කාගෙ­න්වත් යැපෙන්නේ නැතිව මම ආවේ තනි ගම­නක් | සිළුමිණ

කාගෙ­න්වත් යැපෙන්නේ නැතිව මම ආවේ තනි ගම­නක්

 
 
 
මගේ දෙවැනි තෝරා­ ගැ­නීම තමයි පෙම්වතා. ඔහු මගේ පළමු තේරී­මට ඉඩ දෙන කෙනෙක් වෙන්නෙ ඕනේ
 
ඒ ආද­රය දව­සින් දවස වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ

ගීත්මා බණ්ඩාර හීන දකින ඒ හීන හැබෑ කරගන්න උත්සාහ කරන නව පරපුරේ රංගන ශිල්පිණියක්. වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයට පය තියපු ගීත්මා රංගනයට පාර තනා ගන්නේ හිරු අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබීමෙන්. එතැන් සිට ඇරඹි ගමනේ ඇයට පසු කරන්නට ලැබුණු කඩ ඉම් අප දකින තරම් සුන්දර වෙන්න ඇතිද? ඇය ඒ ගැන කතා කරන්නේ මෙලෙසින්.

 

ගීත්මා මේ දවස්වල සංගීතෙන් පිට පැනලා නේද?

මම ‘සංගීතේ‘ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා අවුරුදු දෙකයි. දැන් ‘රෑනගල වලව්ව‘ ටෙලි නාට්‍යයත් විකාශය වෙනවා. 'සංගීතේ' නාට්‍යයට සම්බන්ධ වෙන්න ටික කාලෙකට කලින් රූගත කරපු ඒ නිර්මාණය දැන් තමයි විකාශය වෙන්නේ. මේ දවස්වල තවත් අලුත් නිර්මාණයක රූගත කිරීම් කෙ‍ෙරනවා. ඒ නාට්‍යයත් ඉදිරි මාසයකදී විකාශය පටන් ගනියි.

ගීත්මා ‘සංගීතේ‘ නාට්‍යයටම කොටු වුණා කියලයි බොහෝ අය හිතුවේ?

‘සංගීතේ‘ කියන්නේ මට ප්‍රධාන චරිතය ලැබුණ පළවෙනි නිර්මාණය. නමුත් මේතාක් සම්බන්ධ වුණු නිර්මාණ එකිනෙකට වෙනස්. මගේ හැකියාව වැඩි දියුණු කරගෙන වෙනස් දේවල් කරන්නයි නිතරම උත්සාහ කරන්නේ.

නමුත් අප ඔබව දකින්නේ බොහොම සීමිත නිර්මාණ ප්‍රමාණයකින්. ඒ ලැබෙන ආරාධනා අඩු නිසා නෙවෙයිද?

ආරාධනාවල නම් අඩුවක් නැහැ. නමුත් මම කරන්න කැමැති අකැමැති පරාස තුළ තෝරා ගැනීම් කරන්නත් සිදු වෙනවා.

ගීත්මා, රංගනයේ මොනවගේ සීමා ද පනවාගෙන තියෙන්නේ ?

මම මහා ලොකු සීමා පනවාගෙන නැහැ. නමුත් රඟපාන චරිතයක් නිසා මගේ පෞද්ගලික චරිතයට හානියක් වෙන්න බෑ. ඇඳුම් සම්බන්ධ දේවල්වලටත් සීමා තියෙනවා. සංගීතේ නාට්‍යයේ මම කරන චරිතයට හානියක් වෙන නිරූපණයක් මම කරන්නෙත් නැහැ.

ගීත්මාට නාට්‍ය ගොඩක් පේන්න ඉන්න වුවමනාවක් නැද්ද ?

බලන බලන හැම නාළිකාවේම පේන්න වුවමනාවක් නැහැ. එක කාලෙකට එක නාට්‍යයක හෝ දෙකක හිටියොත් ඇති. මට අවශ්‍ය ප්‍රේක්ෂකයාට හැමදාම මතකයේ රැඳෙන ආදරණීය චරිතයක් වෙන්න.

ඉතින් එකම නාට්‍යයක කාලයක්ම ඉදිද්දිත්ය කියන වටිනාකම අඩු වෙනවා නේද?

‘සංගීතේ‘ නාට්‍යයට ආපු අලුත “ආ.. අලුත් ගෑනු ළමයෙක් රඟපාන්න ඇවිත්“ කියන ප්‍රතිචාරය තමයි ලැබුණේ. ඊට පස්සේ ‘අසේනි‘ විදිහට බොහෝ අය ආදරෙන් මාව වැලඳ ගත්තා. ඒ ආදරය දවසින් දවස වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. ඒක මම ලැබූ භාග්‍යයක්.

තරුණියකට රංගන ක්ෂේත්‍රය අනාරක්ෂිතයි යන මතය ඔබටත් දැනිලා තියෙනවද?

මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු පහක් විතර. ඒ කාලය ඇතුළත මුණ ගැහුණු සියයට අනූනවයක්ම හොඳ අය. අපි අපේ වටිනාකම හරියට තියාගෙන හොඳ විදිහට ජීවත් වුණොත් ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි ඕනෑම තැනක ඕනම දෙයකින් ගැලවිලා ඉන්න පුළුවන්. කාන්තාවක් කලා ක්ෂේත්‍රයෙදි විතරක් නෙමෙයි ඕනම තැනකදි අතවරයකට හෝ අපහසුතාවට ලක් වෙන්න පුළුවන්. නමුත් මේ ක්ෂේත්‍රය ගැන තියෙන අවධානය වැඩි නිසා ඒ දේවල් වැඩිපුර පේනවා ඇති.

 

 

 

 

වටිනාකම රැකගෙන ක්ෂේත්‍රයේ තමන්ගේ තැන ආරක්ෂා කරගැනීමත් ලොකු අභියෝගයක්?

ලොකු කට්ටක් කන්න වුණත් ඒක සුන්දර කට්ටක්. කාගෙන්වත් යැපෙන්නේ නැතිව මම ආව තනි ගමනක් මේක. අපිට අවශ්‍ය දේ ලබා ගන්න කාලය, ශ්‍රමය, ධනය වගේ බොහෝ දේවල් කැපකරන්න සිද්ධ වෙනවනේ.

මේ තාක් ජීවිතයට ලැබුණු දේවල් ගැන තෘප්තිමත්ද?

මට ලැබුණ දේවල් ගැන නිහතමානිව සතුටු වෙන්න පුළුවන්. මගේ ජීවිතේ ගොඩක් දේවල් ලබාගත්තේ තනියම. මගේ බාප්පයි පුංචි අම්මයි ක්ෂේත්‍රයට ආ මුල් කාලේ මගේ පස්සෙන්ම රැදුණා. කාලයක් ගියාට පස්සෙයි මට තනියම වැඩ කරන්න වගකීම් දුන්නේ. රංගනය නිසා අද වෙනකොට බොහෝ පිරිසක් මං වටා එකතු වෙලා ඉන්නවා. ඒක තමයි මගේ වත්කම. මගේ ගමන පටන් ගත්තට වඩා මම අද ආර්ථික වශයෙනුත් තනියම ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා.

ගීත්මා මුදල්මය වටිනාකමට මුල් තැන දෙන නිළියක්ද?

අපේ වටිනාකම තීරණය කරන්න ඕනේ අපි. ලැබෙන නිර්මාණයට අනුව මගේ මුදල මම තීරණය කරනවා.

දැන් කවුද ගීත්මාගේ ආරක්ෂකයා?

මගේම මල්ලි තමයි ගොඩක් වෙලාවට මාත් එක්ක වැඩවලට යන්නේ එන්නේ. ඔහුගේ අධ්‍යාපනික කටයුතු එක්ක එන්න බැරි වුණත් පුළුවන් හැම වෙලාවකම ඔහු මා එක්ක ඉන්නවා.

රංගනය නිසා අහිමි වුණු දේවල් ඇති?

මගේ අධ්‍යාපන කටයුතු ටිකක් මගහැරුණා. නමුත් ඒ දේවල් ඉදිරියට කරන්න පුළුවන්. ඒ නිසා රංගනය නිසා මට කිසිම අහිමි වීමක් වුණේ නැහැ.

 

 

ගීත්මාට සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?

ආරාධනා කිහිපයක්ම ලැබුණා ඒ චරිත මට ගැළපෙන්නේ නෑ. සිනමාවේ වුණත් මට හොඳම දේ ලැබෙන කල් බලාගෙන ඉන්න පුළුවන්.

ඔබ දැන් පෙම්වතියකුත් වෙලාද?

සැබෑ ජීවිතේ නම් මම පෙම්වතියක් නෙමෙයි. ආදර යෝජනා අඩු නැහැ. නමුත් මට තනියම තව ගොඩක් දේවල් කරන්න තියෙනවා.

ඒ හොයා ගන්න කෙනා රංගන ක්ෂේත්‍රයේ කෙනෙක් වෙයිද?

එහෙම වෙන එකක් නැහැ. මම රංගනයට ආදරෙයි. රංගනය මම තෝරාගෙන ඉවරයි. මගේ දෙවැනි තෝරාගැනීම තමයි පෙම්වතා. ඔහු මගේ පළමු තේරීමට ඉඩ දෙන කෙනෙක් වෙන්නෙ ඕනේ.

 

Comments