර්ටෝගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹ 07 පදනම් මාවතේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.

ජාතික මට්ටමේ වෙළෙඳ ප්‍රදර්ශනයක් ඔස්සේ මෙරට ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ ජාතික ක්‍රියාවලියකට මුල පිරීම සතුටට කරුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් මෙහිදී පැවසීය.

එහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සභාව අමතමින් කියා සිටියේ වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව Made in Sri Lanka සන්නාමය ලොව පුරා බලවත් කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ අරමුණ වන බවයි. එහිදී මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව යමින් දේශීය නිෂ්පාදකයන්ට කළ නොහැක්කක් නොමැත යන විශ්වාසය ඇති කිරීම හා ඒ සඳහා දිරි ගැන්වීම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ හා කර්මාන්ත අමාත්‍යාංශයේ මූලික වගකීමක් ලෙස හඳුනාගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

එසේම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ප්‍රකාශ කර සිටියේ Made in Sri Lanka සන්නාමය ලංකාවේ ප්‍රධානම සන්නාමය බවට පත් කරන බවයි. මීට අමතරව ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සභාව අමතමින් ශ්‍රී ලංකා ජපන් විදේශ සබඳතා තහවුරු කර ගැනීමේ වැදගත්කම හා ඒ හරහා මෙරට කුඩා හා මධ්‍යම ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ජපන් රජයේ පූර්ණ අනුග්‍රහය සලසන බවට ද ප්‍රකාශ කළේය.

වසර පුරාම අඛණ්ඩව ඉදිරියටත් පැවැත්වීමට නියමිත මෙම වෙළෙඳ ප්‍රදර්ශනය දින දෙකක් පුරා උදෑසන 10 සිට රාත්‍රි 8 දක්වා විවෘතව පැවැති අතර ව්‍යාපාර හා පාරිභෝගික මෙන්ම ව්‍යාපාර සුසංයෝග නිර්මාණය කරලමින් Made in Sri Lanka සන්නාමය ඉදිරියට තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට වේදිකාවක් තනනු ලැබීය.

වෙළෙඳ ප්‍රදර්ශනය අවසන් වීමට පෙර එහි සපැමිණි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ එහි සිටි සියලු ව්‍යවසායක මහත්ම මහත්මීන් සමඟ මෙන් ම පැමිණ සිටි ව්‍යාපාරික හා පාරිභෝගික පිරිස් සමඟ ද සුහද කතාබහක නිරත විය. එහිදී පවතින කොවිඩ් වසංගතය හමුවේ වුව ද බිඳ වැටී ඇති කුඩා හා මධ්‍ය පරිමාණ දේශීය කර්මාන්ත හා දේශීය ව්‍යවසායකයා යළි පණගන්වන්නට Made in Sri Lanka සන්නාමය යටතේ පුළුල් අවස්ථා විවර කරදීම පිළිබඳ පැමිණ සිටි සියලු ව්‍යවසායක හා පාරිභෝගික පිරිසගෙන් අමාත්‍යවරයාට නොමඳ අගය කිරීමක් හිමි විය. කෙසේ වුවත් ඉදිරිපත්වූ බොහෝ යහපත් ප්‍රතිචාර හා ඉල්ලීම් මත මෙම ප්‍රදර්ශනය මෙතෙක් මාස දෙකකට වරක් පැවැත්වීමට ගෙන තිබූ තීරණය වෙනස් කරමින් සෑම මසකටම දෙවරක් පැවැත්වීමට තීරණය කරනු ලැබීය.

මෙම ප්‍රදර්ශනය හරහා බොහෝ ව්‍යාපාරික අවස්ථා රැසක් ව්‍යවසායකයන් වෙත විවෘත විය. ඒ යටතේ බොහෝ විදේශ අපනයන අවස්ථා පුළුල් වීම, සුපිරි වෙළෙඳසල් හා හෝටල් ඇතුළු ව්‍යාපාරික ප්‍රවේශ රාශියක් හඳුන්වාදීම සිදුවූ අතර මෙහි සුවිශේෂී අවස්ථාවක් වූයේ ව්‍යාපාර - ව්‍යාපාර අතර සංවිධානය කළ හමුවයි. එහිදී මින් පෙර ව්‍යවසායක මහත්ම මහත්මීන්ට හිමි නොවූ අවස්ථා රැසක් මේ ප්‍රදර්ශනය නිසා හිමිවීමයි.

මේ පිළිබඳව සිළුමිණට විශේෂයෙන් කරුණු දැක්වූ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ප්‍රකාශ කර සිටියේ මේ ප්‍රදර්ශනය මඟින් ජපන්, ප්‍රංශ හා බ්‍රිතාන්‍ය රටවල ව්‍යාපාරිකයන් රැසක් අපේ රටේ නිපැයුම් මිලදී ගැනීමට අපේ රටේ දේශීය නිපැයුම්කරුවන් සමඟ සම්බන්ධ වූ බවයි.

“මාර්තු අග අපි කොළඹදී තවත් ප්‍රදර්ශනයක් කරනවා. සැප්තැම්බර් මාසේ අපි දිස්ත්‍රික්ක 20 ක දින දෙකකදී Made in Sri Lanka ප්‍රදර්ශන මාලාවක් පවත්වනවා. ඇමැති විමල් වීරවංශගේ උනන්දුව නිසා අපිට මේ කටයුතු හුඟක් පහසුවී තිබෙනවා.”

“අපේ රටේ සමහර නිපැයුම් ලොව ඒ සමාන අනෙක් නිපැයුම්වලට වඩා ඉහළයි. ඒත් ඒවා පිළිබඳව රට රටවල දන්නේ නෑ. මෙවර ප්‍රදර්ශනය බැලීමට රටවල් ගණනාවක තානාපතිවරු පැමිණියා. ඒ අය අපේ නිපැයුම් අගය කළා. ඒ අනුව අපේ නිපැයුම්කරුවන්ට හොඳ හෙටක් උදා වෙනවා ස්ථිරයි. මේ සඳහා අපට දිය හැකි සියලුම සම්බන්ධීකරණ කටයුතු ලබාදෙන්න අපි සූදානම්” යැයි ද සභාපති අනුෂ්ක ගුණසිංහ පවසයි.

ප්‍රදර්ශනයට එක්වූ ව්‍යවසායකයෙක් වන පාණදුර ‘හෙළ කොකෝ’ අධිපති හරින්ද්‍ර මහකුමාර පවසන්නේ ඉතා හොඳින් සංවිධානය කර තිබූ Made in Sri Lanka ප්‍රදර්ශනය තමා වැනි දිගු කලක් Made in Sri Lanka සන්නාමය පාවිච්චි කරන ව්‍යවසායකයන් හොඳ සවිමත් අත්වැලක් බවයි.

“අපි රටවල් 8කට තැඹිලි වතුර යවනවා. රටවල් 3 කට දොඩම්, ඉඟුරු, කොත්තමල්ලි හා පැෂන් ටින් යවනවා. ව්‍යවසායකයන් 10 දෙනකුට මේ යටතේ දැනටම Made in Sri Lanka නම පාවිච්චි කිරීමට අවස්ථාව ලැබුණා. ප්‍රදර්ශනය බැලීමට ආපු විදේශිකයන් හුඟක් අපේ නිපැයුම් අගය කළා. දේශීය අය කිව්වේ මේක හුඟක් කලින් කරන්න තිබූ වැඩක් බවයි.

විමල් වීරවංශ අමාත්‍යවරයා මේ ප්‍රදර්ශනය ඉතා හොඳින් සංවිධානය කිරීම හා මේ සංකල්පය ඉදිරියට ගෙන යාම ගැන ස්තුතිවන්ත වෙනවා” යැයි ද හරින්ද්‍ර මහකුමාර පවසයි.

සියයට සියයක් ශාකමය ආහාර පමණක් නිපදවන කොළඹ තුන්මුල්ලේ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ‘රන්බත්’ කාබනික ආහාර සමාගමත් මේ ප්‍රදර්ශනයට එක් විය.

එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ජානකී කත්‍රිආරච්චි පවසන්නේ අපේ රටේ නියම ශාකමය දේශීය ආහාර අපේ රටේ නාගරික ජනතාවටත් මෙරට පදිංචි හා යන එන විදේශික සංචාරකයන්ටත් හඳුන්වා දීමට මෙම ප්‍රදර්ශනය තමන්ට ලොකු අනුබලයක් ලබාදුන් බවයි.

ඇමැති විමල් වීර­වංශ ව්‍යවසායකයකුගෙන් කරුණු විමසද්දී... 
ජාතික ව්‍යව­සාය සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති අනුශ්ක ගුණ­සිංහ ද,ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර ද මෙහි වෙති.

“අපි කරන්නේ සියයට සියයක් ශාකමය ආහාර නිපැයුම් සතුන්ගෙන් ගන්නා කිරිවත් අපේ ආහාරවලට දාන්නේ නැහැ. අපි හදන කාබනික ආහාර අනුභව කිරීමට සංචාරකයන් කැමැතියි. ඒ අයට ඒ අවස්ථාව වැඩිපුර ලබාදෙන්න අපිට මේ ප්‍රදර්ශනය නිසා අවස්ථාව ලැබුණා.

විමල් වීරවංශ ඇමැතිවරයා මේ ප්‍රදර්ශනය මනාව සංවිධානය කර තිබුණා. ඔහු හැම කුටියටම ගිහිල්ලා නිපැයුම් පිළිබඳව සොයා බැලුවා. අපිව උනන්දු කළා. ඒක අපිට ලොකු ශක්තියක් අපේ කුටිවලට පවා ශතයක්වත් ගත්තේ නෑ. ඒ අනුව මේ ව්‍යායාමය රටේ දේශීය කාබනික නිපැයුම් ජනප්‍රිය කිරීමට අනුපමේය මෙහෙයක් ඉටුවෙනවා” යැයි ජානකී කත්‍රිආරච්චි පවසන්නීය.

හොරණ ගුරුගොඩ රත්න විමල් අලුත්ගේ මෙම ප්‍රදර්ශනයට එක්වී ඇත්තේ රත්න බතික් ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසයි.

“අපි දැනට බතික් සාරි, ගවුම් හා කමිස නිපදවා රට යවනවා. මේ ප්‍රදර්ශන නිසා අපිට එතෙර ඇණවුම් ලබා ගැනීමට අලුත් සම්බන්ධතා ඇති කරගැනීමට අවස්ථාව ලැබුණා. මගේ නිෂ්පාදන විකුණා ගැනීමට අලුත් ආයතන හතරක් මේ ප්‍රදර්ශනය නිසා හමු වුණා. මෙහිදී අපට ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළයි. සංකල්පයක් ලෙස අලුත් ගමනක ආරම්භයක් පෙන්නුම් කරන මෙම ප්‍රදර්ශන මාලාව නිසා Made in Sri Lanka තේමාවට ලොකු අභිමානයක් ලැබෙනවා. මෙතෙක් කල් පිටරටවලට අපේ නිෂ්පාදන යැව්වත් Made in Sri Lanka නාමයෙන් ඒවා යවන්න අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වන මේ වැඩසටහන් නිසා මා ඇතුළු දේශීය නිෂ්පාදකයන් රැසකට Made in Sri Lanka ලාංඡනය යටතේ ශ්‍රී ලාංකික අභිමානයෙන් අපේ නිපැයුම් ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණා. ඒ ගැන විමල් වීරවංශ ඇමැතිවරයා ඇතුළු රජයට ස්තුතිවන්ත වනවා” යැයි අලුත්ගේ පැවසීය.

Comments